දැනට මාසයකට ආසන්න කාලයක් ගතවන රුසියානු – යුක්‍රේන යුද්ධය ගැන එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල ආණ්ඩු මෙන් ම ජනමාධ්‍ය ද රුසියාවට එරෙහිව දැඩි ප්‍රහාරාත්මක ප්‍රචාරයක් ගෙන යයි. රුසියානු භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක සහ තහංචි, කලාව සහ සාහිත්‍ය දක්වා ද ව්‍යාප්ත කර ඇත. පසුගිය දා ලැබුණු වාර්තාවක් අනුව ලන්ඩනයේ දී සම්භාව්‍ය රුසියානු ලේඛක ඩෙස්ටොවොස්කි ගැන පැවැත්වීමට නියමිත ව තිබූ සම්මන්ත්‍රණයක් අවලංගු කර ඇත්තේ ඔහුගේ රුසියානු සම්භවය නිසා ය. මේ අනුව බටහිරින් නැගෙන්නේ යුද විරෝධයකට වඩා රුසියානු විරෝධයක් බව පැහැදිලි ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මතු වූ සීතල යුද සමයේ සෝවියට් සංගමයට එරෙහිව පැවති විරෝධය පසුව එහි අනුප්‍රාප්තිකයා වූ රුසියානු පෙඩරේෂණය දක්වා ද විහිද ඇත. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ රුසියාවේ වත්මන් ජනාධිපති කොමියුනිස්ට් වාදයත් සෝවියට් දේශපාලනයත් දැඩිව හෙළා දකින පුද්ගලයෙකු ය යන්නයි. ඔහු ද ඇමරිකානු ජනාධිපති මෙන් ම ධනවාදය නියෝජනය ජාතිවාදී නායකයෙකි.
දේශපාලන ගැටලු විසඳා ගැනීමට යුද්ධය යොදා ගැනීම දැඩිව ප්‍රතික්ෂේප කරන අපි මෙම යුද්ධය දෙස බැලිය යුත්තේ ඓතිහාසික සහ ආර්ථික කරුණු මත පිහිටා සාධාරණය සහ යුක්තිය වෙනුවෙනි. ඒ අනුව පූටින්, හිට්ලර්ට සමාන කිරීමෙන් පවතින යුද්ධය ගැන නිසි අවබෝධයක් ලබා ගත නොහැකිය.
පළමුවෙන්ම බටහිර රටවල් දිවා රෑ නොමැතිව රුසියාවට එරෙහිව ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාව වන්නේ ආක්‍රමණික හමුදා යුක්‍රේනයේ සිදු කරන යුද අපරාධ හා ඇතැම් සිද්ධි ජන ඝාතන අපරාධ වශයෙන් හැඳින්විය හැකිය යන්නයි. දැනටමත් අන්තර්ජාතික අපරාධ අධිකරණය ජනාධිපති පුටින්ට එරෙහිව යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ අරඹා ඇති බව ද වාර්තා විය.
එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලය 1950 දී නියුරෙම්බර්ග් මූලධර්ම යනුවෙන් හැඳින්වෙන ලේඛනයේ 6 (අ) මූලධර්මයෙන් යුද අපරාධ නිර්වචනය කර ඇත්තේ මෙසේය: ‘‘ආක්‍රමණික යුද්ධයක් දියත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි’’ යනුවෙනි. එක්සත් ජනපදය ඇෆ්ගනිථානය, ඉරාකය යන රටවලත් නේටෝ හමුදා සමග එක්ව පැරණි යුගොස්ලාවියාව, ලිබියාව යන රටවලත් සිදු කළ ආක්‍රමණ ද මෙම නිර්වචනය අනුව මානව වර්ගයාට එරෙහි අපරාධ සේ සැලකිය හැකිය. ඉරාක යුද්ධයේ දී එක්සත් ජනපද ගුවන් හමුදාව අමිරියා ගුවන් ප‍්‍රහාර ආරක්ෂක ස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 1500ක් එක වරම මරණයට පත්වීම ද යුද අපරාධයකි. ඇෆ්ගනිස්ථානයේ දී එක්සත් ජනපද හමුදාව ප්‍රමුඛ නේටෝ හමුදාව රෝහල්වලටත් විවාහ උත්සව වලටත් ප්‍රහාර එල්ල කළ ආකාරය බටහිර ස්වේච්ඡා සංවිධාන විසින් ම ලේඛන ගත කර ඇත. ඒ කිසිම අවස්ථාවක ඇමරිකානු හමුදාවට එරෙහිව යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා එල්ල වූයේ නැත.
