You are currently viewing ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද?

ලිංගිකත්වය කළු ද? සුදු ද? අළු ද?

‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය ලංකාවේ ලිංගික සමාජභාවය ගැන කළ සිනමා නිර්මාණයකි. එම වාර්තා චිත්‍රපටය ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ සිනමාත්මක වියමනකි. එම චිත්‍රපටයෙන් ලංකාවේ පවතින ලිංගිකත්වය (sexuality) ගැන විධිමත් සාකච්චාවකට මුල පුරයි. එහිදී නච්චි ප්‍රජාව යනුවෙන් හඳුනාගන්නා ලිංගික සංකාන්ත්‍රික ප්‍රජාවගේ සමාජභාවය ගැන ද සවිස්තරාත්මකව රූපයට නගා ඇත. නච්චි ප්‍රජාව ගැන ලංකාවේ භාවිතයේ පවතින්නේ අශෝබන සහ අසංවර පුද්ගල ක්‍රියාකාරීත්වයක් ලෙසයි. එම ප්‍රජාවේ සත්‍ය කුමක්ද යන්න ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය හරහා මතුකරන සංකල්ප රාමුව නව සමාජීය දැක්මකට සපයන ප්‍රවිශ්ටයක්ය.  

ලංකාවේදී නච්චි (දමිල) යන වචනය භාවිතා වන්නේ පිරිමි ලෙස ඉපදී ස්ත්‍රීන් ලෙස ජීවත්වන සංක්‍රාන්තික සමාජභාවයක් සහිත ප්‍රජාව හඳුනාගැනීම සඳහාය. මේ ජන කොටසේ ලිංගිකත්ව චර්යාව කුමක්ද? යන්න සහ අනෙකුත් ලිංගික ප්‍රජාවන් සමග සම්බන්ධය කුමක්ද? යන්න වගේම සමස්ත ලිංගික ප්‍රජාව ගැන ද දෘෂ්ටිමය පරිපථයක් මෙම වාර්තා චිත්‍රපටය මගින් ගෙන එයි. 

මානව සමාජය සැකසී ඇත්තේ විවිධ ජන කණ්ඩායම්වලිනි. එවැනි ජන ලක්‍ෂණ ස්ත්‍රී පුරුෂභාවය හෝ වයස හෝ භාෂාව හෝ සංස්කෘතිය හෝ විශ්වාසයන් හෝ ජාතිකත්වය හෝ ආබාධිත හෝ ජීවන ක්‍රමය මගින් හඳුනාගනියි. නමුත් ජන සමාජය කණ්ඩායම්වලට බෙදීමේදී තවත් එක් ලක්‍ෂණයක් වන ලිංගිකත්වය ද හමුවෙයි. ලිංගිකත්වය දෙස විවෘතව නිරීක්ෂණය කළහොත් විවිධත්වයක් සහිත ලිංගික ප්‍රජාවන් හඳුනාගත හැකියි.

ප්‍රවීන සිනමා අධ්‍යක්ෂක ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

ලෝකයේ ප්‍රධාන ලිංගික චර්යා ප්‍රජාව ලෙස හඳුනාගන්නේ විෂම ලිංගික ප්‍රජාවයි (Heterosexuality). ස්ත්‍රී-පුරුෂ නැතිනම් පුරුෂ-ස්ත්‍රී ආදරය, ආශාව සහ ලිංගිකත්වය විරුද්ධ ලිංගිකයන් සමග එකතුවීම විෂම ලිංගිකත්වයයි. විෂම ලිංගික ප්‍රජාව ලෝකයේ 94%ක් සිටින බව සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. අනෙක් සුළුතර ලිංගික ප්‍රජාවන් හඳුනාගන්නේ LGBTQIA+ ලෙසයි. LGBTQIA+ ලිංගික ප්‍රජාව 6%ක පමණ ප්‍රතිශතයක් ලෝකය පුරා විසිරී සිටිති. LGBTQIA+ ලිංගික ප්‍රජාවේ ලිංගික චර්යාව ඒ, ඒ ලිංගික ප්‍රජාවන් අතර වෙනස්කම් සහිතව නාමකරණය කරනු ලබයි.

දරුවෙක් උපත ලබද්දී ස්ත්‍රියක ලෙස හෝ පුරුෂයෙකු ලෙස හෝ උපත ලැබිය යුතුය. මෙය මනුෂ්‍ය සමාජයේ ස්වාභාවික නියමය ලෙස විශ්වාස කරති. එය ස්වාභාවික නොවන්නේ ගැහැණු පිරිමි යන දෙපාර්ශවයට අමතරව තවත් ලිංගික වෙනස්කම් සහිතව උපදින දරුවන් නිසාය. දරුවෙකු උපත ලැබූ පසු ජනනේන්‍ද්‍රිවල පිහිටීම අනුව ගැහැණු හෝ පිරිමි යුනුවෙන් තීරණය කරනු ලබයි. එය නිවැරදි තීරණයක් නොවන බව ජීව විද්‍යානුකූලව විමසා බැලූ විට තහවුරු වන කරුණකි.

