You are currently viewing වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක;

අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී නිදහස් වීමෙන් අනතුරුව ජනතා සංගමයේ නායකයෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත විය. ‘89 දකුණේ සිංහල තරුණ කැරැල්ලේ දී  ද්‍රෝහියෙකු ලෙස සළකු වසන්ත දිසානායකට මරණීය තර්ජන එල්ල වුවද දිවි ගලවා ගැනීමට සමත් වූ ඔහු මෑත කාලීනව  “ජාතික ජන බලවේගය“ බිහිකිරීමට මුල්වී පසුව මතවාදීමය හේතුමත ඉන් ඉවත් විය. මේ ඉකුත් දශක පහේ උතුරේත්,  දකුණේත් පැන නැගුනු ජනතා අරගල සහ මෑතක පැන නැගුනු “ගෝල්ෆේස් අරගලය“ පිළිබඳව ඔහුගේ කියවීමයි.. 

71 සහ 88/89 දකුණේ සිංහල තරුණයන්ගේ නැගිටීමත්, උතුරේ දෙමළතරුණයන්ගේ නිදහස් අරගලයත් මෑතකදී ඇතිවූ ගෝල්ෆේස් අරගලයත් අතර පවතින සහසම්බන්ධයන් හා පරස්පර විරෝධතාවන් ගැන අත්දැකීම්ඇති අරගලකරුවෙක් ලෙස ඔබ කොහොමද විග්‍රහ කරන්නේ..?

මේ අරගල හතරම පාලකයන්ට එරෙහිව පැන නැගුණ අරගල හතරක්. ඒ තේරුමෙන් ගත්තම ඒවා අතර ඒ තාක් දුරට සහසම්බන්ධයක් තිබෙනවාය කියලා කියන්න පුළුවන්. නමුත් ඒවා එකිනෙකට වෙනස්. 71 අරගලය අරමුණු වශයෙන් ගත් කල අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදය උදෙසා වූ අරගලයක්. එම අරගලයේ ප්‍රමුඛ සටන් පාඨය වූනේ අධිරාජ්‍යවාදයට විනාශය ජනතාවට විමුක්තිය! ධනවාදයට විනාශය ජනතාවට සමාජවාදය!! යන්නයි. නමුත් එම අරගලය කම්කරු පංතියේ හා පීඩිත ගොවි ජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ලද පොදු ජන නැගිටීමක් නොවෙයි. එය පවතින දේශපාලන හා සමාජ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුය යන මතවාදයෙන් දැනුවත් වෙමින් රහසිගතව සංවිධානය වූ පංතිමය වශයෙන් ගත් කල සුළු ධනපති තරුණ ව්‍යාපාරයක් දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා කරන ලද කැරලි ගසා නැගී සිටීමක්.  1971 වන විට පොදුවේ ජන පීඩනයන් පැවතියත් පොදු ජන නැගිටීමක් සඳහා තත්ත්වයන් මෝරලා තිබුණේ නැහැ. ජනතාව විසින් 1970 මහ මැතිවරණයෙන් එදා පැවති අධිරාජ්‍ය ගැති කොම්ප්‍රදෝරු ධනපති ආණ්ඩුවක් වූ යූඇන්පී ආණ්ඩුව බලයෙන් පහ කර ඒ වන විට කිසියම් දුරකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය ගත් ශ්‍රීලනිප-සමසමාජ-කොමියුනිස්ට් පක්ෂ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් කරලා අවුරුද්දක්වත් ගත වී තිබුණේ නැහැ. කම්කරු පංතිය ඇතුළු ජනතාව ආණ්ඩුව කෙරෙහි විශාල බලාපොරොත්තුවක් ඇතිවයි ඒ වන විටත් සිටියේ. එවන් තත්ත්වයක් තුළ පොදු ජන නැගිටීමක් ඇති වන්නට තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා අරමුණු හා පරමාර්ථ කොතරම් යුක්ති සහගත වුවත් දේශපාලන වශයෙන් ගත් කල 71 තරුණ සන්නද්ධ නැගිටීම පොදු ජනතාවගෙන් වියෝ වූ අතිධාවනකාරී හා කුමන්ත්‍රණකාරී නැගිටීමක් වුණා. 71 අපේ නැගිටීම ජයග්‍රහණය පිළිබඳ අපේ මනෝරාජික උපකල්පනයනට පරස්පරව නියත පරාජයක් අතිනත ගෙන දියත් කෙරුණු නැගිටීමක් වූ බව කිව යුතුයි. මේ නැගිටීම ගැනත්  එහි පරාජය ගැනත් ත් ප්‍රධාන වගකීම දැරිය යුතු වුයේ ජවිපෙ අනුත්තර නායකව සිටි රෝහණ විජේවීර යි. නමුත් ඔහු කිසිවිටෙක ස්වයං විවේචනාත්මකව එම වගකීම භාර ගත්තේ නැහැ. අප්‍රේල් මහ නඩුවේ දී ඒ සියලු වගකීම් පවරන ලද්දේ ඒ වන විට ජවිපෙ නායක මණ්ඩලය තුළ විජේවීර සමග විරසක වී සිටි සනත් හා ලොකු අතුල ඇතුළු කණ්ඩායම පිටයි. සනත් බොරළුගොඩ කැරැල්ලෙදී  උඩුගම පොලීසියෙන් අල්ලා ගෙන   මරා දැම්මා. ලොකු අතුල වරද පිළිගෙන රජයේ සාක්ෂිකරුවෙකු වූණා. විජේවීර හා විරසකව සිටි සනත් හා ලොකු අතුල ඇතුළු කණ්ඩායමට විජේවීර සමග මතවාදී, දේශපාලන, උපාය මාර්ගික හා උපක්‍රමික වශයෙන්වත් ඉස්පිල්ලක පාපිල්ලක හෝ වෙනසක්, ගැටුමක් තිබුණේ නැහැ. සියලු විරසකයන් අදේශපාලනික පුද්ගලවාදී විරසකයන් විතරයි. ජවිපෙ නිල මතය වශයෙන් නිර්මිත මතය වූනේ 71 දකුණේ තරුණ නැගිටීම ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් හුදෙක් මර්දනයට මුහුණ දීම සඳහා ජවිපෙ පැත්තෙන් ඇතිවූ ප්‍රතික්‍රියාවක් කියලයි. ඒත් ඒක ඇත්ත නොවෙයි.

එයනිශ්චිතවම රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා දැනුවත් හා සංවිධානාත්මක ලෙස කළ අරගලයක්. ඒ සඳහා අප ආරම්භයේ සිටම මතවාදී වශයෙනුත් සංවිධානමය වශයෙනුත් හැකියාවේ මට්ටමට අනුව ප්‍රායෝගික වශයෙනුත් සුදානම් වූනා. මර්දනය ගැන  අපේ ප්‍රවේශය වූනේ එය අපව විප්ලවය කරා ගෙන යන කැඳවීමක් ලෙසයි. අරගලයට පෙරාතුව 1971 පෙබරවාරි 27 වැනිදා හයිඩ් පාක් රැස්වීමේදී  රෝහණ විජේවීරගේම වචනවලින් කියනවා නම් මෙහෙමයි. “විප්ලවය කරන දවස අහනවා. කවද ද ඔහෙලා මහා පරිමාණයෙන් මේ රටේ විප්ලවවාදී ව්‍යාපාරය මර්දනය කරන්න ඉදිරිපත් වෙන්නේ, ..කවද ද ඔහෙලා තීරණාත්මකව ඇවිදින් ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව අවි ඔසවන්නේ එදාට විප්ලවය කෙරෙයි කියලා අපි කියලා යනවා.“ ඒ වගේම ඒ කතාවේ දී මාර්තුවේ මහා මර්දනයකට ආණ්ඩුව සූදානම් වන බවත් කියා සිටියා. සමස්තයක් වශයෙන් අපේ  සූදානම ප්‍රමාණවත් නැති කමේ ප්‍රශ්නයක් තිබුණා. නමුත් විප්ලවය ගැන  අපේ උපාය මාර්ගික ප්‍රවේශයට අනුව මර්දනය අපව විප්ලවය වෙත කැඳවූ විට අප එය භාර ගන්න වූනා මිස අපට පැනලා යන්න හැකි වූනේ නැහැ. ඒ අනුව තමයි 1971 පෙබරවාරි 2 දින විජේවීර පාර්ශවයත් සනත් – ලොකු අතුල පාර්ශවයත් අතර මැදි කීප දෙනෙකුත් එවකට විදුදය සරසවියේ (අද ජයවර්ධනපුර) සංඝාරාමයට රැස්ව අප්‍රේල් 5 දා රාත්‍රි 11.30 ප්‍රහාරය එල්ල කර බලය අල්ලන්නට තීරණය කරලා  ප්‍රහාරය දියත් කරන්නේ. ප්‍රායෝගික දේශපාලනමය වශයෙනුත් උපාය මාර්ගික හා උපක්‍රමික වශයෙනුත් අප කළ වැරද්ද අවංකව පිළිගෙන එය නිවැරදි කර ගැනීමට පියවර ගත්තා නම් 88-89 ඒ මහා දේශපාලන ඛේදවාචකය ඇති නොවන්නට ඉඩ තිබුණ බවයි  මගේ අදහස.

