හිඟන්නාගේ තුවාලය සුව වෙන්නේ නැත. සුව කර ගන්න ඕනෑ කමක් ද නැත. ඒ තුවාලය සුව වුවහොත් ඔහුගේ ජිවන මාර්ගය ද නැතිවන හෙයිනි. අපේ රටේ දේශපාලකයන්ට පාස්කු ප්‍රහාරය ද හිඟන්නාගේ තුවාලය සේය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා හෝ එහි සුලමුල සොයා ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ සත්‍ය තොරතුරු එළිකොට අධිකරණ ක්‍රියා මාර්ග ගත හොත් ඔවුන්ගේ දේශපාලන ජීවිකාව පවත්වා ගෙන යෑම අපහසු වන නිසාය. එමනිසා සත්‍යය හෙළිකර ගැනීමේ උනන්දුවක් නොමැතිව තුවාලය මෙන් පෑරීම දේශපාලන වශයෙන් ප්‍රයෝජනවත් ආයෝජනයකි.
පසුගිය මාර්තු 22 වැනි දා හිටපු ජනාධිපති සහ ආරක්ෂක ඇමති මෛත්‍රිපාල සිරිසේන දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු ප්රවෘත්ති වාර්තාකරුවන් අමතා පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා තමා දන්නා බවත් එය අධිකරණය ඉදිරියේ හෙළි කිරීමට සූදානම් බවත් ප්‍රකාශ කෙළේය. මෙම ප්‍රවෘත්තිය ඇසුනු වහාම ක්‍රියාත්මක වූ වත්මන් ආරක්ෂක ඇමති ටිරාන් අලස් මෛත්‍රිපාල සිරිසේනගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද දැනුම් දීමක් අනුව මෛත්‍රිපාල සිරිසේන එම කාර්යාලයට ගොස් පැය හයක් තිස්සේ ප්‍රකාශයක් ලබා දුන්නේය. ප්‍රකාශය ලබා දීමෙන් පසුව පුවත්පත් වාර්තාකරුවන් ට නොදැනෙන ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ පිටු පස්සා දොරින් මහජන මුදලින් නඩත්තුවන නිල රථයෙන් ම නික්ම ගියේය.
මෙම පිටව යෑම ප්‍රවෘත්තියක් වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් මෙන්ම විපක්ෂයේ මංත්‍රීන් ද ඔහු අත් අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටි නිසාය. කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉමියුනොග්ලොබියුලින් තරම් ම වැදගත් මෙම සිද්ධියේ දී ද පාස්කු ප්‍රහාරය සම්බන්ධ කරුණු සඟවා තබා ගැනීම බරපතළ වරදක් නිසා පරීක්ෂණ කටයුතු නිම වන තෙක් අත් අඩංගුවේ තබා ගත යුතු කරුණකි. වෙනත් බොහෝ අවස්ථාවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ උද්ඝෝෂකයන් පොලිසිය අත් අඩංගුවට ගෙන සමහර විට මාස ගණන් රඳවා ගත්තේ කිසිම චෝදනාවක් ඉදිරිපත් කිරීමට සාක්ෂි නොමැතිව ය. එවැනි ක්‍රියාකාරීන් සමහරවිට නිදහස් කරන්නේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ ද නැතිවය. නීතිය ඉදිරියේ සැම දෙනකුම සමාන වුවත් දේශපාලකයන් අන් අයට වඩා සමාන නිසා අත් අඩංගුවට ගැනිමක් සිදු වන්නේ නැත.
ඒ වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේය. අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට තමා සැදී පැහැදි සිටින බව ප්‍රකාශ කළ මෛත්‍රිපාල සිරිසේන තමා රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති නිසා අධිකරණය ඉදිරියේ නැවතත් ප්‍රකාශයක් කිරීමට සූදානම් නැති බව නියමිත දිනට පෙර මෝසමක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේය. අධිකරණය ද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය අධිකරණයේ භාරයේ තබා ගැනීමට නියෝග කරන ලදී. පොලීසියේ ඉල්ලීම වූයේ ද එයයි. එමෙන්ම එම ප්‍රකාශය පදනම් කර පරීක්ෂණ කටයුතු සිදු කර අධිකරණයට වාර්තා කිරීමට ද නියෝග කෙරිණ.
