චලනය ගතිකයක් වන ලෝකයේ අහඹු සිදුවීම් නැත. සමහර සිදුවීම් අපට අහඹුවක් සේ පෙනෙන්නේත් එසේ තේරුම් ගන්නේත් සමස්ත ක්‍රියාදාමය ගැන තේරුමක් නැති නිසා හෝ ඒ ගැන උනන්දු නොවන නිසාය. එවැනි සිදුවිම් පරික්ෂාවෙන් විමසා බලන්නේ නම් සෑම සිදුවිමක්ම නිසියම් ක්‍රියාදාමයක කොටසක් බව තේරුම් ගැනිම අපහසු නොවේ. විශේෂයෙන් වෙනස්වීම් වේගයෙන් සිදුවන තත්වයක් යටතේ සම්පූර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනිමට අපහසු වුවහොත් ක්‍රියාදාමය පාලනය කිරීමට හෝ වෙනස් කිරිමට නොහැකිය.
අන් සියලු ක්‍රියාකාරකම්වලට වඩා මෙය දේශපාලනය සම්බන්ධයෙන් වැදගත් ය. දේශපාලන සිදුවිම් තේරුම් ගැනිමටත් එය සමාජයේ වැඩි දෙනාගේ යහපතට වෙනස් කිරිමටත් සම්පුර්ණ ක්‍රියාදාමය තේරුම් ගැනීම තිරණාත්මක ය. සිද්ධි දාමයක් වුවත් ඒ හැම දේම එකසේ වැදගත් නොවේ. වරකට වැදගත් වන්නේ එක දෙයක් පමණි. එය තේරුම් ගන්නේ නම් දේශපාලනයේ තිරණාත්මක වෙනසක් කළ හැකිය. වැදගත් තීරණාත්මක දේ නියමාකාරයෙන් අවබෝධ කර ගෙන ඒ අනුව වඩාත් සුදුසු වැඩ පිළිවෙළ සකස් කර ගැනිමට අපොහොසත් වුවහොත් එවැනි අය ඉතිහාසයේ කුනු බක්කියට වැටීම වැළැක්විය නොහැකිය. ගෙවි ගිය ඉතිහාසය දෙස විවේචනාත්මකව සහ විශ්ලේෂණාත්මකව බලන්නේ නම් කුණු බක්කියට වැටුණු අවස්ථා අපමණ දැකිය හැකිය.
පසුගිය ජනාධිපතිවරණය සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණය ලංකාවේ මෑත ඉතිහාසයේ තිරණාත්මක සිද්ධියක් බවට කිසිදු සැකයක් නැත. එය තීරණාත්මක වන්නේ මිට පෙර පැවති 2919 සහ 2020 ඡන්ද විමසීම්වලින් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට තුනක් ලබා ගත් ජාතික ජනබලවේගය මෙම මැතිවරණවලින් අනෙක් සියලුම අපේක්ෂකයන් සහ පක්ෂ පරදවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා නොවේ. ජනාධිපතිවරණයේ දී අනුර කුමාර දිසානායක ලබා ගත් ඡන්ද ප්‍රමාණය සියයට 50 ඉක්මවා යෑමට නොහැකි වුවත් පසුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කිසිම අවස්ථාවක ලබා ගැනීමට නොහැකි වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගත හැකි විය. 1978 දී ජේ ආර් ජයවර්ධන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කෙළේ එය කිසි දා කිසිම පක්ෂයකට තුනෙන් දෙකක බලයක් ඔහු හඳුන්වා දුන් ඡන්ද විමසීමේ ක්‍රමය යටතේ ලබා ගැනිමට නොහැකි වනු ඇතැයි කපටි බලාපොරොත්තුවෙනි. ඒ අනුව ඔහු හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම වයවස්ථාවත් ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂයේ බලයත් සදාකාලිකව පවතිනු ඇතැයි අදහස් කරන්නට ඇත.
එහෙත් සියල්ල ඒ ආකාරයෙන්ම සිදුවූයේ නැත. කලක් ගත වුවද වසර දාහතකින් පසුව ඔහු ගේ එක්සත් ජාතික පක්ෂයට බලය අතහැර දැමිමට සිදු වූ අතර ඉන් පසුව 1977 ලබා ගත් හයෙන් පහේ බලය නැවත ලබා ගැනිමට සිහින මැවීමටපවා බැරි තත්වයකට පත්ව ඇත. එය දේශපාලන අබ්බගාතයෙකුගේ තත්වයට පත්ව ඇත. එය නුදුරු අනාගයේ දී හෝ වෙනස් වනු ඇතැයි සිතිය නොහැකිය.