88/89 දකුණේ සිංහල තරුණ නැගිටීම

88-89 දකුණේ තරුණ අරගලය ගත්තොත් 71 අරගලයට වඩා පදනමින්ම වෙනස්. ඒ නිසා එම අරගල දෙක සැසඳීම අපහසුයි. 71 අරගලයට එහි තිබෙන ප්‍රධාන සහ සම්බන්ධය වන්නේ එයට නායකත්වය දුන්නේ ජවිපෙ වීමයි. 71 අරගලය කුමන අඩුපාඩුකම් තිබුණත් සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් කළ ප්‍රගතිශීලී අරගලයක්. කලින් කීවා සේ එය අධිරාජ්‍යවාදයට හා ධනපති ක්‍රමයට එරෙහිව දියත් කෙරුණු එකක්. නමුත් 88-89 අරගලය සැබැවින්ම අධිරාජ්‍ය විරෝධී අරගලයක්වත් ධනපති ක්‍රමයට එරෙහි අරගලයක්වත් උනේ නැහැ. එය ඉන්දියානු ආධිපත්‍යවාදයට හා යම් යම් කොන්දේසි යටතේ එය සමග සම්මුතිගතව සිටි ජේ. ආර් පාලනයට එරෙහිව ජාතිකවාදයේ පදනමින් දියත් කෙරුණු අරගලයක්. 71 අරගලය තුළ දේශප්‍රේමී අඩංගුවක් තිබුණ ද එය 88/89 අරගලයේ දී තරම් උග්‍ර ජාතිකවාදී අරගලයක් වූනේ නැහැ. නමුත් 88/89 අරගලය එහි හරයෙන් ගත් කල මහ ජාතිකවාදයෙන් උත්තේජිත වූවක්. උතුර හා නැගෙනහිර දමිළ ජාතික අරගලයට විරුද්ධවත් එල්ල කෙරුණු එකක්. හරයෙන් ගත් කල එහි උත්ප්‍රේරක මතවාදය උනේ මහ ජාතික සමාජ ජාතිවාදය යි. ඒ පදනම තුළ එය ජේ.ආර් පාලක රෙජිමයට එරෙහිවූ විවිධ මහ ජාතික ජාතිවාදී බලවේග සමගත් එක්කෝ ඝෘජුව නැති නම් වක්‍රව සන්ධාන ගත වූ අරගලයක්. මෙහි උත්ප්‍රාසය වන්නේ මීට කලකට පෙර “අවස්ථාවාදය ද නිර්ධන පංති ජාත්‍යන්තරවාදය ද?“ යනුවෙන් කෘතියක් ලියමින් දේශප්‍රේමය, ජාතිකවාදය පට්ට ගසමින් ජවිපෙ නූතන බොල්ෂෙවික්වාදීන්ගේ පක්ෂයක් යයි මහ හඬින් කියා සිටි විජේවීර 1983 පමණ සිට යළිත් ඔහු විසින්ම මහත් කෝපයකින් යුතුව හෙළා දුටු ඒ දේශප්‍රේමයේ හා පටු ජාතිකවාදයේ සළුපිළිවලින් හිස සිට දෙපතුල දක්වා සැරසී ගැනීමයි. පසුව  ජවිපෙ දේශපාලනය හා දේශපාලන ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් විවේචනාත්මක වූ වාම පක්ෂ හා කණ්ඩායම් සියල්ල ජවිපෙ සලකනු ලැබුවේ සමූල ඝාතනයෙන් විනාශ කර දැමිය යුතු ද්‍රෝහී ඒවා ලෙසයි. නිදසුන් ලෙස එකල ජවිපෙ එදා මා නියෝජනය කළ ජනතා සංගමය හඳුන්වා තිබුණේ “සමූල ඝාතනයෙන් විනාශ කර දැමිය යුතු මඩ කොටි“ කියලයි. ඒ අනුව ජවිපෙ සන්නද්ධ හස්තය ලෙසින් ක්‍රියා කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අපේ ක්‍රියාකාරීන් ගණනාවක්ම ඇතුළුව වාමාංශිකයන් රැසක්ම මරා දැම්මා. මේ නිසා ඇතැම් වාමාංශිකයන්ට දිවි බේරා ගැනීමට  ආණ්ඩුවේ සරණ පැතීමේ ඛේදවාචී උත්ප්‍රාසයට පවා මුහුණ දෙන්නට සිදු වූනා. ඊට  හොඳම නිදර්ශනය  ස්වාධීන ශිෂ්‍ය සංගමය. 88/89 අරගලයේ ජවිපෙ මූලෝපායික ප්‍රවේශය වූනේ පුද්ගල ඝාතක ත්‍රස්තවාදය පාදක කරගත් බලය අල්ලා ගැනීමේ උපායික ප්‍රවේශයක්. මේ උපායික ප්‍රවේශය තුළ තමන් සමග එකඟ නොවන්නා වූ ඕනෑම අයෙකු එකල ජවිපෙ පුද්ගල ඝාතක ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වීම නියතයක් බවට පත්ව තිබුණා. ජවිපෙ මෙම උපක්‍රමය ගත්තේ එල්ටීටීඊයෙන් බව නම් හොඳටම පැහැදිලියි. ඒ සම්බන්ධයෙන් නම් ජවිපෙ නායකත්වය දුන් 88/89 දකුණේ අරගලයත් එල්ටීටීඊය නායකත්වය දුන් උතුරේ අරගලයත් අතර සහසම්බන්ධයක් දැකිය හැකි යි.

88/89 අරගලය සටන්කාමී අරගලයක් වූනාට, දස දහස් ගණනක් තරුණ තරුණියන් තම දිවි කැප කළ අරගලයක් වූනාට සැබෑ විප්ලවීය අරගලයක් ලෙස සලකන්න බැහැ. එය එහි මතවාදයෙන්, අනුගමනය කළ දේශපාලනයෙන් හා අරගල උපක්‍රමවලින් ප්‍රතිවිප්ලවවාදීයි. ප්‍රතිගාමීයි. එම අරගලය මේ රටේ සටන්කාමී දස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් එදා ජවිපෙ මහ ජාතික සමාජ ජාතිකවාදී දේශපාලනයෙන් මුලාවට පත්ව සිය අගනා ජීවිත කුරිරු ධනේශ්වර පාලනයේ දංගෙඩිය මත බිල්ලට තැබූ අරගලයක්. 

උතුරේ දෙමළ තරුණයන්ගේ නිදහස් අරගලය

උතුරේ දෙමළ ජාතික අරගලය ගතහොත් එය පැන නගින්නේ කාරණා ගණනාවක් පාදක කර ගෙනයි. ප්‍රධාන කොටම එය අපේ පාලකයින් කාලයක් මුළුල්ලේ දෙමළ ජනයා සම්බන්ධයෙන් අනුගමනය කළ අසාධාරණ හා වෙනස් කොට සැලකීමේ පිළිවෙත. දෙවනුව එම පිළිවෙත වෙනස් කරවා ගැනීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය ගෙන ගිය උද්ඝෝෂණවලට කන් නොදී ඒවා ප්‍රචණ්ඩ මර්දනයෙන් පාගා දැමීමට ක්‍රියා කිරීම, තෙවනුව ප්‍රතිසංස්කරණවාදී දෙමළ නායකත්වය ඊට එරෙහිව ගෙන ගිය අරගලයේ දී සාර්ථක නොවීම, සිව්වනුව ලංකාවේ වමේ ව්‍යාපාරයේ ප්‍රධාන පාර්ශව තම මෙහෙවරින් විතැන්ව ක්‍රියා කිරීම හා මහ ජාතිකවාදී සමාජ ජාතිකවාදී පදනම්වලට ඇද වැටීම වැනි කරුණු ගණනාවක් හේතු කොට ගෙන යි. ඒ අරගලය තුළ සැබෑ විමුක්තිකාමී අරගලයක් තුළ නොතිබිය යුතු එම අරගලයටමත් නිෂේධනීය ප්‍රතිවිපාක ගෙන දුන් බොහෝ ප්‍රතිගාමී පීලි පැනීම් පැවති බව කියන්න ඕන. ඒවාට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕන දෙමළ ධනේශ්වරයේ ආශීර්වාදය ලද සුළු ධනපති තරුණ සන්නද්ධ සංවිධානයක් වූ එල්ටීටීඊය යි. එහි අනුත්තර නායක ප්‍රභාකරන්ගේ අත්තනෝමතික, අන්ත අධිකාරීවාදී හා පටු ජාතිකවාදී සිතීමේ ක්‍රමය යි. 