ගැටලුව ඇත්තේ පරීක්ෂණ කිරීම තුළය. මුලින්ම මෙම ප්‍රහාරයට සම්බන්ධයැයි සැක කෙරෙන ජාතික තව්හිද් ජමාද් සංවිධානය ගැන පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර පරීක්ෂණ පැවැත් වු රහස් පොලිසියේ නිලධාරීන්ට විවිධ හේතුන් නිසා එම කටයුතු කිරීමට නොහැකි විය. රාජ්‍ය බුද්ධි අංශය කර ගෙන යන පරීක්ෂණවලට බාධාවක් වන නිසා රහස් පොලීසියෙන් කෙරෙන පරීක්ෂණ කටයුතු නතර කළ බව එවකට පොලිස්පති වූ ජයසුන්දර දිව්රුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණ.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බලා වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසම්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ වෙනත් විවිධ මට්ටම්වල විමර්ශන පරීක්ෂණ අපමණ ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ කාලය ඔහුගෙන් පසුව ජනාධිපති තනතුරට පත් ගෝඨාභය රාජපක්ෂ ද තවත් දීර්ඝ කෙලේය. පසුගිය සැප්තැම්බර් මාසයේ බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 මෙම සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු කුපිත වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් නැවතත් ජනාධිපති කොමිසමක් පත් කෙළේය. මෙම කොමිසම් සභා සහ කමිටු වැදගත් සොයා ගැනිම් කරන්නට ඇත. ඒ සමගම නිර්දේශ ද කරන්නට ඇත. කණගාටුවට කරුණ වන්නේ ඒ කිසිවකින් මෙතෙක් යුක්තිය ඉටු නොවීමයි.
සිය සේවා කාලයේ අවසාන මාස කීපය තුළ පාස්තු ප්‍රහාරය ගැන වඩාත් උනන්දු වූ නීතිපති දප්පුල ලිවේරා ප්‍රහාරයේ මහ මොළකාරයා හෙළිකර ගත් බව ප්‍රකාශ කෙළේය. ඒ සමගම සිද්ධියට අදාලව චෝදනා 855ක් ගොණු කිරීමට සූදානම් කර ඇතැයි ද කීවේය. එහෙත් ඒ කිසිවකින් යුක්තිය පසිඳලීමක් වූ බව දැන ගන්නට නැත. එමනිසා අධිකරණයේ නියෝගය අනුව රහස් පොලිසිය පවත්වන පරීක්ෂණ කලින් ඒවාට වෙනස්ව යුක්තිය ඉටු කිරීමට යොමුවක් වනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
කෙසේ වුවත් තුන් සියයකට ආසන්න සංඛ්‍යාවකට මරු කැඳවූ තවත් දහස් ගණනක් සදාකාලිකවම අබ්බගාතයන් බවට පත් කළ මෙම ප්‍රහාරය ගැන මෙතෙක් කර ඇති පරීක්ෂණ සහ ප්‍රකාශයට පත්ව ඇති කරුණු අතර බරපතළ පරස්පර පවතින බව පැහැදිලි ය. පළමුවෙන්ම එවකට ජනාධිපති සහ ආරක්ෂක ඇමතිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහමොළකරු ගැන දැන සිටියේ නම් ඒ ගැන වගකිව යුතු පුද්ගලයෙකු වශයෙන් ක්‍රියා නොකෙළේ ඇයිද යන්න ඔහු පැහැදිලි කළ යුතුය. මේ පිළිබඳව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වූයේ ඔහු සිය වගකීම් පැහැර හැර ඇති බව ය. එම නිසා ඔහුට රුපියල් දශලක්ෂ සියයක වන්දි මුදලක් ගෙවීමට ද නියම විය. මහ මොළකරු දැන සිටියේ නම් ඔහුට ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට අවස්ථාවක් තිබිණ.
දෙවැනිව ජනමාධ්‍යයේ පැතිරෙන දූෂමාන ආරංචි අනුව මෛත්‍රිපාල සිරිසේන ගේ අලුත්ම සොයා ගැනීම වන්නේ සිද්ධිය පිටුපස ඉන්දියාව සිටින බව ය. ඉන්දියාවේ නිර්දෝෂී භාවය හෝ දෝෂ සහගත තත්වය ගැන පැහැදිලි කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු අපට නැත. එහෙත් මෙවැනි ප්‍රහාරයක් සිදුවන බවට අනතුරු හැඟවීම් සිද්ධියට බෙහෙවින් කල් තබා අදාල අංශවලට සහ පුද්ගලයන්ට ඉන්දියාවෙන් ලබා දී ඇති බව පිළිගත් සත්‍යයකි. මෛත්‍රිපාල සිරිසේනගේ ස්ථාවරය වූයේ එම තොරතුරු තමාට නොලැබුණ බව ය. අවාසනාවකට මෙන් එම තොරතුරු ලැබී ඇත්තේ සිද්ධියෙන් වසර පහකට පමණ පසු මහනුවර දී ය. ප්‍රමාද වී හෝ ලැබුණු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සැදී පැහැදි සිටිය ද සිදුව ඇත්තේ එය රහසිගතව තබා ගැනිම ය. රහස් පොලීසිය නැවත වරක් ඒ ගැන පරීක්ෂණ කටයුතු ආරම්භ කර අධිකරණයට වාර්තා කරනු ඇත.
