You are currently viewing සර්ව පාක්ෂික සමුළුව ප‍්‍රශ්නවලට අමුඩ ගැසීමකි..

සර්ව පාක්ෂික සමුළුව ප‍්‍රශ්නවලට අමුඩ ගැසීමකි..

ශ‍්‍රී ලංකාවේ වාර්ගික ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් සෙවීමට අනුප‍්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ උනන්දුවක් දක්වයි. මීට පෙර ගත් ප‍්‍රයත්නයන් මෙන් නොව මෙවර ඒ කර්තව්‍යය සඳහා දින වකවානු ද නියම කර ගෙන ඇත. ඒ ලබන වසරේ නිදහස් දින එනම් පෙබරවාරි හතරට පෙර වාර්ගික ප‍්‍රශ්නය විසඳා අවසන් කිරීමට ය.

වාර්ගිකත්වය ප‍්‍රශ්නයක් වූයේ වෙනස් කොට සැලකීම නිසා ය. සිංහලකමත් බෞද්ධ ආගමත් මුල් කොට සෙසු වාර්ගිකයන්ට සහ ආගමිකයන්ට වෙනස් කොට සැලකීම ජාතින් අතර අසමගියට සහ ගැටුම්වලට හේතු වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. රට සංවර්ධනය කිරීමට නිසි වැඩ පිළිවෙළක් සහ ක්‍රියා මාර්ගයක් නොතිබු දේශපාලකයන්ට බලය ලබා ගැනීමටත් බලයේ රැඳී සිටීමටත් යොදා ගත හැකි පහසු ක්‍රියා මාර්ගය වූයේ ජාතීන් අතර අවිශ්වාසය ගොඩ නැගීම සහ පදනමක් නැති බියක් ඇති කිරීම ය. එහි ආරම්භය රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගය දක්වාම දිව යයි. මෙම ගමන අපමණ වූ ලිපි ලේඛනවලින් පැහැදිලි කර ඇති නිසා ඒවා නැවත උපුටා දැක්වීම අනවශ්‍ය ය. වැදගත් වන්නේ එදා මෙදාතුර සියලු දේශපාලකයන් ජනතාව මුළා කර බලය ලබා ගැනීමට වාර්ගිකත්වය සහ ආගම යොදා බව අවබෝධ කර ගැනිම යි.

ප‍්‍රශ්නය වන්නේ මෙම දේශපාලන ගැටලුව මාස කීපයක් ඇතුළ විසඳිය හැකි ද යන්නයි. මෙම දේශපාලකයන් ගණන් බලන ආකාරයට සියලු දේශපාලන පක්ෂ මෙම ආයුධය අඩු වැඩි වශයෙන් යොදා ගන්නා නිසා දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමෙන් එය විසඳිය හැකිය. එමනිසා විසඳුමක අවශ්‍යතාවය ප‍්‍රබලව දැනෙන විට ගන්නා පළමු සහ සමහර විට එකම පියවර වන්නේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ය. දේශපාලන පක්ෂ ජනතාව නියෝජනය කරන්නේය යන පදනම අනුව එවැනි පියවරක් සාර්ථක මුලපිරීමක් විය හැකිය. එහෙත් යථාර්ථය වන්නේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද දේශපාලන පක්ෂ ජනතාව නියෝජනය කරනවාට වඩා ජනතාව ඔවුන්ගේ නියෝජිතයන් බවට පත් කර ගැනීමය. ජනතාව නියෝජිතයන් කර ගැනිම යනුවෙන් අදහස් වන්නේ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන වැඩ පිළිවෙළකට ජනතා කැමැත්ත කවර ආකාරයෙන් හෝ ලබා ගැනීමය. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිර්වචනය වන්නේ ඡන්දය දීමට ඇති අයිතිය ලෙසිනි. ඡන්දය ලබා ගන්නා අය ජනතාවට වගකීමක් නැත. ජනතාවට ද තේරී පත් වූ නියෝජිතයායැයි කියන තැනැත්තා සම්බන්ධයෙන් කිසිම බලයක් නැත.

