You are currently viewing හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ..

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ..

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. ඉන් අදහස් වන්නේ රෝපනය කළ බීජයකින් නිසි පලප්‍රයෝජන ගැනීමට හැකි වන ආකාරයට ගසක් හෝ වැලක් වැඩේද යන්න බීජයෙන් පිටවන පළමු පෙති දෙකින්ම නිශ්චය කළ හැකිය යන්නයි. සාමාන්‍ය ගොවියාට උද්භිද විද්‍යාව ගැන විද්‍යාත්මක දැනුමක් නැති වුවද කලක් තිස්සේ නිරීක්ෂණයෙන් සහ අත්දැකීමෙන් ලබා ගන්නා දැනුමෙන් රෝපනය කළ බීජයෙන් නිසි අස්වැන්නක් ලබා ගත හැකි ද යන්න තීරණය කළ හැකිය. ඔහුගේ සාර්ථකත්වය රඳා පවතින්නේ එවැනි නිරීක්ෂණය කිරීමේ හැකියාව මතය.

ජනවහරේ මෙම කියමන සිහි වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කෝඩුකාර ඇමතිවරුන් කතා කරන ආකාරය සහ සමහර තීරණ ගන්නා ආකාරය දෙස බැලීමෙනි. පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී මෙම නවකයන්ට එරෙහිව එල්ල වූ චෝදනාවක් වූයේ ඔවුන්ට පලපුරුද්දක් නැති නිසා රටේ පාලනය භාර දීම සුදුසු ද යන්නයි. පසුගිය වසර හැත්තෑ හයක අසාර්ථක දේශපාලනයකට උරුමකම් කියන අය තමන් මෙම නවකයන්ට වඩා සුදුසුයැයි කීවේ වසර ගණනාවක්ම පාර්ලිමේන්තු දේශපාලනයේ යෙදි සිටීම මතය. එම කාලය තුළ ජනතාවට ඵලදායී සේවයක් ඉටු කෙළේද යන්න ගැන ඔවුන් සැලකිල්ලක් දැක් වූයේ නැත. වැදගත් වූයේ මහජන නියෝජිතයෙකු ලෙස කොපමණ කාලයක් මංත්‍රීවරයෙකුට හිමි සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් පාර්ලිමේන්තුවේ සිටියා යන්න පමණි. එවැනි ගණන් බැලීම්වල අවසාන ප්‍රතිඵලය වූයේ රටම බංකොළොත් වී දෙසිය විසිපහම එපා යන්න ජනගත වීමය.

මෙම පලපුරුදුකම් ගැන විවාදය මතු වූ විට ජනබලවේගයේ තර්කය වූයේ තමන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ට පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීමේ පලපුරුද්දක් නැති වුවද දේශපාලනයේ යෙදී සිටීමේ මනා පලපුරුද්දක් ඇත යන්නයි. ඇත්තෙන්ම එය ප්‍රබල තර්කයකි. දේශපාලන පලපුරුද්ද  මැතිවරණවලට ඉදිරිපත්වීමෙන් පමණක් ලබා ගත නොහැකිය. මැතිවරණ දේශපාලනයට ඇබ්බැහි වූවන්ට පලපුරුද්ද ඇත්තේ මැතිවරණ සටන් දිනා ගන්නා ආකාරය ගැනය. කිසි දින ඉටු කළ නොහැකි පොරොන්දු දී ජන කැමැත්ත ලබා ගන්නා ආකාරයයි. මැතිවරණ සටන දිනා ගත් පසු ජනතාව මැඩි පොල්කුඩු සේ ඉවත දැමීම පසුගිය දශක ගණනාව තුළ සිදු විය. රවටනු ලැබු ජනතව සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ නායකයන් ප්‍රතික්ෂේප කෙළේ එම නිසාය. ඡන්දය ලබා ගෙන පාර්ලිමේන්තුවට පිවිසෙන ඔවුන් මහජන නියෝජිතයන් වූයේ නමට පමණි. ඔවුන් සැබැවින්ම නියෝජනය කෙළේ තමන්ගේම අවශ්‍යතාවයයි. ‘සිස්ටම් චේන්ජ්’ එකක් අවශ්‍ය වූයේ එම නිසාය.

