You are currently viewing නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජන හා අවස්ථා හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා..

නිර්මාපිත බුද්ධියේ (Generative Artificial Intelligent) තර්ජන හා අවස්ථා හඳුනාගෙන මුහුණ නොදුන්නොත් සේවාවන් හැකිලෙනවා..

ChatGPT කියන දේ නූතනම පැත්තකට යොමුව තිබෙන්නේ. ChatGPT හඳුන්වාදීමට ප්‍රථම GPT කුමක්ද යන්න වටහා ගනිමු. Generative Pre-Trained Transformer කෙටියෙන් GPT ලෙස අර්ථ දැක්වෙනවා. නමුත්, Artificial Intelligence ( AI) තමයි මෙහි විකාශනයේ  ආරම්භය. එය කාලයක් තිස්සේ පරිගණක ක්‍රියාකාරී බලය වැඩිදියුණුවත් සමග කාර්යක්ෂම මෙවලමක් වූවා.  මේ පරිගණක තාක්ෂණයේ දියුණුව සිදු වුණේ ක්‍රමානුකූල ව. මේ තාක්ෂණය ඔක්කෝම එන්නේ ඇමරිකාව  සඳතරණය කිරීමට යාමටගත් උත්සහය සමඟ. එයින් තමයි මේ තාක්ෂණය විකාශනය වී ව්‍යාප්ත වී තිබෙන්නේ. මෙහි පළමු රැල්ල තමයි දෘඩාංගවල (Hardware) දියුණුව වැඩි වී ඒවා කුඩා වී මෘදුකාංග බවට පත්වුණේ. නොයෙකුත් Applications, windows ආරම්භ වුණා. දැන් අප පැමිණ තිබෙනවා තවත් තලයකට. Hardware, Software, මේවනවිට Livewire වශයෙන් මිනිසාගේ දෙෙනික කටයුතු මෙහෙයවීමට යොදාගැනෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් ජංගම දුරකථනයට අපගේ  සියලූම සංවේදීතාවයන්ට  ක්ෂනික ප්‍රතිචාර දක්වනවා.

දැන් එතනින් තවත් තැනකට ඇවිත් තිබෙනවා. මෙම අදියර කිහිපයම අන්තර්ග්‍රහණය වී දැන් එය  Mindware හැටියට නම්කල හැකි තත්වයකට වැඩිදියුණුව තිබෙනවා. මේ Mindware තමයි AI ගමන පාලනය කරන්නේ. අපි  භාවිතා කරන සමාජ මාධ්‍යවල (YouTube, Meta වැනි) පවතින Algorithm ඇල්ගොරිදම් අපව හොදින් අධ්‍යයනය කරනවා. අපගේ වුවමනාවන්, කැමැත්ත තීරණය කරනවා. එය බාහිරින් සම්බන්ධ පුද්ගලයින් කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒ තමයි ඇල්ගොරිදම්වල ක්‍රියාකාරිත්වය. අප භාවිතා කරන සමාජ මාධ්‍ය අතර ෆේස්බුක්හි (Facebook) අප ෂෙයා කරන පෝස්ටුවකට ලයික් තුන්සීයක් පමණ වැටී තිබෙනවා නම්, ඔබේ සමීපතමයන්ට  (බිරිඳට/ස්වාමියාට) වඩා අප ගැන මේ ඇල්ගොරිදම් දන්නවා. මේ තමයි ක්‍රමවේදය. මේ ක්ෂේත්‍රයේ සිටින විශාලම කර්මාන්ත Alpha (Google), Meta, Microsoft, Amazon යන අය මෙහි ඒකාධිකාරිය ගෙන තිබෙනවා. මෙම සමාගම් නූතණ ධනවාදයක් Surveillance Capitalism නිර්මාණය කිරීමට උත්සහ කරන වගක් පේනවා.

