අම්බිකා සත්කුනනාදන්
මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත ආණ්ඩුව ගොඩ නගමින් සිටින මර්දනකාරී නීති සමුදායේ වැදගත් පදනම් දෙකකි. මෙම පනත් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වූ අතර එම පනත් දෙකේම සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය. විපක්ෂයේ දේශපාලකයින්, සිවිල් සමාජ ක්රියාකාරිකයන්, තාක්ෂණ සමාගම් සහ එක්සත් ජාතීන් මෙම පනත සම්මත කිරීමට පෙර අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ හෝ ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියහ. ආණ්ඩුව ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය ද නොසලකා පනත සම්මත කළ අතර අධිකරණයේ තිරණවලට අනුකූල වුයේ ද නැත.
මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය විිශ්ලේෂණය කිරීමේ දී මානව අයිතිවාසිකම් කෙරේ අහිතකර සේ බලපාන තීරණාත්මක ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකිල්ල යොමුව නොමැති බව පෙනේ.
මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත
මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සකස් කිරීම හේතු යුක්ති කිරීමට ආණ්ඩුව දැක් වූ කරුණු පිළිගත් අධිකරණය ඉන් අදහස් කරන්නේ කාන්තාවන් සහ ළමයින් මාර්ගගත ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම වැළැක්වීමට යන්න පිළිගත් නමුත් මාර්ගගත ප්රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීමට පනතේ ඇත්තේ ප්‍රතිපාදන කීපයක් පමණි.
ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයක් නොමැතිවීම, පෞද්ගලික රහස්‍ය භාවයට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට ඉඩ සැලසීම සහ වඩාත් විස්තීර්ණවීම පිළිබඳව මානව අයිතිවාසිකම් සංවිධානවල විවේචනයට ලක් වූ ජර්මනියේ ජාල බලාත්මක කිරීමේ නිතිය සහ එක්සත් රාජධානියේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ පනත සමාන නීති පිළිබඳ සාධනීය නිදර්ශන සේ අධිකරණය දක්වා ඇත.
උසාවිය පවසන ආකාරයට මෙම පනතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ව්‍යවස්ථාව (සිතීමට, හෘද සාක්ෂියට සහ ආගමක් ඇදහීමට ඇති නිදහස) උල්ලංඝනය කිරීම දිරිමත් කරන්නේ හෝ ඉඩ සලසන්නේ නැත. ඒ වෙනුවට සමහර අපරාධවලින් ජනතාව ආරක්ෂා කිරීම අරමුණු කරන නිසා 12(1) ව්‍යවස්ථාවේ ඇති නීතිය ඉදිරියේ සමානත්වය ආරක්ෂා කරනු ඇතැයි ද අධිකරණය පවසයි.
පෙත්සම්කරුවන් මෙම පනතේ ඇති යෙදුම් සහ වචන අපැහැදිලියැයි තර්ක කළ අතර ‘මෙම පනතේ යොදා ගෙන ඇති වාග්මාලාව ශ්‍රී ලංකාවේ පනත්වලින් හෝ වෙනත් අධිකරණ විනිශ්චයන්ගෙන් ලබා ගත් ඒවායැයි අධිකරණය ප්‍රකාශ කර ඇත. එමෙන්ම යොදා ගත් එවැනි පාරිභාෂික යෙදුම්වල මූලාශ්‍ර සහ එවැනි වචනවල සන්දර්භය අපැහැදිලි සහ විවිධාර්ථවලින් යුත් ඒවා නොවන නිසා ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බව “විශ්ලේෂණයෙන් පෙනේ”යැයි සඳහන් කරයි. එසේ වුවත් 14 ඡේදයේ වැරැද්දක් වන ‘නිකරුණේ සහ ද්වේශ සහගතව’ වැනි සමහර යෙදුම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව” සඳහන් කරයි. අධිකරණය මෙම නිගමනයට එළඹෙන්නේ කොළඹ වරාය නගර කොමිසම පනතේ දී අපහැදිලි සහ විවිධාර්ථ ගෙන දෙන යෙදුම් කපා හරින ලද බව සිහිපත් කරමිනි. එසේ වුවත් මෙම අවස්ථාවේ දී අධිකරණය අපැහැදිලි සහ විරුද්ධාර්ථ ගෙන දෙන යෙදුම් කපා හරින්නේ නැත. ඒ වෙනුවට මෙහි දී ‘වාක්‍ය යොදා ගැනීමේ ආකාරයෙන “පැහැදිලි සහ සංගත භාවය” ඇති කරන්නේයැයි කියන අතිරේක සොලිසිටර් ජනරාල් ඉදිරිපත් කළ සංශෝධන වලින් ව්‍යවස්ථා විරෝධී බව නිවැරැදි වන්නේයැයි අධිකරණය පිළිගනී. එමනිසා ප්රකාශනයේ සහ විසම්මුතියේ නිදහස උල්ලංඝනය විය හැකි මනෝමූල අර්ථ ගැන්වීම් වලට ඉඩ සැලසෙන අපැහැදිලි යෙදුම් ආමන්ත්‍රණය කෙරෙන්නේ නැත. වැඩි දුරටත් අධිකරණය ‘තහනම් කරන ලද ප්‍රකාශ’ ගැන නිර්වචනයක් නොමැතිවීම ගැන ද සඳහන් කරන්නේ නැත. මාර්ගගත ආරක්ෂාව පිළිබඳ කොමිසමට ‘තහනම්’යැයි සැලකිය හැකි ප්‍රකාශයක් ඉවත් කිරීමට නිවේදනයක් නිකුත් කළ හැකි වන්නේ ද මෙම පදනමිනි.
