You are currently viewing රනිල් ගේ කක්කුටු න්‍යාය සහ රටේ අනාගතය..

රනිල් ගේ කක්කුටු න්‍යාය සහ රටේ අනාගතය..

අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ පසුගිය දා අනුරාධපුරයට ගොස් අටමස්ථානය වැඳ පුදා රජයේ සේවකයන්ට යටි බඩ හරහා පහරක් දීමට අමතක නොකෙළේය. දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩලයේ රැස්වීමක් ඇමතූ ඔහු ‘‘සේවයේ ඉන්නවානම් වැඩ කළ යුතුයි. නැතිනම් ගෙදර යන්න පුළුවන්. නිකම් පඩි ගෙවන්න බැහැයි’’ පැවසුවේය. ඊට පසු දිනක රාජ්‍ය පරිපාලනයේ ලේකම් රජයේ සේවයේ හරි අඩක් වැඩකට නැති අය සේ හැඳින් වූයේය. එනම් රජයේ සේවකයන්ගෙන් අඩක් ම වැඩක් නැතිව පඩි ගන්නා අයයි.

රාජ්‍ය සේවයේ අතිරික්තය ගැන කතා කිරීමට පෙර අනුප්‍රාප්තික ජනාධිපති ගැන ද සඳහනක් කළ යුතුය. ජනතා විරෝධය හමුවේ ත්‍රිවිධ හමුදාවේ රැකවරණය හෝ නොලත් ගෝඨාභය රාජපක්ෂ තනතුරත් රටත් අතහැර පලා යෑමෙන් හිස් වූ ජනාධිපති තනතුරට පාර්ලිමේන්තුවේ මංත‍්‍රීන්ගේ ඡන්දයෙන් පත් වූ රනිල් වික‍්‍රමසිංහ කටයුතු කරන්නේ ද විධායක ජනාධිපති සේය. එහෙත් උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව අනුව රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය’ මෙහි වැදගත් ම කොටස වන්නේ ජනතාව ගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය යන්නයි. පැහැදිලිවම රනිල් වික‍්‍රමසිංහ ජනතාව විසින් තෝරා පත් කර ගත් ජනාධිපතිවරයෙකු නොවේ. ඔහු එම තනතුරට පත් වූයේ ගෝඨාභය රාජපක්ෂ තනතුර අත්හැර ගිය නිසා ය. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ජනවරමක් ලැබුණ නමුත් ඔහුගේ අකාර්යක්ෂමතාවය සහ අදක්ෂතාවය නිසා එය අහෝසි විය. ජන සහාය අහිමි වු ඔහුට ජනතාවගේ විධායක බලය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි නිසා තනතුරෙන් ඉවත්වීමට සිදු විය.

පුරප්පාඩු වූ තනතුරට පාර්ලිමේන්තුවේ මංත‍්‍රීන්ගේ කැමැත්ත අනුව රනිල් වික‍්‍රමසිංහ පත් වුවද ඔහු ජනතාව විසින් තෝරා පත් කර ගත් අයෙකු සේ හැඳින්විය නොහැකිය. එමනිසා ඔහු කළ යුත්තේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීම යි. එවිට ජනතාවට කැමති පුද්ගලයෙකු තෝරා පත් කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. එසේ නැතිව කලින් සිටි ජනාධිපතිගේ නිල කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද කිසිසේත්ම සදාචාරයට ගැලපෙන්නේ නැත. ජනතාවගේ කැමැත්තක් නැති ඔහුට අන්සතු කළ නොහැකි ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කළ නොහැකිය. එමනිසා රජයේ සේවකයන් ඇතුළත් රටේ ජනතාව කිව යුත්තේ රනිල් වික‍්‍රමසිංහ ගෙදර යා යුතුය යන්නයි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහුට ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමේ අයිතියක් ලබා දී නැති නිසා ය.

ඇත්තෙන්ම රනිල් වික‍්‍රමසිංහ සහ ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය පසුගිය පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ජනතාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තුවේ එක ද අසුනක් දිනා ගත නොහැකි වු ඔහුට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකි වූයේ ජාතික ලැයිස්තුව යැයි හැඳින්වෙන වෙන් කරන ලද ආසනයක් හිමිවීම නිසා ය. ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට අයිතියක් ලැබෙන්නේ ජනතාව විසින් ම ප්‍රතික්ෂේප කරන ලද නායකයෙකුගේ කැමැත්ත නිසා ය. ඒ අනුව කිසිම ආකාරයක ජනවරමක් නැති ඔහුට රජයේ සේවකයන් අනවශ්‍යයැයි ලේබල් ගසා සේවයෙන් ඉවත් කිරීමට අයිතියක් ලැබෙන්නේ කොතැනින් ද?