එමනිසා සර්ව පාක්ෂික සමුළුවකින් ජනතා කැමැත්ත ප‍්‍රකාශ වන්නේයැයි කිව නොහැකිය.

සර්ව පාක්ෂික සමුළුවකින් ඇති කර ගන්නා එකඟතා වාර්ගික සාමය ඇති කිරීමටත් සංහිඳියාව ගොඩ නැගීමටත් හේතු නොවන්නේයැයි මින් අදහස් වන්නේ නැත. වැදගත් වන්නේ ඇති කර ගන්නා එකඟතා සැබැවින්ම ක්‍රියාත්මක කිරීමට  ඕනෑකමක් සහ කැපවීමක් මෙම දේශපාලන නායකයන් තුළ තිබේද යන්නයි. මෙය සිංහල දේශපාලකයන්ට මෙන්ම දෙමළ සහ මුස්ලිම් දේශපාලකයන් සම්බන්ධයෙන් ද වලංගු තත්වයකි. බලය බෙදීමේ ප‍්‍රයත්නයේ අසම්පූර්ණ පියවරක් වශයෙන් පිහිටුවන ලද පළාත් සභා උතුර සහ නැගෙනහිර ක්‍රියාත්මක වන ආකාරයෙන් සිංහල සහ දෙමළ දේශපාලකයන් අතර දැඩි වෙනසක් නැති බව පැහැදිලිය. උතුර සහ නැගෙනහිර පළාත් සභාවලට පැවරී ඇති සීමිත බලය සහ සම්පත් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යොදා ගෙන නැති බව ඔවුන්ගේ වැඩ වාර්තාවලින් පෙනේ. සෙසු පළාත්වල මෙන්ම මෙම පළාත් දෙක සඳහා ලබා දෙන ව්‍යාපාති ආධාර මුදල්වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් නියමිත කාලය තුළ වැය නොකළ නිසා ආපසු භාණ්ඩාගාරයට යැවෙන අවස්ථා බොහෝ ය. ක්‍රියාත්මක කිරීමේ දී දක්වන අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල වර්ග භේදයක් නැතිව සියලු දේශපාලකයන්ට පොදු කරුණකි.

වෙනස් කොට සහ පහත් කොට සැලකීම නිසා ඇති වූ වාර්ගික බෙදීම සුව කළ හැක්කේ එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන වංචනික ප‍්‍රතිපත්තිය නිවැරදි කිරීමෙනි. ඉන් සියලූ ප‍්‍රශ්නවලට වහා විසඳුම් නොලැබෙන නමුත් අවංක භාවය සහ කැපවීම ප‍්‍රදර්ශනය කරන පියවරකි. සමානත්වය සහ සියලු දෙනාගේ ගරුත්වය සුරකින ආකාරයට ක්‍රියාකිරීමට සූදානම් බව භාවිතයෙන් ප‍්‍රකාශ කිරීමකි.

මෙම නිර්ණායකය අනුව බලයේ සිටින නායකයන්ට ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කළ හැකිද යන්න විමසා බැලිය යුතුය. සමානත්වයෙන් යුතු සහ වෙනස් කොට සැලකීමෙන් තොර පාලනයක් ඇති කළ හැක්කේ ශිෂ්ට සම්මත ක‍්‍රමයක් අනුව පාලනය මෙහෙය වීමෙනි. වෙනත් වචනයකින් කියන්නේ නම් නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීමෙනි. වඩාත් සරලව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. නිදහසින් පසු කාලය පුරාම දක්නට ලැබෙන්නේ නිතිය පාලකයාගේ අවියක් කර ගැනීමේ අවස්ථා ය. පාලකයාට නොගැලපෙන්නේ නම් අධිකරණයේ තින්දු පවා නොසලකා සිටි අවස්ථා එමට ය.