මෙම සම්පූර්ණ ක්‍රියාදාමය දෙස උපේක්ෂාවෙන් බලන විට පෙනී යන්නේ මහ මොළකරු හෝ ඔහු සිදු කළ කුමන්ත්‍රණය ගැන සැඟවීමට කිසිත් නැත යන්නයි. මේ වන විට පත් කර ඇති කමිටු සහ වෙනත් විමර්ශන සභාවලින් හෙළිවී ඇති කරුණු අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සහ එය සැඟවිමට ගත් උත්සාහය සහ එය සිදු කරන ලදැයි සැක කළහැකි පුද්ගලයන් ගැන තොරතුරු සහ සාක්ෂිවලින් අඩුවක් නැත. එකම අඩුව වන්නේ එම තොරතුරු සහ සාක්ෂි අධිකරණයට මෙතෙක් ඉදිරිපත් නොකිරීම ය. දප්පුල ලිවේරා ගොණු කිරීමට සකස් කළ චෝදනා අධිකරණයේ මෙතෙක් විභාගයට ගෙන නැත.
මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රකාශය පදනම්ව සිදු කරන පරීක්ෂණවලින් යුක්තිය ඉටු වන තෙක් අපට බැස ගත හැකි නිගමනය වන්නේ අපේ රටේ නිතියේ ආධිපත්‍යය පෙර කිසිදා නොවු විරු ආකාරයෙන් බිඳ වැටී ඇත යන්නයි. දැනට හොඳින් ලේඛන ගත වී ඇති ආකාරයට පාස්කු ඉරිදා ඛේදවාචයක් සිදු වීමට මූලික හේතුව නීතිය සාධාරණව ඉටු නොවීම ය. සහ්රාන් වැනි පුද්ගලයන් කාත්තන්කුඩියේ සුෆි ආගමිකයන් ට තර්ජන කොට සිදු කරන ලද ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූයේනම් පාස්කු ඛේදවාචකයක් නොවන්නට තිබිණ. එමනිසා ඇත්තෙන්ම කළ යුත්තේ නීතිය සහ සාමය පවත්වා ගැනීමට බාධා කරන්නේ කවුරුන්දැයි සොයා ගැනීම ය.
සාමකාමී උද්ඝෝෂණයක් වූ ගාලු මුවදොර අරගලයට අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් පහර දීමෙන් පසුව රටපුරා හටගත් ප්රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට පොලීසිය අපොහොසත්වීම ගැන පොහොට්ටුවේ මැති ඇමතින් පොලිස් පතිට චෝදනා කළ විට ඔහුගේ පිළිතුර වූයේ වරද ඇත්තේ පොලිසියේ නොව දේශපාලනයේ ය යනුවෙනි. ඔහු සඳහන් කළ ආකාරයට දිවයිනේ පොලිස් ස්ථාන 184කින් 182කම ස්ථානාධිපතිවරුන් පත් කර ඇත්තේ දේශපාලකයන්ගේ නිර්දේශ අනුව ය. එමනිසා නීතිය පවත්වා ගැනීමට නොහැකිවීම ගැන දොස් පැවරිය යුත්තේ නුසුදුසු පුද්ගලයන් පත් කළ දේශපාලකයන්ට ය.
ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා අන් කිසිවෙකු නොව නීතිය සහ සාමය පවත්වා ගැනීම තම දේශපාලන වුවමනාවන්ට යටපත් කරන දේශපාලකයන් ය. ඔවුන් අධිකරණය හමුවට පත් කරන තෙක් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට හෝ වෙනත් අපරාධවල වින්දිතයන්ට යුක්තිය හෝ සාධාරණත්වය ඉටු වන්නේ නැත.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024