මීට පෙර අපි යම් තොරතුරක් සෙවීමට භාවිතා කළේ Google. එමඟින් සිදු කරන්නේ website හරහා තොරතුරු සෙවීම. නමුත් AI මගින් සිදු කරන්නේ Website හරහා තොරතුරු සෙවීම නොවේ. හැකි තරම් හැමදත්තයක්ම එකම තැනකට ගෙනැවිත් තිබෙනවා. (පොත්,චිත්‍රපට, රූප රාමු, රූප සටහන්…මේ ආදී වශයෙන්) මේ සියල්ලක්ම දත්ත ගබඩාවකට ගෙන තිබෙනවා. ඒ වගේම පරිගණක වල තිබෙන වේගවත් බව නිසා යම් දෙයක් සෙවීමට විධානයක් දුන් විට ඉතා ඉක්මනින් එය සිදු කරනවා. මෙය අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ නිසා කෘතිම බුද්ධිය කියලා තිබෙන වැටහීම ම මෙහි නියම තත්ත්වය කුමක්ද කියන කාරණය අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒ නිසා ඒ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි.

Artificial Intelligence මඟින් සිදු විය හැකි අහිතකර බලපැම් සම්බන්ධයෙන් පළමුව විස්තර කරගෙන සිටිමු. ඊට පසු මෙය නිවැරදි කරගැනීම කතා කරමු.

Artificial Intelligence (නිර්මාපිත බුද්ධිය) නිසා පහළ ස්ථරයේ රැකියාවලට වඩා මැද පෙළ කළමනාකාරීත්වයේ (Middle level Management) රැකියාවලට එල්ල වන බලපෑම වැඩියි, පහළ පෙළ ඒකාකාරී රැකියා කරන පිරිසට වඩා. ලිපිකරුවන්, සංස්කාරකවරුන්, පිටපත් කරන්නන් වැනි නිර්මාණශීලී වැඩ කරන පිරිසගේ කාර්යයන් මේ හරහා සිදු කර ගත හැකියි.

AI සම්බන්ධ ILO (2024) විසින් සිදු කරනු ලබන සමීක්ෂණ වාර්තා අනුව, මැද පෙළ හා ඉහළ කළමනාකාරීත්වයේ රැකියාවලට එල්ල වී තිබෙන බලපෑම වැඩි යි. මේ සමගම මෙහි පවතින පහසුව නිසා ඉහළ තීරණ ගන්නා පිරිසට වෙන අය මත යැපෙන්නෙ නැතිව ඉතා ඉක්මනින් තොරතුරු එකතු කරගෙන ගත යුතු තීරණ ගැනීමේ පහසුව පවතිනවා.

අද තිබෙන ChatGpt නිසා ප්‍රාථමික මට්ටමේ මෘදුකාංග නිර්මාණය කරන ඉංජිනේරුවන්ගේ කාර්යයන් අතර ඔවුන් සිදුකරන Cording (කෝඩින්)  වැනි දෑ  ChatGpt මගින්  සිදු කරගත හැකි  නිසා ඔවුන්ට තිබෙන රැකියා අවස්ථා සීමා විය හැකියි.

පළමුවෙන්ම ඔවුන් කල යුත්තේ Artificial Intelligence (AI)  යනු කුමක්දැයි හඳුනා ගැනීම මිස එය වසක් විසක් ලෙස ගෙන වෙන් කර තැබීම නොවේ. මේ පිළිබඳව තවදුරටත් සොයා බලා ඒ සමග කටයුතු කරන්නේ කෙසේදැයි සොයා බැලීම.

