You are currently viewing රනිල් ගේ ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් රංගනයේ අවසාන ජවනිකාව

රනිල් ගේ ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් රංගනයේ අවසාන ජවනිකාව

මීට සිය වසරකට පමණ පෙර ආර් එල් ස්ටීවන්සන් නම් ස්කොට් ජාතික ලේඛකයා ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් නම් නවකතාවක් පළ කෙළේය. එම කතාවෙන් කියවෙන්නේ දහවල් කාලයේ ගුණ යහපත් වෛද්‍යවරයෙකු රාත්‍රියේ දී හයිඩ් නම් කුරිරු මිනිසෙකු බවට පත්ව ලන්ඩන් නගරය කළඹන ආකාරයයි. කෙසේ වෙතත් පසුව මිනිසුන්ගේ දෙබිඩි ජීවිතය හැඳින්වීමට මෙම යුගල නාමය නිතර යොදා ගැනේ. ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ් චරිතය කලකට පෙර මිස්ටර් ක්ලීන් යනුවෙන් සමහර අය හැඳින් වූ රනිල් ට මනා සේ ගැලපේ. මෙම චරිතය ස්ටීවන්සන් ගේ චරිතයෙන් වෙනස් වන්නේ කුරිරු මිනිස් ස්වරූපය දවල්ටත් රාත්‍රියටත් එකසේ විකාශනයට පත් විමෙනි.

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෙම දෙබිඩි චරිත ස්වභාවය වඩාත් තීව්‍ර ආකාරයෙන් ප්‍රකාශයට පත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව වසර පහක් සම්පූර්ණ වීමට නියමිත කාලය ඇතුළත ජනාධිපතිවරණය පැවැති වෙන්නේ ද නැතිනම් ඔහුගේ පක්ෂයේ නාමික බලධාරීන් පවසන ආකාරයට ධුර කාලය තවත් වසර කීපයකින් දීර්ඝ කර ගන්නේ ද ඉස්මතු වන විටය. ඔහුගේ පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර පක්ෂ මූලස්ථානයේ පැවති පුවත් සාකච්ඡාවක දී අනුප්‍රාප්තික ජනාධිපතිට පැවරී ඇති ආර්ථිකය ගොඩගැනීමේ බරපතළ කාර්ය නිම කරන තෙක් අඩුම වශයෙන් තවත් වසර දෙකක් හෝ ධුර කාලය දීර්ඝ කළ යුතුයැයි කීවේය. එවැන්නක් කිරීමට එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන ඒකාධිපති බලයක් හිමි කර ගත යුතුය.

මෙම ප්‍රකාශය එක්තරා ආකාරයෙන් කඩි ගුළක් ඇවිස්සු ආකාරයක් ගත්තේය. දේශපාලන කරලියේ සියලු පැතිවලින් මතු වූයේ අනපේක්ෂිත ආකාරයේ විරෝධයක් සහ පිළිකුළකි. බලයේ රැඳී සිටීමේ අත්වාරුව වූ පොහොට්ටුවේ ප්‍රධාන නායකයෝ පවා එම අදහස ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළහ. දේශපාලන පක්ෂවලට බැහැර සිවිල් සමාජයෙන් නැගුණ විරෝධය ඊටත් වඩා ප්‍රබලය. මේ අවස්ථාවේ ඩොක්ටර් ජෙකිල් වූ රනිල් වික්‍රමසිංහ නිහඬ පිළිවෙතක් අනුගමනය කෙළේය. තමාට කිසිවෙකුගේ පිළිසරණක් නැති බව දැනගත් මහ ලේකම්ට සිය ප්‍රකාශය ඉල්ලා අස් කර ගෙන ඊට නව අර්ථ කතනයක් ලබා දීමට සතියකට වඩා කල් ගත විය.

