ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ කළ පළමු පත්වීම හකුළා ගැනීමට සිදු විය. ඒ කතානායක ධුරයට පත් කළ අශෝක රන්වල අධ්‍යාපන සුදුසුකම් ලෙස සාවද්‍ය තොරතුරු සඳහන් කෙළේයැයි නැගුණ චෝදනාව නිසා ඉල්ලා අස්වීමය. අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රථමයෙන්ම කතා බහට ලක් වූයේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය ඔහුට උපාධියක් නැතැයි ද තිබේ නම් ඔප්පු කරන්නැයි ප්‍රසිද්ධියේ අභියෝග කිරීමත් සමග ය. පාර්ලිමේන්තු මැතිවරණයේ දී අන්ත පරාජයට පත්ව කර කියා ගැනීමට දෙයක් නැතිව ළත වු විපක්ෂයට එය කදිම පිදුරු ගසක් විය.
වහාම ක්‍රියාත්මක වූ සමගි ජනබලවේගය විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට අත්සන් එකතු කිරීම ආරම්භ කෙළේ රූපවාහිනි කැමරා ඉදිරියේය. සමගි ජනබල වේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර එය හැඳින් වූයේ පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ ශ්‍රමදානයේ අවසන් පියවර සේය. කෙසේ වුවත් අශෝක රන්වල තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුව රැස්විමට පෙරාතුවම භාරදීම නිසා වේදිකාවට ගොඩවීමටත් පෙර නාටකය අවසන් විය.
රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රසිද්ධ විවාදය ඇරඹීමත් සමගම දේශපාලකයන් මෙන්ම විවිධ විශාරදයෝ කතානායක තනතුරේ ඇති භාරදූර වගකීම් ගැන ජනතාවට නැවත සිහිපත් කළහ. මෙවැනි ප්රශ්නවලදී ජනතාව දැනුවත් කිරීමට ප්රබුද්ධ පුද්ගලයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වීම ප්රජාතන්ත්රවාදි සමාජයක අගය කළ යුතුය. එහෙත් වෙනසක් අපේක්ෂාවෙන් පසුගිය මහා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ සුවහසක් ජනතාවගේ දැනුම ඊට වඩා ඉදිරියෙන් ඇති බවද අමතක නොකළ යුතුය. වැඩි ඈතකට නොගිය ද පසුගිය පාර්ලිමේන්තුවේ ගරු කතානායක සිය භාරදූර කාර්ය තම දේශපාලන ස්වාමි පුතුන්ට අවැඩක් නොවන ආකාරයට ඉටු කළ ආකාරය තවමත් ජනතා මතකයෙන් ඈත්ව නැත. ඊටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුව සිටි ෂිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවෙන් නඩු විභාග කොට ඉවත් කිරීමේ දී කතානායකවරයා පාර්ලිමේන්තුවේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් ගෞරවය රැකි ආකාරය ෂිරාණි බණ්ඩාරනායක පළ කළ ‘උත්තරීතර දෝෂාභියෝගයේ ඇතුළාන්තය’ කම් කෘතියේ මැනැවින් විස්තර කර ඇත. එමනිසා කතානායක තනතුරේ ගරුත්වය රැකි ආකාරය ගැන අටුවා වීකා අනවශ්‍ය ය.
එහෙත් ඒ සමගම එම තනතුරේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ඉහළින්ම ආරක්ෂා කළ කතානායකවරුන් සිටි බවද සඳහන් කළ යුතුය.
පළමුවෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට පාර්ලිමේන්තු මංත්රීවරයෙකු වීම සඳහා සුදුසුකම වන්නේ ඡන්දදායකයෙකු වීම පමණය. එහිම 91 වැනි ව්‍යවස්ථාවේ ඇති විධි විධාන යටතේ පාර්ලිමේන්තු මංත්රීවරයෙකු වීමට ඇති නුසුදුසුකම් ද දක්වා ඇත. එහි අධ්‍යාපක සුදුසුකම් ගැන කිසිත් සඳහන් වන්නේ නැත. ඒ සමගම ඕනෑම මංත්රිවරයෙකුට කතානායක ධුරය සඳහා ඉදිරිපත්වීම ට සුදුසුකම ද අනිවාර්යෙන්ම හිමි වේ. එමනිසා අධ්‍යාපන සුදුසුකම්වල අඩු පාඩුවක් අනුව කතානායක ධුරයෙන් ඉවත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍යතාවයක් නැත.
