ජනාධිපති නීතිඥ ඇම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස කිරීමේ පනත පිළිබඳ
2023 නොවැම්බර් 08 දින පාර්ලිමේන්තු විවාදයේ දී කළ කතාවේ සිංහල පරිවර්තනය
අද අධිකරණ ඇමති විසින් ඉදිරිපත් කරන ලද ඉතා වැදගත් පනතක් ගැන කතා කිරීමට මට අවස්ථාවක් ලබා දීම ගැන නියෝජ්‍ය කතානායක තුමාට ස්තූතිවන්ත වෙමි. මා එය වැදගත්යැයි කියනුයේ අධිකරණයට අපහාස කිරීම ගැන කිසියම් කාලයක සිට ව්‍යවස්ථාදායකයේ මැදිහත්වීමක් අවශ්‍යව තිබුණ නිසාය. අප ඉන් අදහස් කෙළේ සාමාන්‍ය අපහාස කිරීමේ නීතියේ පවතින අඩුපාඩු සමගම විශේෂයෙන්ම ඉහළ උසාවි යොදා ගන්නා ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් වඩාත් හොඳ නියාමනයකි. සිවිල් ක්‍රියාපටිපාටි පද්ධතියේ පහළ උසාවි සඳහා නියම කරන ලද පරිච්ඡේදයක් ඇත. ඒ අනුව කිසියම් නියම වූ ක්‍රියා පටිපාටියක් පවතී. පැනවිය හැකි දඬුවම සම්බන්ධයෙන් විනිශ්චයක පනතින් සීමාවන් පනවා ඇත. නීතියෙන් විශේෂිතව බලය පවරා නැත්නම් උසාවියෙන් පිටත සත්‍ය වශයෙන්ම (In facie) කරන ලද අපහාසයක් විනිශ්චය කළ නොහැකිය.
මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තමන්ගේම ක්‍රියා පටිපාටි යොදා ගනිති. වඩාත් ඈත නොවන කාලයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණමය මූලික අයිතිවාසිකම් භාවිතා කොට චෝදනා පත්‍රයක් ඉදිරිරිපත් කරන්නේ නැතිව පුද්ගලයින් සංෂේපනීයව රඳවා අපහාස කිරීම පිළිබඳව අධිකරණය භාරයට ගෙන සිරගත කරනු අපි දුටුවෙමු. මගේ මතකයේ හැටියට එය අවස්ථා එකක දී හෝ දෙකකදී සිදු විය. ඉන් එකක් වැලි ගොඩ දැමීම සම්ම්බන්ධයෙනි. අනෙක ශබ්ද දූෂණය සම්බන්ධයෙනි. අගවිනිසුරු සරත් එන් ද සිල්වා කිසියම් පුද්ගලයෙකු ලබා දුන් ඡායාරූපයක් බලා ‘ආ ඔබ වැලි ගොඩ දමා තියෙනවා’යැයි පවසා ඔවුන් සිරගෙට නියම කෙළේය. මෙවැනි දේ සිදු විය.
‘හිරගෙදර යවන්න හිටිය එක්කෙනා මම රජ ගෙදර යැව්වා’ යැයි ද ඔහු කීවේය. විශේෂයෙන්ම කිසියම් කෙනෙකුට සවන් දීමේ අයිතිය පිළිබඳ ක්‍රියා පටිපාටිය නියම කිරීම ඉතා වැදගත් ය. පුද්ගලයෙකුට දඬුවම් නියම කිරීමට පෙර ඉතාමත් සවිස්තරාත්මක ආකාරයෙන් සවන් දීම වැදගත් බව අපි දනිමු. අපහාස කිරීම සම්බන්ධ පැමිණිල්ලක් ඉදිරිපත් වු විට දඬුවම් දීම සම්බන්ධයෙන් ද අධිකරණයට කැමති ආකාරයට තීරණය ගැනීමට ඉඩ දෙන්නේ නැතිව කිසියම් ආකාරයක නිර්දේශයක්, කිසියම් සීමාවන් තිබිය යුතුය. අවාසනාවකට මෙන් මුල් පනතේ මෙම කරුණ ආමන්ත්‍රණය කර තිබුණ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂ සලකා බැලීමේ දී සීමාවන් පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නේය. එමනිසා ඇමතිවරයා කමිටු අවස්ථාවේ දී දඬුවම් පැමිණවීමේ සීමා ඉවත් කිරීම සඳහා සංශෝධන ඉදිරිපත් කර ඇත. මෙය ඉතාමත් නරක තත්වයකි. එය උත්ප්‍රාසයක් වන්නේ දැනටමත් ඇති නෛතික තත්වයකට බලයක් ලබා දී ඇති සේය. අපහාස කිරීම පිළිබඳව දඬුවම් කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති බව සහතික කරමින් සමහර විශේෂ තීරණ ගැන පාර්ලිමේන්තුව තම අසතුට ප්‍රකාශ කිරීම ය.
