You are currently viewing රනිල් ඩින් ඩියම් වෙනුවට හිට්ලර් ගේ අවතාරයක් වීමට යත්න දැරීම..

රනිල් ඩින් ඩියම් වෙනුවට හිට්ලර් ගේ අවතාරයක් වීමට යත්න දැරීම..

අනුප්‍රාප්තික ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික‍්‍රමසිංහ අයවැය විවාදයේ තෙවන වර කියවීමේ විවාදයේ දී කළ කතාව සමහරු වෙරි වූ මීයා බළලාට කළ තර්ජනය සේ සරදමට ලක් කරති. නැවතත් අරගලයක් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවට තර්ජනය කරන ඔහු හදිසි නීතිය පනවා පොලීසිය නොව හමුදාව යොදවා එවැනි නැගිටීම් මර්දනය කිරීමට සහතික වූයේ පොහොට්ටුවේ මංත‍්‍රීන්ගේ අත්පොළසන් මධ්‍යයේ ය. එමෙන්ම රට මුහුණ දී ඇති ආර්ථික ප්‍රශ්නය විසඳන තෙක් නැවතත් ඡන්ද විමසීම් නොපවත්වන බව කීවේද එවැනිම ස්වරයකිනි.

අඩ ශතකයකට ආසන්න කාලයක් දේශපාලනයේ නියැලි රනිල් වික‍්‍රමසිංහ වසර කීපයක් ඇතුළත එවැනි හාස්කමක් කරන්නේ කෙසේද යන්න හාස්‍යයට ලක්විය යුතු ප්‍රකාශයක් වුවත් සටකපටකම්වලින් කෙළ පැමිණියෙකු වූ ඔහුගේ ප්‍රකාශ හිස් ප්‍රලාප සේ ඉවත නොදැමිය යුතුය.

ඔහුගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයත් ඔහුත් පසුගිය මහා මැතිවරණයේ දී සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වුවද ජාතික ලැයිස්තුව යැයි හැඳින්වෙන වෙන් කරන ලද ආසනයකින් පාර්ලිමේන්තුවට පැමිණ අගමැති තනතුරටත් ඉන් පසුව ජනාධිපති තනතුරටත් පත්වීම අහම්බයක් සේ  පහසුවෙන් බැහැර කළ හැකි වුවද එම සිද්ධි දාමය තුල කියවෙන අපැහැදිලි කතාවක් තිබෙන බවද අමතක නොකළ යුතුය. මින් පෙර දේශපාලන අත්දැකීම් නැති තරුණ ක්‍රියාකාරීන් පිරිසක් සිය උද්වේගය නිසාම ආරම්භ කළ ගාලු මුවදොර අරගලය තුළ නොසෙල්විය හැකි සේ පෙනුණ පොහාට්ටු ආණ්ඩුව අන්ද මන්ද කිරීමේ හැකියාවක් පවතින බව ඔහු දුටුවේය. ඔහුගේ හිතවත් කණ්ඩායම් කීපයක් අරගලයට යොමු කෙළේ ඒ නිසාය. බලහත්කාරය හොඳින් ප්‍රගුණ කළ මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරයේ සිට මුදා හැරි ප්‍රචණ්ඩත්වය පාරාවළල්ලක් වී අගමැති තනතුරෙන් ඉවත් වූ විට එය අවස්ථාවක් කර ගැනීමට රනිල් සමත් වූයේය. ඒ සමගම ඔහු යෙදවූ පිරිස් අරගලයෙන් ඉවත් වුවද අරගලයේ හැකියාවන් අඩුවෙන් තක්සේරු කෙළේ නැත. එමනිසා අරගලය මට්ටම් කිරීමට ඉදිරිපත් වූයේ නැත. එවැන්නකට ශක්තියක් තිබුණේ ද නැත.  

කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයට පුළුල් මහජන නැගිටීමක් බවට පත් අරගලය නිසා පොලිසියේ හෝ හමුදාවේ රැකවරණය ලබා ගත නොහැකි වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මන්දිරයෙන් පලා ගොස් තනතුරෙන් ඉල්ලා අස්වීම රනිල් ගේ වාරය බවට පත්විය. ගෝඨාභය පලවා හැරීමෙන් පසුව ගත යුතු ක්‍රියා මාර්ගයක් ගැන එකඟතාවක් නැතිව දුර්මුඛ වූ අරගලකරුවන් පොලිසීයේ ප්‍රචණ්ඩත්වයෙන්  පලවා හැරීම රනිල් ගේ පළමු ජයග‍්‍රහණය යි. ඔහු සැබැවින්ම පොහොට්ටුවේ ගැලවුම්කරුවා වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවු ආකාරයට ය. මැතිවරණයකට යෑම සියදිවි නසා ගැනීමක් බව පසක් කර ගත් පොහොට්ටුවට රනිල් බලයේ රඳවා ගැනීම හැර කළ හැකි වෙන කිසිත් නැත.

දැන් රනිල්ගේ අභියෝගය වන්නේ ආණ්ඩු කිරීම ය. පාර්ලිමේන්තුවේ බහුතරය ගැන සැකයක් නැති ඔහුට රට පාලනය කිරීමට දේශපාලන ක්‍රියා මාර්ගයක් හෝ ආර්ථික වැඩ පිළිවෙළක් නැත. දේශපාලන වශයෙන් ඔහුගේ බලය තහවුරු කර ගැනීමට නම් ජන පදනමක් සකසා ගත යුතුය. එනම් බහුතරයක් නොවුවත් සැලකිය යුතු ජන කොටසකගේ විශ්වාසය දිනා ගත යුතුය. ඒ සඳහා ඇති සුදුසුම ක්‍රියා මාර්ගය වන්නේ සියලූ ජන කොටස්වල පිළිකුළටත් අප‍්‍රසාදයටත් ලක්ව ඇති පාලන ක‍්‍රමයේ සැබෑ වෙනසක් කිරීම ය. දූෂණය වංචාව සහ හොරකම නතර කොට ආර්ථිකය බංකොලොත් කළ අයට දඬුවම් දිය යුතුය. එය ජාත්‍යන්තරයේ ද මතය වී ඇති බව ජිනීවා හි පැවති එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සැසියේ දී අවධාරණය විය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ දී ද එය කොන්දේසියකි. ණයට දෙන මුදල් ආපසු ලබා ගැනීමටත් ආයෝජන අවස්ථා විවර කර ගැනීමටත් යහපාලනයක් අවශ්‍ය ය.

එහෙත් හොරමැරකම් සහ වංචා නතර කිරීම ගැන කටින් බතල කොළ සිටවන පොහොට්ටුවේ නායකයන් එවැනි දේ පිළිබඳවත් වැරදිකරුවන්ට දඬුවම් දීමටත් එකඟ නොවනු ඇත. ඒ වෙන කිසිත් නිසා නොව සිය දිවි නසා ගැනීමක් වන නිසාය. මෙතෙක් හෙළිවී ඇති බරපතළ වංචා සහ දූෂණ සියල්ලට ම පාහේ පොහොට්ටු නායකයන් සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි දැනටමත් ඉදිරිපත්ව ඇත. සමහර නායකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග සිදුවෙමින් පවතී. ඒවා වැළැක්වීම සහ දූෂිත නායකයන් පුනරුත්ථාපනය දේශපාලන වශයෙන් රනිල්ට මුහුණ දීමට ඇති අභියෝගය යි.