නීතිය පාලකයාගේ මෙවලමක් කර ගත් අවස්ථා අපමණ වුවත් මෑතක දී ප‍්‍රකාශයට පත් එක් සිද්ධියකින් එම ඉතිහාසය වඩාත් හොඳින් කැටි කර දක්වයි. ප‍්‍රශ්නය වූයේ පසුගිය මැයි නම වැනිදා රට පුරා පාලක පොහොට්ටු පක්ෂයේ නායක කාරකාදීන්ට එල්ල වූ මැර ප‍්‍රහාර සහ දේපොළ හානි වැළැක්වීමට නීතිය සහ සාමය රැකීමට පවතින ආයතනය වූ පොලීසිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පොහොට්ටු නායකයන්ගෙන් පොලීසියට එල්ල වූ චෝදනාවය. නීතිය සහ සාමය රැකීමට අපොහොසත්වීම ගැන පොලීසියට නිතර චෝදනා නැගී ඇත. එහෙත් මෙවර විශේෂතාවය වන්නේ පොලිස්පති එම අපොහොසත්වීමට හේතු දැක්වීමය. පොලිස්පති පැහැදිලි කළ ආකාරයට පොලීසියට පැවරී ඇති කාර්ය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වූයේ සුදුසු නිලධාරීන් නොසිටීමය. පොලිස් සේවයේ ගරුත්වය රැකෙන ආකාරයට සහ වගකීම නිසි ආකාරයට ඉටු කළ නොහැකි වූයේ දේශපාලන මැදිහත්වීම නිසා ය. ඔහු පෙන්වා දුන් ආකාරයට නීතිය සහ සාමය පවත්වා ගැනීමේ ප‍්‍රධාන පුරුකක් වන පොලිස් ස්ථාන 184කට නිසි ස්ථානාධිපතීන් පත් කිරීමට පොලිස්පතිට හැකියාවක් නැත. ස්ථාන 182ක ස්ථානාධිපතින් පත් කර ඇත්තේ දේශපාලන වුවමනාවටය.  

පොලිසිය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවකින් පත් කරන කොමිසමක් තිබුණ ද සැබැවින්ම ක්‍රියාත්මක වන්නේ බලයේ සිටින පාලක පක්ෂයේ වුවමනාවයි. පොලිස් ස්ථානාධිපතීන් පත් කිරීම ඔවුන් භාර ගෙන ඇත්තේ එමනිසා ය. පත්වීම් උසස්වීම් හෝ ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ගේ කාර්ය වන්නේ පාලකයාට සේවය කිරීමය. නීතිය හා සාමය රැකෙන්නේ එවිටය.

මෙය පොලීසිය සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත රාජ්‍ය යන්ත‍්‍රය සම්බන්ධයෙන් සත්‍යයකි. එවැනි ක‍්‍රමයක් පවත්වා ගැනීමට හැකි වන්නේ වෙනස් කොට සැලකීම ආයතන ගතවීම නිසාය. එය දේශපාලන බැඳියාව අනුව වෙනස් කොට සැලකීමකි. ලංකාවේ දේශපාලන පක්ෂවල බල පදනම වාර්ගිකත්වය අනුව තීරණය වන නිසා වෙනස් කොට සැලකීම වාර්ගිකත්වය අනුව ද තීරණය වේ. ඊට මුහුණ දීමට සුළුතර ජන කණ්ඩායම් වර්ගය අනුව දේශපාලන බල කණ්ඩායම් ගොඩ නගා ගනිති.  දේශපාලන පක්ෂ යනුවෙන් හැඳින්වෙන මෙම බල කණ්ඩායම් අතර සාමය සන්හිඳියාව ගොඩ නැගීම අපහසු නොවේ. ඒ බලය බෙදීමට නොව බලය අත්පත් කර ගැනීමට ඔවුන් අතර එකඟතාවයක් ඇති කර ගැනීම ගැටලූවක් නොවන නිසාය. පසුගිය අයවැය විවාදයේ අවසන්වර ඡන්ද විමසීමේ දී දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියේ අයවැය යෝජනාවල සාධනීය හෝ නිෂේධනීය ලක්ෂණ නිසා නොව වාර්ගික ගැටලූව විසඳිමට ජනාධිපති සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන නිසාය. 