මෙහිදී වැදගත්ම ප්රශ්නය වන්නේ ලබා නැති අධ්‍යාපන සුදුසුකම් සතුව ඇතැයි ඉදිරිපත් කිරීම නිසා ජනතාව නොමග යැවීමේ උත්සාහයයි. ඡන්ද අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වූ විට ද රන්වල මෙතෙක් තහවුරු කර නොමැති අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර තිබීම වැරැද්දකි. එය කතානායක ධුරය පිළිබඳ ප්‍රශ්නයක් නොව මහජනයා නොමග යැවීමේ උත්සායක් නිසා ය. පසුගිය මහා මැතිවරණයේ දී ජනතාව ඔහුගේ හෝ එම පක්ෂයෙන් ඉදිරිපත් වූ අනෙකුත් අයගේ අධ්‍යාපන සුදුසුකම් බැලීමට වඩා උනන්දු වූයේ බලයේ සිටි පාලකයන් ඉවත් කිරීම ය. එහි දී පිටු සිය ගණනක් වූ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා ඡන්දය දීමට තීරණය කළ සංඛ්‍යාව බෙහෙවින් කුඩා විය හැකිය. එමනිසා මෙම ප්රශ්නය දෙස බැලිය යුත්තේ සදාචාරමය දාෂ්ටි කෝණයෙනි.
ජනතාව තුළ කැකෑරෙමින් තිබු අපේක්ෂාව තමන්ගේ වාසියට යොදා ගැනීමට පහසු මාර්ග සොයා ගිය සමහරු අධ්‍යාපන සුදුසුකම් ද තම සන්නාමය ලෙස යොදා ගැනීමට උනන්දු වූහ. ඇත්තෙන්ම මෙම සුළු ධනේශ්වර චින්තනය දේශපාලනයට ප්‍රවිෂ්ට වූයේ ද සමාජයේ තිබු ඇතැම් ලක්ෂණ තුළිණි. කලකට පෙර සුදුසකම් ලත් ඉංජිනේරුවන් පවා නමට ඉදිරියෙන් ඉංජිනේරු යන්න යෙදුවේ නැත. සමහර ආචාරයවරුන් පවා එය නම්බු නාමයක් ලෙස යොදා ගත්තේ නැත. එහෙත් සුළු ධනේශ්වර චින්තනය සමාජය පුරා පැතිරෙත්ම තම අධ්‍යාපන සුදුසුකම් හුවා දැක්වීම ආභරණයක් කර ගත් බොහෝ දෙනකු විය. හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මර්වින් සිල්වා පවා තම නමට ඉදිරියෙන් ආචාර්ය යන්න ආඩම්බරයෙන් යොදා ගත්තේය. එමන්ම මුදල් ගෙවා “ආචාර්ය” පට්ටම් විකිණීමේ ආයතන ද බිහි විය.
ඇත්තෙන්ම දේශපාලනයට වැදගත් වන්නේ අධ්‍යාපන සුදුසකම් නොවේ. මහජන සේවයට ඇති කැපවීමය. එවැනි කැපවීමක් ඇති වන්නේ ජනතාව මුහුණ දෙන සහ පිළිතුරු බලාපොරොත්තු වන ගැටළු ගැන අවබෝධයක් ලබා ගැනීමෙනි. එහි දී අධ්‍යාපනය වැදගත් සාධකයක් වුවද තීරණාත්මක නොවේ. චීන විප්ලවයේ ඉතිහාසය සහ මාවෝ චින්තනය හැදෑරු බොහෝ දෙනෙකුට සිහිපත් කළ හැකි ආකාරයට මාවෝ සේතුං ජනතාවගෙන් ඉගෙන ගන්න කීවේ එම නිසාය. බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් ගණිතමය සමීකරණ ආශ්රයෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගන්නා ගැටළුවලට ජනතාවගෙන් පැහැදිලි ප්‍රයෝගික විසඳුම් ලබා ගත හැකිය. එහිදී වැදගත් වන්නේ බුද්ධියයි. ඇත්තෙන්ම සුළු ධනේහ්වර චින්තනයෙන් ජනතාව විස්මිත කිරීමට ප්රයත්න ගන්නා බොහෝ දෙනෙකුට නැත්තේ එම බුද්ධියයි.
ජීවන තක්ෂිලාව ගැන අප නිතර අසා ඇත. තුන් වැනි වරටත් ඉන්දියාවේ අගමැති තනතුරට තේරී පත් නරේන්ද්‍ර මෝදි දේශපාලනය ඉගෙන ගත්තේ විශ්වවිද්‍යාලවලින් නොවේ. ඔහුගේ දේශපාලනය ජනහිතකාමී නොවුවද ශාස්ත්‍රීය දැනුම ඇති අයට වඩා ජනතාව ආමන්ත්‍රණය කිරීමටත් දිනා ගැනීමටත් ඔහුට ඇති හැකියාව සැබැවින්ම අගය කළ යුතුය. තම ජනතාව අධිරාජ්‍යවාදී ග්රහණයෙන් මුදා ගැනීමට විප්ලවවාදී ව්‍යාපාරයකට නායකත්වය ලබා දුන් වියට්නාමයේ හෝචි මින් ද ජීවන තක්සලාවෙන් උගත් අයෙකුට නිදසුනකි.