ඒ කරුණු අමතක කළ ද රජයේ සේවයේ අතිරික්තයත් හෝ වැඩ නොකරන අය සිටින්නේ නම් ඊට වගකිව යුතු වන්නේ ආණ්ඩුව කරන දේශපාලන නායකයන් ය. රජයේ සේවයේ පත්වීම් දෙන්නේ දේශපාලකයන් ය. පත්වීම් පමණක් නොව ඒ ඒ තනතුරුවලට උසස්වීම් සහ අදාල මාරු කිරීම් කරන්නේ ද දේශපාලකයන් ය. මැයි 9 වැනිදා රට පුරා හටගත් ප‍්‍රචණ්ඩ ක්‍රියාවන් ගෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දේපොළ ආරක්ෂා කිරීමට පොලිසියට නොහැකිවීම ගැන පොලිස්පතිට චෝදනා එල්ල වූ විට ඔහුගේ පිළිතුර වූයේ රටේ පවතින පොලිස් ස්ථාන සියල්ලේ ම පාහේ ස්ථානාධිපතීන් පත් කර ඇත්තේ ඔහු නොව ප්‍රදේශයේ දේශපාලකයන් නිසා රාජකාරිය අතපසු කිරීම පිළිබඳ ව වගකිව යුත්තේ ද දේශපාලකයන් බව ය. පොලිස්පතිට පොලිස් ස්ථානයක ස්ථානාධිපති තනතුරට සුදුස්සෙකු පත් කිරීමට නොහැකි විට පොලිස් සේවයේ පිරිහීම ගැන ද වගකිව යුත්තේ දේශපාලකයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රටේ සාමය සහ නීතිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති ආයතනයක තත්වය එසේනම් රාජ්‍ය සේවයේ පිරිහීම හෝ වැඩ නොකිරීම ගැන ද වගකිව යුත්තේ එම පත්වීම් කළ දේශපාලකයන් ය.

2022Aug29[2]_corruption

රාජ්‍ය සේවයේ පිරිහීම රටේ දේශපාලනයේ පිරිහීම ය. දේශපාලකයන් තම ආත්මලාභය සඳහා රාජ්‍ය සේවය වෛශ්‍යා වෘත්තියේ යොදවන විට එය නිවැරදි කළ හැකි වන්නේ ඉහළ නිලධාරීන්ගේ නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන් ගෙදර යැවීමෙන් නොවේ. ගෙදර යැවිය යුත්තේ රාජ්‍ය සේවයත් රටේ ආර්ථිකයත් විනාශ මුඛයට පත් කළ දේශපාලකයන් ය. රාජ්‍ය සේවයත් ආර්ථිකයත් විනාශ වූයේ වැරදි අමනෝඥ දේශපාලන තීරණ නිසා ය. නිවැරදි කිරීම ආරම්භ විය යුත්තේ එතැනිනි. එමනිසා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සහ ආර්ථිකය නිවැරදි මාර්ගයට යොමු කිරීමේ පළමු සහ එකම පියවර වන්නේ සිය නොහැකියාව සහ ආකාර්යක්ෂමතාවය දශක ගණනක් තිස්සේ ප්‍රදර්ශනය කළ දේශපාලකයන් ගෙදර යැවීම ය. අරගලකරුවන් ඉල්ලා සිටි ආකාරයට ක්‍රමයේ වෙනසක් සිදු වන්නේ ඒ ආකාරයෙනි. එහෙත් රනිල් ඇතුළු නඩයට අවශ්‍ය වන්නේ ජනතාව ගෙදර යවා සූරා කෑම සහ මංකොල්ලකෑම දිගටම කර ගෙන යෑමට ය.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමටත් අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය දේ සඳහා වියදම් කිරීමටත් මුදල් නැත්තේ රජයේ සේවකයන්ගේ වැරදි නිසා නොව මුග්ධ දේශපාලකයන්ගේ තීරණ නිසා ය. ජනතාව විසින් පලවා හැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුරට පත් වහාම ගත් පියවරක් වූයේ රජයේ බදු ආදායම් කපා හැරීමය. මෙම හිතුවක්කාර තීරණය නිසා රජයේ ආදායම පහත වැටිණ. රජයේ වියදම් පියවා ගැනීමට දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ණය ගැනීමට සිදු විය. එම නිසා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 42ක් වූ රාජ්‍ය ණය ප‍්‍රමාණය පසුගිය වසරවන විට සියයට 119 දක්වා ඉහළ ගියේය. ඔහු ගත් තවත් එවැනිම අමනෝඥ පියවර නිසා ආර්ථිකය සම්පුර්ණයෙන් ම කඩා වැටුණු ආකාරයට ජනතාවට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. 

