You are currently viewing රිවර්ස් කළ යුත්තේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය පමණක් නොවේ.

රිවර්ස් කළ යුත්තේ රසායනික පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය පමණක් නොවේ.

රිවර්ස් කිරීම හැම විටම කළ යුතු නොවේ. වෙට්ටු දැමීම ඒ වෙනුවට යොදා ගත හැකි තවත් ක‍්‍රමයකි. එළඹෙන අනතුර මග හැරීමට වෙට්ටු දැමීමත් රිවර්ස් කිරීමට සමානය. අනෙක් අතට එය හකුළා ගැනීමක් ද නොවේ. කෘෂිකර්මාන්තයේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරෙහිව සිව් දෙසින් නැගී එන විරෝධය හමුවේ රිවර්ස් කිරීමට වඩා වෙට්ටුවක් දමා ඇඟ බේරා ගැනීම වඩාත් සුදුසුයැයි රජය සිතන්නට ඇත. චීනයෙන් ගෙන ආ කාබනික පොහොර තොගය තත්ව පරීක්ෂණයෙන් ප‍්‍රතික්ෂේප වීම නිසා ආපසු හරවා යැවීමෙන් වගාවට නැති වු පොහොර ලබා දීමට ඉන්දියාවෙන් කාබනික පොටෑසියම්ක්ලොරයිඞ් ආනයනය කිරීම ද සායම බේරා ගැනීමේ උත්සාහයකි.

මෙම ආනයනය ගැන ලිපියක් පළ කළ මහාචාර්ය ආර් පී ගුණවර්ධන මහතා සඳහන් කරන ආකාරයට පොටෑසියම්ක්ලෝරයිඩ් කාබනිකවීම ලංකාවේ අලූත්ම සොයා ගැනීමකි. පොටෑසියම් ( K ) සහ ක්ලෝරයිඩ් ( Cl ) යන දෙකම රසායනික මූල ද්‍රව්‍ය වන නිසා ඒවා කාබනික පොහොර සේ හඳුනා ගැනීම විද්‍යාවේ අලූත්ම සොයා ගැනිමකි. එය වෙට්ටු දැමීමක් බව මහාචාර්ය ගුණවර්ධන මහතා නොදන්නවා විය හැකිය.

ඊළඟ උත්සාහය වන්නේ හරිත කෘෂිකර්මය සඳහා ජනාධිපති කාර්ය සධක බලකායක් පිහිටුවීම ය. එහි කාර්ය භාරය වන්නේ හරිත කෘෂිකර්මය පවත්වා ගැනීමට තිරසාර ක‍්‍රමවේද හඳුනා ගැනීම, විවිධ වගාවන් සඳහා සුදුසු කාබනික පොහොර හඳුනා ගැනීම සහ ඒවායේ සමාජ ආර්ථික ප‍්‍රතිලාභ ජනතාවට සන්නිවේදනය කිරීම ඇතුළු කරුණු ගණනාවකි. රසායනික පොහොර හිටි අඩියේ තහනම් කිරීමට පෙර මෙවැනි කාර්ය සාධක බලකායක උපදෙස් ලබා ගත්තේනම් වඩාත් ප‍්‍රයෝජනවත් වීමට තිබිණ. ඒ සියල්ලටත් වඩා වැදගත් වන්නේ නූතන කෘෂිකර්මය විද්‍යාවක් බව තේරුම් ගැනීම ය.