ආර්ථික වශයෙන් ද ඔහුට ගතහැකි පියවර කිසිත් නැති සේය. එක් අතකින් පවතින ආර්ථිකය දූෂිත දේශපාලනය හා තදින්ම ගැට ගැසී ඇති නිසා ස්වාධීන ආර්ථික ක්‍රියා මාර්ග ගැනීමේ කිසිදු හැකියාවක් නැත. ආර්ථිකය මෙහෙයවන්නේ දූෂිත දේශපාලකයන් හා බැඳී ඇති ව්‍යාපාරිකයන් ය. ඔවුන් එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි තරමට ගැට ගැසී ඇත. මීට හොඳ නිදසුනක් පසුගිය දා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇඟලූම් අපනයනකරුවන් අමතමින් පැවසුවේය. ඔහු පැහැදිලි කළ ආකාරයට මේ රටේ අපනයනකරුවන් අපනයන ආදායම් නිසි ආකාරයට මෙරටට ගෙන එන්නේ නැත. ඇඟලුම් කර්මාන්තයේ එකතු කරන ලද වටිනාකම සියයට පනස් පහක් වුවද අපනයනයෙන් ආපසු මේ රටට ලැබෙන්නේ සියයට දාහතරක් වැනි ප්‍රමාණයකි. සැබැවින්ම සිදු විය යුත්තේ අවම වශයෙන් එම ප්‍රමාණයෙන් සියයට පනහක් හෝ ආපසු රටට ගෙන ඒම ය. එහෙත් වැඩිම ප‍්‍රමාණය පැහැදිලිවම පිටරට බැංකුවල රඳවා ඇත. මේ තත්වය ඇඟලුම් කර්මාන්තයට සීමා වූවක් නොව  පසුගිය දශක කීපයක සිටම සෙසු අපනයන සම්බන්ධයෙන් ද පවතින තත්වයයි. විදේශ මුදල් අර්බුදය හට ගැනීමට එක හේතුවක් මෙයයි.

නිත්‍යානුකූලව රටට ලැබිය යුතු මෙම මුදල් ගෙන්වා ගැනීමට මහ බැංකුවේ අධිපති කරන්නේ  ආයාචනයකි. රේගුවේ අපනයනය සම්බන්ධ ලිපි ලේඛන අධීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළක් පවතින්නේ නම් අපනයන ආදායම් රටට ගෙන්වා ගැනීම අපහසු කරුණක් නොවේ. එය අපහසු වන්නේ ඒ හා බැඳී ඇති දේශපාලනය නිසා ය. ඊට දේශපාලකයන් මෙන්ම පාලන තන්ත්‍රයේ ඉහළ නිලධාරීන් ද වගකිව යුතුය. මෙය දීර්ඝ වහයෙන් සාකච්ඡා කළ යුතු කරුණක් වුවද මෙම ලිපියෙන් ඊට අවකාශයක් නැති නිසා මෙම සම්බන්ධතාවය පමණක් අවධාරණය කරමු.

අපට වැදගත් වන්නේ දෙකොණ ඇවිලී ඇති රනිල්ට මෙම අර්බූදයෙන් ගොඩ ඒමට කිසිදු මාර්ගයක් නැති බව තේරුම් ගැනිමය. බලයේ රැඳී සිටීමට ඔහුටත් ඔහු නියෝජනය කරන සමාජ ස්ථරවලටත් ඇති එකම පියවර වන්නේ රාජ්‍ය බලහත්කාරයෙන් ජනතාව මර්දනය කිරීම පමණි. ඉදිරියේ දි අනිවාර්යෙන්ම ඇතිවන ජනතා නැගිටීම්වලදී ඔවුන්ට ආරක්ෂාවීමට ඇති එකම මාර්ගය වන්නේ බලහත්කාරය මුදා හැරීම පමණි. එහිදී රනිල්ට කළ හැකි වන්නේ ජනතා විරෝධය හමුවේ තනතුර අතහැර රටින් පලා ගිය ඩින් ඩියම් කෙනෙකු නොව ලෝකයම ගිනිබත් කළ හිට්ලර් කෙනෙකුවීම ය. රනිල් එය හොඳින් වටහා ගෙන ඇති බව අයවැය විවාදයේ දී කළ ප්‍රකාශයෙන් තහවුරු වේ.

