‘සර් සම්පත් ඇවිල්ලා’
‘..කවුද.. බදුල්ලේ බඩාද..?’ බරාඳයේ හාන්සි පුටුවේ දිගා වී සිහින දකිමින් සිටි මහින්ද හිස ඔසවන්නේ නැතිවම ඇසුවේය.
‘..නෑ සර් මිද්දෙනියේ අපේ සම්පත්..’ ගෝලයා මහින්ද අසළටම පැමිණ සිහින් හඩින් කීවේය.
‘..මොකා හරි එන්න කියනවා.. දැන් මාව බලන්න බල්ලෙන්වත් එන්නෙ නෑ..’ මහින්ද කීවේ තරමත පසුතැවිල්ලකිනි.
ගෝලයා කළ සංඥාවකින් මිදුළේ කොණේ සිටි සම්පත් බරාඳයට ගොඩ වූයේ වෙවුලන දෙපයිනි.
‘..හා මේ හාදයාද..?’ හාන්සි පුටුවේ ඇන්දේ රඳවා ගෙන සිටි දකුණු කකුළ පහතට ගත් මහින්ද කීවේ තරමක් උස් හඩිනි.
‘..ඔව් සර් හරි වැඩේනෙ වුණේ.. පොලිසියෙන් මාව පන්නවා..’ මිද්දෙනියේ සම්පත් කීවේ අඳෝනාවක් සේය.
‘..ඒ මොකටද..? ’ මහින්ද ඇසුවේ තරමක් සැරෙනි.
‘..සර් අර අයිස් පැක්ටරිය ගැන..’ සම්පත් කීවේ වටපිට බලා සැක හැර කීවේය.
‘..මොන අයිස් පැක්ටරිය ද..?’ මහින්ද ඇසුවේ පුදුමයෙන් මෙනි.
‘..සර් මම අයිස් පැක්ටරියක් දාන්න කතා කෙළේ සර් ධීවර ඇමති වෙලා ඉන්න කාලෙ නෙ..’
‘..ඒ කොච්චර කාලෙකට ඉස්සෙල්ලාද..? මට මතකත් නැහැ..’ මහින්ද කීවේ අහක බලා ගෙනය.
‘..ඔව් සර් කතා කළාට කර ගන්න බැරි වුනානේ.. පස්සේ යන්තම් පොටක් පෑදුනේ කෙහෙල්බද්දර පද්මේ කියන හාදයා හම්බු උනාට පස්සෙ නෙ..’
‘..මොකා? අර කුඩුවලට අල්ල ගෙන ඉන්න එකාද..?’ මහින්ද ඇසුවේ ගොරක ගෙඩි දෙකක් මෙන් රතුව තිබු ඇස් දෙක ඔරවා ගෙන ය.
දුම් දමමින් තේ කෝප්පයක් ගෙන ආ ගෝලයා එය සම්පත් අතටම දී මහින්ද දෙස බැලුවේ ඔහුටත් තේ අවශ්‍යදැයි අසන්නාක් මෙනි.
‘..මට එපා..’ මහින්ද කීවේ හඩ බාල කරන්නේ නැතිවම ය.
‘..දවසක් මගෙ යාළුවෙක් කිව්වා අයිස් පැක්ටරියක් දානවනම් කෙහෙල්බද්දර පද්මේ උදවු කරාවි කියලා.. එයා කිව්ව විදියට මිනිහ ළඟ සල්ලිත් තියෙනවා..එයා වැඩෙත් දන්නවා.. ඉතින් මම හිතුවා මිනිහ එක්ක සෙට් වුණොත් අයිස් පැක්ටරියෙ වැඩේ කර ගන්න පුළුවන් කියලා.. දැන් දේශපාලනය කරලත් ගොඩ එන්න බෑනෙ සර්.. හරි හමන් රස්සාවකුත් නැහැනෙ..’ සම්පත් දිගටම කියාගෙන ගියේය.
‘..ඉතින් උඹ ඌත් එක්ක කතා කරාද..?’ මහින්ද පාර මුහුණ දෙස බලා ගෙනම ඇසුවේය.
‘..ඔව් සර්. මිනිහා කිව්වා අයිස් පැක්ටරියකට අවශ්‍ය බඩු ඔක්කොම කන්ටේනර් දෙකක ගෙනැල්ල තියෙනවා.. ඇවිල්ලා අර ගෙන යන්න කියලා.. බිස්නස් එක කරන හැටි පස්සෙ දවසක ඇවිල්ලා කතා කරමු කිව්වා.. පස්සෙ කඩි මුඩියෙම මම ගිහිල්ලා කන්ටේනර් දෙක ගෙනාව.. එයාම තමයි ලොරි හොයල දුන්නෙත්..’ සම්පත් පශ්චාත්තාප වූයේය.
‘..ඉතින් ඒවායෙ තිබුණෙ අයිස් හදන මැෂින්ද..?’ මහින්ද ඇස් පිල්ලන් නොගසාම සම්පත්ගෙන් විමසුවේය.