ඉන්පසු ඒ සමග අනුගත වී තමා එදිනෙදා කටයුතු කළ කාර්යයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කෙසේද? තමන්ට ඒ පිළිබඳ පවතින දැනුවත්භාවය අඩු නම් ඒ පිළිබඳ දැනුවත්භාවය ලබාගතත යුතුයි. එසේ නිරන්තරයෙන් දැනුවත් (Continuous Learning) වීම තමයි කළ යුත්තේ. මන්දයත් අද අපට සිද්ධ වෙනවා අඛණ්ඩව වැඩකිරීමට (Continuous Working) වගේම ඉගෙන ගැනීමටත්. එවිට ඔවුන්ට ශ්‍රම බලකායට වැඩි කාලයක් පරිගණකය සමඟ රැඳී සිටීමට සිද්ධ වෙනවා.  එම රැඳී සිටීමෙන් ප්‍රයෝජනයක්  ගැනීමට නම් දැනුවත්භාවය අවශ්‍යයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්  ඔහුගේ ව්‍යාපාර ක්ෂේත්‍රය උත්සාහ කරනවා Bitcoin Currency යක් ආරම්භ කිරීමට. ඒ වගේම Central Bank  Digital Currency ඉදිරියට එනවා. චීනයේ දැනටමත් එය සිදුවෙමින් පවතිනවා. ඉන්දියාවත් එසේ ඉදිරියට යනවා. ස්වීඩනයෙත් මේ ක්‍රමය තියෙනවා. අප මෙතෙක් කල් තබාගෙන ආ මූල්‍ය ක්‍රමවේදය ණය මත පවතිනවා.

මේ නිසා මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙකුට තමන්ගේ රැකියාවන් කළ ආකාරය වෙනස් වෙනවා. Blockchain Technology භාවිතා කර කටයුතු කරන කෙනෙකුට ලෝකයේ ඕනෑම තැනක ආයෝජනය කළ හැකියි. මන්දයත්  එය ඉතාම විනිවිදභාවයකින් පැවැතීමයි. යම් පුද්ගලයකුට ඕනෑම කොටස් වෙළඳපොළක අතරමැදියෙක්ගෙන් තොරව තමා සතු රුපියල් සියය වුව ආයෝජනය කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ තත්ත්වයට ඒමට සමහර ව්‍යාපාරිකයෝ අකමැතියි. මන්දයත් ඒ අය බොහෝ විට ගනුදෙනු කරන්නේ අපට පෙනෙන මූල්‍ය වෙළඳපොලේ නොවෙයි. අදෘෂමාණ මූල්‍ය වෙළඳ පොලේ. Shadow Financial Market එකේ. ඒ නිසා මේ තිබෙන මූල්‍ය පද්ධතිය කඩා වැටුණොත් ඊට පරිබාහිරින් තිබෙන දේවලට කුමක් වේදැයි දන්නේ නැහැ. මන්ද වැඩි දෙනෙකුගේ මුදල් තිබෙන්නේ අපට පෙනෙන මූල්‍ය ක්ෂේත්‍රයේ නොවේ. විවිධ තැන්වල. බදු නොගෙවන, බදු සහන සපයන තැන්වල තමයි ඒ මුදල් තිබෙන්නේ. මෙම අදෘෂමාණ මූල්‍ය වෙළඳපල හරි සංකීර්ණයි කිසිම නියාමණයකට ලක්වෙන්නේ නැහැ.  නිසා එකපාර මේ ඩිජිටල් තාක්ෂණයට යෑමට ඒ අය අකමැතියි. ඔවුන් සැලකිලිමත් වෙන්නේ Shadow financial industryයේ තිබෙන මුදල් ටික ටික සුදු කරගෙන මේ විදිහට digital මුදල්වලට යාමට. මේ නිසා මේ ක්‍රමවේදයට යාමේදී බැංකු ක්ෂේත්‍රයේ සේවකයන්ට, විශේෂයෙන්ම රක්ෂණ ක්ෂේත්‍රයේ බැංකු වලට වඩා ඉදිරි පැවැත්ම හොඳ යයි සිතනවා. මන්ද ඔවුන් කරන්නේ අවදානම් කළමනාකරණය. ඒ නිසා ඔවුන් කළ කාර්යයට AI තාක්ෂණය පහසු කරයි. නමුත් රැකියා අවශ්‍යතාවයන් අඩුවීමක් නොවන බව කිව හැකියි. හැබැයි මෙම තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට අලුත් නිපුණතාවන් එකතු කරගත යුතු වෙනවා.

