පසුගිය ජනාධිපතිවරණයේ දී සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේත් දකුණේත් ජනතාව ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දීම විවිධ අයට විවිධාකාරයෙන් විග්‍රහ කළ හැකිය. ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලය වන ජනතා විමුක්ති පෙරමුණ දක්වන ආකාරයට එය ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග කෙරේ ජනතාව තැබු විශ්වාසය ප්‍රකාශ කිරීමකි. ජනතා ඡන්දයෙන් බලයට පත් වූයේ ජාතික ජන බලවේගය නිසා එවැනි තර්කයක් සාධාරණ සේ දැක්විය හැකිය. එහෙත් අමතක නොකළ යුතු කාරණය වන්නේ ජාතික ජනබලවේගය පසුගිය මැතිවරණයේ දි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඉන් පෙර ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශන වලින් වෙනස් නොවීමය. එම මැතිවරණ ප්‍රකාශ පදනම්ව 2019 පැවති පැවති ඡන්ද විමසීම්වලදී ඔවුන්ට ලබා ලබා ගත හැකි වූයේ සියයට තුනක ඡන්ද ප්‍රමාණයකි. පාර්ලිමේන්තුවේ ආසන තුනකි.
ගත වූ වසර පහකට ආසන්න කාලය තුළ එම ප්‍රතිපත්තිවලට උතුරේත් දකුණේත් සුවිශාල ජන සහයක් ලැබීමට හේතු වූ තවත් සාධක තිබෙන බව තහවුරු වන්නේ එවැනි පසුබිමකය. සෑම ජයග්‍රහණයක් තුළම පුද්ගල සාධකයක් පවතින බව සැබෑ වුවද පුද්ගල සාධකය වැදගත් වන්නේ සමාජ ගතිකත්වය මත බව අමතක නොකළ යුතුය. සමහර සන්දර්භයන් තුළ විශිෂ්ට වූ නායකයන් වෙනස් වූ සමාජ තත්වයන් තුළ අවලංගු කාසි බවට පත් වූ ආකාරයට අපමණ නිදසුන් ඉතිහාසයේ පවතී. වෙනස් වූ සමාජ සන්දර්භය නොතකා පුද්ගලාභිවාදනය පොදුවේ රටටත් විශේෂයෙන් එම කණ්ඩායමටත් කිසිසේත් හිතකර වන්නේ නැත.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ වයස් කාලය තවමත් අඩ වසරක් හෝ සපුරා නැති නිසා ඒ ගැන දැඩි තීරණ ගැනීමට කලක් එළඹ නැති බව සැබෑවකි. එහෙත් හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ යනුවෙන් කියමනක් ජනවහරේ තිබෙන බවද අමතක නොකළ යුතුය. මාස හයක් වැනි කෙටි කාලයක් තුළ හැත්තෑහය වසරක් පැවති පාලනය නැතිනම් අවපාලනය නිවැරදි කිරීමට තරම් නොවන බවද සත්‍යයකි. එහෙත් මෙම කෙටි කාලය ඇතුළත හෝ ජාතික දේහයේ පත්ළටම කිඳා බැස ඇති රෝග ව්‍යාධි හඳුනා ගැනිමට හා නිවැරදි කිරීමට මුල පිරීමට ප්‍රමාණවත් කාලයකි. එය වැදගත් වන්නේ අප සමාජය මුහුණ දී ඇති ජරාජීර්ණ දේශපාලනය පුද්ගල සාධක මතම රැඳී නැති නිසාය.

හිටපු හෝ සිටින ජරාජීර්ණ පුද්ගලයන් වෙනුවට අලුතින් අය පත් කිරීම වැඩි අපහසුවක් නැතිව කළ හැකිය. සමහර විට මේ රට බංකොළොත් භාවයට පත් වන තෙක් ‘උපදෙස්’ හා ‘වැඩ සටහන්’ හඳුන්වා දුන් භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙය අදාල නොවන්නට පුළුවන. ආර්ථිකය හැසිරවීමේ යාන්ත්‍රණය ඔවුන් සතුව ඇති නිසා ඔවුන් ඉවත් කිරීමෙන් යාන්ත්‍රණය බිඳ වැටේයැයි බියක් වත්මන් පාලකයන් තුළ තිබෙනු විය හැකිය. අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මහ බැංකුවේ අධිපති නොවෙනස්ව තබා ගත යුතුය. භාණ්ඩාගාරයේ ලේකම් ද එසේමය.