එය එල්ටීටීඊය ෆැසිස්ට් උපක්‍රම හා ක්‍රමවේද භාවිතා කරන සංවිධානයක් බවට පත් කළා. ඒ අනුව එය විශේෂයෙන්ම එම අරගලයේ සිටි ප්‍රගතිශීලී සංවිධාන සියල්ලම පාහේ සමූලඝාතනයෙන් විනාශකර දැම්මා. එය අවසානයේ දෙමළ ජාතික අරගලයේ ප්‍රධාන හා එකම සංවිධානය වූ බවට පත් වූයේ එම අරගලයේම සහෝදර සංවිධාන සමූල ඝාතනයෙන් විනාශ කර දමලයි. 

ඒ වගේම එය දෙමළ ජාතික අරගලයේ ප්‍රගතිශීලී පාර්ශව ලෙස හැඳින්විය හැකි ප්ලොට්, ඊපීආර්එල්එෆ්, එන්එල්එෆ්ටී වැනි සංවිධානවලට වෙනස්ව දෙමළ පටු ජාතිකවාදී සංවිධානයක් ලෙස ක්‍රියාකාරී වූනා. මහ ජාතිකවාදී පාලකයින්ට නොදෙවෙනි පරිද්දෙන් අනෙකුත් ජාතික ජන කොටස් මත සමූහ ඝාතන මෙහෙයුම්වල යෙදුනා. මේවා කිසිසේත්ම අනුමත කළ හැකි දේ නොවෙයි. එනමුත් එල්ටීටීයේ එම ක්‍රියා නිසා දෙමළ ජාතික අරගලයේ යුක්ති යුක්තභාවය අහෝසි වන්නේ නැහැ. ඒවා නිසා එම අරගලය කාලාන්තරයක් තිස්සේ එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් අධිරාජ්‍යවාදීන් ද සමග හවුල් වූ මෙරට ධනේශ්වර පාලකයන් විසින් මහ ජාතික

පදනමින් පටවන ලද ජාතික පීඩනයට එරෙහි ජාතික විමුක්ති අරගලයක් වීමෙන් වලකින්නේ නැහැ. එල්ටීටීඊයමත් මෙරට පාලකයින් දමිළ ජනතාවට එරෙහිව අඛණ්ඩව ක්‍රියාවට නැගූ ප්‍රතිපත්තිවල හා ක්‍රියාමාර්ගවලම තාර්කික ඵලයක්. එය ජාතික වශයෙන් අපගේ පාලකයින් නොනැවතී,චේතනාන්විතව හා සැලසුම් සහගතව සිදු කළ වෙනස් කොට සැලකීම්වලට, මර්දනීය ක්‍රියාමාර්ගයන්ට එරෙහිව පැන නැගුණ බව ප්‍රතික්ෂේප කරන්න බැහැ. එල්ටීටීඊයේ පමණක් නොව උතුරේ සමස්ත දමිළ ජාතික අරගලයේම පියා අන් කිසිවෙකු නොව මෙරට මහ ජාතිකවාදී පාලක පංතිය යි. 

මෙහි දී මේ කාරණයත් කිව යුතුයි. දකුණේ ජවිපෙ වැනි ඒවා මේ කාරණය තේරුම් ගත්තේ නැහැ. ලංකාවේ දමිළ ජනයාගේ අරගලය ජාතික පීඩනයට එරෙහි වූ පීඩිත ජාතික විමුක්ති අරගලයක් නොවන බවත් එය අධිරාජ්‍යවාදීන්ගේ රටවල් බෙදා කැබලි කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස පැන නැගුණ බෙදුම්වාදී අරගලයක් බවත් කියමින් ජවිපෙ කළේ එම අරගලයට විරුද්ධව මේ ප්‍රශ්නයේ එක් ප්‍රධාන වගඋත්තර කාර පාලක නඩයක උරුමය පවත්වා ගෙන යමින් සිටි රාජපක්ෂ රෙජිමයේ ප්‍රධාන සගයෙකු බවට පත් වීමයි. අධිරාජ්‍යවාදීන්, කලාපීය බලවතා වන ඉන්දියාව මෙම අරගලය ඔවුන්ගේ ඵලප්‍රයෝජන සඳහා යොදා ගන්න ක්‍රියා කළ බව ඇත්ත. ඒක කිසිවෙකුට ප්‍රතික්ෂේප කරන්න බැහැ. එහෙත් ඒ නිසා පීඩනයකට එරෙහි අරගලයකට විරුද්ධ වන්න පුළුවන් ද? බැහැ. කිසිසේත්ම බැහැ. දකුණේ සැබෑ වමක් කළ යුතු වූයේ එල්ටීටීඊය පැරදවීමට පාලක රෙජිම සමග හවුල් වෙමින් එම අරගලයට විරුද්ධ වීම නොවේ. උතුරේ ප්‍රගතිශීලී බලවේග සමග අත්වැල් බැඳ ගනිමින් එම අරගලයේ පීලිපැනීම් වළකා ලීමට හැකි උපරිමයෙන් ක්‍රියා කිරීමයි. දකුණේ දී අපේ පාලකයන් දෙමළ ජනයා මත ජාතික වශයෙන් පටවා තිබූ පීඩනයට එරෙහිව දැඩිව සටන් කිරීමයි. එහෙම කළා නම් සිදු වන්නේ වෙන්වීම සඳහා කරන අරගලය ශක්තිමත් වීම නොවෙයි. එක්ව සිටීම ශක්තිමත් වීමයි. 

එකල අප වගේ කුඩා වාම කණ්ඩායම් කිහිපයක් උතුරේ ව්‍යාපාර සමග සබඳතා ගොඩ නගා ගැනීමට කටයුතු කළා. ප්ලොට් සංවිධානය, ඊපීආර්එල්එෆ් සංවිධානය වැනි ඒවාත් දකුණේ වමේ කොටස් සමග සහෝදරාත්මක සබඳතා ගොඩ නගා ගැනීමට උත්සාහ කළා. නිදසුන් ලෙස ජනතා සංගමය වශයෙන් අප මේ සංවිධාන දෙක සමග සම්බන්ධකම් ඇතිව සිටියා. අපි ප්ලොට් ක්‍රියාකාරීන් සිය ගණනක් සඳහා මාක්ස්වාදය ගැන, ලෝකයේ ජාතික විමුක්ති ව්‍යාපාර හා සමාජවාදී ව්‍යාපාරය ගැන, ලංකාවේ සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය ගැන,  සාකච්ඡා කෙරුණු අධ්‍යයන කඳවුරු පැවැත් වූවා. අපට මේ සම්බන්ධතා දිගටම පවත්වා ගෙන යන්න බැරි වූනා. මේ සියලු දෙනාම එල්ටීටීඊය විසින් සමූල ඝාතනය කර දමනු ලැබුවා. ඇත්තෙන්ම එල්ටීටීඊ ක්‍රියාකාරිත්වයත් පීඩක පාලකයන්ට එරෙහිව දකුණේ හා උතුරේ ජනතාව අතර සමගියක් ඇතිවීමට ලොකු බාධකයක් වූ බව කියන්න ඕන. එපමණක් නොවෙයි දෙමළ ජාතික විමුක්ති අරගලයේ පරාජයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ද එල්ටීටීඊය බවයි මගේ අදහස.

කොටි සංවිධානය පරාජය කර දැනට වසර 14 ක් ගත වුවත් අදත් උතුරුනැගෙනහිර පළාත් වල පැවැත්වෙන සමරු උත්සව වෙනුවෙන් ලක්ෂ ගණන් ජනයා සහභාගී වනුයේ රාජ්‍ය මර්දනය ට එරෙහි වෙමින්. එහෙත් සහෝදරයලාවිසින් මාක්ස්වාදය ඉගෙන්වූ කිසිදු ප්‍රගතිශීලි සංවිධානයකට විකල්ප ව්‍යාපාරයක්ගොඩ නැගීමට මෙතෙක් හැකි වී නැහැ නේද?

මාක්ස්වාදය ඉගැන් වූ පමණින් හෝ ඉගෙන ගත් පමණින් විකල්ප සංවිධානයක් හෝ සංවිධාන ගොඩ නැගෙන්නේ නැහැ. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු තවත් කොන්දේසි රාශියක් තිබෙනවා. අනෙක් අතට අධ්‍යාපන කඳවුරු කිහිපයකින් මාක්ස්වාදය උගන්වන්න බැහැ. මම කියන්නේ නැහැ අප පැවැත් වූ අධ්‍යාපන කඳවුරුවලින් මාක්ස්වාදී ප්‍රවේශය තහවුරු වූනාය කියලා. එය මුල පිරීමක් පමණයි. එය තව බොහෝ දුර යා යුතු ක්‍රියාවලියක්. අනෙක් අතට එම අධ්‍යයන කඳවුරුවලට සහභාගි වූ සියලු දෙනාම පාහේ එල්ටීටීඊයේ සමූලඝාතන ප්‍රතිපත්තියේ ගොදුරු බවට පත් වූනා. 