අපට මෙවැනි අදහස් සිතට නැගුණේ පසුගිය දිනක අගමැතිනි හරිනි අමරසූරිය මහජන චීනයෙන් ලංකාවේ පාසල් සිසුන්ට පරිත්‍යාගයක් වශයෙන් ලැබුණු රෙදි තොගයක් භාර දීමේ උත්සවයේ දී කළ කතාවක් ගැන පුවත් පත්වල පළ වූ වාර්තා නිසාය. එම තොරතුරු ජනමාධ්‍යයේ පළවීම ඇය පාර්ලිමේන්තුවේ දී විවේචනය කළ බවද වාර්තා විය. ජනමාධ්‍යයේ තොරතුරු විකෘති කිරීමත් පුද්ගලයන් අපහසුවට ලක් වන ආකාරයට පළ කිරීමත් එම වෘත්තියේම ලක්ෂණයකි. ඒවාට වාරණ තහංචි පැනවීම බොහෝ විට අතීසාරයට අමුඩ ගැසීමක් විය හැකිය. වැදගත් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළ ආකාරයට සුළු හෝ වැරැද්දක් නොකිරීම සහ වැරැද්දක් සිදු වූයේ නම් එය නිවැරද කර ගැනීමට අවංකවම කැප වීම ය.

අගමැතිනි හරිනි අමරසූරිය ජනමාධ්‍යයේ විවේචනයට ලක් වූයේ ඇය වරායේ පැවති උත්සවයට ප්‍රමාද වී පැමිණීම සහ එහිදි ඇය කළ කතාවේ දී මහජන චීන සමූහාණ්ඩුව වෙනුවට චීන සමූහාණ්ඩුව යන්න යොදා ගැනීම ය. ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දු නොවන සාමාන්‍ය කෙනෙකුට මහජන චීන සමූහාණ්ඩුව යන්නත් සහ චීන සමූහාණ්ඩුව යන්නත් අතර වෙනසක් දැකිය නොහැකිය. එහෙත් ජාත්‍යන්තර දේශපාලනය අනුව එය බරපතළ වැරැද්දකි. වත්මන් චීනයේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම විකෘති කිරීමකි.

චීන සමූහාණ්ඩුව යනුයෙන් හැඳින් වෙන්නේ චීනයෙන් පලා ආ චියාන්කායිෂෙක් ඇමරිකානු සහාය ඇතිව පෝර්මෝසා නමින් හැඳින් වූ කුඩා දූපතේ පිහිටුවා ගත් පාලනයයි. මහජව චීන සමූහාණ්ඩුව යන්නෙන් අදහස් කරන්නේ බීජිං හි පිහිටි ජාත්‍යන්තරව පිළිගත් පාලනයයි. මේ දෙක පටලවා ගැනීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බරපතළ වැරැද්දකි. සමහර විට එම උත්සවයට පැමිණ සිටි චීන තානාපතිවරයා පවා මෙය වචන යොදා ගැනීමේ අඩුවක් සේ පෙනෙන්නට ඇත. මහජන චීනයත් ශ්‍රී ලංකාවත් අතර ඇති සම්බන්ධතාවය දීර්ඝකාලීන ශක්තිමත් බැම්මක් බව ඔහුට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. බරපතළ කාරණයක් සේ සැලකුවේ නම් වහාම ඊට ප්‍රතිචාර දක්වනු ඇත.

අනෙක් කාරණය උත්සවයට පැයක් ප්‍රමාද වී පැමිණීම ය. එයට ද අගමැතිනි හරිනිට සාධාරණ හේතු තිබෙන්නට ඇත. එහෙත් ඒවා නිසි ආකාරයට සන්නිවේදනය නොවීමෙන් පෙනී යන්නේ නොසැලකිල්ල සහ ආකාර්යක්ෂමතාවය වැනි කරුණුය.

