ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්විමත් සමග බරපතළ අර්බූද දෙකකට මුහුණ දීමට සිදු විය. ඒ සහල් සහ පොල් හිඟයයි. ඒ සමගම දිය ලුණු හිඟයක් ද මතු වු නමුත් වඩාත්ම කතා බහට ලක් වූයේ සහල් සහ පොල් හිඟයයි. සහල් හිගයක් වාර්තා වූයේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන කැකුළු සහල් සහ නාඩු නමින් හඳුන්වන තැම්බූ සහල් සඳහාය. ඉහළ මධ්‍යම පංතිය වැඩියෙන්ම පරිභෝජනයට ගන්නා සම්බා හෝ කිරි සම්බා වල අඩුවක් වෙළඳ පොළ දක්නට නැත. එමනිසා ආර්ථිකයේ වෙනසක් අපේක්ෂාවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගේ ආහාර වේල පිළිබඳ ප්‍රශ්නයක් වූ සහල් සහ පොල් හිඟයට වහාම විසඳුමක් සෙවීම නව අභියෝගවලට මුහුණ දීමට රජයට ඇති හැකියාව පරීක්ෂණයට ලක් කිරීමකි.
සහල් සැමදාම ලංකාවේ දේශපාලනයේ අභියෝගාත්මක ප්‍රශ්නයකි. නවසිය පනස් ගණන්වල මුළ ශත විසි පහට තිබු හාල් සේරුව ශත හැත්තෑ දෙකක් කිරීම නිදහස් ලංකාවේ පළමු ජනතා නැගිටිම වූ පනස් දෙකේ හර්තාලයට හේතු විය. ඩඩ්ලි සේනානායක ට සිය පියාගෙන් උරුම වූ අගමැති පදවිය අතහැර යෑමට සිදු වූයේ එම ජනතා නැගිටීම නිසාය. ඉන් පසුව පනස් හයේ ආණ්ඩු පෙරළියට හේතු වූ ප්‍රබල කරුණක් වූයේ ද හාල් ප්‍රශ්නයයි. හැත්තෑ හතේ ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වන තෙක් සෑම මැතිවරණයක දීම පහසු මිලට හාල් සැපයීම තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයක් විය. හැත්තෑවේ දී සමගි පෙරමුණට නායකත්වය දුන් සිරිමා බණ්ඩාරනායක හඳෙන් හෝ හාල් ගෙනවිත් දීමට පොරොන්දු වුවාය. හැත්තෑ හතේ දී ජේ ආර් ද ඇට රාත්තල් අටක් ලබා දීමට පොරොන්දු වූයේය. එහෙත් ඔහු බලයට පත් වීමෙන් පසු සහල් සහනාධාරය සම්පූර්ණයෙන්ම කපා හැරියේය. ඉන් පසුව පැවති මහා මැතිවරණවලදී සහල් මිල තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයක් වූයේ නැත.
එහෙත් ජීවන වියදම සියලු දේශපාලන වේදිකාවල නිතර කතා බහට ලක් වූ මාතෘකාවකි. ජන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ දත්ත අනුව 2019 සිට 2024 දක්වා කාලය තුළ පුද්ගලයෙකුගේ මාසික වියදම රු. 6966.00 සිට 17014.00 දක්වා සියයට 144කින් වැඩි විය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ දරිද්‍රතාවය සියයට 11 සිට 26 දක්වා ඉහළ යෑමය. වෙනත් ආකාරයෙන් රටේ ජන සංඛ්‍යාවෙන් හතරෙන් එකක්ම දරිද්‍රතා මට්ටමට පත්විම ය. දරිද්‍රතාවය වැඩිවීමට මූලික ආහාර මිල ඉහළ යෑමට අමතරව තවත් සාධක බලපැවැත් වූ නමුත් ආහාර ප්‍රශ්නය ඒ සියල්ලට වඩා වැදගත් ය.
එවැනි පරිසරයක සහල් පොල් මිල නව රජයේ නිර්මාණයක් නොවන නමුත් එය වහාම විසඳුම් සෙවිය යුතු තීරණාත්මක ගැටලුවකි. එය තීරණාත්මක වන්නේ සාධාරණ මිලකට ජනතාවට සහල් ලබා දීම පමණක් නොවේ. එවැනි ප්‍රශ්න මින් ඉදිරියට ඇති නොවිමට නව රජය ගන්නා ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ද අතිශයෙන් වැදගත් ය.