පනතේ 15 වැනි ඡේදය සම්බන්ධයෙන් ද අධිකරණය පෙත්සම්කරුවන්ගේ තර්කය පිළිගන්නේ නැත. ඉන් එක් තර්කයකින් කතා කිරීමේ නිදහස කෙරේ බරපතළ බලපෑමක් ඇති කරවයි. ඒ වෙනුවට අධිකරණය නිතිපති යෝජනා කරන සංශෝධන පිළිගනී. එම සංශෝධනය වන්නේ වැරැද්දට නියම කළ හැකි දඬුවම සම්බන්ධයෙන් පමණි. නීතිපති යෝජනා කරන ලද සංශෝධන නොමැතිව පවා එම ප්රතිපාදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය විය හැකිය යන්න ගැන උසාවිය සඳහන් කරන්නේ නැත.
16 වැනි ඡේදය සම්බන්ධයෙන් “තවත් පුද්ගලයෙකුගේ ආගමික හැඟීම් රිදවීම’ යන්න නිර්වචනය කර නැති අතර එහි නිශ්චිත තේරුමක් නැතැයි පෙත්සම්කරුවෝ තර්ක කළහ. එම අපැහැදිලිකම නිසා ස්වයංවාරණයක් පනවා ගැනීමෙන් කතා කිරීමේ නිදහස කෙරේ බරපතළ බලපෑමක් ඇති විය හැකිය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැලපේයැයි ඔවුහු පෙන්වා දුන්හ. ‘පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් කළ ඉදිරිපත් කිරීම් සමග එකඟවන බව අධිකරණය සඳහන් කරයි. එසේ වුවත් මෙම ඡේදය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට තුනෙන් දෙකේ බහුතරයෙන් නොව) පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකියැයි අධිකරණය පවසයි. මෙහිදී ද අධිකරණය පෙත්සම්කරුවන්ගේ තර්කයට ප්‍රමාණවත්ව ආමන්ත්‍රණය නොකොට දඬුවම් පැනවීමේ ප්රතිපාදනය කෙරේ අවධානය යොමු කරයි. එනම් දෙවන සහ තදනන්තර වැරදිවලදී දඩය දෙගුණයක් කිරීම සීමාන්තික නිසා එය කපා හැරිය යුතුය. නැතිනම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය. වැඩි දුරටත් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමේ දී මෙම වගන්තිය ඉවත් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් එකඟ වූ බව අධිකරණය පවසයි. කෙසේ වුවත් ආණ්ඩුව 16 වැනි ඡේදය ( වෙනත් කිසියම් පුද්ගලයෙකුගේ ආගමික හැඟීම්වලට රිදවීම) ඉවත් කිරීමට අධිකරණයට දුන් පොරොන්දුව ඉටු කරන්නේ නැතිව එය 17 වැනි වගන්තියට ඇතුළත් කර ඇත. එනම් වෙනත් කිසියම් පුද්ගලයෙතුගේ ආගමික විශ්වාසවලට නින්දා කරන යන කොටසට ඇතුළත් කර ඇත. එමනිසා මූලික අයිතිවාසිකම්වලට අහිතකර සේ බලපෑ හැකි අපැහැදිලි ප්‍රතිපාදන එසේම පවතී.