අනිත් අතට රෝම ව්‍යවස්ථාව අනුව 1998 දී හේග් නගරයේ පිහිටුවන ලද අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අධිකරණ බලය එක්සත් ජනපදය පිළිගන්නේ නැත. රෝම ව්‍යවස්ථාවට අත්සන් තැබීම ද එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජනපදයේ හමුදා භටයෙකු සම්බන්ධ කිසියම් හෝ ආකාරයක නඩු විභාගයක් පැවැත්විය හැක්කේ එක්සත් ජනපදය තුළ පමණි යන නීතියක් පවතින බව ද සිහිපත් කළ යුතුය. මෙවැනි පසුබිමක් යටතේ රුසියාවට එරෙහිව යුද අපරාධ නඩු පැවැත්වීමට සූදානම් වන්නේ යුක්තිය හෝ සාධාරණය ඉටු කිරීමට වඩා දේශපාලන අරමුණු ප්‍රමුඛ කර ගෙන බව පැහැදිලිය.
තම දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට සන්නද්ධ බලය යොදා ගැනීමේ දී එක්සත් ජනපදය කිසිම ජාත්‍යන්තර නීතියකින් හෝ ගිවිසුමකින් බැඳී සිටින්නේ නැත. වියට්නාම් යුද්ධයේ දී නාපාම් වායුව යුද අවියක් වශයෙන් යොදා ගත්තේ ජාත්‍යන්තර නීති රීති කිසිත් නොසලකාය. ඉන් ජීවිත හානි සහ පරිසර හානි සිදු වූයේ වියට්නාම් වැසියන්ට පමණක් නොවේ. මෙම ප්‍රහාර එල්ල කළ ඇමරිකානු භටයෝ පවා ඉන් ජීවිතාන්තය දක්වාම රෝගි වූහ. රසායනික අවි නිෂ්පාදනය සහ පාවිච්චි කිරීම තහනම් කරන ජාත්‍යයන්තර ගිවිසුමක් ඇති කර ගැනීමට මෙම රාජ්‍ය සූදානමක් නැත. එමනිසා යුක්‍රේනයේ සිදු වන ජීවිත සහ දේපොළ හානි පිළිබඳ ව මෙම රටවල් හෙළන්නේ කිඹුල් කඳුළු බව විශේෂයෙන් සඳහන් කළ යුතු නැත.
සිය අරමුණු සපුරා ගැනීමට නිර්දය ලෙස හමුදා බලය යොදා ගැනීම ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් මෙන්ම ජනමතය හසුරුවන්නන් අනුමත කළ ක්‍රියා පිළිවෙතකි. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා යුගොස්ලාවියාව ආක්‍රමණය කළ අවස්ථාවේ දී එක්සත් ජනපදයේ ප්‍රමුඛ විචාරකයෙකු වන මයිකල් ප‍්‍රීඩ්මාන් බෙල්ග්‍රෙඩ් නගරයට ප්‍රහාර එල්ල කරන විට ඇමරිකාව සතු බලයේ සෑම අවුන්සයක් ම උපරිම ආකාරයෙන් යොදා ගත යුතු යැයි උපදෙස් දුන්නේය. ඔවුන්ට අවශ්‍ය වූයේ තම හමුදාවට අවම හානියක් වන ආකාරයට උපරිම බලය යොදා බෙල්ග්‍රෙඩ් නගරය කඩිනමින් විනාශ කිරීම ය. මෙම තර්කය සිහිපත් කරන සමහර විචාරකයන් පෙන්වා දෙන ආකාරයට රුසියාවට යුද්ධය ආරම්භ කළ පළමු දිනයේ ම කීෆ් සහ කාර්කීෆ් නගර දෙකම විනාශ කිරීමට හැකියාව තිබිණ. බටහිර ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට කීෆ් නගරයේ රැදවුම් මධ්‍යස්ථානයකට රුසියානු මිසයිල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් මිය ගොස් ඇත්තේ පස් දෙනකු පමණි.
සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව සීතල යුද්ධය අවසන්ව ලෝකය වඩාත් සාමකාමී වනු ඇතැයි බොහෝ දෙනකු තුළ බලාපොරොත්තුවක් තිබුණ ද ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයන් එය දුටුවේ තම ආර්ථික සහ යුද සැලසුම් තවත් ව්‍යාප්ත කිරීමේ අවස්ථාවක් සේය. නේටෝව අඟලක් හෝ නැගෙනහිරට ව්‍යාප්ත නොකරන බවට රුසියානු නායක ගොර්බචොප් ට ලබා දුන් පොරොන්දුව සම්පුර්ණයෙන් ම බැහැර කොට කලින් වෝර්සෝ යුද සංවිධානයට අයත්ව තිබු රටවල් 14ක්ම නේටෝවට ඇතුළත්කර ගෙන ඇත. එම වැඩ පිළිවෙළේ වැදගත්ම ඉලක්කය යුක්‍රේනනයයි.
යුක්‍රේනයේ ජනහනය අඩු බටහිර කොටසේ රුසියානු විරෝධය දෙවන ලෝක යුද සමයේ සිටම දක්නට ලැබුණ ප‍්‍රවනතාවයකි. නාසි ජර්මනිය සෝවියට් සංගමය ආක්‍රමණය කොට යුක්‍රේනය අත්පත් කර ගත් පසු එහි යුදෙව් ජනතාව ඝාතනය කිරීමට ඉදිරිපත් වූයේ සෝවියට් විරෝධී නාසිවාදී කණ්ඩායම් ය. එහි නායකයන් වූ ස්ටීවන් බන්ඩේරා වැනි අය දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව ද යුක්‍රේනය තුළ නාසි මතවාදය පැතිරවීමටත් සන්නද්ධ කණ්ඩායම් සංවිධානය කිරීමටත් උත්සාහ ගත්හ. එම ව්‍යාපාරය තුළ පැවති සෝවියට් විරෝධය නිසා ඔවුන්ට සියලු පහසුකම් සැපයීමත් රැකවරණය ලබා දීමත් ඇමරිකානු ප‍්‍රතිපත්තියේ පදනම් විය. ඇමරිකානු ඔත්තු සේවය වන සීඅයිඒ බටහිර යුරෝපයේත් යුක්‍රේනය තුළත් ක්‍රියාත්මක විය. එහි උච්චතම අවස්ථාව 2014 මයිඩාන් යනුවෙන් හැඳින්වෙන ආණ්ඩු විරෝධී කැරැල්ලයි. ඊට පෙර වසරේ පැවති මහා මැතිවරණයකින් ජයගත් වික්ටර් යනුකොවිච්ගේ පාලනය පෙරළා දමා නේටෝවට හිතවත් පාලනයක් ඇති කිරීම එහි අරමුණ විය.
යුක්‍රේනයේ රුසියානු සම්භවයක් ඇති ජන කොටස්වල සහ අනෙකුත් සුළු ජන කොටස්වල සහාය ලත් ඔහු යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කර රුසියාව සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට සූදානම් වූයේය. එය වැළැක්වීම නව නාසිවාදීන් ඇතුළු රුසියානු විරෝධීන්ගේ අරමුණ විය. මයිඩාන් විරෝධතා ව්‍යාපාරයට එවකට එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියක වූ වික්ටෝරියා නුලන්ඩ් සෘජුවම සම්බන්ධ වූවාය. එම විරෝධතා ව්‍යාපාරයට එක්සත් ජනපදය ඩොලර් බිලියන පහකට වැඩි මුදලක් ලබා දුන් බව ඇය ප්‍රසිද්ධියේ ම පිළිගත්තා ය. දැනටත් යුක්‍රේනයට අවි ආයුධ සහ ආර්ථික ආධාර ප‍්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ එක්සත් ජනපදයෙනි. එය ඔවුන් හඳුන්වන්නේ ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’‘ ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් සේය.