හැමෝම එක වගේ තාක්ෂණය භාවිතා කරන්න හුරු වී නැහැ. විශේෂයෙන්ම වැඩිහිටි පරම්පරාව තවම පුරුදු වී සිටින්නේ බැංකුවට ගොස් ගනුදෙනු කිරීමට. මෙවන් තත්ත්වයක් තුළ යම් තැනක තිබෙන අතිරික්ත සේවා කණ්ඩායම වෙනත් කටයුතුවලට යෙදවිය යුතුයි. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය හා සුහුරු මෙවලම් භාවිත කර වැඩ කළ නොහැකි අයට මේ මෙවලම් භාවිතා කරන්නේ කෙසේද? එනම්, Online facilities, Offline Customers ලා  වෙත ගෙන යාම වැඩිපුර බැංකු සේවකයන්ගේ කාර්යභාරය කර ගතයුතුයි. එවිට ඔවුන් බැංකු කළමනාකරුවන්, නිලධාරීන් Digital Ambassadors  ඩිජිටල් තානාපතිවරු ලෙස කටයුතු කල යුතුයි. එවිට මේවායේ තිබෙන නියම පහසුකම් වැඩි දෙනාට බෙදාදීමෙන්,  මූල්‍යමය  අන්තර්කරණය වැඩිවෙනවා. එය අාර්ථික වර්ධනයට රුකුලක්වේ.

අනිවාර්යෙන්ම ඔව්. හැම සේවාවම පවත්වාගෙන යාමට අවශ්‍ය ව්‍යුහාත්මක ජාලය Network සපයන්නේ විදුලි සංදේශ සමාගම්. එය ඉතාම ආරක්‍ෂාකාරීව තිබිය යුතුයි. අන්තර්ජාල සබඳතාව, විදුලිය රට පුරාම තිබිය යුතුයි. නැතිනම් මේ තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බෑ. විශේෂයෙන්ම ටෙලිකොම් ක්ෂේත්‍රයේ සිටින සේවකයන් ප්‍රමාණය අඩු වුණත් ඒ අය වැදගත් සේවාවක් තබාගෙන යා යුතුයි මේ සන්නිවේදන ජාලය නඩත්තු කිරීමට. මේ ජාලය ඔස්සේ තමයි මූල්‍ය ක්ෂේත්‍රය, ජනමාධ්‍ය ක්ෂේත්‍රය, E – Commerce ආදී හැම ක්ෂේත්‍රයක්ම පවතින්නේ. අපි යම් වෙළඳ භාණ්ඩයක් ඔන්ලයින් මිලදී ගන්නවා නම් ඒ හැම දෙයක්ම සම්බන්ධ වන්නේ මේ හරහා. විදුලි කාර්මිකයෝ (Light technicians) වැනි අය ඉදිරියේදී නොසිටිය හැකියි. මන්ද බොහෝ වේලාවට තිබෙන්නේ wi -Fi සබඳතාවක්. ඒ වගේ තත්ත්වයක අතිරික්ත සේවකයෝ මෙවැනි දේවලට හුරු කර ඔවුන්ගෙන් ප්‍රයෝජනය ගැනීමට මානව සම්පත් කළමනාකරණය කරන අය වග බලා ගත යුතුයි.

එය දෙපැත්තටම බලපානවා. Blockchain තාක්ෂණය භාවිතා කරන හැම කෙනෙකුගේම ආදායම කිසිවකුටත් සැඟවීමක් නැතිව හැමෝටම විනිවිදව තිබෙනවා. නමුත් ඒකට සමහරුන් අකමැතියි. නමුත් එහි තිබෙන අනෙකුත් පැත්ත Cyber Crime කිරීමට, මිනිසුන් රැවටීමට වැනි දේ සිංගප්පූර වැනි රටවල දිනපතා සිදුවෙනවා. මිනිසුන්ගේ තණ්හාව නිසයි මෙහෙම වෙන්නේ. මේ දෙකම සිදුවෙනවා. මේවාට විසඳුම් තාක්ෂණය තුළම තිබෙනවා. ඒක එක් පැත්තකින් වැඩි වන විට අනෙක් පැත්තෙන් සමබර කිරීමට තාක්ෂණය එනවා.

