You are currently viewing සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය..

සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය..

වෙනත් රටවල මෙන්ම අපේ රටේ ද දේශපාලකයන් බලය ලබා ගැනීමට විවිධාකාරයේ (බොරු) පොරොන්දු ලබා දීම සුලබ කාරණයකි. විශේෂයෙන්ම මැතිවරණ සමයේ පොරොන්දු ලබා දෙන්නේ ඉටු කිරීමේ අදහසින් නොව ජනතාව කෙසේ හෝ මුළා කොට බලය ලබා ගැනීමේ පරම චේතනාවෙනි. පොරොන්දු ලබා දීමත් ඉටු කිරීමත් අතර ඇති පරතරය නිසාම සමහර දේශපාලකයෝ පොරොන්දු දේශපාලනය නොකරන බවද පැවසූහ. එවිට මතුවන ප්‍රශ්නය මොවුන් බලය ඉල්ලන්නේ කුමක් සඳහා ද යන්නයි. ජනතාවගේ අන්සතු කළ නොහැකියැයි කියන පරමාධිපති බලය ලබා ගන්නේ නම් ඒ කුමක් සඳහාද යන්න පැහැදිලි කළ යුතුය. අවසාන වශයෙන් බලය ලබා ගන්නා දේශපාලතයා පොරොන්දු කිසිත් ඉටු නොකර තමන්ට රිසි දෙයක් කළත් පරමාධිපති බලට හිමි ජනතාවට කළ හැකි කිසිත් නැත. කළ හැකි වන්නේ එළඹෙන මැතිවරණයක දී ඔවුන් පරාජය කිරීම පමණි. එහෙත් ඔවුන් නැවත බොරු පොරොන්දු දීමෙන් වැළැක්විමට එය ප්‍රමාණවත් නැත.

හිටපු අනුප්‍රාප්තික ජනාධිපති ජනතාවගෙන් බලය ලබා ගත්තේ පොරොන්දු දීමෙන් නොවේ. පාර්ලිමේන්තුවට හෝ තේරී පත්වීමට ජනවරමක් නොලත් ඔහු ජනාධිපති වූයේ අහම්බෙනි. ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තිබීම නිසා කිසියම් සුජාත භාවයක් ද ලැබිණ.

එහෙත් පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට ඔහු පොරොන්දු කීපයක් ලබා දුන්නේය. ඇත්තෙන්ම ඒ පොරොන්දු නොව විධායක නියෝග සේ සැලකිය හැකිය. එසේ ලබා දුන් නියෝගයක් වූයේ රජයේ සේවකයන් ගේ වැටුප් 2025 ජනවාරි මස සිට රු.10,000කින් වැඩි කිරිම ය. ජනතාවගේ ජීවන බර තමාට දැනෙන නිසා එය සැහැල්ලු කිරීමට උපදේශක කමිටුවල නිර්දේශ අනුව තමා මෙම තිරණය ගත් බවද වැඩි දුරටත් පැහැදිලි කෙළේය. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබිය දී එම තරගයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු ඔහු සතු විධායක බලය යොදා ගෙන මෙවැනි නියෝග දීම මැතිවරණ නීති රීතිවලට කෙතරම් අනුකූල වන්නේ ද යන්න සාකච්ඡා කිරීමට අප අදහස් කරන්නේ නැත. එහෙත් ඉන් කියවෙන දේශපාලන අර්ථය පැහැදිලි කර ගැනීම ඡන්දදායකයන් වශයෙන් සහ පුරවැසියන් වශයෙන් අපට වැදගත් ය.

