You are currently viewing අපේ අරගලයෙන් උගත් බංගලාදේශයෙන් අපට කියන පාඩම

අපේ අරගලයෙන් උගත් බංගලාදේශයෙන් අපට කියන පාඩම

වසර දහසයක් එක දිගට බලයේ සිටි බංග්ලාදේශ් අගමැතිනි ෂික් හසිනාට පසුගිය සඳුදා (අගෝ.05) අගමැති තනතුරෙන් ඉල්ලා අස් වී හෙලිකොප්ටරයකින් අසල්වැසි ඉන්දියාවට පලා යෑමට සිදු විය. ඒ සති කිපයක් දකා අගනුවරත් බංග්ලාදේශයේ සෙසු නගරවලත් පැවති සිසු තරුණ විරෝධතා නිසා ඇයගේ පොලීසියට රජයත් ඇයත් තවදුරටත් ආරක්ෂා කිරීමට නොහැකි වූ නිසාය. බුර බුරා නැගෙන විරෝධය යටපත් කිරීමට දින නියමයක් නැතිව ඇඳිරි නිතිය පැන වුවද ජනතා විරෝධය ඉන් මැඩ පැවැත්වීමට නොහැකි විය. මෙම අරගලය නිසා ජීවිත 300කට අධික සංඛ්‍යාවක් අහිමි වූ අතර ඉන් මරණ සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වූයේ අගෝස්තු හතරවැනි දාය. අවසාන මොහොතේ ඇය කෙතරම් අසරණ වූයේ ද යත් ගුවන් විදුලියෙන් ජාතිය ඇමතීමට හෝ අවස්ථාවක් ලැබුණේ නැත.

උග්‍ර රැකියා හිගයක් පවතින බංග්ලාදේශයේ රැකියාවලින් කෝටාවක් 1971 නිදහස් අරගලයේ දී සටන් කර මිය ගිය විරුවන් සඳහා වෙන් කිරීමට එරෙහිව පැන නැගුණු මෙම විරෝධතාවය, අපට වඩාත් හුරු ආකාරයට අරගලය, ඉක්මණින්ම අගමැති ෂික් හසිනාගේ ආණ්ඩුවට එරෙහි ජනතා ව්‍යාපාරයක් බවට පත් විය. ආණ්ඩුව සුපුරුදු ආකාරයට කඳුළු ගෑස් සහ පොලීසිය යොදවා එය මැඩීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. අවසානයේ දී එරට අධිකරණය රැකියා කෝටා වෙන් කිරීම නීති විරෝධී පියවරක් ලෙස හඳුන්වා ඉවත් කළ ද තරුණ ශිෂ්‍ය විරෝධය ඉන් නැවතුණේ නැත. ෂික් හසිනාත් ඇගේ ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතු බව ප්‍රධාන ඉල්ලීම බවට පත්විය.

දැන් ඇත්තේ බංග්ලා දේශයේ තරුණයන්ගෙන් ඉගෙන ගැනීමේ අදියරයි.

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ අගමැතිනි ෂික් හසිනා පලා යෑමෙන් පසුව ද දේශපාලන මුලපිරුම තමන් අත පවත්වා ගැනීමට ශිෂ්‍ය තරුණ ව්‍යාපාරයට හැකියාවක් තිබීම ය. ඊට එක හේතුවක් වන්නේ ෂික් හසිනාගේ දැඩි මර්දනය හමුවේ වුවද හිෂ්‍ය ව්‍යාපාරයට සංවිධානාත්මක හැකියාවක් පවත්වා ගැනීමට සුදුසු දේශපාලන නායකත්වයක් තිබීම ය. එම දේශපාලනය පැහැදිලිවම ඛලීඩා සියාගේ සහ අනෙකුත් අන්තවාදී දේශපාලන එකතූන්ගෙන් වෙනස් ය. එම අන්තවාදී කණ්ඩායම් විරෝධතා ව්‍යාපාරය තුළ සිටිය ද මුලපිරුම තරුණ ශිෂ්‍ය එකතුවට පවත්වා ගත හැකි විය. ඒ නිසා ඔවුන්ට අගමැතිනි ෂික් හසිනා පලා යෑමෙන් පසුව ද ඉදිරි වැඩ පිළිවෙළක් ගැන කොන්දේසි ඉදිරිපත් කිරීමට හා ඒවා පිළිගැනීමට බල කිරීමට ඔවුන්ට හැකියාවක් තිබිණ..