’17 වැනි ඡේදයේ පෙනෙන අරමුණ සිතාමතා සහ ද්වේෂ සහගතව අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් ආගමික හැඟීම් ආරක්ෂා කිරීම වුවද සත්‍ය වශයෙන් එම විෂය පථය ‘සම්ප්‍රදායිකව පිළිගන්නා ආකාරයට මාර්ගගත ආරක්ෂාවේ සීමාවෙන් ඔබ්බට යන්නේයැ’යි අධිකරණය සඳහන් කරයි. එහෙත් දඬුවම් පැමිණවීමේ ප්රතිපාදනය වෙනස් කිරීමට අතිරේක සොලිසිටර් ජනරාල් යෝජනා කරන සංශෝධන අධිකරණය ප්‍රමාණවත්යැයි පිළිගනී.
මාර්ගගත ආරක්ෂාව පනතේ 17 වැනි වගන්තියෙන් ‘උපපොලිස් පරීක්ෂකයෙකුට පහළ නොවන ශ්‍රේණියේ පොලිස් නිලධාරියෙකුට පුද්ගලයෙකුගෙන් වාචිකව ප්‍රශ්න කිරීමට සහ ඔවුන්ගෙන් තොරතුරු සහ ලිපි ලේඛන ඉල්ලා සිටීමට විශේෂඥ අධිකාරි බලයක් ලබා දේ. මේ සම්බන්ධයෙන් විශේෂඥයන් පත් කිරීමේ මාර්ගෝපදේශ නොමැතිවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සහ 14 වැනි ව්‍යවස්ථාවේ සමහර ප්‍රතිපාදන වලට නොගැලපෙන බව අධිකරණය සඳහන් කරයි. මෙම තත්වය නිවැරදි කිරීමට පරිගණක අපරාධ පනතේ විශේෂඥයන් පත් කිරීමේ ප්‍රතිපාදන අනුගමනය කළ යුතු බව අධිකරණය නිර්දේශ කරයි. පරිගණක පනතේ මේ සමාන ප්‍රතිපාදන අනුව විශේෂඥයෙකුට පොලිස් නිලධාරියෙකු සමග ඕනෑම පරිශ්රයකට පිවිසීමට බලය ලබා දෙන අතර අනතුරුව ඇති වගන්ති අනුව පොලිස් නිලධාරියෙකු නොමැතිව පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමේ බලය පවරයි. ඒ අනුව සිවිල් විශේෂඥයෙකු අධීක්ෂණයක් නොමැතිව සිවිල් අයිතිවාසිකම් සීමා කිරීමේ කටයුත්තක යෙදීමේ ප්රශ්නය නොවිසඳී පවතී.
ප්‍රති ත්‍රස්ත පනත
ප්‍රති ත්‍රස්ත පනතේ ත්‍රස්තවාදය නිර්වචනය කිරීම පවතින එකඟ වූ අන්තර්ජාතික ප්රමිතීන් අනුගමනය කර නැතැයි පෙත්සම්කරුවෝ තර්ක කරති. නිදසුනක් වහයෙන් ‘භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන හෝ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හෝ වෙනත් ඕනෑම රටක ස්වෛරීත්වයට හානි කරන’ කටයුතු වැනි ක්‍රියාවන්ට අපැහැදිලි, නිර්වචනය නොකළ කරුණු ඇතුළත් ය. මෙම පනතේ දක්වා ඇති වරදක් වන්නේ “මහජනයා භාවිතා කරන ස්ථානයකට” හානි සිදු කිරීමය. අවශ්‍ය වන්නේ ත්‍රස්තවාදය පිටු දැනීමේ බලතල සීමා කිරීම වුවද සිදුව ඇත්තේ නව කාණ්ඩයක ත්රස්තවාදයන් නිර්මාණය කිරීම බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් හත් දෙනකුම දක්වා ඇත. විරෝධතාවය, මතවාදය පැතිරවීම සහ විසම්මුතිය ඉවත් කිරීමේ ප්‍රතිපාදන වගන්තියකට ඇතුළත් කළ හොත් නිර්වචනය කිරීම ව්‍යවස්ථානුකූල වන බව අධිකරණය සඳහන් කරයි.
පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම වැනි පොලිස් කාර්යන් සන්නද්ධ හමුදාවලට ලබා දෙන්නේ නම් අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේයැයි පෙත්සම්කරුවන් කීදෙනෙක්ම තර්ක කළහ. එය සිදු විය හැක්කේ සන්නද්ධ හමුදාවක සාමාජිකයෙකුගේ හිතූ මනාපයට අත් අඩංගුවට ගැනීම් සිදු නොවන්නේය යන්න විශ්වාස කරන නිසා අධිකරණය පෙත්සම්කරුවන් සමග එකඟ වූයේ නැත. ‘බලය යෙදවීම විෂයීය නිර්ණායකවලට යටත් වන නිසාත් අපරාධයක තීව්‍රතාවය ත්‍රස්තවාදී වරදක් බවට පත්වන මට්ටමට ළඟා වූ විට පමණක් පොලිස් නිලධාරීන් නොවන නිලධාරීන් සේවයට යොදා ගත හැකියැයි පවසයි. මෙම පනත යටතේ පුද්ගලයෙකු විසින් ආසන්නවම වැරැද්දක් කිරීමේ හැකියාවක් පවතින්නේයැයි හෝ පුද්ගලයෙකු වරදක් සිදු කෙළේයැයි විශ්වාස කිරීමට සාධාරණ සැකයක් ඇති විට සන්නද්ධ හමුදාවලට පොලිස් බලතල පාවිච්චි කිරීමට ඉඩ දීම යථාර්ථයට සම්පූර්ණයෙන්ම වෙනස් ය. එය මෙම පනතේ අධිකරණය පවතින්නේයැයි පිළිගන්නා ඉහළ කඩඉම නොවේ.
හමුදාවට පොලිස් බලතල ලබා දීමට මාර්ග දෙකක් ඇත. ඒ හදිසි නීති රෙගුලාසි යටතේ හෝ ‘මහජන සාමය පවත්වා ගැනීම සඳහා’ සන්නද්ධ හමුදා කැඳවීමට මහජන ආරක්ෂා ආඥාපනත යටතේ සෑම මසකම ජනාධිපති නිකුත් කරන ගැසට් නිවේදනයක් හරහා ය. එම මාර්ග දෙකම ස්ථිර නොවන අතර කාල සීමාවන්ට යටත් ය. ප්‍රති ත්‍රස්ත පනත යටතේ පොලිස් කටයුතුවලට හමුදාව යෙදවීම ස්ථිර කෙරේ. පොලිස් කටයුතු පිළිබඳව පුහුණුවක් හෝ නිසි ක්‍රියා මාර්ගය ගැන දැනුමක් නොමැති හමුදා නිලධාරීන් යොදවා ගැනීම දෙමළ සහ මුස්ලිම් ජනතාව වාර්ගිකව වෙන් කර දැක්වීමේ අතීතයක් පවතින නිසා නරකම උල්ලංඝනය කිරීම්වලට තුඩු දිය හැකිය. හමුදාවට අත් අඩංගුවට ගැනීමට ඉඩ දීමේ භයානක කම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අරාබි කුරාණය ළඟ තබා ගැනීම වැනි විහිළු සහගත හේතු මත දහස් ගණනක් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගැනීමෙන් පෙනේ. එසේ වුවත් පොලිස් බලතල හමුදාවට ලබා දීම නිත්‍යානුකූල කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය දුටුවේ නැත.
මහෙස්ත්‍රාත්වරයාට රඳවා ගැනීම අවශ්‍ය වන්නේ ද යන්න තීරණය කිරීමට බලය ලබා නොදී රඳවා ගැනීමේ නියෝගය පමණක් නිකුත් කළ යුතුවීම අධිකරණ බලතලවලට බාධාවක්යැයි පෙත්සම්කරුවෝ තර්ක කළහ. කෙසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුටුවේ වෙනස් ආකාරයෙනි. මහෙස්ත්‍රාත්වරයාගේ “නිශ්චිත අධිකරණ භූමිකාව තාවකාලිකව වෙන් කිරීමක් ” සේ දුටු අධිකරණය එය කිසිම ආකාරයකින් අධිකරණ බලතලවලට බාධාවක් නොවන්නේයැයි පැවසුවේය. මෙම ප්‍රතිපාදනවලින් පුද්ගලයෙකු කිසියම් වධ හිංසාවට ලක් කිරීමෙන් ආරක්ෂා කිරීමට මහෙස්ත්‍රාත්වරයාට විශාල ප්‍රමාණයක ඉඩ ප්‍රස්ථාවක් ලබා දී ඇතැයි පවසන අධිකරණය පෙත්සම්කරුවන්ගේ මූලික දුක්ගැනවිල්ල එනම් රඳවා ගැනීමේ නිත්‍යානුකූල භාවය තීරණය කිරීමේ බලතල මහෙස්ත්රාත්වරයාගෙන් ඉවත් කිරීම නිසා හිතුවක්කාර රඳවා ගැනීමට තුඩු දෙනු ඇතැයි යන්න ගැන අධිතරණයේ අවධානය යොමුව නැත. වැඩි දුරටත් මහෙස්ත්‍රාත්වරයා රැඳවුම් නියෝගයක් ක්‍රියාත්මක කිරීමේ නියෝගය ලබා දෙන්නේ ‘රැඳවීමේ නියෝගය වලංගු වන්නේනම් පමණයැයි අධිකරණය සහතික වුවද 28(2) වගන්තියෙන් “මහෙස්ත්‍රාත්වරයෙකු එවැනි රෑඳවුම් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ලබා දිය යුතුයැයි සඳහන්වීමෙන් මහෙස්ත්‍රාත්වරයාට නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අභිමතය ඉවත් කර ඇත.