2025 අධ්‍යයන වර්ෂය සඳහා චීනය විසින් පරිත්‍යාග කරන ලද පාසල් නිල ඇඳුම් චීන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත භාරදුන්න අවස්ථාව..

හැදෙන ගහේ දෙපෙත්ත සිහි වන්නේ මෙවැනි සිද්ධීන් නිසාය. කතාවක් කිරීමට පෙර කියන දේ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම සහ නියමිත වේලාවට අවශ්‍ය දේ නොකිරීම පුරුද්දක් බවට පත්වීම බරපතළ ව්‍යාධියක මූලික ලක්ෂණයයි. ඉන් සනිටුහන් වන්නේ තවත් ජනවහරක් අනුව නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරොවෙන් කැපීමට බැරි තත්වයට පත්වීමේ අනතුරයි.

මෙවැනි මානසික තත්වයක් ඇති වන්නේ තමන් ගැන අධිකසේරුවක් පැවතීම සහ අනුන් ගැන අවතක්සේරුවක් පැවතීම නිසාය. තමා කියන දේ අනෙකුත් අය ඒ සැටියෙන්ම භාර ගන්නා බවට විශ්වාසයක් තිබීම නිසා කියන දේ ගැන කලින් සූදානම් වීම අනවශ්‍ය ය. වේලාව ගැන තක්සේරු කරන්නේ ද එසේය. නියමිත වේලාවට පැමිණීමට නොහැකිවීම අනෙක් අය විඳ දරා ගත යුතුය. තමා වෙනුවෙන් ඔවුන්ගේ කාලය අපතේ යැවීම වැදගත් වන්නේ නැත. එය ඔවුන් තමා වෙනුවෙන් දැරිය යුතු පිරිවැයකි. ඒ සියල්ලෙන් කියවෙන්නේ තමා ඔවුන්ට වඩා වැදගත් ඉහළ තලයක සිටින්නේය යන ප්‍රභූ මානසිකත්වය යි.

මෙම අනතුරෙන් මිදිය හැකි වන්නේ ජනතාව ගැනත් තමන්ගේ කාර්ය භාරය ගැනත් සංවේදී වීමෙනි. වෙනත් වචනයකින් නම් ජනතාවාදී දේශපාලනයෙනි. සංවේදී නායකයාට වැදගත් වන්නේ තමා නොව අනිකා ය. තමා කරන කියන දේ අනෙකාට බලපාන ආකාරය ගැන සංවේදී වීමෙනි. දේශපාලන බලයෙන් සිදු වන්නේ මෙම සංවේදී භාවය ක්‍රම ක්‍රමයෙන් සිඳී යෑමය. ජනතා නියෝජිතයා ජනතා නායකයා බවට පත් වන්නේ ඒ ආකාරයෙනි. මෙම ව්‍යාධියේ ලක්ෂණය පිළිකාවක් මෙන් මුල් අවස්ථාවේ හඳුනා ගත නොහැකිය. එය සමහර විට මහජන චීන සමූහාණ්ඩුව වෙනුවට චීන සමූහාණ්ඩුව වැනි යෙදුමක් හෝ පැයක් දෙකක් ප්‍රමාදවීම වැනි ලක්ෂණයක් විය හැකිය. එය මුල් අවස්ථාවේ දී හඳුනා ගෙන නිසි ප්‍රතිකාර නොකළ හොත් ප්‍රතිකාරයක් නැති රෝගී තත්වයක් වනු ඇත.

අද රට මුහුණ දී ඇති දේශපාලන ආර්ථික අර්බූදයට විසඳුම් සෙවීමේ දී සංවේදී නායකත්වයක් තිරණාත්මක වන්නේ එම නිසාය. සංවේදී නායකත්වයක් බිහි වන්නේ භාවිතයෙන් සහ ආදර්ශයෙන් බව මෙම කෝඩුකාර පාලකයන් සිහි තබා ගැනීම වැදගත් ය. 

Leave a Reply