අගමැති ෂික් හසිනාගේ

අගමැති පලා යෑමෙන් පසුව විය හැකිව තිබුණු පැහැදිලිම දේ හමුදාව අතට බලය ගැනීමය. බංග්ලාදේශයේ එවැනි අවස්ථා කිපයක්ම තිබිණ. විරෝධයට එක්ව සිටි අන්තවාදී කණ්ඩායම් ද හමුදා ආණ්ඩුවකට උපක්‍රමික වශයෙන් හෝ විරුද්ධ වන්නේ නැත. එහෙත් අරගලයේ නායකත්වය එවැන්නකට තදින් විරුද්ධ වූහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිවිල් අන්තර්වාර රජයකි. එහි නායකත්වයට ද ඔවුන්ගේ යෝජනාවක් තිබිණ. ඒ බංග්ලාදේශයේ සිවිල් සමාජ නායකයෙකු වන විදෙස්ගතව සිටි  මොහොමඩ් යුනූස් ය. ග්‍රාමීන් බැංකු ව්‍යාපාරයේ නිර්මාතෘ වූ ඔහුගේ ආර්ථික දැක්ම නව ලිබරල්වාදයෙන් වෙනස් වන ආකාරය තවම පැහැදිලි නැති වුවත් එය හමුදා පාලනයකට වඩා හොඳ තේරීමකි. එය පැහැදිලිවම බංග්ලාදේශ් තරුණ ශිෂ්‍ය ව්‍යාපරයේ පුරෝගාමී පියවරකි.

අපට ඉගෙන ගැනීමට ඇති දෙවැනි කාරණය එරට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණය යි. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලයේ සිටින පාලකයන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීමට හැකි දුර්වල එකක් වුවද එහි පවතින ඇතැම් ලක්ෂණ නොවන්නට බංග්ලාදේශයේ ද ලංකාවේ වූ ආකාරයට ෂික් හසිනාගේ පාලනය වෙනත් නාමයකින් පවත්වා ගෙන යෑමට ඉඩ කඩ තිබිණ. එය මූලික වශයෙන්ම වැළකී ගියේ නාමික ජනාධිපති තනතුරක් තිබීම නිසාය. නාමික ජනාධිපති විධායකයෙන් බැහැර රාජ්‍ය නායකයාවීම නිසා අගමැති පලා යෑමෙසන් පසුව රාජ්‍ය නායකයා වූයේ ඔහුයි. තරුණ ශිෂ්‍ය නායකයින් සාකච්ඡා කෙළේ ඔහු සමගය. පැවති තත්වය අනුව හමුදාවට ද ඔහු නොසලකා හැරිය නොහැකි විය. සිවිල් අන්තර්වාර පාලනයක් පිහිටුවීමට හැකි වූයේ ද එම නිසාය.

අගමැති කෙනෙකු නැති තත්වයක් යටතේ ඔහුට සමහර පරිපාලනමය තීන්දු ගැනීමටත් ෂික් හසිනාගේ බලකොටුව වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් හැකි විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව දින 90ක් ඇතුළත මහාමැතිවරණයක් පැවැත්වීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ද පවතී. එය ද ජනතාවට තම නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාවකි.

ලංකාවේ 2022 අරගලය බලාපොරොත්තු නොවු ආකාරයෙන් පරාජයවීමට මූලික හේතුවක් වන්නේ ද ආණ්ඩුක්‍රමයේ පවතින නොගැලපීමයි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිවම තනි පුද්ගලයෙකු යටතට රජයේ සියලු බලතල කැටි කර ගැනීමේ පිළිකුල් සහගත උත්සාහයකි. සියලු බලතල කැටි කර ගත් විධායක ජනාධිපති දැන් අධිකරණය පවා සිය අනසක යටතට ගැනීමට මාන බලමින් සිටී. අධිකරණයෙන් තමාට කැමති තීරණ නොලැබෙන විට ඒවා ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයත් ප්‍රජාතන්ත්‍රවාදයත් හෑල්ලුවට ලක් කරයි. ඔහු සැබැවින්ම සර්වබලධාරීය.