වළං කඩේට කඩා වැදුන ගොනා මෙන් සියල්ල විනාශ කිරීම හානියක් බව අපි පිළිගනිමු. එහෙත් ලෝක බැංකුවෙන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පුරුදු පුහුණු කළ මෙම ‘විශේෂඥයන්’ බොහෝ දෙනකුගේ දක්ෂතාවය ඉගැන් වූ දේ වැමෑරීම විනා අලුතින් සිතීම නොවන බව ඔවුන් ක්‍රියාවෙන්ම සනාථ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ඉගැන් වූ දේ විනිවිද දැකීමේ හැකියාව ඇති නිලධාරීන් නැතිවම නොවේ. එවැනි අයට මහ බැංකුවේ සහ භාණ්ඩාගාරයේ ලැබුණේ කුඩම්මා ගේ සැලකිලි ය. ඔවුහු හැකි පළමු අවස්ථාවේම එම ආයතනවලින් සහ රටින් පිටව ගියහ. අපි මෙම ලිපියෙන් එවැනි දේ සාකච්ඡා කිරීමට අදහස් නොකරමු. මෙම ‘විශේෂඥයන්ගේ’ කාර්ය භාරය ආර්ථිකයේත් දේශපාලනයේත් ගමන් මග ජනතා අපේක්ෂාව සාක්ෂාත් කිරීමට වඩා පැරණි පීල්ලේම දැක්කීම බව කිව යුතුය.
නිලධාරීන් දූෂිත වූයේත් දූෂිත නිලධාරීන්ට වැජඹීමට හැකි වුයේත් පවතින ක්‍රමයේ වැරැද්ද නිසා බව නැවත නැවතත් කිව යුතු නොවේ. ඒ ගැන තවත් කිසියම් දෙයක් ඉගෙන ගැනිමට අවශ්‍ය නම් 2023 ගාලු මුවදොර තරුණ අරගලය දෙස බැලීම ප්‍රමාණවත්ය. ගිනියම් අව්වේ වේලි වේලිත් ධාරණීපාත වැස්සේ තෙමි තෙමීත් ඔවුන් පැතුවේ ක්‍රමයේ වෙනසකි. සිස්ටම් චේන්ඡ් එකකි. පසුගිය මැතිවරණවලදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉල්ලා සිටියේ ද සිස්ටම් චේන්ඡ් එකකි. මෙය තේරුම් නොගන්නා කිසිදු දේශපාලයෙකුට හෝ දේශපාලන පක්ෂයකට අනාගතයක් නැති බව සක් සුදක් සේ පැහැදිලිය.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගමන් කරන්නේ හිටපු පාලකයන් ගිය මගේම බව පෙන්වීමට සරල උදාහරණ දෙකක් දැක්වීම ප්‍රමාණවත්යැයි සිතමි. ඉන් එකක් වන්නේ ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකුයැයි හැඳින් විය හැකි චන්දන ජයරත්න මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලිමකට ජනාධිපති කාර්යාලය ඇතුළත් ආයතන ගණනාවක් දැක් වූ ප්‍රතිචාරයයි. චන්දන ජයරත්න මහතාට දැන ගැනීමට අවශ්‍ය වූයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇති කර ගත් අවසාන ගිවිසුම පිළිබඳ තොරතුරු සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ණය තිරසාර බව පිළිබඳ විශ්ලේෂණයයි. වානිජ කටයුතු සහ ඊට බලපාන ප්‍රතිපත්ති ගැන උනන්දුවක් දක්වන ඔහු එවැනි ඉල්ලුම් පතක් ඉදිරිපත් කරන්නට ඇත්තේ එය ඔහුට මෙන්ම රටේ සියලු දෙනාට බලපාන රට පුරාම ආන්දෝලනයක් ඇති කළ වැදගත් ප්‍රශ්නයක් නිසාය. ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියේනම් ඔවුන් ද මෙම විෂය ගැන එවැනිම හෝ ඊටත් වඩා පුළුල් ප්‍රශ්න අසනු ඇත.
එහෙත් සිදු වූයේ කුමක් ද?
කඩිනම් පිළිතුරක් ලබා දීම වෙනුවට සිදු වූයේ මහ බැංකුව භාණ්ඩාගාරය සහ ජනාධිපති කාර්යාලය අතර ‘බෝල පාස් කිරීමේ’ ක්‍රීඩාවකි. මෙවැනි තත්වයක් මීට පෙර පැවති ආණ්ඩුවක් යටතේ සිදු වූයේ නම් අපට තේරුම් ගත හැකිය. රටේ ජනාතාවට බලපාන ගිවිසුම් හෝ වෙනත් එකඟතා ජනතාවට දැන ගැනීමේ අයිතියක් ඇති අතර එම තොරතුරු ලබා දීම වගකිව යුතු ආණ්ඩුවක ප්‍රතිපත්තියකි. එය මෙම ඉල්ලුම් පත්‍රය සම්බන්ධයෙන් සිදුව නැත. ඊට පිළිතුරු ලබා ගැනීමට ඒ මහතාට සමහර විට තොරතුරු දැනගැනීමේ කොමිසමට යෑමට සිදු වනු ඇත.