අද බොහෝ දෙනෙකු ජීවන පරිඥානයෙන් ලබා ගත යුතු මෙම අවබෝධයේ ඌනතාවය පිරිමසා ගැනීමට උත්සාහ කරන්නේ ශාස්ත්‍රීය උපාධිවලිනි. එහෙත් එවැනි බොහෝ දෙනකුට සාර්ථක දේශපාලකයන් වීමට හැකියාව ලැබුනේ නැත. ශාස්ත්‍රීය දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගන්නා අයුරු නොදත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට වඩා ඒවා වඩාත් උග්‍ර කිරීමට හේතුවන පියවර ගත් ආකාරය නිදහසින් පසු අපේ ඉතිහාසයෙන්ම පැහැදිලි ය. අවසානයේ දී රට බංකොළොත්වීමට හේතු වූයේ ද මෙම (නො)දත් කම ය.
අශෝක රන්වල ද මෙම චින්තන ධාරාවේම වින්දිතයෙකි. යම් හෙයකින් ඔහු ලබා ඇතැයි කියන ආචාර්ය උපාධිය පිළිබඳ සහතික ඉදිරිපත් කළ ද මෙම දුර්වලතාවයෙන් මිදෙන්නේ නැත. ඒ ඔහු ජනතාවාදී දේශපාලනයේ හරය තේරුම් ගැනිමට අපොහොසත්ව ඇති නිසාය. සැබෑවටම ජනතාවාදී දේශපාලනයට කැප වූවෙකුට වැදගත් වන්නේ ලබා ඇති අධ්‍යාපන සුදුසුකම් ප්‍රදර්ශනය කිරීම නොවේ. භාවිතයෙන් ජනතාව සමග සිට ගැනීමෙනි. එවැනි නිවැරදි දැක්මක් තිබේනම් ජනතා විමුක්ති පෙරමුණ නිතර අවධාරණය කරන ආකාරයේ යුක්ති සහගත සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමේ දී ධනේශ්වර සමාජ ක්‍රමය තහවුරු කිරීමට සහ පවත්වා ගැනීමට විද්‍යාර්ථීන් පුරුදු පුහුණු කරන ආයතනයකින් ලබා ගන්නා පට්ටම් හුවා දක්වන්නේ නැත.
අප දකින ආකාරයට අශෝක රන්වල සමාජයේ වෙනසක් ඇති කිරීමට සහ අලුත් සමාජයක් නිර්මාණය කිරීමට නුසුදුස්සෙකු වන්නේ ඒ අර්ථයෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දක්වා ඇති ආකාරයට ඔහුට පාර්ලිමේන්තුවේ කතානායක තනතුරට අවශ්‍ය සුදුසුකම්වල අඩුවක් නැත. නමුත් ඔහුට ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට සුදුසුකම් නැති බව නම් හොඳින් ප්‍රදර්ශනය කර ඇත. ඒ අඩුව කතානායක තනතුරෙන් ඉවත්වීමෙන් පමණක් සපිරෙන්නේ නැත.
ජනතාවගෙන් ලබන අධ්‍යාපනයට වඩා අසාර්ථක වී ඇති ක්‍රමය පවත්වා ගැනිමට ගුරුහරුකම් ලබා දෙන ආයතන කෙරේ විශ්වාසය තැබීම තවත් විනාශයකට අත වැනීමකි.
අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විවාදයෙන් පැහැදිලි වන්නේ එය පුද්ගලයෙකුට සීමා වූ ලක්ෂණයක් නොවන බවය. ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට දැක්මක් සහ අවබෝධයක් ඇති අයගේ බරපතළ ඌනතාවයක් පවතින බව පැහැදිලි ය. එම අඩුව ලොව පතළ විශ්වවිද්‍යාල හෝ වෙනත් සුප්‍රකට ආයතනවලින් ලබා ගත් සහතිකවලින් පිරිමැසිය නොහැකිය. ඒ සඳහා අවශ්‍ය පරිචය ලබා ගත් හැකි වන්නේ ජනතා සුසංයෝගයෙන් පමණි.
පනස්හයේ පෙරළියෙන් අදහස් වූයේ ද පැවති අධිරාජ්‍ය ගැති පාලන ක්‍රමය වෙනස් කොට ජනතාවාදි පාලනයකට මුල පිරීමය. එහෙත් එම පෙරළියට නායකත්වය දුන් දේශපාලකයන් ගේ සමාජ පසුබිම නිසා ඒ සඳහා නිවැරදි දැක්මක් ලබා ගත නොහැකි විය. සමාජ පෙරළියක් ඇති කිරීමට ගත් සමහර පියවර නිසා සමාජයේ ගැඹුරු බෙදීම් ඇති විය. තිස් අවුරුදු යුද්ධය ඉන් එකකි. නැවතත් එවැනි අත්හදා බැලීම් සඳහා කාලයක් නැත. ප්‍රශ්න පනස්හයට වඩා සිය දහස් ගුණයකින් වර්ධනය වී ඇත. ලෝක තත්වය ද ඒ ආකාරයෙන්ම වෙනස් ය. එමනිසා අපගේ අභියෝගය අධ්‍යාපන සුදුසුකම්වලට සීමා නොවී ජනතා අපේක්ෂාව නිසි පරිදි තේරුම් ගෙන විසඳුම් ඉදිරිපත් කිරීම ය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024