ලංකාවේ සිදුවන කණගාටු දායක තත්ත්වය තමයි Stakeholder consultation එනම් අපගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටින  පාර්ශ්වකරුවන් අතර තිබෙන සංහිඳියාව, සංවාදයන් ඉතාම අවමයි. අපි නිතරම පුරුදු වී සිටින්නේ ඉහළ සිට පහළට එන Top Down Approach  එකට. අපි හිතනවා ඉහළ ඉන්න පුද්ගලයන් හිතන හැමදේම නිවැරදියි කියලා. නමුත් ලෝකයේ අනෙක් තැන්වල එය නොවේ සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට චීනයේ කොමියුනිට් පක්ෂයේ පවතින ජාලය ඔවුන් ගොවිපළවල ගම්වල මිනිසුන් සමඟ පවත්වාගෙන යන සංවාද තුළින් එන කරුණු කාරණා ඉහළ තීන්දු තීරණ ගන්නා තැන් වලට යනවා. නමුත් අපේ රටේ එහෙම වන්නේ නැහැ. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් මේ Stakeholder යටතට ඇතුළුවන සේවකයන්,  පාරිභෝගිකයන්, වෙනත් නියාමකයන් (Regulators), රජය, පුද්ගලික අංශය, විශ්ව විද්‍යාල ආදී සියලූ පාර්ශ්වයන් රැකියා වෙළඳපොළේ තිබෙන ශ්‍රම බලකායේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් විය යුතුයි. මේ දේවල් සමග අපි එකට ගමන් කළොත් තමයි මෙහි තිබෙන අවධානම අවම වන්නේ.

අනිවාර්යයෙන්ම පුළුවන්. නමුත් ඒ සඳහා වර්තමාන පවතින ක්‍රමවේදය විශාල වෙනසක් සිදුවිය යුතුයි. අපි හුරුවී තිබෙන ආර්ථික ක්‍රමයේදී අපි නිතරම බලන්නේ පාරිභෝගිකයා හා නිෂ්පාදකයා ශක්තිමත් කරනවාට වඩා මේ දෙදෙනා දුර්වල කර අතරමැදියා ශක්තිමත් වීමට. මේ පවතින ඩිජිටල් කරනය හා AI  තාක්ෂණයේ පවතින වැදගත්කම තමයි පාරිභෝගිකයා හා නිෂ්පාදකයා යන දෙදෙනාටම තොරතුරු ලබා ගැනීමෙන් දෙදෙනාම එක හා සමානව දැනුවත්භාවයට පත්වෙනවා. එවිට නිෂ්පාදකයා දන්නවා ඔහුගේ නිෂ්පාදනයට අදාළව ඔහුට ලැබිය යුතු මුදල කුමක්ද කියලා. එසේම පාරිභෝගිකයත් දන්නවා අද වෙළඳපොලේ පවතින මිල උච්ඡාවචනය පිළිබඳව.  බොහෝ දුරට අනවශ්‍ය පිරිවැය අඩු කර ඒවා අපේ ආර්ථික කටයුතු වර්ධනය කිරීමට බලපා හැකියි.