අපට වඩාත් වැදගත් වන්නේ 77න් ආරම්භ වූ ක්‍රියාදාමය රට බංකොළොත්මක් භාවය දන්වා වර්ධනයට/පිරිහීමට පත් වූ ආකාරයයි. 77න් පසුව හඳුන්වා දුන් (ඒකාධිපති) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලිබරල් ධනවාදය වඩාත් ලිබරල් ලෙස සිංහසනාරූඪ වූ අතර එය සමාජ දේශපාලන ප්‍රවාහයේ පිළිබිබු වූයේ වසර තිහක ජාතිවාදි/බෙදුම්වාදි යුද්ධයකිනි. රටම මහත් ව්‍යසනයකට පත් කළ අවි ගැටුම වයික්කාල් වෙරළේ දී එල්ටිටීඊ නායකයන් මරා දැමීමෙන් අවසන් වුවද ජනතාව වින්දිතයන් බවට පත් කරන ආර්ථික දේශපාලන ක්‍රියාදාමය අවසන් වූයේ නැත.
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාව රටේ පරිපාලනයෙන් ඈත් කොට හුදු ප්‍රේක්ෂකයන් බවට පත් කිරීම දිගටම සිදු විය. කලින් කලට සාධාරණ සහ නිදහස් ඡන්ද විමසීම් පැවැත් වුවද බලරහිත කරන ලද ජනතාවට කිසිදු අස්වැසිල්ලක් ලැබුනේ නැත. ජනවරමක් ලබා ගත් පාලකයන් ජනතාවගේ වර්තමානයත් අතිතයත් උකසට තබා ගත් ණය ඔවුන්ගේම සුඛවිහරණයට හිරිකිතයක් නැතිවම යොදා ගැනිම යහපාලනයක් විය. ගත් ණය ඔවුන්ගේම සුඛවිහරණයට යොදා ගත් නිසා ගත් ණය හෝ පොලිය ගෙවා ගත නොහැකි ව රට බංකොළොත් විය. ඊට ප්‍රතිචාර වශයෙන් ජනඅරගලයක් පැන නැගිණ. එය තවමත් අප මතකයේ රැව් පිළිරැව් දෙන ප්‍රපංචයක් නිසා ඒ ගැන වැඩි විස්තර කිරීම අනවශ්‍ය ය. එහෙත් එය එවකට සිටි පාලකයන්ට තවත් ධන උල්පතක් වූ ආකාරය නිවාස සහ දේපොළ හානි වශයෙන් ලබා ගත් වන්දි මුදල් සම්භාරයෙන් පැහැදිලිය.

අද ජනාධිපති සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් හෙළි කරන විස්තරවලින් පසුගිය කාලාන්තරයේම සිදු කරන ලද වංචා දුෂණ මෙන්ම මහ දවල් කළ හොරකම් ද පැහැදිලිය. ඒවා අලුත් දේ නොවන නමුත් එහි පරිමාණය සහ පරිමාව ජනතාව නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. එමනිසා එම හෙළිදරව් කිරීම් සහ ඔවුන්ට නිතියෙන් දඬුවම් ලබා දිමත් අප්‍රමාදව කළ යුතුය. ඒ ගැන කිසිම විවාදයක් නැත.
එහෙත් අප මුලින්ම සඳහන් කළ ආකාරයට හොරකම දූෂණය වංචාව අහඹු සිදුවීම් නොව ක්‍රියාදාමයක කොටස් බව තේරුම් ගත යුතුය. වඩාත් සරල ප්‍රශ්නයක් මතු කරන්නේ නම් දේපොළ හානියකට වන්දිය උපරිම වශයෙන් ගෙවිය හැක්කේ රුපියල් ලක්ෂ දෙසිය පනහක්යැයි සඳහන්ව තිබිය දීත් කෝටි ප්‍රකෝටි ගණන් වන්දි වශයෙන් ගෙවිමට හැකි වූයේ කෙසේද? 2009 ජනවාරි මාසයේ මහ දවල් අධිආරක්ෂක කලාපයක් තුළ කුරිරුලෙස මරා දැමු ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති බව හෙළිවිමට වසර දහසයක් ගත වූයේ ඇයි? රටම කම්පාවට පත් කළ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගතුග මෙතෙක් ජනතවට හෙළි කිරීමට නොහැකි වූයේ ඇයි?