කෙසේ වුවත් අපේ දෛනික ආහාරයේ සහල් පරිභෝජනය වැදගත්ම සාධකයක් වන නිසා එහි ආර්ථික පැත්ත ද විමසා බැලිය යුතුය. සාමාන්‍ය ආර්ථික විද්‍යා දැනුම අනුව ඉල්ලූමේ වෙනසක් නොවන්නේ නම් සැපයුම වැඩි වන විට මිල පහත බැසිය යුතුය. මෙම වසරේ නිකුත් වු මහ බැංකු වාර්තාව අනුව 2020 වසරේ වී නිෂ්පාදනය ඊට පෙර වසර සඳහා සසඳන විට සියයට 11.5කින් වැඩි වී ඇත. 2020 වසරේ පැවති කොවිඩ් වසංගතය නිසා රට වසා දැමීමෙන් ජනතාවගේ ආදායම් තත්වය පහත වැටී් සහල් සඳහා ඇති ඉල්ලූම යම් ප‍්‍රමාණයකින් හෝ පහත වැටෙන්නට ඇත. කුමක් හෝ ගිල දමා යාන්තමින් කුස ගිනි නිවා ගන්නා තත්වයට අඩු ආදායම්ලාභී බොහෝ දෙනකු පත් වන්නට ඇත. එවැනි තත්වයක් යටතේ ඉල්ලූම අඩුවීම නිසා මිල යම් ප‍්‍රමාණයකින් හෝ අඩු විය යුතුය. එහෙත් මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට සිදුව ඇත්තේ මිල ඉහළ යෑමකි. නාඩු සහල් මිල සියයට 11කින් ඉහළ ගිය අතර සම්බා මිල සියයට 18.2කින් ඉහළ ගියේය. එම වාර්තාවම සඳහන් කරන ආකාරයට රටට මාස 17කට අවශ්‍ය සහල් ප‍්‍රමාණයක් 19/20 කාලය තුළ ලැබුණ ද සහල් මෙට්‍රික් ටොන් 15,770ක් ද ආනයනය කෙරිණ. මෙම වසරේ මිල පාලනය කිරීමට පාකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කෙළේ මෙවැනි තත්වයක් යටතේය.

මින් පැහැදිලි වන්නේ කාබනික පොහොර නමින් රසායකින පොහොර ආනයනය කරන ආකාරයටම සහල් මිල සම්බන්ධයෙන් ද රජය නිරවුල් අදහසක නොසිටින බව ය.

පළමුවෙන්ම ප‍්‍රතික්ෂේප වූ කාබනික පොහොර තොගය ආනයනය කළ චීනයේ කෘෂිකර්මය ගැන විමසා බලමු. බැලූ බැල්මට පෙනි යන්නේ චිනයට තම දේශීය අවශ්‍යතා සම්පුර්ණ කොට අපනයනය සඳහා ද කාබනික පොහොර සංචිත පවතින්නේය යන්නයි. සමහර විට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා කාබනික පොහොර චිනයේ පවතිනු විය හැකිය. එහෙත් චීන ගොවියා වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ රසායනික පොහොර ය. ලෝක බැංකුවේ වාර්තාවක් අනුව චීනයේ හෙක්ටෙයාරයකට රසායනික පොහොර කි.ග‍්‍රෑ. 503ක් භාවිතා කෙරේ. පලිබොධක නාශක කි.ග‍්‍රෑ. 13.1ක් යොදා ගනී. අසල්වැසි ඉන්දියාවේ රසායනික පොහොර භාවිතය කි.ග‍්‍රෑ. 166 ක් සහ පලිබෝධ නාශක 0.3ක් වශයෙනි. එම වාර්තාව අනුව වස විස නැති ආහාර ගැන වැඩියෙන්ම කතා වෙන ලංකාවේ හෙක්ටෙයාරයකට රසායනික පොහොර භාවිතය කි.ග‍්‍රෑ. 132ක් වන අතර පලිබොධක නාශක කි.ග‍්‍රෑ.0.7කි. තම රටේ වගාවට යොදා නොගන්නා කාබනික පොහොර අපේ රටට එවීමට චීනය පරිත්‍යාගීලීවීම අගය කළ යුතුය.