අපි භාවිතා කරන ඊමේල් ලිපිනයේ, google driveහි අපේ තොරතුරු තිබෙනවා නම් අපි ගැන ඔවුන් හොඳින් දන්නවා. AI තාක්ෂණයෙන් අපි ඇතුළත් කරන දත්තයක් ඔවුන්ගේ දත්ත ගබඩාවේ තැන්පත් වෙනවා. AI ක්‍රියා කරන්නේ දත්ත මත. අපේ අවශ්‍යතාවය AI හඳුනාගෙන එය ගබඩා කරගන්නවා. ඒ ආශ්‍රයෙන් තමයි අපට නැවත දෙන්නේ. එය ලෝකය ඕනෑම තැනකට අදාලයි. ඉන් ලැබෙන ප්‍රතිලාභ වැඩියි. උදාහරණයක් වශයෙන්, මේ පිළිබඳව සිංගප්පූරුවෙත් දැඩි මතවාද  තිබෙනවා. නමුත් සිංගප්පූරුවේ හැමෝටම DNA වාර්තාවක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එය හැමෝටම වාසිදායක තත්ත්වයක්. අපි හදිසි අනතුරකට/නොදන්න රෝගයකට ගොදුරු වුවහොත් අපේ DNA වාර්තාව තිබෙනවා නම් අවස්ථාවේදී එම වාර්තාව ලබාගන්නා පුද්ගලයාට අපට අදාළ ඖෂධය ක්ෂණිකව සොයා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම තමයි එම වාර්තාව ලබාගන්නා කෙනෙක් එය වැරදියට භාවිතා කළොත් විෂ ද්‍රව්‍යයක් හදලා වුව දිය හැකියි. මෙයාකාරයේ හොඳ පැත්තටත් නරක පැත්තටත් භාවිතා කරන්න පුළුවන්.

පසුගිය කාලයේ ලොකු උනන්දුවක් තිබුණා පාසල් පද්ධතියට  AI හඳුන්වා දියයුතුයි, ළමයින්ට මේවා හුරු කළ යුතුයි කියලා. එය හොඳ දෙයක් නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තවමත් තිබෙන්නේ Analog යුගයේ. එහිදී බොහෝ දුරට සිද්ධ කරන්නේ කටපාඩම් කරල විභාගයක් ලියලා ඒක පාස් වෙලා විශ්වවිද්‍යාලයට යනවා. එවන් ක්‍රමවේදයක් තමයි තිබුණේ. ඒ අධ්‍යාපන ක්‍රමවේදය අදට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. මේ අලුත් තාක්ෂණයෙන් විශේෂයෙන්ම AI වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් අපේ පරම්පරාව ඔවුන්ගේ විශ්ලේෂණාත්මක හැකියාව වැඩි දියුණු කරගත යුතුයි. මේ හැකියාව වැඩිදියුණු කිරීමට තිබෙන එක් විෂයක් තමයි ගණිතය. එය අනිවාර්ය කර තිබෙන්නේ අපි කවර දෙයක් කළත් යම් දෙයක් විශ්ලේෂණය කරලා ඒ පිළිබඳ යම් මතයක් ගොඩනැඟීමට තමයි ගණිත ක්‍රම භාවිතා කරන්නේ. ගණිතය වැනි විෂයක් කඩපාඩම් කරලා විභාගය ලියන්න බෑ. එහි තිබෙන මූලධර්ම හරියට ඉගෙන ගත යුතුයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ ගණිත විෂය උගන්වන ගුරුවරු ඒ පිළිබඳව අත්දැකීම් බහුල අයද යන්න ගැටලුවක් පවතිනවා. මේ ගැන සොයා බැලුවාම පසුගිය වසර පහ තුළ අ.පො.සාමාන්‍ය පෙළ විභාගය ගණිත විෂය සමත් වන සිසුන් පිරිස 24%ක්. ඒ සමගම ගණිත විෂය සමත් යයි තීරණය කරන ලකුණු ප්‍රමාණය 18% ත් 20%ත් අතර දෝලනය වෙනවා. මේ කාරණා එක්ක අපේ රටේ ජනගහනයෙන් අ.පො.ස සා/පෙළ විභාගයේදී ගණිත විෂය සමත් වන්නේ 24%ක් නම් ඔවුන්ට අවශ්‍ය තරම් විශ්ලේෂණාත්මක හැකියාව එන්නේ කොහොමද