සරල පිළිතුර නීතියේ පාලනය නැතිනම් නිතියේ ආධිපත්‍යය බිඳ වැටීම ය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇත්තේ බලය දරණ පුද්ගලයන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් විධායක බලය හිමි ජනාධිපති නිසාම නොවේ. වරද ඇත්තේ විධායක ජනාධිපති ගේ නම් ප්‍රශ්නයට විසඳුම වන්නේ එය දරන පුද්ගලයා වෙනස් කිරිම ය. 1978 සිට සිදු වූයේ එයයි. එදා මෙදා තෙක් පත් වූ ජනාධිපතිවරුන් කවුරුන් වුවත් රට පරිහානියට පත්විම වැළැක්වීමට හැකියාවක් තිබුණේ නැත. සියලු දුෂ්චරිත ආර්ථිකයේ උද්ධමන වේගයෙන් වැඩි විය. පාලකයන් ජනතා ඡන්දයෙන් තේරි පත් වුවද ඔවුන් සේවය කෙළේ ජනතාවට නොව තමන්ගේම යහපත සඳහාය. සංවර්ධනයේ නාමයෙන් නොයෙකුත් ව්‍යාපාති රටේම ධනය යොදා හෝ පොලියට විදෙස් රටවලින් ලබා ගෙන හෝ ආරම්භ කෙළේ ඔවුන්ට ලැබෙන ප්රතිලාභ සඳහාය. අන්තිමට රටම හිඟමනට පත්ව පාලකයන් සහ පාලනය ජනතාවට එපා විය. ගෝටා ගෝ හෝම් වැනි සටන් පාඨ දේශපාලන අවියක් වූයේ එම නිසාය. සිස්ටම් චෙන්ජ් සටන් පාඨයක් වූයේ ද එම නිසාය.
එමනිසා වංචා දුෂණ සහ හොරකම නැති කිරීමට මුල පිරිය යුත්තේ ඒවාට පදනම් වු ක්‍රමය එනම් ආණ්ඩුක්‍රම වයවස්ථාව වෙනස් කිරීමෙනි. 1978 මෙම කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන් දින සිටම විපක්ෂයේ දේශපාලකයන්ගේ මෙන්ම ජනතාවගේ ඉල්ලිම වූයේ මෙම ක්‍රමය වෙනස් කළ යුතුය යන්නයි. ජාතික ජනබලවේගයේ සටන් පාඨය වූයේ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනිමය. ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගත යුත්තේ එතැනිනි. වෙරළ සහ පාරවල් පවිත්‍ර කිරීම අවශ්‍ය දෙයක් වුවද නීතියේ පාලනයක් නැති රටක වෙරළ හෝ පාලනය ක්ලීන් වන්නේ ක්‍රමය වෙනස් කිරීමෙන් පමණි. ක්‍රමය වෙනස් කිරීම යනු පුද්ගලයන් වෙනස කිරීම නොව දූෂණයට, වංචාවට සහ හොරකමට මගපාදන නීතිරීති සහ විධික්රම වෙනස් කිරීමෙනි. එය වසර තුනකින් හෝ ඊට අඩු කාලයකින් කරන දෙයක් නොව වහාම කළ යුතු දෙයකි. රෝගයේ නිධානය එයයි. ඊට විසඳුම් නැතිව ශ්‍රී ලංකාව ක්ලීන් වන්නේ නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පානයේ විශේෂඥයෙකු වන නිහාල් ජයවික්‍රම මහතා පවසන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සති ගණනකින් කළ හැකි කාර්යකි. වැදගත් වන්නේ ඒ සඳහා යොදා ගන්නා ක්‍රියාවලියයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාලනය වන සියලු රටවැසියන්ගේ අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළයි. ඒ සඳහා ද පූර්වාදර්ශ ඇත. සරදමක් වු යහපාලන සමයේ ජනතා අදහස් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් තිබිණ. එහි සමහර අඩුපාඩු තිබුණ ද ආදර්ශමත් පියවරකි. එය වඩාත් ජනතාවාදී පිවිසුමකට මග පෙන්වීමකි.
අනිත් කාරණය විධායක ජනාධිපති ක්‍රමය අත්හැර වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට ආපසු යෑම ද විසඳුමක් නොවේ. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අද එහි නිජ බිම වූ එක්සත් රාජධානියේ පවා අසාර්ථක ක්‍රමයකි. ජනතාවට පාලකයන් ගැන කිසිදු විශ්වාසයක් නැත. එය පිළිබුඹු වන්නේ ඡන්දය ප්‍රකාශ කරන ඡන්දදායකයන්ගේ ප්‍රතිශතය ක්‍රම ක්‍රමයෙන් පහත වැටීමෙනි. එමනිසා ජනතාවට පාලනයට සහභාගි විය හැකි, එය නිවැරදි කිරීමට බලපෑම් කළ හැකි පාලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
කෙසේ වුවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වසර ගණනාවකින් කල් දැමීමෙන් අදහස් වන්නේ රෝග නිධානයට පිළියම් යෙදීමට ඇති අකමැත්තයි. හොරකම, වංචාව සහ දුෂණය සමාජයෙන් තුරන් කළ යුතු ව්‍යාධීන් නොව බලය ලබා ගැනීමට උචිත සටන් පාඨයක් යන්න සමාජගත කිරීමේ වුවමනාවයි.
- අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය.. - February 15, 2025
- රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද? - January 23, 2025
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025