ඉන් අධිකරණයේ ගරුත්වය පහත් වන්නේ නැත. අඩුම වශයෙන් මෙය සාකච්ඡාවට ගැනීමට තැනක් තිබිය යුතුය. අධිකරණ තින්දු ගැන අප්‍රසාදය පළ කළ හැකි වන්නේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොවේ. පාර්ලිමේන්තුවෙන් පිටත ශාස්ත්‍රීය සාකච්ඡා විය යුතුය. එය අපහාස කිරීමක් නොවේ. ඔබට අධිකරණ විනිශ්චය ගැන එකඟ නොවී සිටිය හැකිය. දඬුවම් කිරීමේ සිමාවන් පනතින් ඉවත් කිරීම පනත ගෙන ඒමේ අරමුණ සිඳ දැමීමක් නිසා එය ඉවත දැමිය යුතුයැයි මම විශ්වාස කරමි.
උසාවිය සංයමකින් තොරව, ප්‍රමාණානුකූලතාවයක් නැතිව කෝපයෙන් ක්‍රියා කළ අවස්ථා අපි දැක ඇත්තෙමු. අපහාස වැරදිවල වර්ග කිරීමක්, එම අපහාස කිරීම් පිළිබඳ සීමාවන් නියම කළ යුතු වන්නේ එම නිසා ය. මාස හය, වසර එකක් සහ වසර දෙකකට නොවැඩි වශයෙන් වූ මුල් සීමාවන් සුදුසුයැයි මම සිතමි. අවාසනාවකට මෙන් අපට එය කළ නොහැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය නිසා ය. නිදසුනක් වශයෙන් අද දිනම කැබිනට් ඇමතිවරයෙකු විනිශ්චයකරුවන් සහ අධිකරණය ගැන කතා කෙළේය. ආණ්ඩුවේ මංත්‍රී කෙනෙකු එය කරන විට ස්ථාවර නියෝග නිසා එය කළ නොහැකියැයි විරෝධයක් මතු කරනු ඇත. එහෙත් අද මේ තත්වය අනුව පාර්ලිමේන්තුවේ එකද මංත්‍රී කෙනෙකු විරෝධය දක්වන්නේ නැත. මුලසුනේ සිටින නියෝජ්‍ය කතානායක ස්ථාවර නියෝග 83 පිළිබඳව ඇමතිවරයාගේ අවධානය යොමු කෙළේය. එහෙත් ඔහු තමාට කීමට අවශ්‍ය දේ කියා අවසන් කෙළේය. එය අද අධිකරණය පත්ව ඇති කනගාටුදායක තත්වය පිළිබිඹු කරයි. එය අධිකරණය පහත් කොට සැලකීමක්යැයි පසුබට විය යුතු නැත එය එසේ වන්නේ නැත. අධිකරණයට එම බලය ලබා දුන්නේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබා දුන්නේත් පාර්ලිමේන්තුවේ නීති ගත කිරීමෙනි.
