දැඩි අකමැත්තෙන් මෙන් පසුගිය අගෝස්තු 19 මධ්‍යම රාත්‍රියේ සිට කොවිඩ් 19 ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ජාතිය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ඇඳිරි නීතිය පැනවීමෙන් ආර්ථිකයට වන අහිතකර බලපෑමට ජනතාව උර දිය යුතු යැයි කීවේ ය.
වෛද්‍ය විශේෂඥයන් මෙන් ම මහජනතාව ද රට පුරා වේගයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීමට සංචරණය සීමා කෙරෙන ඇඳිරි නීතියක් ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියහ. ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නො දක්වන නිසා සමහර නගරවල වෙළෙඳ සංගම් ස්වේච්ඡාවෙන් ම කඩ සාප්පු වසා දැමූහ. රජය ඇඳිරි නීතිය පනවන්නේ නැතිනම් තදබල පියවර ගැනීමට වෘත්තීය සමිති සූදානම් වුහ. අවසානයේ දී මහා සංඝරත්නයේ ඉල්ලීම අනුව කොවිඩ් ඇඳිරි නීතිය පැන වුවත් එහි බර ජනතාව මත පැටවීමට රජය සූදානම් ය.
ආණ්ඩුවේ මතය වූයේ රටේ වර්ධනය පසු බාමින් තිබෙන තත්වයක් යටතේ ආර්ථිකය වසා දැමීමෙන් තත්වය වඩාත් උග්‍ර වන නිසා එවැනි පියවරක් ගත නො හැකි බව ය. එම ඉල්ලීම ආණ්ඩුව බිඳ දැමීමට තැත් කරන විරුද්ධවාදීන්ගේ යටිකූට්ටු වැඩක් සේ ද හැඳින්වින. කෙසේ වුවත් අකමැත්තෙන් හෝ දින දහයකට රට වසා දැමීමට රජයට සිදු වූයේ කොවිඩ් වසංගතය දිනෙන් දිනම ව්‍යාප්ත වීම නිසා ය. අකමැත්තෙන් ගත් තීන්දුවේ වගකීම ජනතාව මත පටවන බවට තර්ජනය කිරීම එක අතකින් දඬුවමක් සේය.
ඉවක් බවක් නැතිව ඇමතිවරුන් පත් කිරීමේ සිට ආණ්ඩුව පවත්වා ගැනීමේ සියලු බර දරන්නේ මේ රටේ ජනතාව බව පාලකයන්ට අමුතු වෙන් සිහි පත් කළ යුතු නොවේ. ආර්ථිකය කඩා වැටීමේ බර ද ජනතාව මත පැටවෙන තවත් බරකි. ආර්ථික කටයුතු සඳහාත් ඒවා අධීක්ෂණය සඳහාත් ඇමතිවරුන් පත් කිරීමේ බර ද ජනතාව මත පැටවෙන්නේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ය.
ආණ්ඩුව පවත්වා ගැනීමේ බර සැහැල්ලූ කිරීමට ඇමති තනතුරු සංඛ්‍යාව අඩු කිරීමට ජනතාවගෙන් ඉල්ලම් ඉදිරිපත් වුවද ඒවා පාලකයන්ට ඇසෙන්නේ නැත. එවැනි තත්වයක් යටතේ දින දහයක් රට වසා දැමීමෙන් සිදු වන ආර්ථික අමාරුව ජනතාව මත පැටවීම ආණ්ඩුවේ සාමාන්‍ය ක්‍රියාමාර්ගයේ කොටසකි.
පසුගිය දශක හතක කාලයක් තිස්සේ විවිධ වර්ණවලට අයත් පාලකයන් සංවර්ධනයේ මුවාවෙන් ආර්ථිකය බිඳ දැමීම නිසා හොද්ද වර්ණවත් කිරීමට කහ කැල්ලක් සොයා ගත නො හැකි තත්වයකට රට පත්ව ඇත. මෙම කඩා වැටීම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයකි.
මෙහි දී කොවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් වත්මන් පාලකයන් ගත් පියවර කීපයක් විමසා බැලීමෙන් ආර්ථිකයේ කඩා වැටීමට මූලික වශයෙන් ම වගකිව යුතු වන්නේ රටේ පාලකයන් බව පෙන්වා දිය හැකිය.
පළමු කොවිඩ් 19 රෝගියා වාර්තා වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය මහතා පාරම් බෑවේ ලොව දරුණුතම යැයි කියන ත්රස්තවාදීන් පරාජය කළ ඔහුට මෙය කජ්ජක් නොවන බව පැවසීමෙනි. ඒ නිසා ‘‘පැනික්’’ නොවී සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය. කොවිඩ් වසංගතය පාලනයට යුද්ධයෙන් පන්නරය ලැබු හමුදා නායකයන් පත් කෙරිණ. ඇත්තෙන්ම කොවිඩ් වසංගතය පමණක් නොව රටේ ම පාලනය පැවරුණේ සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ය.
