You are currently viewing වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..

වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට ..

 [ මලෛයහ ජනයාට පොහොසත් රටක්-ලස්සන ජිවිතයක් වෙනුවෙන් වූ  2023 ඔක්තෝබර් 15 වැනිදා එළිදුටු  හැටන් ප්‍රකාශණයේ  ‘ආදායම හා වේතන’ පරිච්ජේදය.]

ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්ව  දැන් වසරක් සම්පුර්ණ කරන්නට ආසන්නය. බලයට පත්වන්නට පෙරාතුව විශේෂයෙන් මලෛයහ ජනයාගේ මුලික ගැටළු ගැන අවධානය යොමු කරමින්, එළි දැක්වූ හැටන් ප්‍රකාශනයට ද  වසර දෙකක්  ලඟා වෙමින් තිබේ. මැතිවරණයට  පෙර  වතු කම්කරුවන්ට  දිනෙක වැටුප රුපියල් 2000 ක්  විය යුතු  බවට කියූ  ජා.ජ.බ. පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 වසරේ අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරුවන්ගේ යෝජිත රු. 1,700ක වැටුප ලබා දෙන්නට  රජය මැදිහත් වන බව ප්‍රකාශ කළේය. එහෙත් මාස ගණනාවක් ගෙවී ගියද  ජා.ජ.බ ආණ්ඩුව ද  මෙතෙක් එම තීරණය  යතාර්ථයක් බවට පත්කරන්නට අසමත් වීම මලෛයහ ජනයාගේ නම් සතුටට කරුණක් වී නොමැත.

මේ අතර ඉකුත් සැප්තැම්බර් 9 වැනිදා, වතු කළමනාකරණය සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර රු. 1,700 ක වැටුප ගැන කතා බහක්  වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්විණි.එහෙත් එම කතාබහෙන් වතු කම්කරුවන්ට නම්  සහනයක් නොලැබුණි.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් පැවසුවේ, ගෝලීය තේ මිල පහත වැටීම, ඔවුන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් නොමැතිකම, ඉහළ නිෂ්පාදන පිරිවැය සහ සේවක සුභසාධනය සැපයීමේ වියදම් පිළිබඳව වැවිලිකරුවන් පෙන්වා දුන්  බවයි.

නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්

සාකච්ඡාවෙන් පසු වතු සමාගම්, පැවසුවේ වැටුප් නිෂ්පාදනයට සම්බන්ධ කිරීමට රාජ්‍යය  එකඟ වී ඇති බවය. ඒ ගැන  වැඩිදුරටත්  මාධ්‍ය වාර්තාවල සඳහන් වුයේ

යැයි සමාගම් නියෝජිතයෝ පවසති.

තවත් සාකච්ඡා වටයක් මාසයකින් පැවැත්වෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැංවීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව  පියවර ගන්නා බවද  පැවසීය.

ලෝක ආහාර වැඩසටහනේ  වාර්තාවන්  උපුටා දක්වන  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙන්නේ ලංකාවේ පවුල්වලින් සියයට 16 කට, ප්‍රමාණවත් හා  පෝෂ්‍යදායි ආහාර වේලක් නොලැබෙන බවය. මෙහිදී  ස්ත්‍රීන් ගෘහ මුලිකත්වය දරන  පවුල්  ඉදිරියෙන්ම සිටින අතර  අඩකට වැඩි පවුල් සංඛ්‍යාවක් කුසගින්න නිවා ගන්නා ආහාර වේල් ගණන එකිනෙක කප්පාදු කරමින්, වේලක් වෙනුවෙන් ගන්නා ආහාර ප්‍රමාණය අඩු කරමින් එහෙමත් නැත්නම් කැමති කෑමක් ගැනීම අත්හරිමින් යම්තම් පිරිමසා ගන්නට පෙළඹී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ දත්ත මගින් සනාථ කර ඇත.  පවුල්වලින් හතරෙන් එකක්, ප්‍රමාණවත් ආහාර වේල් නොගන්නා බැවින්, නිසි බර නොමැතිවීමෙන් සියයට 12.2 ක්ව පැවති වයස අවුරුදු 5ට අඩු ළමයන්ගේ  මන්ද පෝෂණය  2021 සිට 2024 වසර දක්වා සියයට 17 දක්වා කාලයේදී ඉහළ ගොස් ඇතැයිද  මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි. රටේ පැවති ආර්ථික අර්බුදයත් සමගින්  2021 සිට 2024 දක්වා කාලය තුල ආහාර අනාරක්ෂිතතාව හේතුවෙන්  දුගීභාවය දෙගුණයකින් එනම් සියයට 24.5 දක්වා ඉහළ ගොස් ඇත.  මෙහිදී  බරපතල පීඩාවට ලක්වන්නේ  මලෛයහ ජනතාවය. දරිද්‍රතාවයෙන් දරුණු ලෙස පීඩාවට පත්වූ ඔවුන් ආර්ථික අර්බුදයේ සහ වත්මන් ණය බරෙහි අයහපත් ලෙස බලපෑමට ලක් ඇති බව ද  එම  වාර්තාව මගින් විශ්ලේෂණය කර ඇත. මෙවැනි වටපිටාවක් මැද මලෛයහ කම්කරුවන්ගේ වැටුප් වැඩි නොවීම පීඩනය තව තවත් තීව්ර කරනු නිසැකය.

