You are currently viewing සීතල යුද්ධයෙන් ලෝකයම ගිනියම්වේද?

සීතල යුද්ධයෙන් ලෝකයම ගිනියම්වේද?

එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් තම ප්‍රතිවාදියා ලෙස සැලකූ සෝවියට් සංගමය 1979 දී බිඳ වැටීමත් සමග අවි තරගය අවසන් වී ලෝකය වඩාත් සාමකාමී වනු ඇතැයි බලාපොරොත්තුවක් බොහෝ දෙනා තුළ තිබිණ. ඒ ලොව එකම සුපිරි බලවතා වශයෙන් එක්සත් ජනපදයට අභියෝගයක් නො වීමෙන් මහා පරිමාණයේ අවි ගැටුම් ඇතිවීමේ ඉඩ කඩක් නොවන්නේය යන්න නිසාය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව රුසියානු සමූහාණ්ඩුවේ මිහායිල් ගොර්බොචොප් ට නේටෝ යුද සන්ධානය, කලින් වෝර්සෝ ගිවිසුමට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපීය රටවලට ව්‍යාප්ත නොවන බවට සහතිකයක් දී තිබිණ. කලින් බටහිර ලෝකයට අභියෝගයක් වූ සෝවියට් සංගමය ආර්ථික සහ දේශපාලන වශයෙන් දුර්වලව කැබලි වී යෑමෙන් ශේෂ වූ රුසියානු සමූහාණ්ඩුව එක්සත් ජනපදයේ ආර්ථික ග්‍රහණයට පත් වනු ඇතැයි වොෂින්ටන් සැලසුම්කරුවන්ගේ අනුමානය විය.

එහෙත් ව්ලැඩ්මීර් පූටින් බලයට පත්වීම සහ රුසියාව ලොව ප්‍රධාන පෙළේ තෙල් නිෂ්පාදකයෙකු බවට පත්වීමත් සමග තත්වය වෙනස් විය. නව ආර්ථික ශක්තිය පදනම් ව ආරක්ෂක හමුදා නැවත ගොඩ නගා ගත් රුසියාව තම දේශපාලන බල ව්‍යාප්තිය තහවුරු කර ගනිමින් සිටී. ඊට සමගාමීව චීනය ද ආර්ථික බලවතෙකු වශයෙන් එක්සත් ජනපදයට අභියෝග කිරීම නැවත වරක් ලෝකය බල කඳවුරුවලට බෙදීමටත් අවි තරගය උත්සන්න වීමටත් හේතු වූ බව පැහැදිලි ය. සෝවියට් සංගමය සහ චීනය අතර මුලින් ම හට ගත් න්‍යායික මතභේදය සන්නද්ධ ගැටුම් දක්වා වර්ධනය වුවද පසුව ඇමරිකාව සමග ඇති ආර්ථික හා දේශපාලන තරගය නිසා නව මිතුරු සන්ධානයත් බවට පත් විය.

අද වන විට එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සහ රුසියාව අතර බොහෝ විට න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. රුසියාව සමග එවැනි ගැටුමක් ඇතිවීමට ඇති ආසන්න ම අවස්ථාව යුක්‍රේනයයි. චීනය සමග අවි ගැටුමක් හට ගැනීමට ඇති එවැනි ම අවස්ථාවක් වන්නේ තායිවානයයි.

යුක්‍රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච් [Viktor Yanukovych]