කොවිඩ් වසංගතය පාලනය කිරීමට ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට ගත් වූ ආකාරයට ම වසර තිහක් ගත වනු ඇත් දැයි සැකයක් මතු වන්නේ කොවිඩ් 19 පාලනයට පත් කළ කමිටුව වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් නො සලකා කටයුතු කරන ආකාරයෙනි. විශේෂඥ උපදෙස් නො සලකා හැරීම ඖෂධ මිලදී ගැනීමේ සිට මළ මිනී ඉවත් කිරීම දක්වා විය. ඒ සියල්ලේ බර දැරීමට සිදු වූයේ පාලකයන්ට නොව ජනතාවට ය.
පසු ගිය වසරේ දී කොවිඩ් වසංගතය හිස ඔසවමින් සිටිය දී සෞභාග්‍යය උදා කිරීමට ඉදිරිපත් කළ පළමු අයවැයේ දී සෞඛ්‍යය සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය අඩු කිරීමට අමතරව උද්ගත විය හැකි අර්බුදකාරී සෞඛ්‍ය තත්වය සඳහා කිසිම ප්රතිපාදනයක් වෙන් කළේ නැත. 2021 වසරේ සෞඛ්‍යය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 159 කි. එය ඊට පෙර වසර සඳහා වෙන් කරන ලද මුදලට වඩා රුපියල් බිලියන 29ක් අඩු ය. මෙම වසංගත තත්වය ගැන පුරෝකථනය කළ ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් වුව ද ඒවා බලධාරීන්ගේ අවධානයට ලක් වූයේ නැත.
එවැනි එක් අවස්ථාවක් පසුගිය මැයි 16 දින සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබිණ. එම වාර්තාව අනුව කොවිඩ් වසංගතයට ප්‍රතිචාරය දැක්වීමට සූදානම්වීම සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් දශ ලක්ෂ 128ක මුදලක්, එනම් රුපියල් බිලියන 25ක් වෙන් කර තිබිණ. එහෙත් එම මුදල ලබා ගැනීම සඳහා රෝහල්වල යටිතල පහසුකම් පුළුල් කිරීමේ වැඩ සටහනක් ඉදිරිපත් කළ යුතුවිය. පසුගිය වසරේ දෙසැම්බර් මස අවසානය දක්වා ආණ්ඩුවට එවැනි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් එම පහසුකම අහිමි විය.
එවැනි වැඩ සටහනක් සැලසුම් කර තිබුණේ නම් දැඩි සත්කාර පහසුකම් හෝ ඔක්සිජන් නොමැති වීමෙන් අකාලයේ මරු මුවට පත් වූ ජීවිත දහස් ගණනක් ගලවා ගැනීමට හැකි වනු ඇත. එය සිදු නොවීම නිසා ජීවිත පරිත්‍යාගයෙන් වගකීමටත් එහි බර දැරීමටත් සිදු වූයේ ජනතාවට ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 වසරේ නොවැම්බර් මාසයේ දී ජනාධිපති තනතුරට පත් වු වහාම සෞභාග්‍යය උදා කිරීම සඳහා ඉහළ ආදායම් ලබන අයට බදු සහන ලබා දීමෙන් 2020 වසර තුළ පමණක් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 529 කි. රජයේ ආදායම් අඩුවිමෙන් දුකට පත් වන්නේ ද ජනතාවය.
ඒ ආකාරයට ම කිලෝග්රෑමයකට ශත 25ක් වු ආනයන බද්ද හදිසියේම රුපියල් 50 දක්වා වැඩි කර ඉන් සති කීපයකට පසු ශත විසි පහ දක්වා අඩු කර නැවතත් රුපියල් 40 දක්වා ඉහළ දැමීමෙන් රජයට අහිමි වූ ආදායම රුපියල් කෝටි 1590ක් සේ ගණන් බලා ඇත. මෙම අහිමි ආදායම බැඳුම්කර වංචාවෙන් අහිමි වූ රුපියල් කෝටි 400 සමග සැසඳිය යුතුය.
මේ ආකාරයට රජයේ නො සැලකිල්ල, අකාර්යක්ෂමතාවය, වංචා සහ දූෂණ නිසා රජයට අහිමි වූ හෝ වඩාත් නිවැරදිව අහිමි කළ ආදායම් ලැයිස්තුව තවත් දිග්ගැසිය හැකිය. වඩාත් වැදගත් වන්නේ දින දහයකට රට වසා දැමීමෙන් ආර්ථිකයට වන පාඩුවේ බර මෙන් ම පාලකයන් නඩත්තු කිරීමට දරන සියලූ වියදම්වල බර දැරීමට සිදු වන්නේ ජනතාවට යන්නයි.
ප්රශ්නය වන්නේ ජනතාව මත අනවශ්‍ය බර පටවන සහ ජනතාවට පොදුවේ හිමි විය යුතු සහන ලබා දීමට ඇති රජයේ මුදල් නාස්ති කරන, වංචා කරන අය සම්බන්ධයෙන් කිසිම පියවරක් නො ගැනීම ය. පසුගිය යහපාලන සමයේ කොමිෂන්, විමර්ශන කොමිටි පත් කර ඊට පෙර අවදියේ කළ දූෂිත ගනුදෙනු ගැන පරීක්ෂණ කළඳ ඉන් එහාට කිසිවක් සිදු වූයේ නැත. එම චෝදනා ලත් අය දැන් නිරුපද්‍රිතව ඇමතිකම් කරති. එම චෝදනා හඳුන්වන්නේ දේශපාලන පලි ගැනීම් සේය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024