ඇමරිකානු සහාය ඇතිව බලයේ රැඳී සිටි ඩින් ඩියම්ට එරෙහිව ජනතා නැගිටීම් ඇති වූ විට ඇමරිකානු හමුදාවට ඔහුට රැකවරණය දීමට නොහැකි විය. එමනිසා රනිල් ඩින් ඩියම් ආදර්ශය නොගැනීම තේරුම් ගත හැකිය. හිට්ලර් කෙනෙකුවීමට අවශ්‍ය වන්නේ රටත් යුරෝපයත් විනාශ වන තෙක් බංකරයක් තුළ සිටි ආදර්ශය නිසා විය හැකිය. රටත් ජනතාවත් විනාශ වුවත් බලය රැකගනු හැකි වනු ඇතැයි රනිල් අපේක්ෂා කරන බව පෙනේ.

රට ගොඩ ගැනීමට ආර්ථික විසඳුමක් හා දේශපාලන ක්‍රියා මාර්ගයක් නැති රනිල් බලය රැක ගැනීමට  ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවන බව පසුගිය දා කළ ප‍්‍රකාශනවලින් තහවුරු වේ. එමනිසා ඔහු සහ පොහොට්ටුවේ අනුගාමිකයන් බලයෙන් ඉවත් කළ හැකි වන්නේ සාමකාමී දේශපාලන අරගලයක් තුළින් පමණි. ඒ සඳහා ගාලු මුවදොර අරගලය හොඳ ආදර්ශයක් වුවද සම්පූර්ණ එකක් නොවේ. ගෝඨාභය පලා යෑමෙන් පසුව ගත යුතුව තිබූ සහ ගත හැකිව තිබු පියවර කිසිත් ගැනීමට අරගලකරුවන් අතර එකඟතාවයක් හෝ සැලැස්මක් තිබුණේ නැත. මහජන සභා පිහිටුවීමේ යෝජනාව ජනතාව අතට දේශපාලන බලය පත්කිරීමේ සාධනීය පියවරක් වුවද අරගලයේ ගමන් මාර්ගය මෙන්ම ඒ පිළිබඳව ද නිසි දැක්මක් හෝ අදහසක් තිබුණේ නැත. මහජන සභා සාධනීය පියවරක් වන්නේ එය සියලූම දේශපාලන පක්ෂ පිළිගත් වැඩ පිළිවෙළක් වූ නිසාය. එහෙත් නිසි දැක්මක් සහ අදහසක් නොතිබු නිසා එම නිර්මාණශීලී සංකල්පය පාර්ලිමේන්තුවේ පවා මහජන සභා පිහිටුවීමට තරම් හෑල්ලූවට ලක් විය.

එමනිසා දූෂිත ජරා ජීර්ණ ක්‍රමය ඉවත් කොට සැබැවින්ම සියලූ ජන කොටස්වල එකඟතාවය දිනා ගත හැකි ඔවුන් මනාව නියෝජනය වන ජනතාවාදී පාලනයක් නිර්මාණය කිරීමට ගාලූ මුවදොරින් ඔබ්බට යන අරගල ක්‍රමයක් අවශ්‍ය ය. එය අනිවාර්යෙන්ම ප‍්‍රචණ්ඩත්වය බැහැර කරන සංවාදය, සහයෝගය සහ සහෝදරත්වය පදනම් කර ගත්තක් විය යුතුය. එවැනි වැඩ පිළිවෙළක් ගොඩ නැගීම පහසු ලෙහෙසි කටයුත්තක් නොවන නමුත් ඊට අවශ්‍ය හැකියාවන් සහ නිපුණත්වය ජනතාව සතුව පවතින බව අරගලය තුළින් ප්‍රදර්ශනය විය. රනිල් ගේ බල ව්‍යාපෘතිය පරාජය කළ හැක්කේ එවැනි වැඩ පිළිවෙළක් තුළින් පමණි.    

Leave a Reply