ඉහතින් සාකච්ඡා කළ ආකාරයට වෙනස් කොට සැලකීම සහ සමානාත්මතාවය තහවුරු කිරීම නොවන තාක් කල් සාමය සහ සංහිඳියාව ගොඩ නැගිය නොහැකිය. සාමය සහ සන්හිඳියාව තහවුරු කිරීම පක්ෂ අතර ඇති කර ගන්නා එකඟතාවලින් ඔබ්බට යන දේශපාලන මෙන්ම සමාජයීය වැඩ පිළිවළකි. ඇත්තෙන්ම වැඩ පිළිවෙළකටත් වඩා පාලනයේ මෙහෙයුම් මූලධර්ම සම්බන්ධ කරුණකි. පක්ෂ අතර එකඟතා ඇති කර ගැනීමෙන් පමණක් වෙනස් කොට නොසැලකීම සහ සමානත්වය තහවුරු වන්නේ නැත. එය උතුරට නැගෙනහිරට පමණක් නොව සමස්ත දිවයිනටම බලපාන මූලධර්මයකි. එවැනි තත්වයක් තුළ වැදගත් වන්නේ දේශපාලන පක්ෂ පමණක් නොව ජනතාවයි. ජනතාව සවිබල ගැන්වීමයි. පවතින දේශපාලන පක්ෂවලින් කෙරෙන්නේ ජනතාව සවිබල ගැන්වීමට වඩා ඔවුන් අන්තේවාසිකයන් කර ගැනීමේ උත්සාහයකි. එවැනි තත්වයක් යටතේ බලය බෙදා හරින්නේ ජනතාව උදෙසා නොව දේශපාලන පක්ෂ සැනසීම සඳහාය.

ජාතිය ආගම වර්ගය කතා කරන භාෂාව හෝ ජීවත්වන ප‍්‍රදේශය නොසලකා සියලු පුරවැසියන්ට සමානව ගරුත්වයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය දේශපාලන සහ පරිපාලන ව්‍යුහයන් සකස් කිරීමෙන් තොරව බලය බෙදිය හැකි වන්නේ කුමන වර්ගයකට හෝ කණ්ඩායමකට අයත් ප‍්‍රභූ පිරිසකට ය. එම පාලක පිරිස පාලනය කිරීම හැර ජනතාව විසින් පාලනය කරනු ලැබීමට එකඟවන්නේ නැත. ඊට හොඳම දර්ශකය එම දේශපාලන පක්ෂ තුළ වෙනස් කොට නොසැලකීම සහ සමානත්වය පවතින්නේ ද යන්නයි. ඒ සියලූම දේශපාලන පක්ෂ තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් දකින්නට හෝ නැත. සියල්ල තීරණය කරන්නේ නායකයා සහ ඔහුගේ අනුගාමිකයන් ය. නායකයාගේ මතයට එරෙහි මතයක් දරණ කෙනෙකුට පක්ෂය තුළ ඉඩක් නැත.

මෙවැනි දේශපාලන පක්ෂ අතර ඇති කර ගන්නා එකඟතාවයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මූලික ප‍්‍රශ්න කිසිවකට විසඳුම් නැත. කුමන වර්ගයකට හෝ ජනතාවට නිදහසක් අත්වන්නේ ද නැත. එවැනි තත්වයක් යටතේ සර්ව පාක්ෂික සමුළුවකින් ඇති කර ගත හැකි වන්නේ පක්ෂ අතර එකඟතාවයක් පමණි. දේශපාලන ආර්ථික ක‍්‍රමයේ පවතින මූලික ප‍්‍රතිවිරෝධතා එසේම පවතින නිසා සර්ව පාක්ෂිත උත්සාහය සාමය හෝ සන්හිිඳියාව ඇති කිරීම නොව නැවත වරක් ජනතාව මුළා කිරීමකි. 

Leave a Reply