මෙම දේශපාලකයන්ගේ අසමත්වීමට තවත් නිදසුනක් වන්නේ ආර්ථිකය ගොඩ ගැනීමට ඉදිරිපත්ව සිටින ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පනවා ඇති කොන්දේසි යි. පරිහානියට පත් කෘෂිකර්මය ගොඩ ගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ සහ යල කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රසායනික පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් දශ ලක්ෂ 350ක මූල්‍ය සහනයක් ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත්ව සිටී. මූල්‍ය සහනයක්යැයි හැඳින් වුවද එය පොලී සහිතව ආපසු ගෙවිය යුතු ණයකි. කෙසේ වුවත් ලෝක බැංකුව මෙම ණය මුදල ලබා දීමේ දී මෙතෙක් පනවා ඇති කොන්දේසිවලට අමතරව තවත් කොන්දේසි කීපයක් පනවා ඇත. ඒ අනුව රසායනික පොහොර මිලදී ගැනීමේ සම්පුර්ණ ක්‍රියාවලියම සිදු වන්නේ ලෝක බැංකුව නම් කරන වොෂින්ටනයේ බැංකුවක අධීක්ෂණය යටතේ ය. ගනුදෙනුව විගණනය කරන්නේ එම බැංකුව විසිනි. එම ක්‍රියාවලියට ගෙවිය යුතු පිරිවැය ද ණය මුදලට ඇතුළත් වනු ඇත.

මින් අදහස් වන්නේ අපේ රටේ ප‍්‍රසම්පාදන සහ විගණන ක්‍රියාවලිය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවේ කිසිම විශ්වාසයක් නොමැති බවය. මෙවැනි නින්දාවකට රට පත් කිරීම ගැන වගකිව යුත්තේ දේශපාලකයන් ය. රජයේ විගණන අංශයෙන් නොයෙකුත් අවස්ථාවල පරිපාලන ක්‍රියාටිපාටියේ මෙන්ම මූල්‍ය කටයුතුවල අකටයුතු ගැන වාර්තා කර ඇති නමුත් සියලු තීරණ ගන්නා දේශපාලකයන් ඒ ගැන තැකිමක් කර නැත.

විගණක විසින් පෙන්වා දුන් වැරදි සහ අකටයුතු පමණක් නොව අධිකරණයෙන් වැරදිකරුවන් කර දඬුවම් ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් ද දේශපාලකයන් තීරණ ගන්නේ නැත. නවතම සිද්ධිය වන්නේ කප්පම් ගැනීමක් ගැන සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු ඇමතිකමට අමතරව පාර්ලිමේන්තුවේ සභානායක තනතුර ද දැරීම ය. එසේම නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර සමාව ලබා දුන් මිනීමරුවෙකුට ජම්පරය ගැලවීමටත් පෙර රාජ්‍ය ආයතනයක සභාපති තනතුර පුදා ඇත. මේවාට වගකිව යුත්තේ දේශපාලකයන් විනා අන් කවරෙක් ද? රජයේ සේවකයෙකුට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගත් විට ඔහුගේ සේවය අත්හිටුවීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යි. එහෙත් එම නීති දේශපාලකයන්ට අදාල නැත. නිදහසින් පසු මුළු කාලය පුරාම රාජ්‍ය සේවය හැඩ ගසා ඇත්තේ දේශපාලකයන්ගේ ගසා කෑමට ඉඩ ලැබෙන ආකාරයෙනි. රට විනාශයට පත් වූයේ රාජ්‍ය සේවකයන්ගේ අකාර්යක්ෂමතාවයට වඩා දේශපාලන මැදිහත්විම් නිසාය. නිවැරදි කළ යුත්තේ එයයි. අපේ රටේ සියලු වර්ණ සහ වර්ගවලට අයත් දේශපාලකයන්ගේ සුපුරුදු ක්‍රීඩාව විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලකයන්ට සහ ඔවුන් තෝරා පත් කළ ජනතාවට දොස් පැවරීම ය. සියල්ල කලින් ආණ්ඩුවේ වැරදි ය. ඒ වැරදි නිවැරදි කිරීමට කිසිම ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත. ඇත්තෙන්ම ඔවුන්ට නිවැරදි ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් ද නැත. අරගලයෙන් ඉගැන් වූ හොඳම පාඩම වන්නේ දේශපාලකයන්ගේ මෙම නිරුවත්භාවය හෙළි කිරීම ය. එමනිසා කළ යුතු එකම කාර්ය වන්නේ  මෙම ජරා ජීර්ණ දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත් කිරීම ය. එසේ නොකර රට මුහුණ දී ඇති අභියෝගයට විසඳුම් නැත.   

Leave a Reply