මෙම දෙබිඩි ස්වභාවය ඉන් නැවතුණේ නැත. ඉන් පසුව ඩොක්ටර් ජෙකිල් ව සිටි සමයේ ඔහු විසින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව සම්මත කර ගත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි ආකාරයට සම්මත වී නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඔහුගේ කාර්ය සඳහා ම එහෙත් ඔහුගේ සම්බන්ධතාවයක් නැතැයි හැඳින්වෙන පුද්ගලයෙකු අයැදුම් පතක් ඉදිරිපත් කෙළේය. එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ විය. ඩොක්ටර් ජෙකිල් වූ රනිල් තමා හැම විටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බව නැවතත් සපථ කෙළේය. නැවතත් යන්න අප අවධාරණය කෙළේ ඔහු ජනාධිපති ධුරයට පත් වන විට දිව්රුම් දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරැකීමට නිසා එය නැවතත් අවධාරණය කිරීමේ අවශ්‍යතාවයක් නැති බව පෙන්වීමටය.

එහෙත් මිස්ටර් හයිඩ්ට අධිකරණයෙන් සහනයක් ලබා ගැනීමට උත්සාහය අත්හැරීමට සිත් වූයේ නැත. එමනිසා නැවත වරක් මූලික වශයෙන් පැහැදිලි තීන්දුවක් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයට නැවතත් එම කාරණය සඳහාම පෙත්සමක් ඉදිරිපත් කිරීමට වෙනත් ඉත්තෙකු යොදා ගත්තේය. එය ද විය යුතු ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණ. පෙර අවස්ථාවේ දී රුපියල් ලක්ෂයක් ගෙවීමට නියමිත වූ උසාවි ගාස්තුව දෙවැනි අවස්ථාවේ දී ලක්ෂ පහක් විය. එහෙත් මිස්ටර් ජෙකිල් ට ඉන් සෑහීමට පත්විය නොහැකිය. ඔහුගේ විකෘති වූ මනස යථා තත්වයට පත් කර ගැනීමට නොහැකි ආකාරයෙන් හොල්මන් කරයි.

නාඩගම ඉන් අවසන් වන්නේ නැත. ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට අධිකරණ මැදිහත් වීමක් සිදු වුවහොත් මිස්ටර් හයිඩ් ට භූමිකාවක් නියම වනු ඇත. එහි අනතුරු හැඟවීමක් වශයෙන් අධිකරණ බලතල ඇත්තේ පාර්ලිමේන්තුවට බව ජීවිත කාලයක්ම කිසිම ආකාරයේ බාධාවකින් තොරව භුක්ති විඳි ඉඩම්වලට ආණ්ඩුවෙන් ‘ඔප්පු’ ලබා දීමේ උත්සවයක දී ඔහු කියයි.

යහපත් ආණ්ඩුවක ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනුවෙන් බලතල බෙදීමක් පවතින බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටේ නීතිය උගන්වන නීති විද්‍යාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උගන්වන අතර නීතිමය සුදුසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන අය අනිවාර්යෙන්ම එම විෂයෙන් සාමාර්ථයක් ලබා ගැනීම අවශ්‍ය ය. රනිල් වික්‍රමසිංහ ද නීතිය පිළිබඳ උපාධියක් ලබා ගෙන ඇති නිසා එම විෂයෙන් සමත්ව ඇතැයි අනුමානය කිරීම සාධාරණය. එවැනි දැනුමක් තිබිය දී අධිකරණය පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයට යටපත් කිරීමට උත්සාහ ගන්නේ මිස්ටර් ජෙකිල් ගේ අවතාරය බවට පත් වූ විටය.

