You are currently viewing විධායක ජනාධිපති තනතුර ජනතාවගේ උර චක්‍රමාලයක් ද?

විධායක ජනාධිපති තනතුර ජනතාවගේ උර චක්‍රමාලයක් ද?

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ උත්තරයක් නැති ප්‍රශ්නයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම දැන් නැවත වරක් ජනතාව අතර කතා බහට ලක් වූ මාතෘකාවක් වී ඇත. ඒ අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති තීන්දුවත් සමග ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ දින සිටම විධායක ජනාධිපතිගේ බලතල අඩු කිරීමට හෝ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ගැන මහජන සංවාදයක් ඇතිවිය. චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අය බලය ලබා ගැනීමේ දී විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන බවට පොරොන්දු වූහ.

2015 දී විධායක ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනවරමක් ලබා ගැනීමට ප්‍රධාන සාධකයක් වූයේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන බවට දුන් පොරොන්දුවයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන තෙක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමා කිරීමට පියවර ගෙන තිබිණ. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම යනුවෙන් විධායක ජනාධිපති තනතුරට හිමිව තිබූ බලතල රාශියක් සීමා කෙරිණ. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති තනතුර සම්පූර්ණයෙන් ම ඉවත් කරන බවට ද එකඟතාවයක් ගොඩ නැගෙමින් තිබිණ. එහෙත් යහ පාලන ආණ්ඩු කාලය තුළ නව ව්‍යවස්ථාවක් සම්පාදනය වූයේ නැත. එය තවත් ඡන්ද පොරොන්දුවකට සීමා විය.

2019 පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල සීමාවකින් තොරව නොලැබෙන්නේ නම් සෞභාග්‍ය ඉදිරි දැක්ම ක්‍රියාත්මක කළ නොහැකි බවට මැසිවිලි නැගුවේ ය. ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු නියෝජනය කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගනිමින් ගෙන එන ලද 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරිණ. ඉන් ජනාධිපතිට සමහර කරුණුවල දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර තිබූ බලතල ඉක්මවා යන බලයක් ලබා ගත්තේය. මෙහි තිබු විශේෂ ලක්ෂණය පසුගිය පාර්ලිමේන්තුවේ දී විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමට ඡන්දය දුන් මංත‍්‍රීන් ම නව පාර්ලිමේන්තුවේ දී එම සංශෝධන අහෝසි කිරීමට ද ඡන්දය දීම ය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ පැවති ඡුන්ද විමසීමේ දී විරුද්ධ වූයේ පවතින පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂ පමණි. වෙනත් කිසිදු මංත‍්‍රීවරයෙකු විරුද්ධව ඡන්දය පාවිච්චි කෙළේ නැත.