කවර තත්වයක් යටතේ වුවද ජනතාවගේ අධිකරණ බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට යි. එය ක්‍රියාත්මක වන්නේ අධිකරණයෙන් සහ යුක්තිය පසිඳලීමේ වෙනත් ආයතන හරහා ය. එමනිසා මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට විශේෂ භූමිකාවක් පවතී. වෙනත් අධිකරණයන්හි ඇති වර්ධනයන් ගැන ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතුය. කෙසේ හෝ දැන් අධිකරණ නියෝග පිළිපැදිය යුතුය. ගරු කළ යුතුය. උසාවි නියෝග උල්ලංඝනය කරන අයට දඬුවම් දීමට ප්‍රතිපාදන ඇත. එහෙත් අධිකරණය අවමානයට ලක් කිරීම (Scandalising) හෝ අවමන් කිරීම අධිකරණය අපහාසයට ලක් කිරීමක් ද යන්න වෙනත් රටවල අධිකරණ දෙස ද බලා තීරණය කළ යුතුය. බොහෝ තැන්වල එය අපහාස කිරීමේ වරදක් වන්නේ නැත.
එංගලන්තය සහ වේල්සය 2013 දී එය අපහාස කිරීමෙන් ඉවත් කෙලේය. එසේ කෙළේ අධිකරණයෙන් ලබා දෙන නියෝග වෙනුවෙන් පෙනී සිටීමට පවා අධිකරණයට ලැබෙන කතා කිරීමේ, ප්‍රකාශ කිරීමේ සහ වගවීමේ නිදහස පිළිබඳ අදහස යටතේ ගැනෙන නිසාය. එය ප්රජාතන්ත්රවාදයේ වැදගත් ලක්ෂණයක් සේ ගැනේ. මෑතක දී පසුගිය වසරේ හෝ ආසන්නයේ දී වික්ටෝරියා නීති සංශෝධන කොමිසම නිකුත් කළ වාර්තාව මා සතුව ඇත. එය අනෙකුත් අධිකරණවල ද කොටස් වශයෙන් පළ වන ලේඛනයකි. අවමානයට ලක් කිරීම අපහාසයට ලක් කිරීමෙන් ඉවත් කර ඇත. එහෙත් සමහර තැන්වල භාවිතා කිරීමේ සීමාවන් සමග එය පවතී. එම සීමා කිරීම ඇත්තේ අධිකරණය කෙරේ ජනතා විශ්වාසය බිඳෙන ආකාරයේ ප්‍රකාශනවලින් ආරක්ෂාවීම සඳහා ය. ඉන් අදහස් වන්නේ ජනතා විශ්වාසය අධිකරණය දිනා ගත යුතුය යන්නයි. විශ්වාසය ඉල්ලා සිටිය යුත්තේ තම හැසිරීමෙනි. එය වැඩි හිටියෙකුට හෝ වෙනත් අයෙකුට ගරු කිරීමක් මෙනි. ගරුත්වය සහ පිළිගැනීම බලහත්කාරයෙන් නොව ඔවුන්ගේ හැසිරීමෙන් ලබා ගත යුතුය. සමහර කරුණු පිළිබඳව පැහැදිලි කිරීමට විනිශ්චයකරුවෝ ඉදිරිපත් වෙති. පැහැදිලි කිරීමට බැඳී ඇති බවට සමහර රටවල නීති සම්මත කර ඇත. තීන්දු දීමේ දී හේතු දැක්විය යුතු බව අපේ නීතියේ ද ඇත. එය මූලික සිද්ධාන්තයකි.
හේතු දැක්විය යුත්තේ ඇයි?
අධිකරණයට අණ කිරීමේ බලය ඇති නිසා අණ කෙළේයැයි කිව හැකිය. විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කළ විට හේතු කුමක්දැයි අප ඉල්ලා සිටින්නේ එම නිසා ය. බොහෝ අවස්ථාවල හේතු නොදක්වන්නේ එවැනි බැඳීමක් නැති නිසා ය. අවසර ලබා ගැනීමේ අවදියේ දී දින දහයක් තිස්සේ කරුනු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඇත. දින දහයක් තිස්සේ කරුනු දක්වන ලද එවැනි පෙත්සම් පූර්ණ විනිශ්චය මණ්ඩලයකින් අවසර ලබා දීමට හේතුවක් නැතැයි ප්‍රතික්ෂේප කරනු ඇත. එය නොවිය යුතුය. මහජන වැදගත් කමකින් යුත් කරුනුවලදී අවසර ලබා නොදීමේ හේතු දැක්විය යුතුය.
