You are currently viewing මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3):

මාලිමාණ්ඩුව හඳුනා නොගත් ඉරි තුන(3):

මාලිමාණ්ඩුවට ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඇත්ත බොරුවෙන් වෙන් කර ගැනීමට උපයෝගී කර ගන්නේ ස්වාධීන මහජන මාධ්‍ය ආයතන ක්‍රමයයි. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර, අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ද අය-වැය මගින් වෙන් කර දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දී එහි ඇති සුවිශේෂ වැදගත්කම නිසයි. ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ස්වාධීන මහජන මාධ්‍ය ආයතන බවට පත් කළ හැකිය. මේ සඳහා උපදෙස් ලබා ගැනීමට විජයානන්ද ජයවීරයන් වැනි ප්‍රවීනයෙක් ද රටට සිටී.

ස්වාධීන මහජන මාධ්‍ය ආයතන මගින් වාණිජ හෝ දේශපාලන බලපෑම්වලින් තොර සමබර තොරතුරු, පවුලේ සැමගේ විචාරාත්මක සිතීම වඩන අධ්‍යාපනික වැඩසටහන්, සහජීවනය ප්‍රවර්ධනය කැරෙන සංස්කෘතික වැඩසටහන්, රාජ්‍ය පාලනය සඳහා පුරවැසි සහභාගිත්වය ප්‍රවර්ධනය කරන වැඩසටහන්, ජීවිත හා දේපළ ආරක්ෂාවට බලපාන විශ්වසනීය හදිසි තොරතුරු, වෙළඳ දැන්වීම්වලින් තොරව රසවින්දනය ප්‍රවර්ධනය කැරෙන උසස් සංගීන, නාට්‍ය හා කලා වැඩසටහන් මහජනතාවට ලබා දේ. එවිට බොරු තොරතුරු සමාජගත කරන ආයතන හෝ පුද්ගලයන් සමග පැටලී, කාලය කා දමන්නේ නැතිව පාලකයන්ට විවේක බුද්ධිය මෙහෙයවා ප්‍රශස්ත තීරණ ගැනීමට හැකි වේ.

මාලිමාණ්ඩුව පොදු සතුරා හඳුනා ගැනීමේ ඉර ඇඳ ගෙන නැත. ආණ්ඩුවට වර්ගවාදය, අධිකාරීවාදය හා නව ලිබරල්වාදය පරාජය කිරීමේ වුවමනාව තිබෙන බව පැහැදිලව පෙනේ. එහෙත් එවැනි ම වුවමනාවක් ඇති අනික් පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන මිතුරු බලවේග ලෙස නොසලකා කටයුතු කරයි. එ නිසා එවැනි පක්ෂ මාලිමාණ්ඩුවට එරෙහිව තරග වැදීමට තල්ලු වී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් උතුර, නැගෙනහිර සහ කඳුකරයේ පළාත් පාලන ආයතනවල බලය ආණ්ඩුවෙන් ගිලිහී තිබේ. එමගින් සියලු ජනවර්ගවල සහයෝගය ඇති ආණ්ඩුවක් ලෙස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැවති පිළිගැනීම පළුදු වී තිබේ. එබැවින් ආණ්ඩුව හිතට එකඟව වර්ගවාදය, අධිකාරීවාදය හා නව ලිබරල්වාදය, පොදු සතුරා ලෙස පැහැදිලි ඉරක් ඇඳ ගත යුතු නො වේ ද? එවිට පොදු සතුරාට එරෙහි සියලු පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන මිතුරු බලවේග ලෙස සැලකිය හැකි බැවින් මෙතරම් අපහසුවක් නැතිව මාලිමාණ්ඩුවට බොහෝ දුර යා හැකි නො වේ ද? ලබා ගත් ජයග්‍රහණ රැක ගෙන නව ජයග්‍රහණ ලද හැකි නො වේ ද?

මාලිමාණ්ඩුව අභියෝගවලට මුහුණ දෙන කොට හිටගත යුතු පැත්ත සලකුණු කිරීමේ ඉර ඇඳ ගෙන නැත. ප්‍රමුඛතා පදනමක් මත මානව අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමෙන් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දිය නොහැකි ද? නිදසුන් වශයෙන් කොටහේන පාසල් දියනියගේ ප්‍රශ්නයේ දී ළමයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දී, චූදිතයන්ගේ ද අයිතිවාසිකම් ආරක්ෂා කළා නම්, ආණ්ඩුව සියලු පුරවැසියන්ගේ ගෞරවයට හේතු වන්නේ නැද්ද? ලාංකේය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාව දී, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර, ඒවා අප්‍රමාදව ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කළා නම් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ප්‍රවර්ධනය වෙන්නේ නැද්ද?

මේ සියල්ලටමත් වඩා සිවිල්, දේශපාලන, සමාජ හා ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී උතුර, දකුණ, නැගෙනහිර, මලයහ සහ එතෙර ශ්‍රී ලාංකේය පුරවැසියන් එකතු කර ගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුලපිරුවොත් ‘මුළු රටම එක මිටට’ ආණ්ඩුව සමග බලමුළුගැන්වෙන්නේ නැද්ද? එවිට හාන්ස්ලා, උඩුගමසූරියලා සමග එක පෙළට-රට ගොඩනැගීමට ලොවපුරා වෙසෙන දෙමළ, මුස්ලිම්, මැලේ සහ බර්ගර් බුද්ධිමතුන් ද පැමිණෙන්නේ නැද්ද? ණය උගුලෙන් ගැලවී ‘පොහොසත් රටත්-ලස්සන ජීවිතයක්’ ගොඩනැගීමට අවැසි ජවබලය උපදින්නේ එමගින් නො වේ ද?

Leave a Reply