උල්ලංඝනය කිරීමක දී පීඩාවට පත් පුද්ගලයාට මූලික අයිතිවාසිකම් අයදුම් පතක් ගොනු කිරීමෙන් හෝ රිට් ආඥාවකින් ප්‍රතිකර්මයක් ලබා ගත හැකියැයි අධිකරණය සෑහීමට පත් වේ. ඉතාමත් හොඳින් ලේඛන ගතව ඇති ආකාරයට අත් අඩංගුවට ගත් බොහෝ පුද්ගලයන් දුප්පත් පසුබිමකින් යුක්ත වන නිසාත් නීති ප්‍රතිකර්ම ලබා ගැනීමට තරම් නීති දැනුමක් හෝ මූල්‍යමය සම්පත් නොමැති නිසාත් මෙය යථාර්ථයක් නොවේ. ආණ්ඩුවේ තීරණ ‘සමාලෝචනය කළ හැකි නිසා පුනරුත්ත්ථාපනය වූවෙකුට අගතියක් නොවන්නේය යන තර්කය පිළිගත නොහැකියැයි 2021 ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ නිකුත් කරන ලද අන්තවාදීවීම තුරන් කිරීමේ (Deradicalisation) නියෝගයක්. “නඩු කීම කාලය ගත වන වියදම්කාරී කටයුත්තකි. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සියලුම වැළැක්වීමේ පියවර ගැනීම රජයේ වගකීමකි.”
අධිකරණය සැලකිල්ල යොමු නොකළ තවත් බරපතළ කාරණයක් වන්නේ ජනාධිපති බලතල පුළුල් කිරීම යි. නිදසුනක් වශයෙන් මෙම පනත අනුව ජනාධිපති ට පාරද්‍රශ්‍ය ක්‍රියාවලියක් නොමැතිව, විෂයීය නිර්ණායක සඳහන් කරන්නේ නැතිව, සාක්ෂි ඉදිරිපත් කරන්නේ නැතිව ආයතන තහනම් කිරීමට බලට හිමි වේ. තහනම අවසන් වන කාල සීමාවක් සඳහන් නොකර වාර්ෂිකව අලුත් කළ හැකිය. එමනිසා ජනාධිපතිට වැරැදි කිරීම පිළිබඳව සාක්ෂි ඉදිරිපත් නොකර, සංවිධානය සමග ඇති සම්බන්ධතා අපරාධ බවට පත් කරමින් ඕනෑම සංවිධානයකට දඬුවම් දීමේ නිත්‍යානුකූල බලයක් ජනාධිපතිට හිමි වේ. එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් ප්‍රමිතිවලින් සහතික කරන ලද සංගම් පැවැත්වීමේ සහ රැස්වීමේ නිදහසට ඇති මූලික අයිතිය, අනතුරට පත්කරයි.
තවත් අධිකරණයේ සැලකිල්ලට යොමු නොවු සමාන ප්රතිපාදනයක් වන්නේ තහනම් ස්ථානයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිට ඇති බලයයි. ඒ සඳහා විෂයීය නිර්දේශයක් දක්වා නැත. එමෙන්ම අධිකරණය පාර්ලිමේන්තුවේ නීති පැනවීමේ බලයට බාධා කරමින් විධායකයට රෙගුලාසි පැනවීමේ බලය ලබා දීම ගැන ද සැලකිල්ල යොමු කර නැත.
එමනිසා මාර්ගගත ආරක්ෂාව පනත ට සහ ප්‍රති ත්‍රස්ත පනත ට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ ඇතුළත් කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් කෙරේ ඇති කරන හානිකර බලපෑමට ප්‍රතිකර්මයක් වන්නේ නැත.
මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුනනාදන් ඩේලි එෆ්ටී පුවත් පතට සැපයූ ලිපියේ පරිවර්තනයකි.