දින කිහිපයකට මත්තෙන්  නානුඔය බස් නැවතුමේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු  ප්‍රවාහන අමාත්‍ය  බිමල් රත්නායක මාධ්‍ය හමුවේ කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ආණ්ඩුවට අභියෝගයක් බවය.

වතු කම්කරු සටන් නියමුවෙකු වූ, දිවංගත  ඕ. රාමයියාගේ  රතු කොඩි සංවිධානය විසින්  කම්කරුවන් මුහුණ දෙන ගැටළු ගැන 2024 ජුනි 08 වැනිදා කැඳවූ කම්කරු විනිශ්චය සභාව ද සිය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිණි. විශ්‍රාමික විනිසුරුවරුන් වන ශිරාණි තිලකවර්ධන, ඒ.පී.ෂා [ඉන්දියාව] සහ විනිසුරු පී.කේ. ඔජාහ් [නේපාලය] මෙහි  විනිසුරුවරු ලෙස කටයුතු කළහ.

වතු කම්කරුවන් ඉදිරිපත් කළ සාක්ෂි  හද කම්පා කරවන සුළුය. ඒවා ඇසීමෙන්   සිත් තැවුලට පත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, සිය නිර්දේශ ඉදිරිපත් කරමින්  කියා සිටියේ කම්කරුවන් ගේ ප්‍රධානම ගැටලුව දෛනික වැටුප බවය.

ඔවුන්ට හිමි වන්නේ අවම වැටුපකි. වැටුප් වැඩි වන්නේ ඉතාමත් මන්දගාමිවය.එමෙන්ම එසේ වැඩිවන වැටුප ද කම්කරුවන්ට ලබා නොදෙන බව ද මේ විනිශ්චය සභාවේ නිගමනය විය.

මේ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් විය යුතු බවටත්, එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය හා පෞද්ගලික  සියලු පාර්ශවයන් ප්‍රමාදයකින් තොරව සියළු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත්, විනිශ්චය සභාවේ නිදේශ අතර ප්‍රමුඛවේ.  එමෙන්ම වතු කම්කරුවන්ගේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ජීවන වියදම සමාලෝචනය කොට ඊට සරිලන වැටුපක් නිර්ණය කිරීම වෙනුවෙන් ස්ත්‍රී කම්කරුවන් ද ඇතුළුව, වතු හාම්පුතුන් සහ ක්ෂෙත්‍රයේ ප්‍රවීණයින් ගෙන් යුත් කමිටුවක් රජය විසින් පත් කළ යුතු බවටද නිර්දේශ කෙරුණි.

