You are currently viewing රටම සිනා ගන්වන විශ්වාස භංගයේ ස්ටෑන්ඩ්අප් කොමඩිය..

රටම සිනා ගන්වන විශ්වාස භංගයේ ස්ටෑන්ඩ්අප් කොමඩිය..

මෙම ලිපිය ලියන්නේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගෙන තිබෙන අවස්ථාවකය. විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට පදනම් කරුණු කලක් තිස්සේ විවිධ මාධ්‍යන් ඔස්සේ කතා බහට ලක්ව තිබු ඒවාය. දකුණු ආසියාවේ පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ඉහළම සෞඛ්‍ය සේවයක් පැවති ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක පැනඩෝල් පෙත්තක් නැති තත්වයට පත්වීමත් රෝහලෙන් ලබා දෙන ඖෂධවල අසාත්මිකතා නිසා රෝගින් මිය යන පුවත් නිතර අසන්නට ලැබෙන තත්වයක් යටතේත් සෞඛ්‍ය ඇමතිට පමණක් නොව සියලු සෞඛ්‍ය අධිකාරීන් සහ ආණ්ඩුව කෙරේත් ජනතාවගේ විශ්වාසය භංගවී ඇති බවට කිසිදු සැකයක් නැත. එසේ වුවත් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයත් ඉන් පසුව පැවැත් වෙන ඡන්ද විමසීමත් ජනතාවට කිසිදු සුගතියක් අත්නොවනු ඇත. විශ්වාසභංගය අනිවාර්යෙන්ම පරාජය වනු ඇත. දැනට කිව නොහැකි වන්නේ විශ්වාසභංගයට එරෙහිව ලැබෙන ඡන්ද ගණන පමණි.

මහජන නියෝජිතයන් යැයි හඳුන්වා ගන්නා මැති ඇමතින් මහජන මතය නියෝජනය නොකිරීම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සුපුරුදු ලක්ෂණයක් බවට පත් වූයේ බොහෝ කලක සිටය. පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ මහජන නියෝජිතයන් වුවත් ඔවුන් සැබැවින්ම නියෝජනය කරන්නේ දේශපාලන පක්ෂයකි. නැතිනම් තම පෞද්ගලික අවශ්‍යතාවයට ගැලපෙන මතයකි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවගෙන් බලය ඉල්ලන්නේ  දේශපාලන පක්ෂයක් සඳහාය. නියෝජිතයා තෝරන්නේ මනාපය අනුව ය. මනාපයෙන් තේරීපත්වන මංත්‍රීට පක්ෂය මාරු කිරීමේ අයිතියක් නැති බව මැතිවරණ නීතිවල සඳහන් වුවද භාවිතයේ දී එසේ අයිතියක් ඇති බව නිරතුරුවම පෙන්වා ඇත. එපමණක් නොව ඡන්ද විමසීමකට ඉදිරිපත්වීමට සුදුසුකම් නොමැති වුවද කිසියම් හේතුවකින් මංත්‍රී කෙනෙකු වශයෙන් දිවුරුම් දුන් පසු ඔහු හෝ ඇය ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ.

යම්කිසි පත්වීමක් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමට කිසිදු බාධාවක් නැති වුවත් විනිශ්චයක් ලබා ගැනීමට සමහර විට පාර්ලිමේන්තුවේ නිල කාලය තුළ නොහැකි වනු ඇත. ඒ අනුව මංත්‍රීකම අහෝසි වන බව තීරණය වන්නේ මරණය වැනි ස්වභාවික හේතු අනුව විනා මහජන කැමැත්ත අනුව නොවේ. ඒ නිසා ජනතා විශ්වාසය මෙම ගනුදෙනුවේ දී කිසිම වැදගත් කමක් නැත. ඇමති කෙනෙකු ගැන පමණක් නොව ආණ්ඩුව ගැන ද විශ්වාසය භංග වුවත් ඊට විසඳුම් පාර්ලිමේන්තුව තුළින් ලබා ගැනීම කනකැස්බෑවා විය සිදුරෙන් අහස දැකීමටත් වඩා දුෂ්කර අසීරු ක්‍රියාවකි.

ප්‍රජාතන්ත්‍රවාදීයැයි කියා ගන්නා රාජ්‍යයක් ජනතාවට වග නොකියන ව්‍යවස්ථාදායකයේ බලය හිමි තාක් කැමැත්තක් කළ හැකි තත්වයකට පත් වූයේ කෙසේද?

කිසියම් නිශ්චිත කාල සීමාවක් තුළ ව්‍යවස්ථාදායකය සඳහා ඡන්ද විමසීම් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ සලකුණක් සේ සැලකීම සාමාන්‍ය පිළිගැනීම යි. ඒ අනුව ලොව දෙවන විශාල ජනසංඛ්‍යාවක් සිටින ඉන්දියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. ලොව වැඩිම ජන සංඛ්‍යාවක් සිටින චීනයේ එවැනි ඡන්ද විමසීම් කලින් කලට නොපැවැත්වෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඒකාධිපති රටකි. පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් ඡන්දයෙන් තේර් පත්වන රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ය. ශ්‍රී ලංකාවත් එම අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ය.