ගෝඨාභය රාජපක්ෂ පලා යෑමෙන් පසුව ගැනීමට තිබුණු එකම ප්‍රජාතන්ත්‍රවාදී පියවර වූයේ නව ජනවරමක් ලබා ගැනීමට ඡන්දයක් පැවැත්විම ය. එහෙත් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට අගමැතිට හෝ පාර්ලිමේන්තුවට බලයක් නැත. බලයක් තිබුණත් ඔවුන් එවැනි පියවරක් ගැනීමට සූදානම් නැත. ඒ වෙන කිසිවක් නිසා නොව පලා ගිය පාලකයා වෙනුවට වෙනත් පාලකයෙකු පත් කිරීමේ බලයක් ව්‍යවස්ථාවන්ම ඔවුන්ට ලබා දී ඇති නිසාය. 

බංග්ලාදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල බෙදීම පැහැදිලිවම දක්වා ඇති නිසා නාමික ජනාධිපතිට හදිසි තත්වය යටතේ වඩාත් ජනතාවාදි පියවර ගැනීමට හැකි විය. තරුණ ශිෂ්‍ය ව්‍යාපාරයට ඒ සඳහා බලපෑම් කිරීමට ද අවස්ථාවක් තිබිණ.

ලංකාවේ ජනාධිපති පලා යෑමෙන් හා බංග්ලාදේශයේ ෂික් හසිනා පලා යෑමෙන් එරට දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් ලැබෙන්නේ නැත. වසර කීපයක් දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7ක් වැනි  වර්ධනයක් අත් කර ගත් බංග්ලාදේශයේ ආර්ථිකය දැන් තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් මෙන් පසුබෑමකට ලක් වෙමින් පවතී. දැනට බංග්ලාදේශයේ විදෙස් වත්කම් සෑහෙන්නේ මාස තුනක ආනයන සඳහා පමණි. විදෙස් සම්පත් අර්බූදයෙන් තාවකාලිකව ගොඩ නැගී ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලබා දී ඇති ඩොලර් බිලියන 4,7ක ණය මුදලෙනි. එමනිසා අප දෙරටම මුහුණ දී ඇත්තේ එකම ආකාරයේ දේශපාලන සහ ආර්ථික අර්බුදවලට ය.

අපට මෙම අර්බූදකාරී තත්වයෙන් ගොඩ ඒමට ඇති ප්‍රධානම බාධකය වන්නේ පවතින ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ප්‍රජාතන්ත්‍රවාදි සම්ප්‍රදායේ මූලික ලක්ෂණයක් වන ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් බලය බෙදීම සම්පූර්ණයෙන්ම විකෘත කර ඇත. විධායක ජනාධිපති අනෙක් අංශ දෙකම සිය ග්‍රහණයට ගනිමින් සිටී. ආර්ථිකය මෙන්ම දේශපාලනය හසුරුවන්නේ ඔහු ය. ජනතාව සම්පුර්ණයෙන්ම බලරහිත කර ඇත. ඡන්ද බලය පවා රඳා ඇත්තේ විධායකයාගේ කැමැත්ත අනුවය. ඔහුට අවාසිදායක ඡන්ද නොපවත්වා සිටීමට විධායක බලයක් හිමි කර ගෙන ඇත. වංචාව දූෂණය සහ හොරකම වැජඹෙන්නේ ඒ නිසාය.

එමනිසා ලංකාවේ අරගලයේ ඉදිරි පියවර වන්නේ ගෝඨාභයට සහ ඔහුගේ අනුප්‍රාප්තිකයාට රැකවරණයක් වූ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කොට සිස්ටම් චේන්ච් එක සම්පූර්ණ කිරීමය. ඒ සඳහා ඇති කදිම අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛතම ඉල්ලීම බවට කිරීම ය.

Leave a Reply