එවිට මේ සියලු ලිංගිකත්වයන් ස්වාභාවිකය. ජීව විද්‍යානුකූලය. ඒ වගේම මේ ලිංගික වෙනස්කම් වාර්තා වන්නේ මානව සමාජයේ පමණක් ම නොවේ, මුළු සත්ව ලෝකයේ දක්නට හැකි පොදු ලක්‍ෂණයකි. ඒ සතුන්ගේ ශරීරයේ ශිෂ්ණය මෙන්ම යෝනිය එකට පිහිටි අවස්ථා මෙන්ම, අනෙකුත් ලිංග ප්‍රභේදයන් සහිත සතුන් වාර්තා වීමෙන් පෙන්නුම් කරන්නේ, මිනිසාගේ මෙන්ම සමස්ත ජීවයම එකම භෞතික තත්වයක පිහිටි බවයි. විවිධ සතුන් ගැන ලිංගික චර්යා නිරීක්ෂණය කළ ඩෙස්මන් මොරිස් [Desmond Morris 1928-] නැමති සත්ව විද්‍යාඥයා පවසන්නේ තමා විවිධ වන සතුන්ගේ සමලිංගික සේවනය දුටු බවයි. සමලිංගිකත්වය යනු සත්ත්ව ලෝකයේ ද පවතින, මිනිසුන්ට පමණක් සීමා නොවූ තත්වයක් බව ඩෙස්මන් මොරිස් තවදුරටත් පවසයි. මේ ලෝකයේ පණ ඇති ජීවය, ලිංගිකව විමර්ශනය කළ විට විවිධත්වයක් සහිත ජනනේන්‍ද්‍රිවල පිහිටීම සහ ලිංගික චර්යාවක් සහිත බව බැලූ බැල්මට පෙනේ. මෙම විවිධත්වය ස්වාභාවිකව ගොඩ නැගුනු තත්වයක් මිස අස්වාභාවිකව ගොඩ නැගුන තත්ත්වයක් නොවන බව පැහැදිලි වන්නේ ලිංගිකත්වය දෙස ස්වාභාවික විමසූ විට පමණි. මේ ස්වාභාවිකත්වය විෂම ලිංගික ප්‍රජාවට පමණක් ම අයිති තත්වයක් නොව සුළුතර ලිංගික ප්‍රජාවට ද සමසේ අයිති ස්වාභාවික තත්වයකි.

එවිට සුළුතර ලිංගික ප්‍රජාවගේ ඉල්ලීම වන ‘ලිංගික ස්වයං තීරණ අයිතිය’ වෙනුවෙන් ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටිය ගෙන එන දෘෂ්ටිය වැදගත්ය. මේ සුළුතර ලිංගික ප්‍රජාවගේ ප්‍රේමය, ලිංගිකත්වය, ජීවත්වීමේ අයිතිය දඬුවම් ලැබීමේ වරදක් ලෙස ලංකාවේ දණ්ඩ නීතී සංග්‍රහයේ පැවතීම නිසා ඔවුන්ට සිදුවන හානිය සහ අසාධාරණය මතු කිරීමට ගන්නා උත්සාහය මේ චිත්‍රපටය හරහා ප්‍රබල වැදගත් කමකින් යුක්තය. ඒවගේම නච්චි ප්‍රජාව අයත්වන ලිංගික චර්යාව න්‍යායිකව ප්‍රශ්න කරමින්, සුලුතර ලිංගික ප්‍රජාවට (LGBTQIA+) ඇති සම්බන්ධය විවෘතව ම සාකච්චාවට බදුන් කරයි.

ලංකාවේ සුලුතර ලිංගික ප්‍රජාවගේ (LGBTQIA+) ඓතිහාසික සම්බන්ධය ගැන ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටයේ ගෙන එන ඓතිහාසික මූලාශ්‍ර වලින් තහවුරු වන්නේ ලිංගික චර්යාවේ ඉතිහසයයි. එවිට එම මූලාශ්‍ර මගින් ලිංගික සමාජභාවය ගැන අවබෝධයට ප්‍රබල සාක්ෂි ලැබෙයි. විවිධත්වයක් සහිත ලිංගික චර්යාවක් ලංකාවේ පැවති බවට සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයාට එමගින් ලබා දෙයි. ලංකාවේ ලිංගිකත්ව දෘෂ්ටියට නව අර්ථකතනයක් ගෙන දුන් නිසා ‘කළු සුදු අළු’ වාර්තා චිත්‍රපටය නව දැක්මක් සහිත සිනමා නිර්මාණයකි. 

කළු සුදු අළු-ශ්‍රී ලාංකේය නච්චි ප්‍රජාවේ කතාව. Story of Sri Lankan Nachchi Community (with Subtitle)

Leave a Reply