ජනාධිපති අනුර කුමාර ප්‍රකාශ කර ඇති ආකාරයට දිවයිනේ සහල් හිගයක් ඇතිවීමට හේතුවක් නැත. දිවයිනේ සහල් නිෂ්පාදනය මෙට්්රක් ටොන් දශ ලක්ෂ 4.2 කි. වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් දශලක්ෂ 2.4කි. එම ගණන් බැලීම කර ඇත්තේ සාමාන්‍ය පුද්ගලයෙකු වසරකට සහල් කි.ග්රෑ. 110ක් පරිභෝජනය කරන්නේය යන පදනම යටතේය. එහෙත් ආදායම් තත්වය අනුව බොහෝ දෙනකුට එම පරිභෝජන මට්ටම හෝ පවත්වා ගත නොහැකිය. එමනිසා සත්‍ය වශයෙන්ම වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් දශ ලක්ෂ 2.4ට වඩා අඩු විය හැකිය. මතුවන ප්‍රශ්නය වන්නේ සංඛ්‍යා ලේඛන අනුව අතිරික්ත සහල් නිෂ්පාදනයක් පැවතිය ද වෙළඳ පොළේ සහල් හිගයක් හට ගත්තේ කෙසේද යන්නයි.
සරල උත්තරය වූයේ විශාල සහල් මෝල් හිමියන් (සහල් මාපියාව) සහල් තොග සඟවා ගෙන සිටින්නේය යන්නයි. ඒ නිසා විශාල සහල් මෝල් හිමියන්ගේ ගබඩා පරිශ්‍ර පරික්ෂාවට ලක් කෙරිණ. සහල් මෝල් හිමියන් ජනාධිපති කාර්යාලයට කැඳවා සාකච්ඡා පැවැත් වූ බවද ජනමාධ්‍යයේ පළ විය. අවසානයේ කෝකටත් තෛලය වූ මිල පාලනයක් ද ප්‍රකාශ කොට හදිසි වටලෑම් ද සිදු කෙරිණ.
තවත් විසඳුමක් වූයේ සහල් මෙට්‍රික් ටොන් 70,000ක් හදිසි අවශ්‍යතාවයක් ලෙස ආනයනය කිරීමට නිදහස් ආනයන බලපත්‍ර ලබා දිම ය. එහෙත් පුදුමයට මෙන් මේ කිසිවක් සහල් මිලේ අඩුවකට හෝ වෙළඳ පොළේ සහල් සුලබතාවයකට හේතු වූයේ නැත. බොහෝ සිල්ලර වෙළඳුන් පාලන මිල නොසලකා වැඩි මිලට සහල් අලෙවි කළ අතර රතු කැකුළු වැනි සහල් හිඟය පෙර පරිදිම පැවතිණ. හදිසි පියවරක් වශයෙන් සතොස අලෙවි සල් මගින් පාලන මිලට සීමා සහිත ප්‍රමාණයක සහල් අලෙවි කළ ද එය වෙළඳ පොළට දැඩි බලපෑමක් ඇති කළ බවක් නොපෙනේ. පාලන මිල වූ රු. 230ට සහල් ලබා ගත හැක්කේ සතොසෙන් පමණි. සුපිරි වෙළඳ සැල්වල පවා සහල් මිල ඊට වැඩිය.
හේතු කාරක කුමක් වුවත් වෙළඳ පොළේ පවතින සහල් හිගය නැතිනම් වඩාත් නිවැරදිව මිල ඉහළ යෑම වැළැක්වීමට රජය ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව පැහැදිලිය. අද පවතින වෙළඳ පොළ තත්වය අනුව මිල පාලනය සාර්ථක විසඳුමක් නොවේ. පාලන මිලට අලෙවි කළ නොහැකි නිසා වෙළඳුන්ගේ ප්‍රතිචාරය වන්නේ සහල් විකිණීම නතර කිරීමය. එවිට පාරිභෝගිකයන් ට නියමිත මිලට සහල් ලබා දීමේ වෙනත් යාන්ත්‍රණයක් ද නැත නමසිය හැට ගණන්වල පැවති ආකාරය කූපන් පොතට සහල් ලබා දීම අද පවතින තත්වයට කිසිසේත් ගැලපෙන්නේ නැත. ප්‍රයෝගික ද නැත.
වත්මන් පාලකයන් මෙම තත්වය සැලකිල්ලට ගෙන ප්‍රායෝගික විසඳුම් සෙවීමට නිර්මාණශීලී විය යුතුය. සමුපකාර ක්‍රමය නැවත පණ ගැන්වීම සුදුසු මෙන්ම අවශ්‍ය දෙයක් වුවද ඒ හැත්තෑ ගණන්වල තිබු සමුපතාර ක්‍රමය නැවත හඳුන්වා දීමක් නොවිය යුතුය. ජනතාවගේ ස්වේච්ඡා ව්‍යාපාරයක් විය යුතු වූ සමුපකාර ක්‍රමය දේශපාලන අධිකාරිය යටතට පත් කිරීම නිසා සමුපකාර ක්‍රමයත් දේශපාලනයත් පිරිහීමකට වඩා කඩා වැටීමකට ලක් විය. සමගි පෙරමුණු රජයේ සියලු පාර්ශ්වයක් හැත්තෑහතේ මැතිවරණයේ දී අන්ත පරාජයකට පත් වූයේ එමනිසාය. නව පාලකයන් මෙය අවබෝධ කර ගැනීම වැදගත් දේශපාලන පාඩමකි.