එහෙත් ජනාධිපතිවරණය කෙක්කෙන් හෝ කොක්කෙන් දිනා ගැනීමට වලි කෑ රනිල් වික්‍රමසිංහ හදිසියේම ලබන ජනවාරියේ සිට රුපියල් දහ දහසකින් වැටුප් වැඩි කිරීමක් ලබා දීමට තීරණය කෙළේය. ඒ සඳහා ඔහු කඩි මුඩියේ පත් කළ කොමිටියකින් නිර්දේශයක් ද ලබා ගත් බව පැවසුවේය. කොමිටි නිර්දේශයක් අනුව වැටුප් වැඩි කිරීමක් ලබා දීමට එකඟ වූ රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම මුල් කර ගත් රජයේ සේවකයන් සමග සාකච්ඡා කිරීම හෝ ප්‍රතික්ෂේප කොට කඳුළු ගෑස් සමග බැටන් පොළුවලින් පහර දී ඔවුන් පළවා හැරියේ ඇයිද යන්න ඔහුත් ඔහුගේ භාණ්ඩාගාරයේ ලේකම්වරයාත් පැහැදිලි කළ යුතුය.

එම වැටුප් වැඩි කිරීමට අදාල ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කර නැති බව අලුතින් පත් ජනාධිපති පැවසීම වෙනම කාරණයකි. වැදගත් වන්නේ රටේ අනාගතය ලබා දෙන්නැයි ඉල්ලා සිටින මෙම දේශපාලකයන් ප්‍රතිපත්ති තීරණ ගන්නා ආකාරයයි.

වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා රජයේ සේවකයන් – 2023 ඔක්තෝම්බර් 30 වැනි දින කොළඹ දී

වැදගත් වන්නේ අතිරේක බදු බරක් පටවන්නේ නැතිව වැටුප් වැඩිවීමක් ලබා දිය නොහැකියැයි පැවසු රනිල් වික්‍රමසිංහ ඡන්දය ආසන්නයේ දී ඒ සියල්ල අමතක කොට වැටුප් වැඩිවීමක් ලබා දීමට තිරණය කළ ආකාරයයි. ඒ සඳහා ඔහුට ඔහු විසින්ම පත් කළ කොමිටියක නිර්දේශ ලැබුණ බව කීවත් එය තවත් සුරංගනා කතාවට වැඩි දෙයක් නොවේ. ඔහුට අවශ්‍ය වන්නට ඇත්තේ කෙසේ හෝ ජනාධිපතිවරණය දිනා ගැනීම හෝ ඉදිරියේ එම තනතුරට පත්වන පුද්ගලයා ට අතිරේක අරමුදල් සොයැ ගැනීමට නොහැකිවීමෙන් අසීරු තත්වයකට පත් කිරීම විය හැකිය. එය කිසිසේත් “මිස්ටර් ක්ලින්” කෙනෙකුගේ චරිත ලක්ෂණ නොවේ.

මෙය රනිල් වික්‍රමසිංහට සීමා වූවක් නොවේ. පසුගිය වසර හැත්තැහයක් තිස්සේම රට පාලනය කළ දේශපාලකයන්ගේ චරිත ස්වභාවයයි. ඉන් මිදුණ දේශපාලකයන් සවල්ප දෙනෙකු සිටිය ද ඒ අහම්බයෙනි. ඔවුන්ට එම දේශපාලනය වෙනස් කිරීමට ශක්තියක් සහ කැපවීමක් තිබුණේ ද යන්න පෙන්වා නැත. ඒ ස්වල්ප දෙනා අකාලයේම දේශපාලනයෙන් ඉවත් වූහ. නැතිනම් නිහඬ ප්‍රේක්ෂකයන් බවට පත් වූහ. වංචාව බොරුව මහජන දේපොළ අවභාවිතය සහ නාස්තිය දේශපාලනයේ සන්නාමය බවට පත් විය. යහපාලනය වැනි වදන් පවා ඔවුන් අතින් දුෂණයට පත් විය. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය රට බංකොළොත්වීමය. බංකොළොත් වී ඇත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවේ. සංස්තකෘතිමය වශයෙන් ද බංකොළොත් වී ඇත. රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලකයන්ට අත්ළේ පැළ වෙන බොරු හිරිකිතයක් නැතිව දෙසා බෑ හැක්කේ එම නිසා ය. 