එහෙත් සෞඛ්‍ය සේවය විශේෂයෙනුත් පොදුවේ සමස්ත රාජ්‍ය සේවයත් මහජනයාට නොව වරප්‍රසාද ලත් අතලොස්සකගේ වුවමනාවන් අනුව ක්‍රියාත්මකවීම ප්‍රජාතන්ත්‍රයක් ලෙස අරුත් දැක්විය හැකි වන්නේ කෙස්ද?

ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ බලය හිමි කර ගැනීම මත ය. ඡන්ද බලය සීමා වන්නේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලයක් තුළ සීමිත අරමුණු සඳහා ය. ඡන්ද බලය තීරණාත්මක අවියක් නම් ජනතාවගේ වුවමනා නොසලකා හරින විට එය යොදා වැරදි කරන අය පාලන බලයෙන් ඉවත් කිරීමේ හැකියාව තිබිය යුතුය. පාලකයන් බලයෙන් ඉවත් කිරීම අවි බලයෙන් කරන අවස්ථා ද දැකිය හැකිය. මෑතක දී මධ්‍යම අප්‍රිකාවේ නීජර් හා ගැබොන් වැනි රටවල පාලකයන් ඉවත් කෙළේ අවි බලයෙනි. එය කුමන තත්වයක් යටතේ වුවද ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැත.

ලංකාවේ පසුගිය වසරේ ජුලි 9 වැනි දා පාලකයා ඉවත් කෙළේ ජන බලයෙනි. විධායක බලය සතු ජනාධිපති පාලන බලයෙන් ඉවත් කිරීමට ජන බලයට හැකි වුවද ජනතාවට වගකියන පාලකයෙතු පත් කර ගැනීමට නොහැකි විය. එමනිසා මහා මැතිවරණයක දී ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු සහ ඔහුගේ පක්ෂය අනියමින් පාලන බලය ලබා ගෙන ඇත. ඒ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ බහුතරය අනුවය. පාර්ලිමේන්තුවේ බලය කුමන ආකාරයෙන් හෝ ලබා ගත් නිසා ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදීයැයි හංවඩු ගැසේ. විධායක ජනාධිපති කරන කියන දේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරන නිසා එය ප්‍රජාතන්ත්‍රවාදීය. එහි වැඩ කටයුතුවලට අධිකරණයට පවා මැදිහත් විය නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වශයෙන් බලතල වෙන් කර ඇති නමුත් ඒ සියල්ල හීලෑ කිරීමේ ක්‍රම සහ විධි විධායකය සතුය.

විධායකය සතු අසීමිත බලය අද ජනතාවට පහසුවෙන් තේරුම් ගත හැකි වන්නේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම බිඳ වැටී ඇති නිසාය. ආර්ථිකය යාන්තමින් හෝ නොවැටී තිබුණු කාලයේ ජනතාවට සොච්චම් සහන ලබා දී සියල්ල පාලකයන්ගේ සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන් යටතට පත් කිරීමට හැකියාව තිබිණ. එහෙත් අද රටේ ජනතාවගෙන් බහුතරයකට ජීවිතය ගැට ගසා ගැනීමට නොහැකි තත්වයක් යටතේ මැති ඇමතීන් විඳින සැප සම්පත් ජනතාව දකින්නේ මහජන දේපොළ හොරා කෑමක් සේය. එක වාර්තාවක සඳහන් වන ආකාරයට ඇමති කෙනෙකු නඩත්තු කිරීමට මසකට ඔහුගේ පඩිය ඇතුළත්ව රුපියල් දශ ලක්ෂ 14ක් වැය වන බව පෙන්වා දි ඇත. නව බදු ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව තමාට රු. 246,000ක් ආදායම් බදු ගෙවිමට සිදුව ඇති බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය. අනෙක් ඇමතීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද එවැනිම හෝ ඊටත් වඩා බදු ගෙවනවා විය හැකිය.

එහෙත් ආණ්ඩුවත් ඇමතිලාත් නඩත්තු කරන සාමාන්‍ය ජනතාවගේ තත්වය කුමක් ද?