පසු කාලයේ මේ බොහෝ සංවිධාන අතුරු හමුදාවන් ලෙස එල්ටීටීඊයට විරුද්ධව ක්‍රියා කළා. මම කියන්නේ නැහැ එක එල්ලේම ඔවුන් රාජ්‍ය අපරාධකාරිත්වයට හවුල් වූනාය කියලා. ඔවුන් සියලු දෙනාම 1985 හෝ 1986 පමණ කාලයේ එක්සත්ව හිටියා. එකට උද්ඝෝෂණය කළා. එකට පෙළපාලි ගියා. නමුත් දින තුන හතරක් ඇතුළත අනෙක් සංවිධාන සියල්ලට එරෙහිව සමූලඝාතන ප්‍රහාරමාලාවක් මගින් ඒවායේ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් සමූලඝාතනය කර දැම්මා. මොකක් ද ඔවුන් දෙමළ ජාතික විමුක්ති අරගලයට කළ ද්‍රෝහිකම? එකම හේතුව එකී සංවිධාන එල්ටීටීඊයේ ඒකාධිකාරයට අභියෝගයක් වීම යි. ප්ලොට් හා ඊපීආර්එල්ෆ් වැනි සංවිධාන පසු කාලයේ පත් වූ තත්ත්වයන්ට පත් කළේ එල්ටීටීය යි. එහි සම්පූර්ණ වගකීම එල්ටීටීඊය භාරගත යුතුමයි.

ගෝල්ෆේස් අරගලය (2022 මාර්තු – ජූලි ජන අරගලය)

ගෝල්ෆේස් අරගලය මේ අරගල තුනටම වඩා වෙනස් අරගලයක්. කලින් සඳහන් කළ අරගල තුනම සංවිධිත දේශපාලන ව්‍යාපාර මගින් සංවිධිත ලෙස දියත් කරන ලද අරගලයි. ඒ අරගල තුන තුළම ජනතාව රඟපෑවේ ප්‍රේක්ෂක භූමිකාවක්. ගොල්ෆේස් අරගලය ඊට වෙනස්ව ඊට සහභාගි වූ ජනතාවගේම ක්‍රියාකාරී සහභාගිත්වය ලද ජන අරගලයක්. සැබෑ ජන අරගලයක ප්‍රමුඛ ලක්ෂණය වන්නේ අදාළ ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය යි.

ගෝල්ෆේස් අරගලය පුළුල් ජන කොටස් ඇදගත් අරගලයක් බව ඇත්ත යි. එහෙත් එය කම්කරු පංතිය හා ගොවි ජනයා තීරණාත්මක ලෙස මැදිහත් වූ හෝ ආකර්ෂණය කළ අරගලයක් වූනේ නැහැ. එය ප්‍රධාන කොටම උත්සන්න වූ තියුණු ආර්ථික අර්බුදයෙන් විශාලතම කඩා වැටීමකට පාත්‍ර වූ නාගරික මැද පංතික ජන කොටස්වල අරගලයක්. එහි ප්‍රධාන ගාමක බලවේගය වූයේ සමාජය තුළ ඉමහත් පරිභෝජනවාදී රටාවක දැති රෝද බවට පත්ව සිටි නාගරික මැද පංතික ජනයා යි. ඔවුන් අරගල බිමට ඇද දැමීමේ ප්‍රධාන හේතු කාරකය වූයේ ඉන්ධන හා ගෑස් හිඟය, දෛනිකව කෙරුණු පැය 10-12 විදුලිය කප්පාදුව ආදිය මගින් ඔවුන්ව කිමිදෙමින් සිටි මායාවී යථාර්ථයෙන් (virtual reality) ගහෙන් ගෙඩි එන්නාක් මෙන් එළියට ඇද දමනු ලැබීම යි. 

එහි ඊළඟ ක්‍රියාකාරී බලවේගය වූයේ සරසවි ශිෂ්‍ය ජනයා යි. දිගු කාලයක් පුරා විවිධ සටන්වල නියැලී සිටින ඔවුන් ඉතාම සටන්කාමී බලවේගයක් වුව ද පංතිමය ගති ලක්ෂණ අතින් අයත් වන්නේ මැද පංතියට යි. ඊළඟට අරගලයේ කොටස් කරුවන් බවට පත්වූයේ සැලකිය යුතු මට්ටමකින් නාගරික ලුම්පන් ජනයා යි. එසේම අරගලයේ අධිකාරී බලයක් සහිත නායකයින් බවට පත්ව සිටියේ දේශපාලන අරගල පිළිබඳ කිසිදු පරිචයක්, අත්දැකීමක් නැති දෘෂ්ටිමය වශයෙන් මහත් ව්‍යාකූලත්වයක සිටි මැද පංතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමූහයකුයි. මුලින් සඳහන් කළා සේ කම්කරු පංතිය මෙම අරගලයේ පෙරමුණු බල ඇණිය හා ගාමක බලවේගය වූයේ නැහැ. එය මෙහි දී දායකත්වය සැපයූවේ එතරම් උද්යෝගයක් පෙනෙන්නට නොතිබූ සහායක කාර්ය කොටසකට පමණයි. එමෙන්ම ගොවි ජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වයක් ද මේ අරගලය තුළ එතරම් දැකිය නොහැකි වූ අතර අග නාගරික ගෝල්ෆේස් හි මිස තදාසන්න නගරවලවත්, සෙසු නගරවලවත්, ගොවි ජන ප්‍රදේශවලවත් ගොල්ෆේස් වැනි අරගල බිම් පැන නැගුණේ නැහැ. ප්‍රාදේශීය නගර ගණනාවක ගෝඨාගෝගම් 17 ක් පමණ ආරම්භ කෙරුණ ද ඒවා ද එතරම් ජන ආකර්ෂණයක් දිනා ගත්තේ නැති තරම්. 

ධීවර ජනයාගේ යම් මැදිහත් වීමක් මීගමු ප්‍රදේශයේ දැක ගත හැකි වුව ද සමස්තයක් වශයෙන් ගත් කල එම ජනයාගේ සක්‍රීය ක්‍රියාකාරිත්වයක් අන් තැන්වලදී දැකීම අසීරු වූනා. කම්කරු පංතියේ, ගොවි හා ධීවර ජනයාගේ ක්‍රියාකාරී මැදිහත් වීමක් නැතිව, විශේෂයෙන්ම කම්කරු පංතිය අරගලයේ පෙරමුණු සටන් කරු භූමිකාව රඟපාන්නාගේ තත්ත්වයට නැගීමක් නැතිව තාවකාලික යම් යම් ජයග්‍රහණ අත්පත් කර ගැනීම් කළ හැකි වුව ද සමස්ත හා තිරසර ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකි වන්නේ නැති බව මෙහි දී අප අවබෝධකර ගත යුතු වැදගත්ම කාරණයක්. 

ඒ වගේම පුළුල් ජන අරගලයක අනිවාර්ය කොටස්කරුවන් විය යුතු උතුරේ හා නැගෙනහිර දමිළ ජනයා, කඳුරට දමිළ වතු කම්කරු ජනයා අරගලයේ ක්‍රියාකාරී කොටස්කරුවන් වූයේ නැහැ. ගෝල්ෆේස් අරගලය ඔවුන් ආකර්ෂණය කිරීමට ක්‍රියා කළේ ද නැති තරම්. මැද පංතික මුස්ලිම් ප්‍රජාවක් ගොල්ෆේස් අරගල බිමේ යම් නියෝජනයක් ලබා දුන්න ද රනිල් අගමැති වීමත් සමග ඒ කොටස් අරගල බිමෙන් ඉවත් වීමක් නිරීක්ෂණය වූනා. මෙලෙස ගෝල්ෆේස් ජන අරගලය මෙතෙක් අප රට නොදුටු විරූ අන්දමේ පුළුල් ජන සහභාගී සංසිද්ධියක් වූනාට සමස්තයක් වශයෙන් ගත් කල එය ප්‍රධාන කොටම කොළඹ කේන්ද්‍රීය කර ගත් අග නාගරික මැද පංතික ජන අරගලයක් වූ බව කිව යුතුයි. ඒ වගේම ගෝල්ෆේස් ජන අරගලයට සංවිධිත දේශපාලන නායකත්වයක් තිබුණේ නැහැ. එය ප්‍රධාන කොටම සාංසිද්ධික ජන අරගලයක්. අරගලයේ ඉදිරිමග තීරණය කෙරුණේ තත්ත්වයන් පිළිබඳව සංයුක්ත විශ්ලේෂණයන් මත නොවෙයි. හුදෙක් ඒ ඒ මොහොතට පැන නැගුණ තත්ත්වයන්ට අනුව උඩින් පල්ලෙන් කෙරුණු විග්‍රහකර ගැනීම් මතයි. අරගලයට සංයුක්ත දේශපාලන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. උපාය මාර්ගික ප්‍රවේශයක් තිබුණේ නැහැ. ඒ නිසා නිවැරදි උපක්‍රම නිර්මාණය කර ගැනීමේ පදනමක් තිබුණේ නැහැ. නිදසුන් ලෙස අරගලයේ එක් සන්ධිස්ථානයක දී අරගලකරුවන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරය අල්ලා ගත් නමුත් ඒවා කෙරුණේ කිසිදු ඉදිරි සැලස්මකට අනුව නොවන බව කිව යුතුයි. ඒවා අල්ලා ගැනීමෙන් පසු කුමක් කරන්නේ ද යන්න ගැන අල්ලා ගත්තවුන්ට පවා කිසිදු පැහැදිලි අදහසක් නොවූ බව පසු සිදුවීම්වලින් හොඳින්ම පෙනෙන දෙයක්. ඇත්තටම “ලොකු සෙනගක් ආවොත් ජනාධිපති මන්දිරයට ඇතුළු වෙමු“ යි යන එකඟතාවක් මිස වෙනත් කිසිදු සූදානමක්, ඉදිරි වැඩපිළිවෙලක් අරගලකරුවන් වෙත තිබුණේ නැහැ. මේ අරගලය තුළ සාංසිද්ධික අසංවිධිත ඒකරාශි වීමක් මිස වෙනත් සූදානම් වීමක් අරගලකරුවන් වෙතින් ප්‍රකාශයට පත්වූයේ නැහැ.

