පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල මහ මොළකරු කවුද යන්න නැවතත් චැනල් 4 රූපවාහිනි විකාශයෙන් පසුව ලංකාවේ දේශපාලනයේ උණුසුම් මාතෘවක් බවට පත්ව ඇත. මහ මොළකරුයැයි සැකකරන තැනැත්තා 2015 සිට 2019 දක්වාම රටින් බැහැරව සිටි නිසා ඔහු ඊට සම්බන්ධයක් නැතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහතිකයක් දුන්නේය. සොනික් සොනික් මහ මොළකරුයැයි දිව්රා ප්‍රකාශ කළ හරින් ප්‍රනාන්දු දැන් බලවත් රාජ්‍ය ඇමති කෙනෙකු නිසා ඒ ගැන ඔහුට කතා කිරීම අපහසු ය. හොරා අම්මාගෙන් පේන අසන්නාක් වැනි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය සිද්ධිය ගැන ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු ආණ්ඩුවලින් ලබා දී ඇති සහතික නැවත ඉදිරිපත් කළේය. ඊට අමතරව ජනාධිපති කොමිසමක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් නැවතත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත් කිරීමේ සූදානමක් ද පවතී. විපක්ෂ නායක ඇතුළු පිරිස් අන්තර්ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටියත් එවැන්නක් මේ කපේ දි සිදු නොවන බව සහතිකය.
එහෙත් රටේ වගකිව යුතු පාලන ක්‍රමයක් පැවතියේ නම් පහසුවෙන්ම වළක්වා ගත හැකි මෙම ඛේදවාචකය මහ මොළකරු සොයා ගැනීමෙන් සිද්ධියේ අගමුල පැහැදිලි කරගැනීමට හැකිවතැයි කිසිසේත් කිව නොහැකිය. ඒ මෙම ඛේදවාචකය කලක් තිස්සේම අපේ රටේ නීතිය සහ ආරක්ෂාව ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට ස්වාධීනව ක්‍රියා කිරීමට නොහැකිවන සේ දේශපාලන ආධිපත්‍යයට යට කිරීමේ ප්‍රතිඵලයක් වන නිසාය. සරලව නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමේ ආනිශංසයි. අධිකරණයේ ස්වාධීනත්වය නැති කොට බලයේ සිටින දේශපාලකයාගේ කැමැත්තට යට කිරීම ඇරඹුණේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමග ය. ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කෙළේ ඔහුගේ කැමැත්ත අනුවය. එමනිසා සමහර විනිශ්චයකරුවන්ට නැවත දිව්රුම් දීමට අවස්ථාවක් ලැබුණේ නැත. 2015 ආණ්ඩු වෙනස් විමත් සමග කලින් සිටි මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අගවිනිසුරු වශයෙන් පත් කර සිටි විනිසුරු මොහාන් පීරිස් අස් කිරීමට සූදානමක් තිබිණ. එමනිසා නව ජනාධිපති කැමති ආකාරයට නඩු තින්දු දීමට කැමැත්ත ප්‍රකාශ කර තනතුර ආරක්ෂා කර ගැනීමට එම අගවිනිසුරු උත්සාහ කළ බව මෛත්‍රීපාල සිරිසේන ප්‍රසිද්ධියේම ප්‍රකාශ කෙළේය.
එමෙන්ම 1977 ආණ්ඩු පෙරළියත් සමගම පොලිස්පති ද වෙනස් විය. පොලීසිය රටේ නිතිය සහ සාමය ආරක්ෂා කිරීමෙන් බැහැරව බලයේ සිටින දේශපාලකයාගේ අතකොළුවක් බවට පත් විය. 2022 මැයි 9 වැනි දා ගාළුමුවදොර පිටියේ සාමකාමී අරගලකරුවන්ට පහර දීමේන් පසුව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට අපොහොසත් විම ගැන බලයේ සිටින දේශපාලකයන් පොලිස්පතිට චෝදනා එල්ල කළ විට ඔහු පැවසුවේ පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලකයන් ගේ පාලනය යටතේ පවතින්නේය යනුවෙනි. ඔහු පෙන්වා දුන් ආකාරයට දිවයිනේ ඇති පොලිස් ස්ථාන 184කින් 182කම ස්ථානාධිපතින් පත් කර ඇත්තේ දේශපාලකයන්ගේ නිර්දේශ අනව ය.
අතීතයෙන් කරුණු කීපයක් කෙටියෙන් සිහිපත් කෙළේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැනි සිද්ධීන් සිදු වූයේත් ඉදිරියටත් සිදු විය හැක්කෙත් මේරටේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම නිසා බව පෙන්වා දීමට ය.