ජන සහ සංඛ්‍යලේඛන දෙපාර්තමෙන්තුව 2022 වසරේ අග භාගයේ නිකුත් කළ වාර්තාවක් අනුව මසකට රු. 13,777 කට වඩා අඩු ආදායම් ලබන කෙනෙකු දුප්පතෙකි. මෑතක දී මහත් ඝෝෂාවක් කර හඳුන්වා දුන් අස්වැසුමෙන් දුප්පතෙකුට දුන්නේ රු.5000 කි. ගම් පළාත්වල බොහෝ දෙනෙකුට ලැබුණේ ඊටත් වඩා අඩුවෙනි. එය මාස් පතා ලැබීම ගැන සහතිකයක් ද නැත. මේ ආකාරයට මුදල් බෙදා දීමෙන් දරිද්‍රතාවය නැති කළ නොහැකි බව ජන සවිය ආරම්භ කළ 1970 ගණන්වල අග භාගයේ සිටම පෙන්නුම් කළ සත්‍යයි. කෙසේ වුවත් රු. 13,777 කින් කළ හැකි දේ රුපියල් 5000කින් කළ නොහැකි බව අවබෝධ කර ගැනීමට ගණිතඥයෙකු විය යුතු නොවේ.

ඊට අමතරව පසුගිය දා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන යටතේ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයෙන් කරන ලද සමීක්ෂණයක් අනුව අපේ රටේ පවතින්නේ බරපතළ ආහාර හිඟයකි. ඇත්තෙන්ම හිඟයට වඩා ආහාර මිලදී ගත නොහැකි තත්වයකි. එම වාර්තාව අනුව මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 55.7කට ප්‍රමාණවත් ආහාර ලබා ගත නොහැකිය. එය වාර්තාවේ සඳහන් වන්නේ බහුවිධ අවදානමක් සේය. එනම් ණයගැති භාවයෙන් පෙළීම, ආබාධයන්ට ගොදුරු වීමට ඇති ඉඩකඩ ආදී වශයෙනි. සංඛ්‍යාත්මක මෙම කාණ්ඩය දශ ලක්ෂ 12.3 කි.

ඇත්තෙන්ම මෙම සමාජ අසාධාරණත්වය පවත්වා ගත හැකි වන්නේ ජනතාවට සෘජුව වග නොකියන, වගවීමක් නැති පාලන තන්ත්‍රයක් නිසාය. මෙම පාලනතන්ත්‍රය පවතින්නේ ජනතා සුභ සාධනය සඳහා නොව පාලකයන්ගේ ආරක්ෂාව සඳහාය.

මීට කදිම නිදසුනක් සති කිපයකට පෙර අසන්නට ලැබිණ. එම ප්‍රවෘත්තිය වූයේ පසුගිය වසරේ ජුලි 9 වැනි දා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අවස්ථාවේ සාමාන්‍ය පොලිස් භටයෙකු මන්දිරයේ තිබු පියානෝවක් වාදනය කිරීම නිසා සේවයෙන් පහ කිරීමය. විරෝධතාකරුවන් මන්දිරයට කඩා වැදෙන විට එය වැළැක්වීමට කටයුතු නොකර පියානෝවක් වාදනය කිරීම රාජකාරී පැහැර හැරීමකි. වසරක් ගතවීමෙන් පසුව හෝ ‘සාධාරණය’ ඉටු වීම නීතියේ ආධිපත්‍යය යනුවෙන් සංකල්පයක් පවතින බවට නිදසුනකි. 

එහෙත් ඊට පෙර මැයි 9 වැනි දා අගමැතිගේ නිල නිවසේ සිට මුදා හැරිය දාමරික කණ්ඩායමක් ගාළු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයක යෙදි සිටි පිරිසට මැර ප්‍රහාර එල්ල කරන විට ඔවුන් සමග සිටි නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුට රාජකාරිය පැහැර හැරීමේ දඩුවමක් නොව චෝදනාවක් හෝ නැත. විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වුවත් විධිමත් පරීක්ෂණයක් හෝ කෙරෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු පොලිස්පති තනතුරට පත් කිරීමේ සූදානමක් ගැන ද වාර්තාවේ.

ප්‍රශ්නය වන්නේ ජනාධිපති මන්දිරයේ පියානෝව වාදනය කළ පොලිස් නිලධාරියා රාජකාරිය පැහැර හැරීම නිසා සේවයෙන් පහ කළ ද එවැනිම රාජකාරිය පැහැර හැරිය තවත් පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වන තෙක් නොගැනිම ය.

මෙම වෙනස තේරුම් ගැනිමට බහුශ්‍රැත භාවයක් අවශ්‍ය නැත. නියෝජ්‍ය පොලිස්පති ගාළු මුවදොර පිටියේ දී පාලකයන් පැත්තෙන් රාජකාරි පැහැර හැරීමක් කර නැත. ඔහු පාලකයාගේ නීතිය හා සාමය පවත්වා ගැනිමට හැකි අයුරින් සහාය දී ඇත.

ඒ ආකාරයටම ඔහුගේ ආරක්ෂාවට ඉදිරිපත් වූ රහස් හස්තය කෙහෙලිය රඹුක්වැල්ලගේ ආරක්ෂාවට ද ඉදිරිපත් වනු ඇත.

නටාෂා එදිරිසූරිය ගේ ප්‍රහසනය සහ මෙම ප්‍රහසනය අතර වෙනස් ඇත්තේ රඟ දැක්වෙන වේදිකාවේය.

Leave a Reply