යුක්‍රේනය යුරෝපා සංගමය හා නේටෝ යුද හවුලට එකතු කර ගැනීමට දැඩි අවශ්‍යතාවයක් එක්සත් ජනපදයට තිබුණ නමුත් යුක්‍රේනයේ දේශපාලන පෙළ ගැස්ම ඊට බාධාවක් විය. 2013 පැවති මැතිවරණයෙන් ජය ගත් වික්ටර් යනුකොවිච් යුරෝපා සංගමයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කර රුසියාව සමග සමීප ආර්ථික සම්බන්ධතා ඇති කර ගැනීමට සැලසුම් කෙළේය. අවසානයේ දී එක්සත් ජනපදයේ විවෘත ආධාර අනුබලය ඇතිව මෙහෙයවනු ලැබූ විරෝධතා නිසා යනු කොවිච්ට රට හැර යෑමට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුක්‍රේනයේ රුසියානු බස කතා කරන නැගෙනහිර ප්‍රදේශවල කීෆ් නගරයේ පාලනයට එරෙහිව කැරලි හට ගැනිණ. රුසියානුවන් බහුතරයක් සිටින ක්‍රිමියාව ජනමත විචාරණයත් තුළින් රුසියානු සමූහාණ්ඩුවට එක් විය. රුසියානු සම්භවයක් ඇති බහුතරයක් වෙසෙන ඩොනෙට්ස්ක් සහ ලූහාන්ස්ක් ස්වාධීන සමූහාණ්ඩු ප්‍රකාශයට පත් කළත් රුසියාව හෝ ඒවා පිළිගත්තේ නැත. මෙම ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීමට කීෆ් පාලනය හමුදා බලය යෙදූ වුවත් සාර්ථක වූයේ නැත. ඊට හේතුව කැරලිකරුවන්ට රුසියානු හමුදාවේ සහාය ලැබීම යැයි බටහිර රටවල් චෝදනා කරති. මින්ස්ක් ගිවිසුම මගින් සටන් විරාම තත්වයක් ඇති වුවද සාමකාමී විසඳුමක් ළඟා කර ගත නොහැකි තත්වයක් පවතී.

අලූත්ම තත්වය වන්නේ එක්සත් ජනපදය කීෆ් පාලනයට නවීනතම අවි ආයුධ සපයන අතර නේටෝ හමුදා යුක්‍රේනයට යැවීමට සැලසුම් කිරීම ය. 2014 සිට එක්සත් ජනපදය යුක්‍රේනයට ඩොලර් බිලියන 2.5ක අවි ආයුධ ලබා දුන් බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කෙළේය. ඊට අමතරව ජනාධිපති බයිඩන් පාලනය යුක්‍රේනයට ලබා දීමට පොරොන්දු වූ ඩොලර් දශ ලක්ෂ 60ක ආධාර මුදලින් ටොන් 80ක අවි ආයුධ ලැබී ඇතැයි යුක්‍රේනයේ හමුදා නායකයා පැවසුවේ ය. ගැටුම්කාරී තත්වය වඩාත් උණුසුම් කරමින් එක්සත් ජනපද සහ නේටෝ හමුදා බොල්ටික් මුහුදේ සහ කළු මුහුදේ හමුදා අභ්‍යාස නිතර පවත්වති.

යුක්‍රේනයේ වත්මන් ජනාධිපති විකූෂිමර් වොලොඩිමිර් සෙලන්ස්කි [Volodymyr Zelensky]

මේ අතර රුසියාව එළඹෙන ශීතයේ දී යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි සී බී ඇස් ඇතුළු ඇමරිකානු ජනමාධ්‍ය ප්‍රකාශ කිරීම යුද උණුසුම උත්සන්න කිරීමට තවත් හේතුවකි. යුක්‍රේනය ජනාධිපති වොලොඩ්මිර් සෙලන්ස්කි තමා බලයෙන් පහ කිරීමේ කුමන්ත්‍රණයක් රුසියාවේ සහාය ඇතිව ක්‍රියාත්මක වන්නේයැයි චෝදනා කෙළේය. එවැනි තත්වයකට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය පෝලන්තයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගත කර ඇති අතර රුසියාවේ මොස්කව් නගරයට යැවිය හැකි මිසයිල සහිත ප්‍රහාරක නැව් ගණනාවක් ම බෝල්ටික් මුහුදේ ස්ථාන ගත කර ඇත.