2022Sep23[1]_presidents

නමුත් අපගේ සැලකිල්ල යොමුවිය යුතු වැදගත්ම කරුණ වන්නේ 22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුවෙන් විධායක ජනාධිපතිගේ බලතල සීමා කෙරෙන්නේනම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයක් සහ ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් වීමය. බොහෝ විට සිදු වනු ඇත්තේ ජනමත විචාරණයක් පැවැත්වීම අනවශ්‍ය වන ආකාරයට ඉදිරිපත්ව ඇති සංශෝධන නැවත සංශෝධනය කිරීම ය. වඩාත් සරලව විධායක ජනාධිපතිට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි වූ බලතලවල කිසිදු කප්පාදුවක් සිදු නොවන්නේය යන්නයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද යෝජනාවී තිබුණේ මෙවැනි ම සංශෝධනයි. එම යෝජනා සලකා බැලූ එවකට පැවති ශ්‍රේෂ්ඨාධිකරණය එම යෝජනා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මතවීම ප්‍රමාණවත් ලෙස තීරණය කළාය. ජනමත විචාරණයක අවශ්‍යතාවයක් සඳහන් කෙළේ නැත. ඇත්තෙන්ම මෙම සංශෝධන ඉදිරිපත්වීම බොහෝ දෙනකු සැලකුවේ 19 වැනි සංශෝධනයට ආපසු යෑමක් සේය. එහෙත් ජනමත විචාරණයක අවශ්‍යතාවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කිරීම නිසා එය සිදු වන්නේ නැත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කෙරෙන ප්‍රතිපාදනවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමි වූයේ ජනමත විචාරණයකට යෑමේ අවශ්‍යතාවයක් ගැන සඳහනක් නොමැතිවය. 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළමු වරට ජනමත විචාරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන සැලසීම ලංකාවේ පුරවැසියන්ට අලූත් අත්දැකීමකි. එම ව්‍යවස්ථාව සම්මත කර දශක හතරකට අධික කාලයක් ගත වුවද ජනමත විචාරණයක් පවත්වා ඇත්තේ එක වරක් පමණි. ඒ එවකට පැවති පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර හයකින් දීර්ඝ කිරීම සඳහා ය. කළ ගෙඩි සෙල්ලම නමින් ජනතාවගේ උපහාසයට ලක් වූ එම ජනමත විචාරණයෙන් ආණ්ඩුව ජයගත් නමුත් එය බොහෝ දෙනකු සිහිපත් කරන්නේ මැතිවරණ ඉතිහාසයේ කළු පැල්ලමක් සේය. ජනමත විචාරණය යන වචනය පවා ඡන්ද දායකයන්ට පිළිකුළ දනවන්නක් විය. නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීම් පිළිබඳ සංවාදයක් රට තුළ ගොඩනැගුණේ ඉන් පසුව ය. මෙම දූෂිත තත්වයට මූලික හේතුව අසීමිත බලතල සහිත විධායක ජනාධිපති තනතුරය. එම ඉල්ලීම ගාලූ මුවදොරින් ඇරඹි අරගලයත් සමග ප‍්‍රබල ජනතා බලවේගයක් බවට පත් විය. ජුලි නම වැනි දා කෝටි සංඛ්‍යාත ජනතාවක් කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපසට පැමිණ හඬ නැගුවේත් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ය.

ප්‍රබල මහජන විරෝධය හමුවේ සියලු විධායක බලතල හිමිව සිටි ගෝඨාභයට තනතුර හැර රටින් පිටව ගියේය. එම ක්‍රියාදාමයෙන් පැහැදිලි වන්නේ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ ව ජනතාව තුළ ඇති අකමැත්ත සහ අප්‍රසාදය යි. එක පුද්ගලයෙකු රාජ්‍ය යන්ත්‍රයේ සියලු බලතල පාවිච්චි කිරීම දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද විනාශයක් බව නැවත වරක් තහවුරු විය. ඇත්තෙන්ම අමතක කර දමා තිබුණු 22 වැනි සංශෝධනය නැවත වරක් කරළියට පැමිණියේ ද ඉන් පසුව ය. එහෙත් එය තවත් සිහිනයක් වූයේ සංශෝධන ජනමත විචාරණයකින් තොරව සම්මත කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම සහ පාර්ලිමේන්තුව ජනමත විචාරණයකට යන බවට සහතිකයක් නැති නිසාය. මින් පෙර ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ සෑම අවස්ථාවකදීම සිදු වූයේ එය වැළැක්වීමට අධිකරණයෙන් පෙන්වා දුන් ක්‍රියා මාර්ගය අනුගමනය කිරීම ය. 22 වැනි සංශෝධන සම්බන්ධයෙන් එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් ජනතා අපේක්ෂාව කිසිසේත් ඉටු වන්නේ නැත.