අලුත් සමාජයක් සහ අලුත් රටක් නිර්මාණය කිරීමට නම් පැරණි ආභාෂය සහ පුරුදු ඉවත දැමිය යුතුය. අලුත් පුද්ගලයන් පැරණි කෝවට දැමීමෙන් වෙනස් දෙයක් නිර්මාණය වන්නේ නැත. එහෙත් නව භාවිතා සහ ආකල්ප පැරණි කෝව තුළින්ම ගොඩ නගා ගත යුතුය. සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් මිහි පිට තිබිය නොහැකිය.

නව සමාජ ආර්ථික ක්‍රමයක් සහ දේශපාලනයක් ගොඩ නැගීමේ පදනම විය යුත්තේ විවෘත භාවයයි. විවෘත භාවය යනු ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ගැන සියලු තොරතුරු හෙළි කිරීම පමණක් නොවේ. එම ක්‍රියාවලියේ ද විවෘත භාවයක් තිබිය යුතුය. විවෘත භාවයේ උරගල වන්නේ ජනතාව විශ්වාසයට ගැනීම ය. ජනතා විශ්වාසය යනු වරින් වර පැවැත්වෙන ඡන්ද විමසීම්වලින් ජය ගැනීම පමණක් නොවේ. පාලන ක්‍රියාවලිය තුළ ජනතා සහභාගිත්වය තහවුරු කිරීමට සහ ජනතාව පාලනයේ සැබැවින්ම කොටස්කරුවන් බවට පත් කෙරෙන ව්‍යුහයන් ගොඩ නැගිය යුතුය. මහජන නියෝජිතයන් පත් කර ගැනීමෙන් මෙය තහවුරු කළ නොහැකි බව පසුගිය අතීතයෙන් පෙන්නුම් කර ඇත. දෙසිය විසිපහම එපා කිව්වේ එම නිසාය. අලුතින් දෙසිය විසිපහක් පත් කර ගැනීමෙන් දශක ගණනාවක් තිස්සේ නිදන් ගතව තිබු වැරැද්ද නිවැරදි වන්නේ නැත. කොස්ස ගෙවි යන විට තැන් තැන්වල කුණු රැඳෙණූ ඇත. එවිට පිළිතුර අලුතින් කොස්සක් ගැනිම නොවේ.

ලස්සන රටක් නිර්මාණය කිරීමට නම් කිසිම ආකාරයක වෙනස් කිරීමකින් තොරව සියලු ජන කොටස්වල සහභාගිත්වය තහවුරු කරන සමාජ සංස්ථා ඇති කළ යුතුය. එහි පදනම විය යුත්තේ සංවාදය, සාකච්ඡාව සහ සම්මන්ත්‍රණය තුළින් සම්මුතියක් ඇති කර ගෙන තීරණ ගැනීමේ ක්‍රියාවලියකි. එය පාර්ලිමේන්තුවේ විවාද වලින් වෙනස් වන්නේ බහුතරයේ කැමැත්ත විමසීමට වඩා සමාජයට වඩාත් යහපත් දේ තෝරා ගැනීමේ අවංක උත්සාහයක් වන නිසාය. එය කාලය සහ සම්පත් විශාල වශයෙන් වැය වෙන දුෂ්කර කටයුත්තක්යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. අනෙකාගේ මතයට ගරු කිරීමේ සහ සවන් දීමේ භාවිතයක් නැති සමාජය එය දුෂ්කර කටයුත්තක් වුවද සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදි භාවිතයක් පවතින සමාජයක එතරම් අපහසු වන්නේ නැත. එසේ වුවත් නාමික නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වී ඇති තත්වයක් යටතේ වෙනත් විකල්පයක් නැත. 

එවැනි තත්වයක් යටතේ නොවැම්බර් 14 වැනි දින ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පමණක් ජනතා අභිලාෂ ඉටු නොවන බවද සිහිපත් කළ යුතුය.       

Leave a Reply