එක්සත් ජනපදය සහ නේටෝව මෙම යුද සූදානම හේතු යුක්ති කරන්නේ රුසියාව යුක්‍රේනය අසළ ලක්ෂයක පමණ හමුදා රැස් කරන්නේ යැයි චෝදනා කරමිනි. තමන්ට යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි රුසියාව පවසන අතර තම බටහිර දේශ සීමාව ආරක්ෂා කිරීමට යොදවා ඇත්තේ සාමාන්‍ය තත්වයක් යටතේ යොදවන හමුදා භට සංඛ්‍යාව පමණක් යැයි කියයි. එහෙත් තමන් රතු ඉරක් වශයෙන් සලකන ප්‍රදේශයට ඔබ්බෙන් නේටෝ හමුදා මෙහෙය වන්නේ නම් ඊට පිළිතුරු දීමට පසුබට නොවන බව අවධාරණය කරයි. දැනටමත් පෝලන්තයේ රඳවා ඇති මිසයිලවලට විනාඩි පහක් වැනි සුළු කාලයක දී මොස්කව් නගරය වැනි ඉලක්කවලට ළඟා වීමේ හැකියාවක් ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.    

මේ සතියේ ලැට්වියාවේ රිගා නගරයේ දී නේටෝ ආරක්ෂක ඇමතිවරුන් ඇමතු ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, පුටින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සැලසුම් කර ඇති බව නැවත අවධාරණය කර එවැනි තත්ත්වයක දී නේටෝව සහ ඇමරිකාව නිහඬව නොසිටින බව අවධාරණය කෙළේය. එවැනි පියවරක දී නේටෝ රටවල සහාය ඇමරිකාවට ලැබෙනු ඇතැයිද ඔහු පැවසුවේය.

රුසියානු මිලිටරි ව්‍යාපාරය පිළිබඳ, එක්සත් ජනපද බුද්ධි ලේඛනය. [Obtained by The Washington Post]

කෙසේ වුවත් එක්සත් ජනපදය හමුදා ක්‍රියා මාර්ග ගැනීමට පෙර මෙවැනි යුද අනතුරක් හුවා දැක්වීම බොහෝ විට සිදු වන්නකි. 2003 දී සදාම් හුසේන් ගේ පාලනය යටතේ පැවති ඉරාකය ආක්‍රමණය කිරීමට ද එක්සත් ජනපදය යොදා ගත්තේ මෙවැනිම උපාය මාර්ගයකි. ඉරාකය සමූහ ඝාතන අවි රැස්කර ඇතැයි ද ඒවා ඇමරිකාවටත් ලෝකයටත් බලවත් තර්ජනයක් යැයි ද ප‍්‍රචාරය කෙරිණ. ඒ අනුව 2003 මාර්තු මාසයේ දී එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කර සදාම් හුසේන් මරා දමා පාලන බලය සතු කර ගත්තේය. 9/11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට යොදා ගත්තේ ප්‍රහාරයට වගකිව යුතු යැයි ප‍්‍රකාශ කළ අල් කයිඩා නායක බින් ලාඩන්ට රැකවරණය දෙන්නේය යන චෝදනාව ය. එමනිසා එක්සත් ජනපදය යුක්රේනය ආක්‍රමණයක් සම්බන්ධයෙන් කරන චෝදනා සුළු කොට තැකිය නොහැකි ය.

එම අවස්ථා දෙකේ ම අවසාන ප්‍රතිඵලය ඇමරිකාවට වඩාත් අහිත කර තත්ත්වයක් වූ බව ද සිහිපත් කළ යුතු ය. ඉරාකයේ යුද ගිනි තුළින් ISIS ත්‍රස්තවාදී සංවිධානය බිහි වූ අතර ඇමරිකානු හමුදා පලවා හැරි තලෙබාන් සංවිධානය පෙරටත් වඩා ශක්තිමත් ව ඇත.

ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ දී සිටින යුක්‍රේනය ද රුසියානු ප්‍රහාරයක් ගැන නිතර බිය පළ කරයි. රුසියානු සහාය ඇතිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයකින් තමා බලයෙන් පහ කිරීමේ සූදානමක් ඇතැයි යන්නද ජනාධිපති සෙලෙන්ස්කි නිතර අවධාරණය කරන ප්‍රවෘත්තියකි.

තමන්ට යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි රුසියාව පැවසුව ද බටහිර දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදා එක්රැස් කිරීම බලවත් තර්ජනයක් සේ දකින බව පැහැදිලි ය. රතු ඉරි සීමාවක් ගැන සඳහන් කරන්නේ එම නිසා ය.

බ්‍රිතාන්‍යයේ ඇම් 16 නම් බුද්ධි සේවයේ ප‍්‍රධානි රිචඩ් මුවර් රුසියාව, චීනය සහ ඉරානය යන රටවල් තුනම බ්‍රිතායටත් බටහිර සෙසු රටවලටත් තර්ජනයක් ව ඇති ත්‍රස්තවාදී සංවිධාන ගණයට ඇතුළත් කර දක්වයි.  එමෙන්ම කිසියම් වැරදි තීරණයක් නිසා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවධාන ම ද ඔහු අවධාරණය කරයි.

නැගෙනහිර ආසියාවේ චීනයට එරෙහිව පෙළ ගැසෙමින් පවතින තත්වයත් සමග මෙම තර්ජන පැහැදිලිව ම මහ බලවතුන් අතර යුද්ධයක් ඇතිවීමේ අනතුරකි.  ඕනෑම අවස්ථාවක දෙපස ම සූදානමෙන් සිටින නිසා තත්වය වඩාත් අනතුරුදායක ය. එහි බරපතළ ම තත්ත්වය වන්නේ රුසියාව මෙන්ම එක්සත් ජනපදය ද අවි ගැටුමක දී න්‍යෂ්ටික අවි යොදා ගැනීමට ඇති ඉඩකඩ බැහැර කළ නොකිරීම ය. න්‍යෂ්ටික යුද්ධයකින් කිසිවෙකු ජයග්‍රහණය නොකරන අතර සියල්ලන්ට අත්වන්නේ විනාශයක් පමණක් බවටත් විද්‍යාත්මක සාක්ෂි අපමණ වුවත් බල අරගලයකදී ඒ ගැන තැකීමක් කරනු ඇතැයි කිව නොහැකිය. වැදගත් වන්නේ තම ආධිපත්‍යය පවත්වා ගැනිම සහ ආර්ථික වුවමනාවන් සහතික කර ගැනීම යන අන්ධ විශ්වාසයන් පමණි.

ආරක්ෂක ක්ෂේත්‍රයේ කර්මාන්ත සංකිර්ණයන්ගේ ලාභ ඒකරාශි කර ගැනීමේ වුවමනාවෙන් මෙහෙයවන ඇමරිකානු ජනාධිපති බයිඩන්ගේ ක්‍රියා මාර්ගය ඊට පෙර සිටි ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ නැත. තම ලෝක ආධිපත්‍යය පිරිහෙමින් පවතිය යථාර්ථය දැකීමට අපොහොසත් මෙම නායකත්වය දෙවන ලෝක යුද්ධයේ දී තමනුත් ජර්මනිය පමණක් නොව යුරෝපයම විනාශයට පත් කළ හිට්ලර්ගෙන් වෙනස් වන්නේ නැත. එහෙත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව විනාශ වී ගිය යුරෝපය නැවත ගොඩ නැගීමට හැකි තත්ත්වයක් පැවතුන ද න්‍යෂ්ටික යුද්ධයකින් ශේෂ වන්නේ විකිරණ තත්වයක් පමණක් බව මෙම යුදවාදීන්ට තේරුම් ගත නොහැකිය. එම නිසා සිහි බුද්ධියක් ඇති රටවල දේශපාලන නායකත්වයේ අරමුණ විය යුත්තේ කඳවුරුවලට බැඳීම නොව යුද්ධයට එරෙහිව පෙළ ගැසීම ය.

Leave a Reply