පාලනයේ මර්මස්ථාන අල්ලා ගෙන බලය පවත්වා ගන්නට නම් පළමුව ප්‍රධාන සාධකයක් වශයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ දැනුවත් සංවිධිත ක්‍රියාකාරී සහාය හා මැදිහත් වීම ලැබිය යුතු යි. දෙවනුව යටත් පිරිසෙයින් ආණ්ඩුවේ සන්නද්ධ ප්‍රහාරක බලයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි කම්කරුවන්, ගොවියන් ඇතුළු අරගලයෙහි යෙදී සිටින ජනතාවන්ගෙන් තැනුණු සංවිධිත ආරක්ෂාකාරී ප්‍රහාරක බලයක් තිබිය යුතු යි. මේවා බලය සඳහා කරන ජන අරගලයක ජයග්‍රහණය සඳහා අවශ්‍ය කරන තීරණාත්මක කොන්දේසි දෙකක්. එහෙත් මෙම අරගලය පුළුල් ජන අරගලයක් උනාටමේ කොන්දේසි දෙක ගැන අදහසක්වත් මෙම අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකරුවන්ට, යටත් පිරිසෙයින් බලය අල්ලා ගැනීමට මහඟු අවස්ථාවක් තිබුණා යයි ද පාවාදීම් නිසා එම අවස්ථාව ගිලිහී ගියා යයි ද කියන ඇතැම් ක්‍රියාකාරීන්ට පවා තිබුණේ යයි කියන්නට බැහැ.

 එපමණක් නොවෙයි අරගල නායකත්වයට බලය සඳහා වන අදහසක් වත් තිබූ බවක් පෙනෙන්නටත් නැහැ. අනෙක් අතට අරගල ව්‍යාපාරයේ ප්‍රවාහය වඩාත් ඉහළ නැගෙන විට වඩාත් බලගතු ලෙස හා තීරණාත්මක ලෙස ඊට එරෙහිව සටන් කිරීමට  ප්‍රතිගාමිත්වය සන්නද්ධ වනවා ය යනු විප්ලවීය ජන අරගලයක් සමග බැඳුණු මූලික ප්‍රස්තුතයක්. එසේ වන විට අරගලය පැත්තෙන් ඒ අභියෝගය ජය ගැනීමට හැකි තත්ත්වයන් සම්පූර්ණ කර ගැනීමට අරගල නායකත්වය ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. එහෙත් මේ පිළිබඳ අදහසක්වත් මාර්තු-ජූලි අරගල නායකත්වයට තිබුණා යයි කියන්නට බැහැ. 

මේ සියලු තත්ත්වයන් ගත් කල අරගලය නියත පරාජයක් උරුම කර ගත්තක් බව පැහැදිලිව කිව හැකියි. එහෙත් මෙම ජන අරගලය පරාජයට පත් වුවත් රටේ පවතින තත්ත්වය යළි යළිත් අරගලය ඉල්ලා සිටින බව යථාර්ථයක්. ඒ නිසා ගොල්ෆේස් ජන අරගලයෙන් නිසි පාඩම් උකහා ගනිමින් ඊළඟ අරගලයට සූදානම් වීම තමයි අප කවුරුත් කළ යුත්තේ. එහෙත් බෙහෝ දෙනා හුදු විරෝධතා අරගල බලමුළු ගැන්වීමට ක්‍රියා කරනවා විනා, පාලකයන්ට අභියෝග කරනවා විනා අවශ්‍ය පාඩම් උකහා ගැනීමට හා ඒ අනුව අවශ්‍ය කරන දේශපාලන වැඩපිළිවෙලවල්, උපාය මාර්ග හා උපක්‍රම සංවර්ධනය කර ගැනීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ.

ඔබේ දායකත්වයක් පවතින 71 නැගිටීම දකුණේ සිංහල ගොවි තරුණයන්ගෙන් සමන්විත වුවා මිස,ඊට කම්කරු ව්‍යාපාරයේවත්,දෙමළ මුස්ලිම් ජනතාවගේවත් දායකත්වයක් නොතිබුනා නේද. ඔබ දකින විදිහට මෙවැනි පසුබිමකට බලපෑ සාධක මොනවාද..?

ඔව්.. 71 නැගිටීම ප්‍රධාන කොටම දකුණේ සිංහල ගැමි ගොවි තරුණයින්ගේ කැරලි ගසා නැගී සිටීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට කම්කරු පංතියේ වත් පුළුල් ගොවි ජනතාවගේවත් දෙමළ හා මුස්ලිම් ජනයාගේවත් දායකත්වයක් ලැබුණේ නැහැ. මෙසේ වීමට බලපෑ හේතු ගණනාවක් තිබුණා. කම්කරු පංතිය සම්බන්ධයෙන් ගත් කල ජවිපෙ කම්කරු පංතිය සැලකුවේ නිර්ධන පංතියේ කොටසක් ලෙසයි. එය හේන් ගොවියන් ඇතුළු පීඩිත දිළිඳු ගොවීන් ද තවත් ඒවැනි දිළිඳු කොටස් ද කම්කරු පංතිය සමග නිර්ධන පංතියට ඇතුළත් කළා. එහෙත් මාක්ස්වාදීන් කම්කරු පංතිය හා නිර්ධන පංතිය යන පද යොදන්නේ පර්යාය පද ලෙසයි. කම්කරු පංතිය යනු නිර්ධන පංතියම ලෙසයි.

නිර්ධන පංතිය හා කම්කරු පංතිය පිළිබඳ ජවිපෙ මෙම ප්‍රවේශය කම්කරු පංතිය පිළිබඳ අවධාරණය තනුක වීමට යම් පමණකට බල පෑ බව කිව හැකියි. ඒ වගේම ජවිපෙට හැකි ඉක්මනින් විප්ලවය කිරීමේ අවශ්‍යතාව තිබුණා. පංති සටන මෝරා යන තෙක්, විප්ලවය සඳහා අවශ්‍ය කරන විෂයබද්ධ තත්ත්වයන් මෝරා යන තෙක් සිටිය හැකි වූනේ නැහැ. විෂය බද්ධ තත්ත්වයන් මෝරා යාම ගැන අදහසක් තිබුණේත් නැහැ. රහසිගතව සංවිධානය වෙලා පහර දීලා බලය අල්ලා ගැනීමේ සැලස්මක් තමයි තිබුණේ.

කම්කරු පංතිය සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය වූනේ කම්කරු පංතිය දිගින් දිගටම වෘත්තීය සමිති සටන් වල නියැලී සිටි නිසා කුරුවල්ව සිටි බවත් ඒ නිසා පළමුව තරුණයින් හා පීඩිත හේන් ගොවි වැනි කොටස් විප්ලවවාදීන් ලෙස ගොඩ නගා ඉන්පසුව කම්කරු පංතිය වෙත යා යුතු බවත් ය. නමුත් කම්කරු පංතියට අතරට යාමට පෙරාතුව ජවිපෙට අනුව විප්ලවයේ කැඳවුම්කාරකය වන මහා පරිමාණ මර්දනය ළඟා වීම නිසා ජවිපෙට කම්කරු පංතිය අතරට යාමට කාලයක් ලැබුණේත් නැහැ.