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට වතු සමාගම් දක්වන්නේ මැලි කමකි. අර්ධ වහල් කම්කරුවන් ලෙස මෙරටට රැගෙන ආ මලෛයහ ජනයා කෙරෙහි අතීතයේ සිටම වතු හාම්පුතුන් දැක්වුයේ දැඩි නොසැලකිලිමත් බවකි. ඒ පිළිවෙත අද දිනයේද එලෙසම ක්‍රියාත්මකය. වතු හාම්පුතුන්ගේ අදහස වනුයේ  කම්කරුවන්ට වැටුප් වැඩි කළ හොත්, තේ හෝ රබර් නිෂ්පාදනයට වැය වන වියදම අධික බවය. ගෝලීය වෙළඳ පොලේ තම නිෂ්පාදනයන්ට ඇති ඉල්ලුම හා මිල පහත වැටීමෙන් මේ වියදම කොහෙත්ම දරා ගත නොහැකි බවද ඔවුන්ගේ මැසිවිල්ලකි.

2025 වසරේ ජුනි මාසය වනවිට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23 දක්වා ඉහළ ගොස් ඇති බවට රේගු දත්ත විශ්ලේෂණය කරමින්  එසියා සියකා ආයතනය පෙන්වා දී ඇත. එය ඉකුත් වසරේ මුල් භාගයට වඩා සියයට එකොළහක වැඩිවීමකි. මේ වසරේ මුල් මාස හය තුළ තේ අපනයනවලින් උපයාගෙන ඇති මුදල  ඩොලර් මිලියන 743 ක් පමණවේ. එය 2014 න් පසු වසරේ මුල් මාස කිහිපය සඳහා ලබා ඇති ඉහළම ආදායමයි. එවකට ශ්‍රී ලංකාව කිලෝග්‍රෑම් මිලියන 157 ක් අපනයනය කර ඩොලර් මිලියන 805 ක් පමණ උපයාගෙන තිබුණි. විශේෂයෙන්ම, ඇසුරුම් කළ තේ අපනයන සීග්‍රයෙන්  ඉහළ ගොස් ඇත. එය සියලු අපනයනවලින් 46% කි. ඉකුත් වසරේ එය 39% කි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව ද  ඉකුත් වසරේ පළමු කාර්තුවෙදී  පොල් අපනයනයෙන්   ඇමරිකානු ඩොලර් මිලියන 125.6ක් වූ ආදායම 2025 වසරේ පළමු කාර්තුවේ දී  වර්ධනයක්  පෙන්නුම් කරමින්ඇමරිකානු ඩොලර් මිලියන 155ක් ලෙස සටහන්වේ. එසේම පළමු කාර්තුවේදී  තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 478.3ක් දක්වා සියයට 6.2කින් ද  රබර් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.2ක් දක්වා සියයට 37.8කින් ද වර්ධනය පෙන්නුම් කරයි.

සිලෝන් ටීප්‍රමුඛතම ආනයනකරුවා වන්නේ  ඉරාකය යි. 28% කින් එහි ආනයනය  තේ කිලෝග්‍රෑම් මිලියන 18.7 දක්වා වැඩි වී ඇත. එය සියයට 28 කින් වූ වර්ධනයකි.   තේ ආනයනයෙදී  කිලෝග්‍රෑම් මිලියන 3 සිට කිලෝග්‍රෑම් මිලියන 11.4 දක්වා ලිබියාව සුවිශේෂී ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි. එය  280%  වාර්තාගත ඉහල යාමකි.  සිලෝන් ටීසාම්ප්‍රදායිකව  වෙළෙඳපොලේ විශාලතම ආනයනකරු  වන රුසියාව ආනයන ප්‍රමාණය පසුගිය වසරේ කිලෝග්‍රෑම් මිලියන 13 සිට කිලෝග්‍රෑම් මිලියන 11.2 දක්වා පහත වැටුණි. ඒ  යුක්රේනය හා රුසියාව අතර පැවති යුද ගැටුම් හේතුවෙනි.

මේ සංඛ්‍යා දත්ත අනුව නම් පෙනී යන්නේ වතු කම්කරුවන්ගේ යෝජිත වැටුප ලබා දීමට වතු සමාගම් මැලි වන්නේ  ලාභ – පාඩු පිලිබඳ ගැටළුවක් නිසා නොව ඔවුන්ගේ ආකල්පමය ප්‍රශානයක් නිසාය.  මලෛයහ ජනයා කම්කරුවන් ලෙස මෙරටට රැගෙන විත් සියවස් දෙකක් සම්පුර්ණ  වුවද අදත් ඔවුන්ගේ දිවිය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේදී මෙන්ය.