පළමුවෙන්ම තමන් ගන්නා ප්‍රතිපත්ති පියවර කා සඳහා ද කුමක් අරමුණු කර ගෙන ද යන්න ගැන ජනාධිපතිටත් සෙසු ඇමතීන්ටත් අවබෝධයක් තිබිය යුතුය. නිදසුනක් වශයෙන් සහල් හිඟයට කඩිනම් විසඳුමක් වශයෙන් සහල් ආනයනය කිරීමේ තීරණය දැක් විය හැකිය. සහල් ආනයනයට තීරණ කිරීම එක අතකින් වෙළඳ පොළ මිල පාලනයට ගත් පියවරකි. දෙවැනිව සහල් තොග සඟවා ගෙන ඇතැයි කියන මාපියාවට පිළිතුරකි. සහල් තොග දිගු කලක් සඟවා ගෙන සිටිය නොහැකි නිසා ඔවුන්ට සහල් තොග එළියට දැමීමට සිදු වේ. එවිට සහල් මිල පහත වැටෙනු ඇත. එහෙත් රජයේම තවත් හස්තයක් එය දුටුවේ රජයේ ආධායම් වැඩි කර ගැනීමට අවස්ථාවක් සේය. ඒ නිසා සහල් කිලෝවකට පනවා තිබු ආනයන බද්ද රු. 25 සිට 60 දක්වා වැඩි කෙරිණ.
මින් අදහස් වන්නේ කුමක් ද? පාරිභෝගිකයාට පහසු මිලට සහල් ලබා දීමේ උත්සාහය ව්‍යාර්ථ කිරීමකි. සහල් කිලෝවක් රු. 230ක් යනු සාමාන්‍ය ආදායම් ලබන අයෙකුට පවා දැරිිය නොහැකි මිලකි. මාස කීපයකට පෙර සහල් කිලෝවක් රු. 150-180ත් අතර මිලක පැවතිණ. ඒ තත්වය යටතේ හෝ තුන් වේලට ප්‍රමාණවත් ආහාර සපයා ගැනීම සාමාන්‍ය පවුලකට දැරිය නොහැකි තරම් ය. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුව පවසන ආකාරයට පවුල්වලින් සියයට 60කම ආදායම් තත්වය පසුගිය වසර කීපය තුළ පහත වැටිණ. එවැනි තත්වයක් යටතේ ජනතාවාදී රජයක ප්‍රමුඛතාවය විය යුත්තේ පහසු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබා දීමය. එය රජයේ ආදායම වැඩි කිරීමේ මාර්ගයක් කර ගැනීම පැරණි මාර්ගයේම යන අලුත් ගමනකි.
තීරු බදු වැඩි කිරීම ගොවියා ආරක්ෂා කිරීමටය යන්න තර්කය ද බොළඳ එකකි. ගොවියා වෙත වී තොග පවතින්නේ නම් සහල් මිල ඉහළ යෑමට හේතුවක් නැත. ඇත්තෙන්ම දැන් සහල් තොග ඇත්තේ මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් වෙතය. තීරු බදු වැඩි කිරීමේ වාසිය යන්නේ ගොවීන්ට නොව පාරිභෝගිකයා සූරා කෑමට යොමුව සිටින ව්‍යාපාරිකයන්ට ය. සාමාන්‍ය ගොවියෙකුට තම අස්වැන්න රඳවා ගෙන සිටීමට ආර්ථික හැකියාවක් නැත. සමහර ගොවීන් තම අස්වැන්න කුඹුරේදීම විකුණා දමන බව ගොවි නායකයන්ට රහසක් විය නොහැකිය.
වෙළඳ පොළේ වී මිල ස්ථාවරව පවත්වා ගැනීම සිදු කළ යුත්තේ අස්වැන්න නෙළන කාලයේ දීය. එවැනි අවස්ථාවක සහල් ආනයනය සීමා කිරීම හෝ සුදුසු ආකාරයට තීරු බදු වැඩි කළ හැකිය. සහල් හිඟයක් පවතින අවස්ථාවේ තීරු බදු තවත් වැඩි කිරීම පාරිභෝගිකයා සූරා කෑමකි. දැනට සිදුව ඇත්තේ සහල් තොග රැස් කර ගෙන සිටින මෝල් හිමියන් ට අඩු මිලට ගත් වී තොග සහල් කර වැඩි මිලකට විකිණීමට අවස්ථාව සැලසීමකි.
සහල් මිල ස්ථාවර කිරීමට වී අලෙවි මණ්ඩලය නැවත ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයද ඊට වෙනස් නොවේ. ඉදිරි ලිපියකින් අපි ඒ ගැන සාකච්ඡා කරමු.
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024