පුළුල් ගොවි ජනතාව සම්බන්ධයෙන් ගත් කල සිදු වූයේ පළමුව තරුණ කොටස් දිනා ගැනීම ඉලක්කයව පැවති නිසා 71 නැගිටීම වන විට පුළුල් ගොවි ජනයා වෙත යාමට ද කාලයක් නොවීමයි. අනෙක හැකි ඉක්මනින් විප්ලවය කිරීමේ උවමනාව ද කම්කරු පංතිය අතරට වගේම පුළුල් ගොවි ජනතාව අතරට යාමේ ඉඩකඩට බාධා කළ බව කිව යුතුයි.

දෙමළ හා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ගත් කල ජවිපෙට එක එල්ලේ ජාතිවාදී චෝදනාව එල්ල කළ නොහැකි වු ද ජවිපෙ නායකත්වය තුළ සිංහල දේශප්‍රේමි බවක සලකුණු තිබුණ බව දැකිය හැකියි. 1971 පෙර වකවානුවේ ජවිපෙහි සුප්‍රකට පංති පහේ තුන්වැන්න වූ ඉන්දියානු ව්‍යාප්තවාදය නමැති පංතියෙහි මේ සිංහල දේශප්‍රේමී භාවයේ පදනම් තිබුණා. පසු කාලයේ මෙය පිළිගත් විජේවීර පංති පහෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය පංතිය ඉවත් කර දැම්මා. ඉන්දියානු ව්‍යාප්තවාදය පංතියෙහි අවධාරණයෙන් පැවසූ කාරණයක් වූයේ කඳුරට වතුකම්කරුවන් ඉන්දියානු ව්‍යාප්තවාදය ලංකාව තුළ ක්‍රියාත්මක කරන එක් සේනාංකයක් බවත් ඔවුන් ප්‍රතිවිප්ලවීය බලවේගයක් වන බවයි.

උතුරේ පීඩිත ජන කොටස් ගැන කතා කිරීමේ දී නලවර්, පරවර් ආදී ජන කොටස් ගැන කතා කිරීමත් ඔවුන් සිංහලයින්ගෙන් පැවත එන බව කියා සිටීමත් තුළ මේ පදනම් පැවති බව කිව හැකියි. මෙවැනි ප්‍රවේශයක් ජවිපෙ නායකත්වය තුළ පැවතීම නිසා දෙමළ හා මුස්ලිම් ජනයා අතර වැඩ කිරීමේ යොමුවක් ජවිපෙ තුළ තිබුණේ නැහැ. මේ හේතු නිසා දෙමළ, මුස්ලිම් ජන කොටස් අතරින් පිරිස් 71 අරගලයට සමබන්ධවීමේ විභවයක් තිබුණේ නැහැ. එපමණක් නොවෙයි ජාතික ජන කොටස් වශයෙන් එකී කොටස්වලට බලපෑ විශේෂිත ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමක් සිදු නොවීමත් ඊට හේතු වුණා.

බොහෝ පාර්ශවයන් ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගොස් ඇත්තේසංවිධානාත්මක සහ නායකත්වයේ ප්‍රශ්න මුල් කර ගනිමින්. ඔබනියෝජනය කළ ජනතා සංගමය, ලයනල් බෝපගේ, හිරු කණ්ඩායම ආදියජවිපෙන් වෙන්වූයේ මතවාදීමය ගැටළු හේතුවෙන්.මේ අතරින් විශාලතමකණ්ඩායම වන්නේ ජනතා සංගමයයි. එහෙත් සමාජ ව්‍යාපාරයක් ලෙසජනතා සංගමයට නොහැකිවූ හේතු වූ කරුණු කාරනා ගැන ඔබ විග්‍රහකරන්නේ කොහොමද?

බොහෝ පාර්ශව කියනවාට වඩා බොහෝ පුද්ගලයින් ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගොස් ඇත්තේ සංවිධානමය හා නායකත්වයේ ප්‍රශ්න මුල් කර ගෙන යයි කීවොත් තමා වඩා නිවැරදි. මොක ද බොහොමයක් ජවිපෙන් කැඩී ගියේ පුද්ගලයින් වශයෙන් නිසා හා සංවිධානාත්මක පාර්ශව විදියට කැඩී ගියේ ස්වල්ප වශයෙනුත් නිසා යි. 71 පරාජයෙන් අපේක්ෂා කඩා වැටුණු සැලකිය යුතු පිරිසක් ජවිපෙන් කැඩී ගියා. නමුත් බොහෝ කොටස් ජවිපෙන් කැඩී ගියේ නැගිටීම පරාජයට බලපෑ හේතු පැහැදිලි කර ඒවා නිවැරදි කිරීමට පියවර නොගැනීමත් අඩුපාඩු ගැන කතා කළ අය ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා ඔවුන්ට අඩන්තේට්ටම් කිරීමේ පිළිවෙතක් ජවිපෙ බැතිමත් ක්‍රියාකාරීන් විසින් අනුගමනය කිරීමත් ඊට ජවිපෙ නායකත්වයේ, විජේවීරගේ පූර්ණ අනුග්‍රහය ලැබීමත් නිසා යි. ප්‍රශ්න 21 ට පිළිතුරු නම් ප්‍රකට ලිපියෙහි මේ පහර දීම් ගැන නගා තිබූ ප්‍රශ්නයකට විජේවීර පිළිතුරු දී තිබුණේ ඒ පහර දීම් කර ඇත්තේ මඩ හා අවලාද නැගූවන්ට බවත් එසේ කළේ ජාත්‍යන්තර අත්දැකීම් අනුව යමින් බවත් කියා යි. මේ ප්‍රශ්න 21 ට පිළිතුරු ලිපිය නිසාත් සැලකිය යුතු පිරිසක් ජවිපෙන් කැඩී ගිය බව සඳහන් කරන්න ඕන. ඔබ සඳහන් කරන සංවිධාන හා ලයනල් බෝපගේ වැනි කොටස් ජවිපෙන් කැඩී යන්නේ හුදෙක් මතවාදී ගැටළු පමණක්ම හේතු කොට ගෙන යයි කිව නොහැකියි. මා නියෝජනය කළ ජනතා සංගමය යනුවෙන් දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ගොනුවූ කොටස් ගතහොත් ජවිපෙන් කැඩී යන්නේ මතවාදීමය, දේශපාලනමය හා සංවිධානමය යන ත්‍රිවිධ ක්ෂේත්‍රයේම ගැටළු හේතු කොට ගෙනයි. ඔබ සඳහන් කළ කොටස් අතරින් ජනතා සංගමය විශාලතම කණ්ඩායම බවත් එහෙත් දේශපාලන සංවිධානයක් වශයෙන් ඊට තහවුරු වෙන්න හැකි උනේ නැති බවත් ඇත්ත.