ලංකාවට සහ මැලේසියාව වෙත ඉන්දියාවෙන් කම්කරුවන් රැගෙන යාමට එරෙහිව පැවති සටන් හේතුවෙන් ඒ ගැන අවධානයක් යොමු කරන්නට  වතු හාම්පුතුන්ට මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ට බළපෑම්  කෙරිණි. එහි බලපෑම් මත 1921 ජනවාරි 20 වැනිදා ඉන්දීය ආණ්ඩුව, කම්කරුවන් ලංකාවට ගෙන යෑම තහනම් කරන බවට ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් වසර කිහිපයක් ඇවෑමෙන්  පළමු වරට 1925 දී වතු කම්කරුවන්ගේ වැටුප් පිලිබඳ සොයා බැලීමට මණ්ඩලයක් පත් කෙරිණි . එවකට ජන හා  සංඛ්‍යා ලේඛන අධ්‍යක්‍ෂක ඇල්.ජේ.බී.ටර්නර් ද ඇතුළත් මෙම කමිටුව, ඉන්දියානු ආණ්ඩුවේ මෙරට නියෝජිතයා වූ ඇස්. රෙන්ගනාදන්ගේ උපදෙස් මත  උඩරට , මැද රට හා පහත රට වශයෙන් -වතු කම්කරුවන් කළාප තුනකට බෙදා ඔවුන්ගේ දෛනික වියහියදම් ගැන වාර්තාවක් සකස් කළ අතර  එය පදනම් කර ගනිමින්  1927 දී අවම වැටුප් පිළිබඳ ආඥා පනත ගෙන එනු ලැබුවේ වතු හිමියන්ගේ විරෝධය මැද ය. එම  පනත ක්‍රියාත්මක වීමට තවත් වසර දෙකක් ගත විය.

අර්ධ වහල් ක්‍රමයක්  කම්කරුවන් හමුවේ පවත්වා ගෙනගිය වතු හාම්පුතුන්ට නටේස අයියර්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය  හිසරදයක් වූ අතර ඔහුව වතු ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීමේ  සුක්ෂම සැලසුම් ක්‍රියාත්මක විණි. ඉන්පසුව වතු කම්කරු ව්‍යාපාරයේ  මතුව ආ  ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ සමිති මර්දනය කෙරුනේ එම පක්‍ෂය තහනමට ලක් කිරීමත් සමගය. පසුව 1970 බලයට පැමිණි සභාගයේ නියෝජනය කළ ලසසප  සිය වතු වෘත්තීය සමිති බලය විනාශ කර ගත්තේ  අරගලයන්ට එරෙහිවීම මගින්ය.වතු හාම්පුතුන්ගේ  සිතැඟි පරිදි වැඩ කරමින්  ආරම්භයේ සිටම වැඩ කළ  ලංකා කම්කරු කොංග්‍රසය අදත් පෙනී සිටින්නේ  හාම්පුතුන් වෙනුවෙනි.

වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වරප්‍රසාද තීරණය කිරීමේ දී  කම්කරු කොමසාරිස්, හාම්පුතුන්  හා වෘත්තීය සමිති ලෙස  ත්‍රෛපාර්ශ්වික  සාමුහික ගිවිසුමක්  1997 දී  ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසින් හඳුන්වා දුනි. එහිදී වතු කම්කරුවන් නියෝජනය කරමින් ප්‍රධාන වෘත්තීය සමිතියක් ලෙස මැදිහත් වන්නේ ල.ක.කො. සහ එජාප යේ  වෘත්තීය සමිතිය වූ ලංකා ජාතික වතු සේවක සංගමය වේ. සෙසු වතු වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධව මෙම ගිවිසුම නියෝජනය කරයි. ඉකුත් මැතිවරණයෙන්  කඳුකරයේ දී ල.ක.කො. බරපතල ලෙස පරාජයට පත් කරමින්, ජා.ජ.බ. විශාල ජයක් ලැබුවද. වෘත්තීය සමිතියක් ලෙස ඔවුන්ගේ ස්ථාවරය තවමත් බිඳ වැටි නොමැත. සාමුහික ගිවිසුම් ආදිය අත්සන් කිරීමේදී වතු හාම්පුතුන් ලං.ක.කො. ට  ඇති පිළිගැනීමත් ඔවුන් හාම්පුතුන්ට දක්වන සැලකිල්ලත් මනා ලෙස පෙන්නු කරනු ඇත. 