ප්‍රථමයෙන්ම තව්හිද් ජමාත් වැනි සංවිධානත් එහි නායක මොහොමඩ් කාසිම් සහ්රාන් වැනි අයත් බලවත් වූයේ රාජ්‍ය යාන්ත්‍රණයේ සහාය සහ අනුබලය ඇතිවය. මේ පිළිබඳ ප්‍රබල ශාක්ෂි රැසක් සිද්ධියෙන් වසරක් ගතවීමටත් පෙර ආචාර්ය රාජන් හූල් පාස්කු ඛේදවාචකය නමින් කුඩා පොත් පිංචකින් ඉදිරිපත් කෙළේය. චැනල් 4 නාලිකාවේ හෙළිදරව් කළ කරුණුත් ඊට අමතරව තවත් සුවිහේෂ කරුණුත් එහි දක්වා තිබුණ නමුත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බැඳී ඇති ආයතන හෝ ජනතා නියෝජිතයන්යැයි හැඳින්වෙන දේශපාලකයන් ඒ ගැන කිසි උනන්දුවක් ගත් බවක් නොපෙනේ. මෙම කෙටි ලිපියෙන් උත්සාහ කරන්නේ එම කරුණු පදනම්ව පාස්කු බෝම්බ ප්‍රහාරය මහ මොළකරුවෙකුගේ වීර ක්‍රියාවක් නොව රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන අදිසි හස්තයක සැලසුම් සහගත ක්‍රියාවක් බව සිහිපත් කිරීමට ය. එමෙන්ම මෙම අදිසි හස්තය පාලනයකින් තොරව ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේ නැවතත් මෙවැනි සිද්ධීන් ඇති වීමේ අනතුරක් ඇති බව පෙන්වා දීමට ය.
මෙම අමානුෂික ප්‍රහාරය මුස්ලිම් ආගමික ත්‍රස්ත කණ්ඩායමක ක්‍රියාවක් බවට සැකයක් නැත. එහෙත් එම සංවිධානය බිහි වූයේ අහම්බෙන් නොවේ. ඊට බීජය වූයේ නැගෙනහිර පළාතේ එල්ටීටීඊයේ ත්‍රස්තවාදී යුද්ධයට එරෙහිව මුස්ලිම් ආගමිකයන් යොදවා ගැනීමේ වුවමනාවත් සමග ය. ආරක්ෂක අංශවල ආධාර සහ අනුබලය ඇතිව බිහි වූ මෙම සංවිධාන සහ සටන්කරුවන් එම සටනට එක් වූයේ ආගමික මුහුණුවරකිනි. මුස්ලිම් සහ දෙමළ වැසියන් අතර බෙදීමක් ඇති කිරීම ආරක්ෂක අංශවලට ප්‍රයෝජනවත් විය. එහෙත් යුද්ධය අවසන් වුවද අවි දැරීමට පුරුදු වූ මෙම කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය නැවතුණේ නැත. සහ්රාන් වැනි කණ්ඩායම් අවි බලය කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ආගමේ නිකායක් වූ සුෆි භක්තිකයන් මර්දනය කොට වහබි බලය තහවුරු කිරීමට යොදා ගත්හ.
එය 2017 තරම් ඈත කාලයේ සිටම සිදු විය. කාත්තන්කුඩි ප්‍රදේශයේ සුෆි භක්තිකයන්ට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයකින් පසුව 2017 මාර්තු 24 සහ්රාන් සහ ඔහුගේ සහායෙකු වූ රිල්වාන් අත් අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග කළ ද එය අදිසි හස්තයකින් වැළකිණ. ඉන් පසුව මේ අයට ඇප ලබා දීමේ අයැදුම් පත මඩකලපුවේ අධිකරණයනට ඉදිරිපත් වු විට ඔවුන් වෙනුවෙන් කරුණු දැක් වූයේ කොළඹින් ගිය මෛත්‍රී ගුණරත්න නම් නීතිඥයෙකි. පොලීසිය ඇප අයැදුම් පත සම්බන්ධයෙන් අනුගමනය කළ ඇල්මැරුණ ප්‍රතිපත්තිය නිසා ඔවුන්ට ඇප ලැබිණ.
තවත් වැදගත් සිද්ධියක් වන්නේ 2017 මාර්තු 17 කාත්තන්කුඩි ප්‍රජාවගේ පිරිසක් කොළඔට පැමිණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හමුව සහ්රාන් ප්‍රමුඛ කණ්ඩායම එම ප්‍රදේශයේ භීෂණයක් පවත්වා ගෙන යන ආකාරය සහ ඔහුගේ විරුද්ධවාදින් දඩයම් කරන ආකාරය පැමිණිලි කළහ. එම කණ්ඩායමේ ඉල්ලීමක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ සහ්රාන් සහ ඔහුගේ කණ්ඩායම අත් අඩංගුවට ගන්නැයි යන්නය. නාලක ද සිල්වා ගේ පිළිතුර වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇත්තේ එල්ටීටීඊය මර්දනයට විනා මෙවැනි කටයුතු සඳහා නොවන බව ය. ඒ සඳහා නව නීති ගෙන එන බවද ඔහු එම පිරිසට දැන් වූයේය.
