You are currently viewing කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය..

කදුකර දෙමළ ජනයාගේ නිම නොවූු අරගලය..

ඉන්දීය සම්භවයකින් යුතු වතු කම්කරුවන් ලෙස යම් ආකාරයක පහත් මට්ටමකින් නැත්නම් හැඟීමකින් හඳුන්වන කඳුකර දෙමළ ජනයා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒම ඇරඹා වසර 200ක් සපිරුනේ මේ වසරටයි. ඒ සම්බන්ධයෙන් රතුතරුව පුවත්පතේ ලිපි කීපයක් පළවුනා. ඒ වගේම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වුනා. ඒ වැඩසටහන්වලින් ප්‍රධානතම වැඩසටහන ලෙස හඳුන්වන්න පුලුවන් තලේමන්නාරමේ සිට මාතලේ දක්වා පැමිණි “මලෙයියග මක්කල්” පාගමන. ජූලි 28දා සිට අගෝස්තු 12 දා දක්වා දැඩි අව්‍ රෂ්මිය මැද පැමිණි මේ පාගමන එදා අතිශය දුෂ්කර පරිසරයක සහ ගමන් මගක වත්මන් කඳුකර දෙමළ ජනයාගේ මුතුන්මිත්තන් පැමිණි ආකාරය ඡායාමාත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය කළා.

කඳුකර දෙමළ ජනයා ගැන මේ අවස්ථාවෙදි නැවත ලියන්න හේතුවුනේ එක අතකට වසර 200ක් ගතවෙලත් රජය පැත්තෙන් මේ කාරණය ගැන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් නොකිරීමත් අනෙක් අතට මේ ජනතාවගේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් නව මානයන්ගෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පෙනීගොස් තිබීමත් නිසයි. පහුගිය අගෝස්තු 10දා මේ ජනයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුනා. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද මන්ත්‍රීවරුන් එකිනෙකාට ඇඟිලි දික්කරමින් එක එක දේවල් කිව්ව නමුත් ආණ්ඩුව පැත්තෙන් නිල ප්‍රකාශයක් හෝ විපක්ෂය පැත්තෙන් නිශ්චිත යෝජනාවක් හෝ ඉදිරිපත් වුනේ නැහැ. ඒ නිසා ඒක අපතේ ගිය විවාදයක් බවට පත්වුනා. 

මේ විදියට යහපත් නාමකරණයක් සඳහා වෙර දරන අතර ඓතිහාසික වශයෙන් කඳුකර දෙමළ ජනයාට සිදුවූ වැරදි නිවැරැදි කරගන්නත් මේ තමයි හොඳම කාලය. ඉහත කී සාකච්ඡාවෙදි මේ කරුණ කෙරෙහිත් ලොකු අවධානයක් යොමු වුනා. ⁣⁣⁣ඒ අනුව අවධාරනය කෙරුනු ප්‍රධාන කාරණය වුුයේ ඓතිහාසික වශයෙන් ප්‍රධාන කොටම මේ ජනතාවට බ්‍රිතාන්‍ය පාලකයන් වෙතින් සහ ඊට අමතරව ඉන්දීය සහ ලංකාවෙ ආණ්ඩුවලිනුත් අසාධාරණයන් සිදුවූ බව නිල වශයෙන් පිලිගැනීම ඉංග්‍රීසි පාලකයන්ගේ ක්‍රියාකලාපය හුදු අසාධාරණයකින් එහාට ගොස් අපරාධයක මට්ටමක ලා සැලකිය යුතු බවයි. ⁣ඔස්ට්‍රේලියාවේ ඇබොරිජින් ජනතාවට සුදු පාලකයන් විසින් සලකන ලද ආකාරයත්, කොරියාව ආක්‍රමණය කළ ජපන් හමුදාව එහි ස්ත්‍රීන් ලිංගික වහලියන් සේ ගැනීමත් අපරාධයක ස්වභාවය ගන්නා බවටත් විවිධ ජාත්‍යන්තර ආයතන විසින් නිගමනය කොට තියෙනවා. මෙම ඉල්ලීම ජාත්‍යන්තර මට්ටමින් පෙරට ගෙනයාම ලංකාවේ ආණ්ඩුවේ වගකීමක්. ඒ අනුව බ්‍රිතාන්‍ය  ආණ්ඩුව තමන් විසින් මේ ජනතාවට කරන ලද අපරාධ සම්බන්ධයෙන් වරද පිළිගෙන සමාව අයැද සිටිය යුතු වෙනවා. බ්‍රිතාන්‍යය තුළ වහල් මෙහෙය අවසන් කළත් 1948දි මෙරටින් නික්ම යන තුරුම බ්‍රිතාන්‍ය පාලකයන් වතු කම්කරුවන්ට සැලකුවේ වහල් තත්ත්වයෙන්. ඇත්ත වශයෙන් කිව්වොත් 1975 දක්වාම මෙරට තේ වතු පාලනය කළේ සුදු ජාතිකයන්. ඒ නිසා ඉංග්‍රීසි පාලකයන්ගේ ක්‍රියා කලාපය අපරාධකාරී ස්වභාවයක් ගන්නව කියන එක අමුතුවෙන් කියන්න ඕනත් නැහැ.

තේ වතු කම්කරුවන් සමඟ බ්‍රිතාන්‍ය වැවිලිකරුවෙකු..

එබැවින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව තම වරදකාරීත්වය පිළිඅරගෙන කදුකර දෙමළ ජනයා වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වෙනවා. ලංකා ආණ්ඩුව මේ කාරණය ජාත්‍යන්තර තලයට ගෙනගොස් බ්‍රිතාන්‍ය පාලකයන් වෙතින් එදා සිදුවූ වැරැද්දට සමාව ඉල්ලා වන්දි ගෙවීමක් සිදුකළ යුතුයි. එය කිසිසේත් ස්වෙච්ඡාවෙන් සිදුවන දෙයක් නොවනු ඇති. ඒ නිසා ලංකා ආණ්ඩුව මේ කාරණය අතට අරගෙන ඒ සම්බන්ධයෙන් එක අතකට බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමග සාකච්ඡා ආරම්භ කළයුතු අතර ජාත්‍යන්තර තලයේ කැම්පේන් එකක් ද ගෙන යායුතු වෙනවා.

මේ අනුව බලන කොට ලංකාවෙ ආණ්ඩුවෙ ක්‍රියා කලාපයත් සුදු පාලකයන්ට වඩා ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මෙරට ආණ්ඩුවලටත් ගැලවීමක් නැහැ. ඔවුනුත් ඉංග්‍රීසි පාලකයන් වගේම මේ කාරණයෙදි සම විත්තිකරුවෙක් වෙනවා. ඒ නිසා ලංකාවෙ ආණ්ඩුවත් මේ ජනතාවගෙන් සමාව අයදින්න ඕන කදුකර දෙමළ ජනයාට සිංහල ආණ්ඩුවලින් වූු අසාධාරණයන් සම්බන්ධයෙන්. ඒ වගේම ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුද වෙනවා.

Leave a Reply