ඉන් තහවුරු වන්නේ ආණ්ඩු මාරු වූවාට පුද්ගලයන් වෙනස් වූවාට ක්‍රමයේ වෙනසක් සිදුව තැගි බව නොවේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගන්නා ගිවිසුම් අදාල පාර්ශ්වයන් හැර පිටස්තරයන් අතට පත්වීම අනවශ්‍ය එමෙන්ම හානිදායක දෙයක්යැයි ඔවුන් සිතනවා විය හැකිය. එය ජනතාව බලාපොරොත්තු වූ වෙනස නොවේ. මෙවැනි ගිවිසුම් සහ එකඟතාවල අවසාන ප්‍රතිඵලය පැටවෙන්නේ ජනතාව මත නිසා ඒවා දැන ගැනීම ජනතා පරමාධිපත්‍යය බැඳුණකි.
මෙවැනිම තවත් සිද්ධියක් පසු ගිය දා වාර්තා විය. ගාසා තීරයේ ඊශ්‍රායෙලය සිදු කරන ජනඝාතනය හෙළා දැකීමේ අදහසින් පොස්ටරයක් ඇලවූ තරුණයෙකු පොලීසියෙන් අත් අඩංගුවට ගැනිමය. වචන කීපයකට සීමා වූ එම පොස්ටරය ජාතින් අතර ද්වේෂය සහ වෛරය පතුරුවන නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම තරුණයා අත් අඩංගුවට ගත් බව පොලීසියෙන් පවසා තිබිණ. ඊශ්‍රායෙලය වසර දෙකකට ආසන්න කාලයක් ගාසා තීරයටත් බටහිර ඉවුරටත් ඉවක් බවක් නැතිව ගුවනින් බෝම්බ දැමීම සහ පාබල හමුදා මෙහෙයවා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල, ජනමාධ්‍යවේදීන් සහ ජනතාව තිරශ්චීන ලෙස මරා දැමීම යුද අපරාධයක් බව අන්තර්ජාතික අපරාධ අධිකරණය පිළිගෙන ඊශ්‍රායෙල් අගමැති සහ ඔහුගේ ආරක්ෂක ඇමති අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කර ඇත. මානව අයිතිවාසිකම්වලට හෝ ජාත්‍යන්තර නීතිය නොසලකා ක්‍රියා කරන රටක් හෙළා දැකීම ජාතීන් අතර ද්වේෂය සහ වෛරය දනවන දෙයක්යැයි නිර්වචනය කරන්නේ කුමන පදනමක් යටතේ දැයි ජාතික ජන බලවේගයේ ආරක්ෂක ඇමති පැහැදිලි කළ යුතුය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයන් විපක්ෂයේ සිටිය දී පලස්තිනය සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ බව අමතක කළ නොහැකිය.
වඩාත් වැදගත් වන්නේ පෝස්ටරයක් ඇලවීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කළ හැකි වරදක් වන්නේ කෙසේද යන්නයි. පෝස්ටරයක් ඇලවීම අපරාධයක් නම් ඒ සඳහා යොදා ගත හැකි වෙනත් නිති ප්‍රතිපාදන අපමණ පවතින බව නීති විශාරදයන් නොවන සාමාන්‍ය ජනතාව පවා දනිති. මින් පැහැදිලි වන්නේ ආරක්ෂක ඇමති සහ පොලිස්පති වෙනස් වූවාට ක්‍රමයේ වෙනසක් සිදුව නැති බව නොවේද? කලින් පැවති ආණ්ඩු යටතේ කවියක් ලිවීම පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගැනීමට හේතුවකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ඒ වෙනුවට ගෙන එන වෙනත් නීති සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම විපක්ෂයේ සිටිය දී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි. මෙම නිතිය යටතේ ඔවුන්ට ද විවිධ දුෂ්කරතාවලට මුහුණ දිමට සිදු විය. ආරක්ෂක අංශ අද එම නීති ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකම් උල්ලඝනය කිරීමට යොදා ගන්නේ ක්‍රමයේ වෙනසක් සිදුව නැති නිසායැයි සිතිය හැකිය.
මේ සරල උදාහරණ දෙකක් පමනි. මෙවැනි තවත් මෙවැනි අවස්ථා රැසක් ඇත. එමනිසා ජනවරමේ සුජාත භාවය රැක ගැනිමට නම් ජාතික ජන බලවේගය නිදි ගැට හැර අවදි වී ජන හදට ආමන්ත්‍රණය කළ යුතුය. ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ එවිටය.
- ලැබුණු ජනවරම ජනතා සුභ සිද්ධය සඳහා යෙදවීමට නම්.. - April 11, 2025
- බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද? - April 1, 2025
- අධිකරණයටත් ආරක්ෂාව නැති විට ජාතියට ඇති ආරක්ෂාව කුමක් ද? - March 8, 2025