එවැනි තත්වයක දී එකම විකල්පය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කිරීම ය. ඇත්තෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කාලීන අවශ්‍යතාවයක් වුවද එවැන්නකට ඇති අවකාශය ඉතාමත් සීමිත ය. අනෙක් අතට අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ ඉතිහාසය ද කිසිසේත් ප්‍රිය ජනක නොවේ. 72 සහ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම කලින් තිබුණු ව්‍යවස්ථාවන්ට වඩා පසුගාමී ය. 72 ව්‍යවස්ථාවෙන් සෝල්බරි ව්‍යවස්ථාවෙන් ආගමික හෝ වාර්ගික පදනමෙන් වෙනස් කොට සැලකීම වැළැක්වීමට සලසා තිබු ප්‍රතිපාදන ඉවත් කෙරිණ. ඊට අමතරව අධිකරණය ඇතුලූව සම්පූර්ණ රාජ්‍ය යන්ත‍්‍රයම දේශපාලන වුවමනාවට යටපත් කෙරිණ. 78 ව්‍යවස්ථාවෙන් ඒ සියලු බලතල විධායක ජනාධිපති සතු කර ගත්තේය. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිසා තිස් අවුරුදු වාර්ගික යුද්ධයකට මුහුණ දී සිටි අපි දැන් ආර්ථික බංකොලොත් භාවයට පත්ව සිටිමු. මෙම තත්වයට පත්වීමට මූලික සාධකයක් වන්නේ විධායක බලය එක පුද්ගලයෙකු සතුව තිබීම සහ ප්‍රජාතන්ත්‍රීය සමාජයක පදනම් කුලුනු වන ව්‍යවස්ථාදායකයේ බලය හීන කොට සහ අධිකරණයේ ස්වාධීනත්වය දුර්වල කිරීම ය. තමාට කළ නොහැක්කේ ගැහැනියක පිරිමියෙකු කිරීම පමණක් යැයි පළමු විධායක ජනාධිපති වහසි බස් දෙඩුවේ එම නිසා ය.

චිලියේ ජනතාව ද මෙවැනිම උභතෝකෝටිකයට මුහුණ දී සිටිති. දශක ගණනාවක් ඒකාධිපති පාලනයක් ගෙන ගිය  ඕගස්ටෝ පිනෝෂේ සම්මත කර තිබුණේ ද ඔහුට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. ඒකාධිපති පාලනය 1990 දී බිඳ වැටීමෙන් කිසියම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් චිලියේ පවතින නමුත් ක‍්‍රියාත්මත වන්නේ පිනෝෂේගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. සාධාරණ සහ නිදහස් මහජන ඡන්දයෙන් තේරී පත් වූ නායකයන් ද ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කිරීමට පියවර ගත්තේ නැත. අවසානයේ දී ආණ්ඩුක්‍රමය වෙනස් කළ යුතු ද යන්න ගැන ජනමත විචාරණයක් පැවැත්වීමට චිලියේ නව ජනාධිපති ගාබ්‍රියෙල් බොරික් පියවර ගත්තේය. එහි දී සියයට 80ක් නව ව්‍යවස්ථාවක් සඳහා කැමැත්ත පළ කළහ. ඉන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට ජනමත විචාරණයක් පැවැත් වූ අතර බොහෝ ඡන්ද දායකයන් ඡණ්දය දීමෙන් වැළකී සිටිය හ. අවශ්‍ය වූ ජන කැමැත්ත ලබා ගත නොහැකි වූ නිසා නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප විය. අවසාන ප්‍රතිඵලය පිනෝෂේගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගටම පැවතීම ය.

ජනතාව නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කෙළේ පිනෝෂේගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳ නිසා නොව නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී ජනතා වුවමනාව මනාව නියෝජනය නොවු නිසා ය. ඉන් කියවෙන පාඩම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ව්‍යවස්ථාදායකයේ සහ නීති සම්පාදකයන්ගේ අධිකාරියක් නොව ජනතා අපේක්ෂා පිළිබිඹුවන්නක් විය යුතුය යන්නයි. ව්‍යවස්ථාදායකය මහජන නියෝජිතයන්ගෙන් සමන්විත වුවද පවතින දේශපාලන ආර්ථික ක්‍රමය තුළ පාර්ලිමේන්තුවෙන් තවදුරටත් මහජන මතය නියෝජනය වන්නේ නැත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත් බවට අපමණ නිදසුන් ඇත. ජන අරගල හට ගන්නේ ද එම අසාර්ථක භාවය නිසාය.

මෙම උභතෝකෝටිකය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුලුනු තුනම තේරුම් ගත යුතුය. එසේ නොවන්නේ නම් ජනතාව ඉන් බැහැර විසඳුම් සොයනු ඇත. එය සාමකාමී ද නැතිනම් ප‍්‍රචණ්ඩ අරගලයක් වනු ඇත්ද යන්න ගැන කිසිවෙකුට අනාවැකි කිව නොහැකිය.   

Leave a Reply