ඉන් වසර දෙකකට පසු 2019 පෙබරවාරි මස කාත්තන්කුඩි මුස්ලිම් කාන්තා පිරිසක් සහ්රාන් ගේ දේශන ඇතුළත් විඩියො පටයක් එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහට සහ පොලිස්පතිට භාර දී පියවර ගැනීමට බල කළහ. එම වීඩියෝ පටයේ වූයේ සහ්රාන් ආගමික අන්තවාදය පැතිරවීමට කළ ප්‍රසිද්ධ කතා ය. එහෙත් කිසිවක් සිදු වූයේ නැත.
ඊට අමතරව රජයේ ආරක්ෂක සහ බුද්ධි අංශ සහ්රාන් ප්‍රමුඛ කණ්ඩායම මර්දනය කිරීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේ ද නැත. බුද්ධි අංශ සංශෝධනය කිරීමේ පියවරක් වශයෙන් රාජ්‍ය බුද්ධි අංශය පොලිස්පතිගෙන් ඉවත් කොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරන ලදී. තවත් වැදගත් සිදුවීමක් වන්නේ සහ්රාන් ඇතුළු තව්හිද් ජමාද් කණ්ඩායම ගැන විමර්ශනය කරමින් සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා 2018 ඔක්තෝබර් මස වැඩ තහනමකට ලක් කිරීමය. හේතුව වූයේ හමුදාවේ සේවය කළ පුද්ගලයෙකු වන නාමල් කුමාර, ජනාධිපති සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට කුමන්ත්‍රණයක් පවතින බවට “හෙළිදරව්වක්” කිරීමය. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය අභව්‍ය කතාවක් බව පසුව තහවුරු විය. නාලක සිල්වා වැඩ තහනමට ලක් වූයේ එම කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකුය යන චෝදනාව යටතේය.
එහිම ප්‍රතිඵලයක් වශයෙන් අගමැති සහ පොලිස්පති 2018 ඔක්තොබර් සිට ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ඇති ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම්වලට සහභාගි කර ගත්තේ නැත. පොලිස්පති වෙනුවට බුද්ධි තොරතුරු ලබා ගැනීමට ජනාධිපති සිරිසේන යොමු වූයේ ඔහුගේ සුවච සේවකයෙකු වූ නිලන්ත ජයවර්ධන කෙරේය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ බුද්ධි තොරතුරු මනා විශ්ලේෂණයකට ලක් නොවීම සහ ක්‍රියාත්මක වීම සඳහා අදාල අංශ වෙත නිසි නියෝග නිකුත් නොකිරීම ය. පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන ජාතික බුද්ධි අංශයේ ප්‍රධානි සිසිර මැන්දිස් වෙත 2019 අප්‍රේල් 9 වැනිදා දැන් වූයේය. එහෙත් ඒ ගැන නිසි පියවර ගෙන ඇති බවක් දක්නට නැත. ඉන්දියාවේ බුද්ධි අංශවලින් ලබා දී තිබුණු විස්තර ගැනද නිසි අවධානයක් යොමු කර නැති බව පැහැදිලිය.
පාස්කු ප්‍රහාරය ගැන නීතිය ක්‍රියාත්මක නොකිරීම මෙන්ම ඇතැම්විට නීතිය ක්‍රියාත්මක වීමට බාධා පැමිණ වීමේ අවස්ථා අපමණ ය. ඇත්තෙන්ම මෙම ලක්ෂණය පාස්කු ප්‍රහාරයට සීමා වන්නේ නැත. යුද්ධය පැවති සමයේ එනම් 2006 දී ත්‍රිකුණාමලයේ සිසුන් ඝාතනය, ඒ සී එෆ් සහන සේවකයන් මරා දැමීම, පැහැර ගත් තරුණයන් 11ක් මරා දැමීම සහ හිටපු නාවික හමුදාපති ට්‍රොවිස් සින්නයියා හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ නීති විරෝධී රැඳවුම් කුටි පවත්වා ගැනීම සහ එහි සිටි පුද්ගලයන් අතුරු දහන් කිරීම වැනි සිද්ධීන් ගණනාවක් ගැන හෙළි කළත් සාධාරණ පරීක්ෂණ පැවැත්වීමක් සිදු වූයේ නැත. ඒ සියල්ල කැටි කර ගත්විට පැහැදිලිවන කාරණය නීතිය සහ යුක්තිය පවත්වා ගැනීමට රජයේ බලධාරීන් තුළ පැවති අකමැත්තයි. ඔවුන් සියලු දෙනාම අදිසි හස්තයකින් මෙහෙයවන නමුත් එය හඳුනා ගැනීමට වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නැත.
මෙවැනි පරිසරයක මහ මොළකරු හඹා යෑම වැලි කතරේ මිරිගුවක් පස්සේ දිවීමට වඩා වෙනස් වන්නේ නැත.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024