කල් පවත්නා දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගෙන්න ජනතා සංගමයට නොහැකිවීමට හේතු වූ කරුණු රාශියක් තිබෙනවා. මේවා අතර ප්‍රමුඛ කාරණා කිහිපයක් ගැන මම සඳහන් කරන්නම්. ජනතා සංගමය ජවිපෙ සිය දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු නොකිරීමේ හේතුවෙන් ඉන් කැඩී වෙන් වූ පිරිස් විසින් ආරම්භ කෙරුණු සංවිධානයක්. එහි අරමුණ වූයේ ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි වලින් මිදී සැබෑ නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමට ක්‍රියා කිරීමයි. මෙය බැරෑරුම් කාර්යයක්. මෙහිලා ඇත්තටම අපේ දැනුම ප්‍රමාණවත් උනේ නැහැ. නමුත් අපි කාර්යයට පිවිසුනා. මේ සඳහා ආරම්භයක් ලෙස කාලයේ අපේ පැවති දැනුමේ සීමාවන්ට යටත්ව අපි ජවිපෙහි දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි පිළිබඳ විශ්ලේෂණයක යෙදුනා. ඒ හා අදාළ දේශපාලන සාහිත්‍යය නිර්මාණය කිරීමෙහි යෙදුනා. පොත් පිංචවල් පත්‍රිකා නිකුත් කිරීමෙහි යෙදුනා. “71 අප්‍රේල් නැගිටීම“ නමින් ප්‍රධාන කෘතියක් නිර්මාණය කළා. අප ජවිපෙ අත්හැර දැමූ බහු ජන ක්ෂේත්‍රයේ වැඩ කිරීමට පිවිසුණා. අපට ජවිපෙහි දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදි බොහෝ දුරට නිවැරදිව දැකිය හැකි වුව ද සැබෑ නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමේ කාර්යයේ දී අප කළ යුතු කාර්යයන් නිසි ලෙස ග්‍රහණය කර ගත්තේ නැති බව ස්වයං විවේචනාත්මකව පවසන්න ඕන. විශේෂයෙන්ම ජනතා සංගමය ගොඩ නැගීමේ මුල් අවධියේ දී අප ජවිපෙ දෘෂ්ටිමය, දේශපාලනමය හා සංවිධානමය වැරදිවලට එරෙහිව ක්‍රියා කිරීමේ දී එහි අනෙක් අන්තයට යාමක් සිදු උනා. නිදසුන් ලෙස ජවිපෙ සංවිධානමය අධිකාරවාදයට එරෙහිව අපි අති ප්‍රජාතන්ත්‍රවාදය කරා, සංවිධානමය නිදහස්වාදය කරා ගමන් කළා. සංවිධානමය නිදහස්වාදය සංවිධානය ගොඩ නැගීමට තිබෙන ප්‍රධාන බාධකයක් බව අප බොහෝ දෙනා වටහා ගත්තේ නැහැ. ඇත්තටම සංවිධානමය නිදහස්වාදය පෝෂණය කිරීම මුල් වකවානුවේ ජනතා සංගමය තුළ ප්‍රධාන ප්‍රවනතාවක් බවට පත්ව තිබුණා. බහුජන වැඩ නොතකා හැරීමේ ක්‍රියාකාරිත්වයට එරෙහිව අපි තනිකරම වාගේ බහුජන වැඩ ඔස්සේ විප්ලවීය පක්ෂය ගොඩ නැගීමේ ක්‍රියාකාරිත්වයක් කරා ගමන් කළා. පක්ෂය බිහිවිය යුත්තේ හැම විටම බහුජන වැඩ ප්‍රමුඛ තැන තබා ගෙනය යන පාරභෞතිකවාදී ප්‍රවේශය මෙකල අපේ ප්‍රවේශය බවට පත්ව තිබුණා. විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීම පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් ගත් කල ජනතා සංගමය ආරම්භක අවධියේ සංවිධානයක් වුවත් එහි පැවැත්මේ මුල් අවධිය තුළ එවැන්නක කාර්යභාරයන් එතරම් නිරවුල්ව පැහැදිලි කර ගත්තේ නැහැ. ප්‍රාරම්භක අවධියේ සංවිධානයක මූලික කර්තව්‍යයන් මොනවා ද, ග්‍රහණය කර ගත යුතු කේන්ද්‍රීය පුරුක කුමක් ද ආදී ප්‍රශ්න ගැන නිරවුල් බවක් ඊට තිබුණේ නැහැ. ඒ නිසා අපගේ වැඩවලදී ප්‍රධාන අවධාරණය දුන්නේ ප්‍රායෝගික දේශපාලන වැඩවලට යි. සමාජය විප්ලවීය ලෙස ප්‍රතිනිර්මාණය කිරීම හා එම කාර්යය මුදුන්පත් කිරීම සඳහා අවශ්‍ය කරන නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීම අරමුණු වශයෙන් ගෙන කටයුතු කරන සංවිධානයක ප්‍රාරම්භක අවධියේ ප්‍රධාන කාර්ය කොටස ඇත්තේ දෘෂ්ටිමය ක්ෂේත්‍රයේ බව අපගේ බොහෝ දෙනා ග්‍රහණය කර ගත්තේ නැහැ. ප්‍රාරම්භක අවධියේ මෙම කාර්ය කොටස ඉටු කිරීමට හැකියාව හා සූදානම තිබෙන කොටස් එක් කිරීමට නැතහොත් ගොඩ නැගීමට ප්‍රමුඛ අවධානය දීම අවශ්‍යය යි. එහෙත් අපගේ බොහෝ දෙනෙක් මෙම අත්‍යවශ්‍ය කරුණ මුල් අවධියේ දී නිරවුල්ව වටහා ගත්තේ නැහැ. ඒ නිසා ඊට අපේ නිසි අවධානය යොමු වුනේ නැහැ. මෙකල අපේ ප්‍රමුඛ අවධානය යොමු කර තිබුණේ ප්‍රායෝගික දේශපාලන වැඩට හා එම වැඩ ප්‍රමුඛ තැනේ තැබූ හා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල අපේක්ෂා කරන පිරිස් එකතු කිරීමට හා ප්‍රායෝගික දේශපාලන වැඩ සඳහා ඔවුන් ගොඩ නැගීමටයි. දෘෂ්ටිමය පැත්තේ ගොඩ නැගීමට අවශ්‍ය අවධාරණය දුන්නේ නැහැ. මෙම කොටස් මත පදනම් වීම හා එවැනි පිරිස් ගොඩ නැගීමට ප්‍රමුඛ අවධානයදීම විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමට අදාළ ප්‍රාරම්භක අවධියේ සංවිධානයකට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. එහෙත් අපේ ව්‍යාපාරයේ නායකත්වයේ අතිබහුතරය වගේම මුළු මහත් සාමාජිකත්වයම වාගේ තැනුනේ බහුජන දේශපාලන ක්‍රියාකාරීන්ගෙන්. ඒ නිසා මේ කාලයේ ව්‍යාපාරයේ කටයුතු එහි මෙම සංයුතියට ගැලපුන අතර ප්‍රායෝගික දේශපාලන කටයුතුවල ආශ්වාදනීය ප්‍රගතියක් දැකිය හැකි උනා.

එසේ වුවත් නිර්ධන පංති විප්ලවීය පක්ෂයක් ගොඩ නැගීමේ අරමුණු සහිතව වැඩ කළ නිසා එම අරමුණත් මේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයත් අතර නොවැළක්විය හැකි ප්‍රතිවිරෝධයක් හා දිග්ගැස්සුණු ගැටුමක් ඇති වූ අතර එය ජනතා සංගමයේ වර්ධනයට බාධා කළ ප්‍රමුඛ හේතුවක් උන බවයි මගේ අදහස. ජනතා සංගමය තුළ ප්‍රවනතා තුනක් පැවතුනා. පළමුවැන්න ප්‍රායෝගිකවාදී දේශපාලනය මුල් තැන තැබූ ප්‍රායෝගිකවාදී ප්‍රවනතාවය යි. ජනතා සංගමය තුළ ආරම්භයේ සිට අවසානය දක්වා ප්‍රබල ලෙස පැවති ප්‍රවනතාවක් වූ මෙය එහි හරයෙන් ගත් කල ව්‍යාපාරය තුළ දක්ෂිණවාදී ප්‍රවනතාවක් වූ බවයි මගේ අදහස.