යුද්ධයේ ආක්‍රමණිකයා කවුද සහ යුද අපරාධ සිදු කර ඇත්තේ කවුද යන්න නිශ්චය කර ගැනීමට වඩා සටන් වැද සිටින රටවල් දෙකටමත් සෙසු ලෝකයටත්, විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවලටත් ආර්ථික වශයෙන් මහත් බලපෑමක් වන මෙම යුද්ධයේ නිමාවක් දකින්නේ කෙසේ ද යන්න ඉතා වැදගත් ය. මෙහිදී ලොව ප‍්‍රබලයැයි හැඳින්වෙන් රටවල් කිසිවක් රුසියානු ආක්‍රමණිකයා පරාජය කිරීම හැර සාමය ඇති කර ගැනීමට උනන්දුවක් නොදක්වන බවද පැහැදිලිය. ඔවුන්ට අවශ්‍ය වන්නේ රුසියාව දුර්වල කොට විනාශ කිරීම ය. ඒ සඳහා ගතහැකි සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් සූදානම් ය. යුක්‍රේනය නේටෝ යුද හවුලට නොබැඳී ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පැවතිය යුතුයැයි රුසියාවෙන් කරන ඉල්ලීම සලකා බැලීමට හෝ ඔවුන් සූදානම් නැත.
යුක්‍රෙනයේ බෙදීයෑමේ ප‍්‍රවනතා ඉස්මතු වූ 2014 සිට ම රුසියාවේ ඉල්ලීම වූයේ නොටෝ යුද හවුලට යුක්‍රේනය ඇතුළත් කර නොගත යුතුය යන්නයි. 2014 දී යනුකොවිච් ගේ රජය අකර්මණ්‍ය කොට ඔහුට රටින් පිටව යෑමට සැලැස්වීමත් සමග රුසියානු ජාතිකයන් බහුතරයක් වෙසෙන ඩොනෙට්ස් සහ ලූහාන්ස් ප‍්‍රදේශ ස්වයං පාලනයක් ප්‍රකාශයට පත් කළද රුසියාව මෙම වසර වන තෙක් එම ස්වාධීනත්වය පිළිගත්තේ නැත්තේ සාමය ඇති කිරීමේ දී එවැනි බෙදීම් නුසුදුසු නිසාය.
ඇත්තෙන්ම යුක්‍රේනයේ ගැටලූවට හොඳම විසඳුම වන්නේ 2014 සැප්තැම්බර් මස යුක්‍රේනය, රුසියාව සහ යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගිතාවය සඳහා වූ සංවිධානය ( OSCE ) අතර ප‍්‍රංශය සහ ජර්මන්යේ සෘජු මැදිහත්වීම ඇතිව අත්සන් කළ මින්ස්ක් ගිවිසුමයි. ඒ අනුව යුක්‍රේනයේ නොබැඳි තත්වය හා අඛණ්ඩත්වය රැකෙන අතර රුසියානු බස කතා කරන ජන කොටස්වල ආරක්ෂාව ද තහවුරු කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට අවකාශය තිබිණ. එහෙත් එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අවංක කැපවීමක් යුක්‍රේන නායකත්වය තුළ තිබුණේ නැත. එක්සත් ජනපදය ද තම දීර්ඝ කාලීන යුද සැලසුම් පදනම් කොට මින්ස්ක් ගිවිසුම සාර්ථක වනු දැකීමට කැමති වූයේ නැත. ඒ වෙනුවට යුක්‍රේනයේ යුද සූදානම උත්සන්න කෙරිණ. ප‍්‍රතිඵලය යුද්ධයයි.
පුදුමයට කරුණ වන්නේ යුද්ධයේ හානිකර පැත්ත ඉස්මතු කරන අය සාමය ගැන කතා නොකිරීමයි.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024