සාමුහික ගිවිසුම් හරහා  වතු කම්කරුවන්ගේ වැටුප් හා අනෙකුත් අයිතීන් තීරණය කිරීමේදී  මෙම වෘත්තීය සමිති ක්‍රියා කරන්නේ  වතු සමාගම් වලට පක්‍ෂපාතිවය. ඈත අතීතයේදී ල.ක.කො. නායක  සෞම්‍යමුර්ති තොණ්ඩමාන් ද ඔහු ගෙන් පසු එහි නායකත්වයට පත් ආරුමුගම් තොණ්ඩමාන් ද  සාමුහික ගිවිසුමකට එළඹී හැම මොහොතකම පෙනී සිටියේ  හාම්පුතුන්ට වාසි සහගත අයුරිනි.

පඩි පාලක සභාව හරහා වතු කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීමට නිර්දේශ කරද්දී  වතු සමාගම් අධිකරණයට ගිය අතර ඒ අනුව මෙකි සාමුහික ගිවිසුම් අහෝසිවිණි. 2018 ඔක්තෝම්බර් 24 වැනිදා වතු කම්කරු වැඩි කරන ලෙස ඉල්ලා  සමාජ මාධ්‍ය හරහා ගාලු මුවදොරට  කැඳවූ උද්ඝෝෂණය වතු කම්කරු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි. වතු රැකියාව හැරපියා අගනුවරට සංක්‍රමණය වී වෙනත් රැකියාවන් හි  නිරත  මලෛයහ ජනයාගේ දුවා දරුවන් මේ උද්ඝෝෂණය කැඳවා තිබුනේ  සාම්ප්‍රදායික වතු වෘත්තීය සමිති කිසිදු මැදිහත් වීමකින් තොරවය. එහෙත් යහපාලන ආණ්ඩුවේ පොලිසිය ඔවුන්ට සැලකුවේ කඳුළු ගෑස් හා බැටන් පහර මගිනි.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් කරන ලෙස  තුන් මසකට වැඩි කාලයක් ගෙන ගිය සටනේ අවසන් ප්‍රතිපලය වතු හාම්පුතුන්ට වාසි ගෙන දෙමින් සාමුහික ගිවිසුම් අත්සන් තැබිණි. ඊට හවුල් වුයේ ල.ක.කො.හා ල.ජා.ව.සේ.ස. ය. දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නිහඬව එය අනුමත කළ ද වාමාංශික පක්‍ෂ නියෝජනය කරන වෘත්තීය සමිති හා සෙසු කුඩා සමිති ඊට විරෝධය දැක්වුහ.

වතුකරයේ  සම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ පරාජයට පත් කරමින් ජා.ජ.බ. බලයට පත් කිරීමට හේතු වුවද, වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්නට තවමත් ඔවුන්ට හැකි වී නොමැත. තවදුරටත් වතු කම්කරුවන් අපේක්‍ෂා සහගතව සිටින මුත්, යෝජිත වැටුප් වැඩිවීම වූ රුපියල් 1700 අද පවතින ජිවන වියදමත් සමඟ කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

 රුපියල් 1700 යේ  දිනෙක වැටුප  මිට වසර කිහිපයකට පෙර යෝජනා වුවකි.  දැනට පවතින ජිවන වියදම සලකා බලා සාධාරණ වැටුපක්  වතු කම්කරුවන්ට ලබා දිය යුතුය. වතු සමාගම් කිනම් ස්ථාවරයක් දැරුවද, තීරණය ඇත්තේ  ආණ්ඩුව අතය. සාමුහික ගිවිසුම් ද අවසානයේ සමාගම් වල වාසියට හේතුවන බැවින්ද , වෘත්තීය සමිති ද  ඔවුන්ගේ ග්‍රහණයට නැතුව ඇති බැවින්ද  පඩි පාලක සභා මගින්, පමා නොකළ විසදුමක් වතු කම්කරුවන් වෙනුවෙන්  නොගන්නේ නම් ශිත කඳුකරය නුදුරේදීම උණුසුම් වනු නිසැකය.

Leave a Reply