ව්‍යාපාරය තුළ සැලකිය යුතු කාලයක් අධිපති ප්‍රවනතාව වශයෙන් පැවතියේ මෙම ප්‍රවනතාවයි. නායකත්වයේ වැඩි පිරිසකුත් සාමාජිකත්වයේ අති බහුතරයකුත් මේ ප්‍රවනතාව නියෝජනය කළා. දෙවැන්නත් ප්‍රායෝගිකවාදී දේශපාලනය මුල්තැන තැබූ ප්‍රවනතාවක්. මෙය එක දිගට අඛණ්ඩව පැවතුනේ නැහැ. නිශ්චිත තත්ත්වයන් තුළ විටින් විට මතු උනා. මෙය ප්‍රායෝගිකවාදී ප්‍රවනතාවේ වාමවාදී නැතහොත් අතිවාම ප්‍රවනතාවක් උනා. මෙහි සහජ ලක්ෂණය උනේ අතිධාවනකාරී ලෙස කටයුතු කිරීමට ප්‍රයත්න දැරීමයි. මෙම ප්‍රවනතා දෙකම ව්‍යාපාරයේ න්‍යායික නැතහොත් දෘෂ්ටිමය පැත්තට දුන්නේ අඩු අවධාරණයක්. ඒ නිසා ඒවා අතින් ඒ පැත්ත නොසලකා හැරුණා. ඒවා හැමවිටම ප්‍රායෝගික පැත්තේ වැඩවලට අධිඅවධාරණයක් දුන්නා. විශේෂයෙන්ම පළමු ප්‍රවනතාව ඉතා දැඩි ලෙස අවධාරණය කළේ න්‍යාය, වැඩපිළිවෙල යන ඒවා පැන නගින්නේ ප්‍රායෝගික භාවිතය තුළින් පමණක් බවයි. තුන්වැන්න වූයේ මේ දෙකටමවෙනස්ව ව්‍යාපාරයේ ප්‍රාරම්භක අවධියේ දෘෂ්ටිමය ක්ෂේත්‍රයේ වැඩ ප්‍රමුඛ වන බවත් ප්‍රායෝගික දේශපාලන වැඩ එම වැඩවලට ද්විතීයක වන බවත් වැඩ කිරීම සඳහා දේශපාලන වැඩපිළිවෙලක් හා ක්‍රියා මාර්ගයක් නිර්මාණය කර ගැනීම නැතිවම බැරි පූර්ව අවශ්‍යතාවක් බවත් කියා සිටි ප්‍රවනතාවයි. එහෙත් මෙම ප්‍රවනතාව තුළින් ස්වකීය ප්‍රවේශය ශක්තිමත් ලෙස ඉදිරිපත් උනේ නැහැ. කොහොම නමුත් මෙම ප්‍රවනතා අතර නිම නොවූ අරගලයක් දීර්ඝ කාලයක් පුරා පැවතුන අතර එය දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් අපේ වර්ධනයට බාධා කළා. අවසානයේ කාලයක් පුරා මේ ප්‍රවනතාවන් අතර අභ්‍යන්තරයේ පැවති තියුණු අරගලයකින් පසුව බහුතර අනුමතියකින් තුන්වන ප්‍රවනතාව නිශ්චිත වැඩපිළිවෙලක් හා ක්‍රියාමාර්ගයක් සහිතව ව්‍යාපාරය තුළ ජයග්‍රාහී වෙනවා. නමුත් අනෙක් ප්‍රවනතා දෙක විශේෂයෙන් පළමු ප්‍රවනතාව මේ වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ගය සමග එක්සත් වන්නේ පූර්ණ ඒකාග්‍රතාවකින් නොවෙයි. සාරසංග්‍රහවාදී පදනමකිනුයි. ඒ නිසා ක්‍රියාකාරිත්වයේ දී මතු පිට සමගියක් මිස තිරසර සමගියක් ව්‍යාපාරය තුළ ස්ථාපිත උනේ නැහැ. නිතරම ප්‍රායෝගිකවාදී දේශපාලනය මතු වෙන්නට උනා. ව්‍යාපාරයේ ප්‍රකාශිත වැඩපිළිවෙල හා ක්‍රියා මාර්ගය යළි යළිත් ප්‍රායෝගිකවාදී දේශපාලනයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සැකසෙන්නට උනා. මේ තත්ත්වයන් මෙසේ වීමට නායකත්වයේ පැවති දුර්වලතා හා තිරසර බවක් නොමැති වීම විශාල ලෙස බලපෑවා. මෙහි දී තුන්වන ප්‍රවනතාව නියෝජනය කළ ප්‍රමුඛයා වූයේ මම. ඒ අනුව මේ කාලයේ ව්‍යාපාරයේ ප්‍රධාන නායකත්ව වගකීම දැරුවේ මම. නමුත් ව්‍යාපාරයට ප්‍රායෝගික දේශපාලන නායකත්වය දීමේ කාර්යයේ දී මම සාර්ථක උනේ නැහැ. ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිත්වයේ දී මම හිටියේ තරමක් පිටුපසින්. නායකත්වය දීමේ දී මෙය සැලකිය යුතු තරම් දුරකට බලපෑවා. ව්‍යාපාරයට නායකත්වය දීමේ දී සාමුහික නායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් වුවත් අනුහස්භාවී නායකත්ව පුද්ගලයින්ගේ හැකියාවන් තවමත් නායකත්වය දීම පිළිබඳ කාරණයේ දී තීරණාත්මක ලෙස බලපානවා. නමුත් හැම විටම එවන් නායකයින් බිහි වන්නේවත් ගොඩ නැගෙන්නේවත් නැහැ. ඒ නිසා සුවිශේෂී අවධාරණයකින් යුතුව සාමුහික කැපවුණු නායකත්වයක් ගොඩ නැගීමට ක්‍රියා කළ යුතු වෙනවා. මෙහි දී අප හැකියා සම්පන්න, කාර්යක්ෂම හා කැපවුණු සාමුහික නායකත්වයක් ගොඩ නගා ගැනීමට සමත් උනේ නැහැ. මෙහිදී නායකත්වය වෘත්තීය විප්ලවවාදීන් සමූහයකින් සමන්විත වීමත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙසයි මම දකින්නේ. නමුත් අපගේ නායකත්ව මණ්ඩලය ප්‍රමාණවත් තරම් වෘත්තීය විප්ලවවාදීන් පිරිසකගෙන් සමන්විත වූයේ නැති බවත් පැවසිය යුතු යි. සැකෙවින් ගත් කල මේවා තමයි අපේ ඉදිරි වර්ධනයට බාධා කළ ප්‍රමුඛ බාධක ලෙස මම දකින්නේ. බාහිර බාධකත් තිබුණා. නමුත් අභ්‍යන්තර බාධක ජය ගත්තා නම් බාහිර බාධක ජය ගත හැකිව තිබූ බවයි මගේ අදහස.

උතුරේත් දකුණේත් තරුණයන්ගේ අරගල මර්දනයේදී රාජ්‍ය සියඅපරාධකාරිත්වය මනා ලෙස පෙන්නුම් කර තිබෙනවා.යුධඅපරාධ,මනුෂත්වයට එරෙහිව කෙරුණු අපරාධ,මානව හිමිකම් කඩකිරීම්,අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, මරා දැමීම්, ස්ත්‍රීන්ට එරෙහිව ලිංගිකබලහත්කාරී අපරාධ, දෙමළ සහ මුස්ලිම් ජනයාට එරෙහිව ගෙනයන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, PTA වැනි අමානුෂික පනත් යොදා ගැනීම වැනි දේඅත්දකින්න පුළුවන්. මේ ගැන උතුරට සාපේක්ෂව දකුණේ ප්‍රමාණවත්එරෙහිවීමක් හෝ යුක්තිය පතා අඛණ්ඩ මැදිහත් වීමක් නැහැ නේද ?

ඔව්.. අපට සාපේක්ෂ වශයෙන් එහෙම කියන්න පුළුවන්. නමුත් යුද අපරාධ, මනුෂත්වයට එරෙහිව කෙරුණු අපරාධ, මානව හිමිකම් කඩ කිරීම්, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, මරා දැමීම්, ස්ත්‍රීන්ට එරෙහිව ලිංගික බලහත්කාරී අපරාධ, දෙමළ සහ මුස්ලිම් ජනයාට එරෙහිව ගෙන යන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, PTA වැනි අමානුෂික අනපනත් ආදියට එරෙහිව උතුරේ උනත් ජනතාව බලමුළු ගැන්වූ ප්‍රබල අරගලයක් ඇති උනා කියලා මම දකින්නේ නැහැ. උතුරේ අරගලය ප්‍රධාන කොටම එල්ල උනේ යුදමය වශයෙන් හමුදාවට හා පොලීසිවලට විරුද්ධව බලය සඳහා මිස මානව හිමිකම් පිළිබඳ ප්‍රවේශයකින්ම නොවෙයි. අනෙක් අතට බොහෝ විට සිදු උනේ ඔබ සඳහන් කළ අපරාධ ක්‍රියාවලට එරෙහි අරගලයකට වඩා එකට එක කිරීමක්. නිදසුන් ලෙස ආණ්ඩුව පැත්තෙන් උතුරේ කෙරුණ එවන් අපරාධයකට එරෙහිව උතුරේ අරගලය පැත්තෙන් කෙරුණේ බෝම්බ පිපිරවීමක් වැනි ක්‍රියාකාරකමක් මිස ඒ අරාධවලට එරෙහිව සැබෑ අරගලයක් නොවෙයි. ඒවාට එරෙහිව ජනයා බලමුළු ගැන්වීමක් නොවෙයි. එල්ටීටීඊය පැත්තෙන් ගත් කල ඒවාට එරෙහිව පැන නැගුණ ජනතා ක්‍රියාකාරකම් පාලනයකට පවා නතු කිරීමේ තත්ත්වයක් පැවතුනා. ඒවාට තහංචි දැමුණා. අනෙක් අතට යුද අපරාධ, මනුෂත්වයට එරෙහිව කෙරුණු අපරාධ, මානව හිමිකම් කඩ කිරීම්, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, මරා දැමීම් වැනි අපරාධ ගත්තොත් ආණ්ඩුව පැත්තෙන් තරම් නොවුනාට ඒවා උතුරේ අරගලය පැත්තෙනුත් සිදු උනා. රාජ්‍යය පැත්තෙන් සිදුවූ අපරාධවල දරුණු බවේ හා ප්‍රමාණයේ සුවිශාලත්වය නිසා උතුරේ ජනයාගෙන් ඒවාට විරුද්ධත්වයක් ඇති වූනේ නැහැ. 87/89 කාලයේ දකුණෙත් එවැනි තත්ත්වයක් පැවතුනා. රාජ්‍ය හා රාජ්‍ය අනුග්‍රහය ලද අපරාධ හා ත්‍රස්තවාදය සමග ජවිපෙ පැත්තෙනුත් අපරාධ හා ත්‍රස්තවාදී රැල්ලක් මුදා හැරුණා. ඒ නිසා මනුෂත්වයට එරෙහිව කෙරුණු අපරාධ, මානව හිමිකම් කඩ කිරීම් ආදිය අඩු වැඩි වශයෙන් එකිනෙකට හිලව්වන තත්ත්වයක් ඇති වීමෙන් ඒවාට එරෙහි ප්‍රබල ක්‍රියාකාරකම් මතු වීම යටපත් වුණ බවයි කිව හැක්කේ.

සංවාද සටහන : ඉෂංඛා සිංහආරච්චි

Leave a Reply