ඒ නිසා වහාම රජයන් කළ යුත්තේ මේ ගණිතය විෂය උගන්වන ගුරුවරුන්ට හරි පුහුණුවක් ලබා දීලා පාසල්වල ගුරුවරු ප්‍රමාණය වැඩි කළ යුතුයි. අපේ මතයක් තිබෙනවා අ.පො.ස සා/පෙළ ගණිත විෂය  අසමත්නම් ඔහුට/ඇයටඅ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් විය නොහැකි කියලා. එය වැරදියි. අ.පො.ස උසස් පෙළ කිරීමට අ.පො.ස සාපෙළ විභායේ ගණිත විෂය අසමත් වීම ගැටලුවක් නොවෙයි. හැමෝටම උසස් පෙළ කරලා විශ්ව විද්‍යාලයට ගිහින් වෛද්‍යවරු, ඉංජිනේරුවන් වීමට බැහැ. “ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත” කියනවා වගේ ඔහුට හෝ ඇයට කළ හැකි දේ ඔහු කැමති දේට ඉඩ දිය යුතුයි. එසේ නැතුව ගණිතය සමත් වී උසස් පෙළ කළ යුතු යැයි මතයේ සිටීම වැරදියි. ගණිතය කරන අයට ඒ විදිහට අවස්ථාව දිය යුතුයි. ඒ වගේම හැමෝටම ගණිතය අපහසු විෂයක් නොවන්නට ඉගැන්වීමට පහසුකම් සැපයිය යුතුයි. එසේ කළොත් ඉදිරියට එන AI මඟින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. මන්ද අපේ රටේ ජනතාවගේ හැකියාව ඕන තරම් තිබෙනවා. නමුත් අධ්‍යාපන ක්‍රමයෙන් ඒ හැකියාවන් ඔපමට්ටම් වෙන්නෙ නෑ. අපේ අධ්‍යාපන ක්‍රමය තවමත් සකස් වී තිබෙන්නේ සිසුන් සත්තු වත්තේ දඩයම් කිරීමට යොමු කරන්න. සත්තු වත්තේ දඩයම් කිරීම අපහසු දෙයක් නොවේ. නමුත් මහ කැලයේ දඩයමට පුරුදු කළ යුතුයි. මහ කැලයක දඩයම් කරන්නාක් මෙන් කැලෑව හඳුනාගත යුතුයි. සතා හඳුනාගත යුතුයි, දඩයම හඳුනාගත යුතුයි, තමන් බේරී එන විදිහ දැනගත යුතුයි, මස් කළාම මස් ටිකට කරන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනි ඒ වගේ විෂයන් රාශියක් තිබෙනවා. දූපතක ඉන්න අපිට මේ මහා කැලයට ( මුළු ලෝකයටම) ඒ වගේ දේවල් කළ හැකියි. අපි තාමත් ලෝකයට ඉතුරු කරලා තිබෙන්නේ අපේ මුතුන් මිත්තන් කරලා ඉතිරි කරපු දේවල්. තවමත් මිනිස්සු එන්නේ සීගිරිය, අවුකන, වැව් පරාස බලන්න. ඒවා ඓතිහාසික නිර්මාණ.ඒවා කරන්න අපේ රටේ මිනිස්සුන්ට හැකියාව තිබුණා නම් ඒවා තවමත් අපේ ලේ වල තිබෙනවා. නමුත් තවමත් අපි ශිල්පය වෙනුවට දැනුම හොයාගෙන යන අධ්‍යාපන ක්‍රමයකට ගිහින් අපිට තිබූ ඒ අවස්ථාවන් නැති කරගෙන තිබෙනවා.