ජනාධිපති ගේ අත්සනින් පත්වීම් ලැබ ඔහු ඉදිරියේ දිව්රුම් දීම නිසා විනිශ්චයකරුවන් ඔහුගේ කැමැත්ත අනුව යුක්තිය පසිඳලිය යුතුයැයි කිව හැක්කේ ඩොක්ටර් ජෙකිල් ස්වරූපයෙන් මිදී මිස්ටර් හයිඩ් අවතාරය බවට පත් වූ පුද්ගලයෙකුට පමණි. නීති පැනවීමත් ඒවා අර්ථ ගැන්වීමත් එකම පුද්ගලයෙකුට හෝ ආයතනයකට ශිෂ්ට ලෝකයේ කිසිම තැනක හිමි වන්නේ නැත. එය සිදුවිය හැකි වන්නේ ඒකාධිපති පාලනයක් යටතේ පමණි. ඒකාධිපති පාලකයෙකුට පාර්ලිමේන්තුවක් ද අවශ්‍ය නැත. ඔහු හෝ ඇය කියන දෙයක් නීතිය බවට පිළිගත යුතු නිසාය. හැටනම ලක්ෂයක ජනවරමකින් ජනාධිපති ධුරයට පත් ගෝඨාභය රාජපක්ෂ ද නීති රීති කුමක් වුවත් තමා කියන දේ නීතිය සේ පිළිපදින්නැයි රජයේ සේවකයන්ට තරවටු කෙළේය. සමෘද්ධිය කරා යන තම ගමනට බාධා නොකරන ලෙස අධිකරණයට පවා අනතුරු හැඟවූයේය. ඔහු ගේ සමෘද්ධිය කරා ගිය ගමන අවසන් වූ ආකාරය ජනතාවගේ සිත් සතන්වලින් තවම බැහැර වී නැත. 

මෑත යුගයේ දේශපාලකයන් ගේ දෙබිඩි ජීවිත ආර් එල් ස්ටීවන්සන් ගේ ඩොක්ටර් ජෙකිල් සහ මිස්ටර් හයිඩ්ගේ චරිතවලට වෙනස් වන්නේ නැත. ස්ටීවන්සන්ගේ මෙම දෙබිඩි චරිත දිවා රාත්‍රි අනුව වෙනස් වුවද දේශපාලකයන්ගේ දෙබිඩි චරිතවලට කාලයක් හෝ අවකාශයක් පිළිබඳ කිසිම හැඟීමක් නැත. එය නිමේෂයකින් සිදු වන්නේ චරිත දෙක එකිනෙකින් වෙනස් කොට හැඳින ගැනීමටත් අවකාශයක් නැතිව ය. වේදිකාවට ගොඩ නැගී ඩොක්ටර් ජෙකිල් වන මෙම දේශපාලකයෝ ඉන් බැසිමටත් පෙර මිස්ටර් හයිඩ් ගේ අවතාරයට බවට පත් වේ.

වෙනත් බොහෝ රටවල මෙන් ලංකාවේ දේශපාලනයේ ක්‍රියාත්මක වන මෙම දෙබිඩි රංගනය දැන් එහි අවසානය කරා ළං වෙමින් පවතී. ඒ අන් කිසිවකටත් වඩා මෙම පාලකයන්ගේ නොමනා ක්‍රියා කලාපයේ රංගනය එහි උච්ච අවස්ථාවට ළඟාවීම සහ ජනතාවට ජීවන බර කිසිදා නොවු ආකාරයට දරා ගත නොහැකි තත්වයට පත්ව ඇති නිසා ය. කෙටියෙන් ජනතාවට කිසිම අස්වැසුමක් නැත. ඇත්තේ ජීවිතයත් මරණයත් අතර අරගලයක් නොව මරණය තුළ ජීවත්වීමේ අභියෝගයයි.  

ඇත්තෙන්ම මෙම අභියෝගය ජය ගැනීමට ජනතාවට දැනට කිසිම මාවතක් පෙනෙන්නට නැත. කඩතොළුවී ඇති මඩ ගොහොදුවලින් පිරි මාවත සැබැවින්ම සෙක්කුවකි. එය කැර කැවෙන්නේ එකම තැනය. ජනතාවට සිදුව ඇත්තේ සෙක්කුවේ බැඳ ඇති ගොනා මෙන් වටේට කැරකීම පමණි. සෙක්කුවෙන් මිදී පැහැදිලි මාවතක් සොයා ගැනීමට නම් දර්ශනයක් සහ දේශපාලන මුලපිරුමක් අවශ්‍ය ය.

Leave a Reply