දැනට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පහළ උසාවිවල තීන්දු අධීක්ෂණය කරති. හේතු නොදැක්වීම ම අභියාචනයකට හේතුවකි. මෙම කරුනු ගැන සැලකිල්ලක් දක්වා නැත. එය ඉහළ උසාවිවලට ද අදාල විය යුතුය. වගවීම වන්නේ ජනතාවට ය. අධිකරණ බලය යනු ජනතාවගේ බලය බව තේරුම් ගත යුතුය. ජනතාවගේ බලය යනුවෙන් හැඳින්වෙන විට එහි තේරුමක් තිබිය යුතුය. අධිකරණයේ නිදහස අනුව විනිශ්චයකරුවෙකු පත් කළ විට විශේෂ ක්‍රියා පටිපාටියකින් තොරව ඔහු ඉවත් කළ නොහැකිය. ඉන් ඔහු හෝ ඇය ජනතාවට පිළිතුරු දීමට බැඳී සිටීමෙන් නිදහස් වන්නේ නැත. ඔවුන් ඉටු කරන කාර්ය ජනතාව විසින් ලබා දී ඇති බලයේ කාර්යන් ය. එම කාර්යන් ඉටු කිරීමේ දී ඔවුන් නිරන්තරයෙන්ම ජනතාවට වගවිය යුතුය.
අද උදෑසන මෙම සභාව රැස් වූ විට අධිකරණය අපකීර්තියට ලක් වෙන නොයෙකුත් අදහස් පළ විය. අද හෝ හෙට ජනතාව මෙම සභා ගර්භයේ දී පැවසූ දේ දැන ගනු ඇත. එවිට ජනතාව අධිකරණය කෙරේ අපහාසයෙන් බලනු ඇත. මා විශේෂයෙන් එම කරුණ ගැන සඳහන් නොකරමි. එහෙත් මා කලින් දැක් වූ අවස්ථාවල දී මෙන් අධිකරණය එසේ ක්‍රියා කර ඇත. මා කලින් සඳහන් කළ ආකාරයට හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා හිරගෙදර යවන්න හිටිය එක්කෙනාව මම රජගෙදරට යැව්වා. සමාව ඉල්ලනවා. ජනතාවගෙන් සමාව ඉල්ලනවා.” යනුවෙන් ප්‍රසිද්ධ වේදිකාවක දී ප්‍රකාශ කෙළේය. තවත් අවස්ථාවක අගවිනිසුරු පදවියට නිසි ආකාරයෙන් පත් කර නැතැයි තීරණය කළ තවත් අයෙකු “මා තනතුරෙන් ඉවත් කරන්න එපා. මම ආණ්ඩුව කැමති විදියට තීන්දු දෙන්නම්’‘යැයි තමාට පැවසුවේයැයි හිටපු ජනාධිපතිවරයෙකු වූ මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේම පැවසුවේය. අග විනිසුරු පදවියේ සිටි අයෙකු අධිකරණයේ ප්‍රධානියෙකු මෙසේ පවසන විට ජනතාව අධිකරණයට අපහාස කිරීම පුදුමයක් ද? එවිට අප කරන්නේ කුමක් ද?