මේ සම්බන්ධ uni ගෝලීය වෘත්තිය සමිති ජාලයත් අපි දකිනවා, ලංකාවේ පමණක් නොව ලෝකයේ  හැම තැනකම මේ පිළිබඳව අපේ වෘත්තිය සමිති නායකයින්ගේ දැනුවත්භාවය අඩුයි. අපේ ජාලයේ තිබෙන විශේෂත්වය තමයි අපිට පුළුවන් ලෝකයේ හැම තැනකම තිබෙන දේවල් එකම තැනකට ගෙන ඒමට. එසේ අරගෙන අපි දැනටමත් සිදු කරන්නේ ඒ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා. ඉදිරියේදී පැමිණිය හැකි තර්ජනවලට වෘත්තීය සංගම් කටයුතු කළ යුත්තේ කෙසේද? රැකියා අවස්ථාවන් රැකගත යුත්තේ කෙසේද? අලුත් රැකියා අවස්ථාවන් ජනගත කර ඒ අය කොහොමද ඒ වෘත්තීන්වල නියැලෙන්නේ ඒ අය දැනුවත් කිරීම තමන්ට එන අභියෝගවලට මුහුණ දී කේවල් කිරීම කරන්නේ කොහොමද කියන කාරණය දැනට අපි සිදු කරනවා. ඉදිරියේදී කුමක් සිදුවේදැයි අපිට කිව නොහැකියි. නමුත් අපි නිතරම උත්සාහ ගන්නේ වෘත්තිය සමිති නායකයින්ගේ දැනුවත්භාවය වැඩි කරලා තර්ජන හා අවස්ථාවන් නිවැරදිව හඳුනාගෙන ඒ අනුව රැකියා අවස්ථාවන් බේරාගෙන මානව කේන්ද්‍රීය සංවර්ධනයක් කරා පෙළඹවීමට. එසේ නැතිව සුළු පිරිසකට තම වත්කම් වැඩිකර ගැනීමට කරනු ලබන කටයුත්තක් අප අනුමත කරන්නේ නැහැ.

රටෙන් පිට ජීවත්වන කෙනෙකු වශයෙන් මම දකින්නේ අපේ රටේ තිබෙන සම්පත් ප්‍රමාණය අනෙක් හැම රටකටම වඩා වැඩියි. එසේත් නැතිනම් ඒ තත්ත්වයෙන්ම තිබෙනවා. නමුත් අපි ඒ සම්පත් උපයෝගී කරගෙන රටේ සංවර්ධනයට, මිනිස්සුන්ගේ සංවර්ධනයට යොමු කරන්නට නිවැරදි දර්ශනයක් සහිතව දේශපාලන ගමනක් යන්නට වුවමනා කරන නායකත්වයක් නිර්මාණය කර ගත යුතුයි. මා සඳහන් කළ පරිදි මේ පද්ධතිමය වෙනස ඇති කරන්නට අවශ්‍ය සමාජ කතිකාවට අප සියළුම දෙනා සහභාගී විය යුතුයි. ඒ සඳහා මාධ්‍යවේදීන් වෘත්තීය සමිති  නායකයින් විවිධ දේශපාලන මත දරන අය එකතු විය යුතුයි. එසේ එකතු වී අපිට අවශ්‍ය කරන පද්ධතිය කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා වෙනසකට යාමත්, ඒ ඉලක්කය කරා ජනතාව පෙළගැස්වීමත් කළ යුතු වෙනවා. එසේ වුවහොත් අපේ ආර්ථිකය වර්ධනය විය යුතු ආකාරය කුමක්දැයි ඉදිරිපත් කළ හැකියි. ඒ තුළින් තමයි අපේ ආර්ථිකය ණය බරින් සැහැල්ලු වෙන්නේ. ණය බරින් නිදහස් වීමට තවත් ණය ගන්නවා නම් නැවතත් යන්නේ පරණ තත්ත්වයටමයි.  අපි එකතු වුණොත් අපට හැකියාව තිබෙනවා.   නමුත් අපේ ආකල්ප වෙනස් විය යුතුයි. අපේ අගයන් වටිනාකම් වෙනස් කරගත යුතුයි. මේ දේවල් කළොත් අපි හැමෝටම සැබෑ අනාගතයක් නිර්මාණය කර ගැනීමට හැකි වෙයි.

Leave a Reply