අනෙක් අතට චිනය රසායනික පොහොර යොදා ගනිමින් හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් 7.1ක අස්වැන්නක් ලබා ගනී. එය ඉන්දියාවේ මෙන් හත් ගුණයකි. සහල් ඇතුළු අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනයේ ඉහළ තැනක් අත් කර ගැනීම නිසා චීනයේ සාගින්න සහ දරිද්‍රකාවය සම්පූර්ණයෙන්ම තුරන් කිරීට සමත්ව ඇත. මෑතක පළ වූ වාර්තාවෙන් දක්වා ඇති ආකාරයට ගෝලීය කුසගිනි දර්ශකයේ ( Global Hunger Index ) රටවල් 116ක් අතුරෙන් ලංකාව 65 වැනි ස්ථානයේ සිටී. මෙම තත්වය නිසා ලංකාවේ වයස අවුරුදු 5ට අඩු ළමයින්ගෙන් සියයට 21ක්ම මන්දපෝෂණයෙන් පෙළේ. එනම් අනාගත පරපුරෙන් පහෙන් එකක්ම නිසි කායික හෝ මානසික තත්වයෙන් තොර බෙලහීනයන් වීමය. එය කිසිසේත්ම සෞභාග්‍ය දැක්මක් විය නොහැකිය.  

මෙවැනි තත්වයක් තුළ අපේ ආසන්න ප‍්‍රමුඛතාවය විය යුත්තේ වී වගාව ඇතුළත් සියලූ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම ය. එහි අරමුණ වන්නේ ඵලදායිතාවය වැඩි කිරීමෙන් එම ක්ෂේත‍්‍රයේ යෙදී සිටින අයගේ ආදායම් තත්වය සුරක්ෂිත කිරීම සහ රටේ ආහාර සුරක්ෂිත තත්වයක් තහවුරු කිරීමෙන් සාගින්න තුරන් කිරීම ය. මනා කායික සහ මානසික තත්වයෙන් යුත් ජනතාවක් සැබැවින්ම සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනැගීමේ කාර්ය භාරයට උර දෙනු ඇත.

එවැනි තත්වයක් යටතේ වගකිව යුතු රජයක උත්සාහය විය යුත්තේ ගොවි ජනතාවගේ ආදායම් තත්වය ඉහළ නංවන අතර ජනාතාවට පෝෂ්‍යදායක ආහාර වේලක් ලබා ගැනීමට හැකි වන ආකාරයට කෘෂි භෝගවල ඵලදායිතාවය නැංවීම ය. ප‍්‍රමාණවත් ආහාර සැපයුමක් පවතින්නේ නම් සහ අවශය කරන විද්‍යාත්මක දැනුම සහ තාක්ෂණය යොදා ගත හැකිනම් රසායනික පොහොර වෙනුවට යොදා ගත හැකි වෙනත් පොහොර වර්ග පිළිබඳව අත්හදා බැලීම් සිදු කළ හැකිය. වගාවෙන් ලැබෙන අස්වැන්න පහත වැටීමට හිලවු වශයෙන් වැඩි මිලකට අස්වැන්න මිලදී ගැවීමෙන් ආහාර සුරක්ෂිත භාවයක් ඇති වන්නේ නැත. එවිට සිදු වන්නේ හිඟය මග හැරීමට බන්දුල ගුණවර්ධන මහතා කී ආකාරයට පිටරටින් සහල් ආනයනය කිරීම ය.

මහ බැංකුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා උපුටා දක්වන සංඛ්‍යා ලේඛන අනුව ශ‍්‍රී ලංකාව වී වගාවේ දී මෙන්ම අනෙකුත් කෘෂි වගාවන් සම්බන්ධයෙන් ද පවතින්නේ ඉතාම පහත් තැනක ය. නිදහස ලබනවිට සිටි තැනටත් වඩා පහත් තැනක ය. අප පාසල් යන අවධියේ ඉගෙන ගත් ආකාරයට ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ග තුන වූයේ තේ, රබර් සහ පොල් අපනයනයයි. එම භාණ්ඩ අපනයනය අතින් අපි ලොව ඉහළම තැනක සිටියෙමු. එහෙත් නිදහස ලබා දශත හතක් ගත වන විට අපට එම ප‍්‍රමුඛස්ථානය අහිමි වී පොල් ආනයනය කිරීමට සිදුව ඇත. එසේ වීමට මූලික හේතුව වගා කළමනාකරණයේ දුර්වල තාවය මෙන්ම ඵලදායිතාවයේ පහත වැටීම ය. නිදසුනක් වශයෙන් මියන්මාරයේ හෙක්ටෙයාරයකින් පොල් ගෙඩි 8800ත් ලබන අතර ඉන්දුනීසියාවේ එය ගෙඩි 6767කි. 2020 වසරේ ලංකාවේ ඵලදාව හෙක්ටෙයාරයකට ගෙඩි 5500කි. අනෙක් ප‍්‍රධාන වගාවන් සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ ඊටත් වඩා නරක තත්වයක ය. කලකට පෙර ලොව ප‍්‍රමුඛස්ථානයක් හිමිිව තිබුණු තේ වගාව සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනිම තත්වයකි. ලංකාවේ හෙක්ටෙයාරයක තේ අස්වැන්න කි.ග‍්‍රෑ. 670ක් වන අතර අසල් වැසි කේරළයේ කි.ග‍්‍රෑ. 1480කි. වියට්නාමයේ කි.ග‍්‍රෑ. 1185කි.

කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කළ යුතු පළමු කාර්ය වන්නේ එය ලෝකයේ තරගකාරී මට්ටමකට පත් කිරීම ය. සැබැවින්ම ජනාධිපති කාර්ය සාධන බලකා පත් කළ යුත්තේ ඒ සඳහා ය.

එමෙන්ම තවත් වැදගත් කාරණයක් වන්නේ පශ්චාත් අස්වැනු නාස්තිය වැළැක්වීම ය. දැනට ගණන් බලා ඇති ආකාරයට පලතුරු සහ එළවලූ පශ්චාත් අස්වැනු නාස්තිය මුළු නිෂ්පාදනයෙන් සියයට 30ත් 40ත් අතර ප‍්‍රමාණයක පවතී. එහි මූල්‍යමට වටිනාකම පොහොර ආනයනය සඳහා වැය වන මුදලින් සියයට පනහකි. මහ බැංකු වාර්තාව අනුව පසුගිය වසරේ එළවලූ මෙට්‍රික් ටොන් 716,494ක් ආනයනය කර ඇති අතර ඒ සඳහා වැය වූ මුදල රු. දශ ලක්ෂ 352.9කි.

මනා කලමනාකරණ වැඩ සටහනක් යටතේ එක අතකින් ඵලදායිතාවය වැඩි කිරීම සහ පශ්චාත් අස්වැනු නාස්තිය අවම කිරීමෙන් වගාකරුවන්ට සහ පාරිභෝගිකයාට අත්කර ගත හැකි ප‍්‍රතිලාභ ඉමහත් ය. එහිදි පොහොර භාවිතය මුළු කි‍්‍රයාදාමයේ එක පුරුකක් පමණි. සමස්ත ගැටලූව දෙස නොබලා පහසු, ජනපි‍්‍රයතාවය දිනා ගත හැකියැයි සිතන තීන්දු ගැනීමෙන් කෘෂිකර්මයට හෝ වගාකරුවන්ට සෙතක් වන්නේ නැත. කාබනික පොහොර භාවිතය ජනපි‍්‍රයතාවය දිනා ගැනිමේ පහසු මාර්ගයක් සේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලට ඇතුළත් කළ ද එය යථාර්ථයක් කර ගැනීමට තවත් පියවර ගණනාවක් පසු කළ යුතු බව සැලකිල්ලට ගෙන නැත.

ඇත්තෙන්ම මෙය වගාව සම්බන්ධයෙන් පමණක් නොව සියලූ ආර්ථික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් වත්මන් පාලකයන් මෙන්ම පෙර සිටි පාලකයන් ද අනුගමනය කළ අමනෝඥ කි‍්‍රයා පිළිවෙතයි. රට මුහුණ දී ඇති ආර්ථික අහේනිය සහ විදේශ මුදල් අර්බූදය නිසා එවැනි අමනෝඥ තිරණවල ප‍්‍රතිඵලය දරා ගත නොහැකි මට්ටමකට පැමිණ ඇත. කළ යුත්තේ පාලකයන්ට ප‍්‍රතිපත්ති කි‍්‍රයා මාර්ග පෙන්වා දෙන ප‍්‍රබල ජන මතයක් ගොඩ නැගීම සඳහා පෙරමුණ ගැනිම ය.

Leave a Reply