You are currently viewing නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය..

නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය..

mddr_letterhead_web

මැයි මස 9 වැනි දා අරලියගහ මන්දිරයෙන් මුදා හළ මැර පිරිස් අරලියගහ මන්දිරය ඉදිරිපස සහ ගාලු මුවදොර සාමකාමී ව විරෝධතා දැක් වූ පිරිස්වලට පහර දුන්හ. ඊට අමතරව මහනුවර ‘ගොඨා ගෝ හෝම්’ ගමටද තවත් පිරිසක් පහර දුන්හ. ඉන් පසුව රටපුරා ඊට එරෙහිව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිදු වූ ජීවිත සහ දේපොළ හානියත් අපි තරයේ හෙළා දකිමු.

එහෙත් මෙම අවස්ථා දෙක සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ එක ආකාරයෙන් නොවන බව පසුගිය සති කීපය තුළ කරන ලද අත් අඩංගුවට ගැනීම් සහ රඳවා ගැනීම්වලින් පෙනේ. රටපුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයන් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීමට දක්වන උනන්දුව ගාලු මුවදොර ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගැනීමට යොදන්නේ නැත. බොහෝ විට සිදු වන්නේ ප්‍රශ්න කිරීම්වලින් පසුව මුදා හැරීමය.

රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ ගාලු මුවදොර ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් බව විමර්ශන කටයුතුවල යෙදෙන පොලිස් නිලධාරීන් අමතක කර ඇති බවක් පෙනේ. මාසයකට අධික කාලයක් ගාලු මුව දොරත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාර සිදු වුවත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිත් වාර්තා වූයේ නැත. සමහර මැති ඇමතිවරුන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා දැක් වූ නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූයේ නැත.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූයේ ආණ්ඩුවේ නායකයන් විසින් උසි ගන්වන ලද මැර කණ්ඩායම්වල අමානුෂික පහරදීම් නිසාය. ඊට පොලිසියේ ඉහළ ම නිලධාරීන්ගේ ද සහාය ලැබුණ බවට ප්‍රසිද්ධ සාක්ෂි පවතී. ඔවුන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට අමතරව කිසිවක් සිදුව නැත.

ලංකාවේ පොලිසිය මීට පෙර අවස්ථා කීපයකදීම කෙටි කතා කතාකරුවන් මෙන් ම කවීන් සිය නිබන්ධන තුළින් ජනතාව ප‍්‍රකෝප කිරීමට තැත් කෙළේයැයි අයිසිසීපීආර් (International Covenant on Civil and Political Rights) පනත යටතේ අත් අඩංගුවට ගෙන වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ද අපට සිහිපත් වේ. අරලියගහ මන්දිරයේ දි කළ ප‍්‍රකෝප කිරීම් සම්බන්ධයෙන් එය අදාළ නොවන්නේ ඇයි ද යන්න රජය පැහැදිලි කළ යුතු ය.

මෙවැනි වරණාත්මක ව නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක්, බිඳ වැටී ඇති  ආර්ථිකය ගොඩ ගැනීමේ දී ජනතාවගේත් ජාත්‍යන්තර ප්‍රජාවේත් සහාය සහ විශ්වාසය දිනා ගැනීමට කිසිසේත් ඉවහල් නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය.

මහින්ද හත්තක
ලේකම්

Print Friendly, PDF & Email

Leave a Reply