‘..නෑනෙ සර් ඒවයෙ තිබිල තියෙන්නේ අයිස් කියන මත් ද්‍රව්‍යයක්.. සීඅයිඩියෙන් ඉන්දුනිසියාවට ගිහිල්ලා උන් අල්ලගෙන ආවට පස්සේ තමයි මම දැන ගත්තේ..’
‘..අනේ මගේ කට. උඹ හරි තොත්ත බබා.. යකො ඒ අයිස් කියන්නෙ මාළුවලට දාන අයිස් නෙවෙයි.. කුඩු..’ මහින්ද පැහැදිලි කෙළේය.
‘..දන්නෙ නෑනෙ සර්.. මට ඕන වුනේ දේශපාලනෙත් අප්සෙට් ගහලා ගිය නිසා කොහොම හරි බිස්නස් එකක් කරල කියක් හරි හම්බ කර ගෙන පාඩුවෙ ඉන්න..’ සම්පත් බැගෑපත් වූයේය.
‘..හරි උඹට බඩ යන්නම හම්බ වේවි.. දැන් ඉතින් මට මොකද කියන්නේ..’මහින්ද ඇසුවේ කෝපයෙනි.
‘..සර් මට බේරෙන්න විදියක් කියන්න.. දැන් මට ගෙදර ඉන්න බැහැ.. ගමේ ඉන්නත් බැහැ.. උන් ඔක්කොම පොලීසියට ඔත්තු දෙනවා.. දැන් සති ගානකින් නින්දක් නැහැ.. කොයිවෙලාවේ එස්ටිඑප් එකෙන් පනීද කියන්න බැහැ.. අනේ බුදු සර් මාව බේර ගන්න..’ දඩස් ගා බිම වැටී දිගා වූ සම්පත් මහින්ද ගේ දෙපා අල්ලා ගෙන ඉකි ගසමින් ඇඩුවේය.
හාන්සි පුටුවේ අත් දෙකට බර දී කෙළින් වු මහින්ද බිම බලා ගත්තේ ඇසට නැගුණ කඳුළු බිඳු සඟවා ගැනීමට මෙනි.
‘..උඹ දන්නේ නැද්ද සම්පත් අපට දැන් බලයක් නැහැ.. උන් මම හිටිය ගෙයිනුත් එළවා දැම්මා.. දැන් මම ඉන්නෙ මාවත් කොයි වෙලාවක හරි රනිල් වගේ හිර අඩස්සියට දාවි ද කියලා..’ ගැඹුරු එහෙත් සන්සුන් හඩකින් මහින්ද කීවේය.
‘..අනේ සර් මට දැන් යන්න තැනක් නැහැ.. උන්ට අහු වුණොත් මාව මරන්නේ චප්ප කරලා.. මට තියෙන්නේ වහ බීල මැරෙන්න..’ සම්පත් කලිසමේ සාක්කුවෙන් කුප්පියක් එළියට ගනිමින් කීවේය.
‘..පිස්සු කෙළින්නෙ නැතිව හිටපං..’ මහින්ද උපදේශයක් දුන්නේය.
‘..ඉතිං සර් මම මොනවද කරන්නෙ.. මගෙ හිටපු යාලුවො කර අරිනවා..’ දෙපා මුල වැටී සිටි සම්පත් කීවේ කෙඳිරි ගෑමක් සේය.
‘..මම කියන්නම්..උඹ පොලිසියට බාර වෙයන්..’ නැවතත් හාන්සි පුටුවේ දිගා වු මහින්ද ස්වරය ටිකක් බාල කොට කීවේය.
‘..සර් කියන්නෙ ඇත්තටම ද..? මට ආයිත් පණ පිටින් එන්න හම්බු වෙන්නෙ නැහැ..’
‘..උඹ ලොකු බේබිත් එක්ක ගිහිල්ලා උසාවියට බාරවෙයන්.. එයා හොඳ ලෝයර් කෙනෙක් අල්ලා දේවි.. වියහියදම් ගැන හිතන්න එපා.. ඒවා මම බලා ගන්නම්..’
‘..අනේ සර් මට ජූලම්පිටියෙ අමරෙට වෙච්ච වැඩේ වේවිද..?’ සම්පත් තරමත් පසු බෑවේය.
‘..අමරෙට මොකද උනේ..’ මහින්ද ඇසුවේ තරමක උස් හඩිනි. ‘..ඌ අර යසට හිරේ ඉන්නෙ.. කවද හරි අපි බලයට ආවට පස්සෙ ඌ ගෙදර.. යකෝ ඔය ජෙප්පො බලයෙ ඉන්නේ තව ටික දවසයි.. ඊළඟ ඡන්දෙන් අපි දිනන්නෙ කප් ගහලා.. එතකං ඉවස ගෙන හිටපං..’ මහින්ද එක දිගටම කියා ගෙන ගියේය. සම්පත් මහින්දගේ දණ හිසට අත් තබා නැගි සිටියේ ආයාසයකින් තොරවය.

- සම්පත් ගේ අයිස් පැක්ටේරිය.. - October 3, 2025
- ට්‍රම්ප් අවුරුද්දට තඹුත්තේගම ගිහිල්ලා.. - April 22, 2025