මහෙස්ත්‍රාත් උසාවියක පොලිස් නිලධාරියෙකු කෙනෙකු කකුලත් පිට කකුලක් දමා ගෙන සිටීම පොතක් කියවීම උසාවියට අපහාස කිරීමක්යැයි සිතනු ඇත. එය උසාවියට ගරු කිරීම පිළිබඳ සාවද්‍ය අදහසකි. උසාවියට අවමානය කිරීම යන්න ඉවත් කළ යුතුයැයි මා සිතන්නේ එම නිසා ය. උසාවි නියෝගයක් කඩ කිරීමේ දී නියෝගයක් නිකුත් කිරීම නිවැරදි ය. ඊට දඬුවම් ලබා දිය යුතුය. එහෙත් උසාවියට අවමන් කිරීමේ වරද අද වැනි යුගයක නොතිබිය යුතුය. මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ දි කරුනු දක්වන විට එය ඉවත් කළ යුතුයැයි අප තර්ක කෙළේ ඒ නිසා ය. ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කළ යුතුය. සීමා ඉක්මවා යන විට එය කිසියම් ආකාරයෙන් හසුරුවන සමාජයීය බලපෑමක් ප්‍රජා සීමාවන් පැන වෙනු ඇත. මෙවැනි දැඩි නීති බලගැන්වීමෙන් සියල්ල නියාමනය කළ නොහැකිය.
අවාසනාවකට මෙන් මාර්ග ගත ආරක්ෂා පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන අපට එකඟවිය නොහැක. බරපතළ කරුනු ගණනාවක් මතු කරන ලදී. පෙත්සම් 54ක් ගොනු කර තිබිණ. නීතිඥයින් 45ක් කරුනු දැක් වූහ. දිනක් රාත්‍රි දහය වන තෙක් උසාවිය පැවැත් වින. පිටු 62 ක තීන්දුවක් ප්‍රකාශ කෙරිණ. එහෙත් පෙත්සම්කරුවන් මතු තළ ඉතා වැදගත් කරුනු ගණනාවක් තින්දුව ලිවීමේ දි සැලකිල්ලට ගෙන නැත.
අපට මෙය කිව හැක්කේ කොතැන ද?
දිගු කලක් තිස්සේ පැවති නිර්දේශිත ක්‍රියා පටිපාටියක් සහිත ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කෙරේ ඇමතිවරයා ගත් පියවරට ප්‍රශංසා කරන අතරම දඬුවම් නිර්දේශයක් ද කරනු ඇතැයි බලපොරොත්තු වූයෙමු. එසේ වූයේ නම් අපහාස කිරීමේ චෝදනාව ලත් පුද්ගලයා අඩුම වශයෙන් ක්‍රියා පටිපාටිමය වශයෙන් ආරක්ෂාවක් ඇති බව දැන සිටිනු ඇත. එහෙත් දැන් පවතින ආකාරයට දඬුවම් කිරීමේ සීමාවන් නොමැති නිසා අධිකරණයට අපහාස කිරීමට මරණ දඬුවම පවා නියම කළ හැකිය. එය කළ හැකි වුවත් තත්වය එසේ විය යුතු නැත.
තවත් වැදගත් කාරණයක් වන්නේ කාලය පිළිබඳව මුල් ව්‍යවස්ථාවේ පැවති අගය කළ යුතු ප්‍රතිපාදනයයි. එහි වූයේ ඊනියා වැරැද්ද සිදුව වසරක් ඇතුළත පියවර ගත යුතුය යන්නයි. විය යුතු වන්නේ ද එයයි. දැන් පවතින ආකාරයට අධිකරණයට එම පැමිණිල්ල කර වසරක් ඇතුළත පියවර ගත යුතුය. ඒ අනුව සිදු වූයේයැයි කියන වරද සිදුව වසර තිහකට හෝ පසුව කිසියම් පුද්ගලයෙකු පැමිණිල්ලක් කළ හොත් එතැන් සිට වසරක් ඇතුළත පියවර ගත හැකිය. එහි කියවෙන්නේ එසේය. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වරදකට පවා වසර 20ක කාල සීමාවක් පැවතිය දී කිසිම සීමාවක් නැති විය හැක්කේ කෙසේද? ඇත්තෙන්ම කාල සීමාවක් තිබිය යුතුය.
ඇමතිවරයාට ස්තූති කරන අතරම මෙම පනතින් අවමන් කිරීමේ අපහාසය ඉවත් කරන මෙන් සහ දඬුවම් පැනවීමේ සීමා ඇතුළත් කිරීමට සහ කාල සීමා දැක්වීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ගෙනෙන මෙන් ඉල්ලා සිටිමි.