සාමය, ගැටුම් විසඳීම සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අගනා සේවයක් ඉටු කළ කුමාර් රූපසිංහ මහතාගේ අභාවය ගැන අපගේ බලවත් ශෝකය පළ කරමු.
හැත්තෑවේ දශකයේ දී දේශපාලන ප්රවාහයට එක් වූ ඔහු එවකට බලයේ සිටි සමගි පෙරමුණු රජයේ ප්‍රධාන පාර්ශවය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දක්ෂිණාංශික නැඹුරුවට එරෙහිව නැගි සිටියේ ය. එම අභියෝගයට සහ මතුවෙමින් තිබූ ප්රතිගාමී බලවේගවලට මුහුණ දීමට ගැඹුරු දේශපාලන දැක්මකින් යුත් තරුණ කණ්ඩායමක් පිහිටුවීමට ඔහු දැඩි උත්සාහයක් ගත්තේ ය.
එය ප්‍රකාශයට පත් වූයේ ජනවේගය නමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බලවත් වෙමින් පැවති දක්ෂිණාංශික කොටසට අභියෝග කිරීම අරමුණු කර ගත් ජනවේගය සමාජවාදී ජනතා ව්‍යාපාරයට නායකත්වයක් දීමට ජාතික මෙන්ම දිස්ත්‍රික්ක මට්ටමෙන් ද සංවිධාන පිහිටුවීමට පියවර ගත්තේ ය. එහෙත් නමසිය හැත්තෑහතේ මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අනපේක්ෂිත ආකාරයෙන් මහත් ජයග්‍රහණයක් අත්කර ගැනීමත් සමග කුමාර් රූපසිංහ මහතා ගොඩ නැගීමට අදහස් කළ ජනතා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පාහේ බිඳ වැටිණ.
මහා මැතිවරණයෙන් හයෙන් පහක බලයක් අත්කර ගත් ජේ ආර් ජයවර්ධන ගේ ඊළඟ ඉලක්කය වූයේ ප්‍රබල වෘත්තීය සමිති ව්‍යාපාරය අතු ගා දැමිමය. ඊට අවස්ථාව උදා වූයේ අසූවේ මහා වැඩ වර්ජනයත් සමග ය. වැඩ වර්ජනය නීති විරෝධීයැයි ප්‍රකාශකර වෘත්තීය සමිති බැංකු ගිණුම් තහනම්කර සමිති කාර්යාලවලට මුද්‍රා තැබීම නිසා ජනතා මූලික අයිතිවාසිකම් ගැන කතා කිරීමට හෝ වේදිකාවක් හෝ ඉතිරි වූයේ නැත.
එවිට වර්ජකයන්ට යුක්තිය ලබා දීමටත් ප්රජාතන්ත්රීය අයිවාසිකම් සුරක්ෂිත කිරීමටත් චාල්ස් අබේසේකර, ප්‍රින්ස් රාජසූරිය, ජෙ. උයන්ගොඩ, රෙජී සිරිවර්ධන, සුනිලා අබේසේකර වැනි ප්‍රබල කීර්තිමත් පුද්ගලයන් මෙන් ම එස් ජී පුංචිහේවා, විමල් ප්‍රනාන්දු, කීර්ති හේවා වැනි සමාජ ක්‍රියාකාරීන් හා එක්ව ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් ව්‍යාපාරය පිහිටුවීමට කුමාර් රූපසිංහ මුල් වූයේ ය. එහි කාර්යාලය පිහිටුවීමට ඔහු පදිංචි වී සිටි කාසල් පාරේ නිවසේ කාමරයක් ද ලබා දුන්නේය.
ඔහුගේ අදහසක් අනුව බිහි වූ එම සංවිධානයට ප්රජාතන්ත්රීය අයිතිවාසිකම්වලින් ඔබ්බට ගොස් දැඩි වන මර්දනය හමුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ගවලටත් පිවිසිය හැකි විය.
කුමාර් රූපසිංහ මහතාගේ අගනා සමාජ මෙහෙවර වෙනුවෙන් අපේ ආචාරය පුද කරමු..!
- MEDICAL PROFESSIONALS IN SRI LANKA FOR SYSTEMCHANGE - October 12, 2022
- ජාතික වෘත්තික මධ්‍යස්ථානයේ මානව හිමිකම් ප්‍රකාශයක්.. - September 5, 2022
- සිසු දඩයම වහා නවත්වනු..! - August 24, 2022