වෙසක් දිනය නිමිත්තෙන් සමාව ලබා දුන් සිරකරුවන්ගේ ලැයිස්තුවට පසුගිය මාර්තු 28 වැනි දා වසර හතරකට සිර දඩුවම නියම වූ ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් ගේ නම ඇතුළත්ව තිබුණේ නැත. තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, වරකාගොඩ ශ්‍රී ඤාණසාර, කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති මකුලෑවේ ශ්‍රී විමල යන නා හිමිවරුන් සහ ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ගලබොඩ අත්තේ හිමි ට සමාව ලබා දෙන්නැයි කළ ඉල්ලිම කුමන හේතුවක් නිසා හෝ බලධාරීන් සැලකිල්ලට ගෙන නැත.
සිරකරුවන්ට සමාව දීම බලධාරීන්ගේ කැමැත්ත අනුව සිදු වන්නකි. සමහර බලධාරීන් සම්මත නීති රීති නොසලකා සමාව ප්රදානය කර ඇති අවස්ථා ද තිබිණ. එවැනි අවස්ථාවල අධිකරණය මගින් නැවතත් සමාව අහොසි කර අදාල පුද්ගලයා නැවතත් සිර භාරයට පත් කළ අවස්ථාද පවතී. මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වා ට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් සමාව ද අධිකරණයෙන් නිෂ්ප්‍රභ විය.
මෙවැනි සමාව ලබා දීම් සාමාන්‍ය දෙයක් වුවද ඉන් වඩාත් කැපී පෙනෙන්නේ පසුගිය එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේ ස්ත්‍රී දූෂණය නිසා සිරගතව සිටි ගෝනවල සුනිල් නමැත්තාට ලබා දුන් සමාවයි. ඔහුට සමාව ලැබීමට සුදුසුකම වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආධාරකරුවෙකු වීම බව එවකට පැවති කතාවකි.
කෙසේ වුවත් බුදුන් වහන්සේ ගේ ධර්මය පිළිපැදිමටත් ඒ අනුව ජීවත්වීමටත් කැප වී සිටින භික්ෂුවක් අපරාධ චෝදනාවක් යටතේ සිරගත කිරීම දුලබ සිද්ධියකි. හිටපු අගමැති බණ්ඩාරණායක මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් දෙදෙනෙකුටම මරණ දඩුවම නියමවීම ද විරල කාරනයකි. ඒ අනුව ගලබොඩ අත්තේ හිමිට සිර දඩුවම් නියමවීම ද සුව්ශේෂී සිද්ධියක් ලෙස සැලකිය හැකිය.
මහ නාහිමිවරුන් පවසන ආකාරයට මෙම ස්ථවිරයන් පසුගිය කාලවකවානුව තුළ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ අවදි කරමින් කටයුතු කළ අතරම සමාජය තුළ පැවති ඇතැම් අන්තවාදි ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ ද දැනුවත් කරමින් කටයුතු කර ඇත. එයින් ලාංකේය සමාජය තුළ ව්‍යාප්තවීමට ගිය ඇතැම් අන්තවාදී බලවේග වැළැක්වීමට රාජ්‍ය ආරක්ෂක අංශ වෙත සහයෝගය ලැබුණු බවද නොරහසකි. ගලබොඩ අත්තේ ඤාණසාර හිමියන්ගේ එම ක්‍රියා කලාපය සමාජයේ බොහෝ දෙනකුගේ ප්‍රසාදයට ලක් වූ අතරම රට තුළ ජාතීන් අතර ඇතිවීමට ගිය දැවැන්ත ගැටුම් වළක්වා ගැනීමට ද හේතු වූ බව නොරහසකි.’
ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ගලබොඩ හිමි ට සමාව ලබා දෙන්නැයි කළ ආයාචනයේ සඳහන් වන ආකාරයට ආණ්ඩුවේ සමහර ප්රජාතන්ත්රවාදී ආයතන තුළ ඔහුගේ ක්‍රියා කලාපය ගැන වැරදි අර්ථ කතනයක් සහ සාවද්‍ය දැනුවත් වීමක් පවතී. සමාව ලබා දිය යුත්තේ එම නිසා ය.
ලංකාවේ හින්දු ආගම වැඩියෙන්ම අදහන්නේ දෙමළ ජාතිකයන් නිසා ගලබොඩ අත්තේ හිමි ගැන මෙවැනි ප්‍රකාශයක් කිරීම තේරුම් ගත හැකිය. එල්ටීටීඊ යුද්ධය අවසන් වීමෙන් පසු දේශපාලන කරලියට පැමිණ ගලබොඩ අත්තේ හිමි සිංහල බෞද්ධයන්ට තර්ජනයක්ව පවතින්නේ මුස්ලිම් ආගමිකයන් බව දේශනා කිරීම ඔහුගේ දේශනා තමන්ට තර්ජනයක් නොවන බව හින්දු සම්මේලනය තමන්ට තේරුම් ගන්නට ඇත. අධිකරණ නියෝගය ගැන සඳහන් නොකොට ප්රජාතන්ත්රවාදී ආයතන ගැන සඳහන් කරන්නේ අධිකරණය හෑල්ලුවට ලක් නොකිරීමට විය හැකිය.
කෙසේ වුවත් ගලබොඩ අත්තේ හිමි ඇතැම් අන්තවාදි ක්‍රියාකාරකම් පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කරමින් ඇතැම් අන්තවාදි බලවේග වැළැක්වීමට ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දුන්නේයැයි පැවසීම අප දන්නා යථාර්ථය සමග ගැලපෙන්නේ නැත. නීතිය කඩ කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති ගලබොඩ අත්තේ හිමි වඩාත් ප්‍රකට වූයේ මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගත් අන්ත ජාතිවාදී ප්රචාරක කටයුතු සහ තර්ජන නිසාය. පසුගිය දශකයක පමණ කාලය තුළ මෙරට ජාතික සමගියට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට මුස්ලිම් ආගමිකයන් ඉලක්ක කර ගනිමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා සියල්ලට ඔහු වගකිව යුතු නොවන නමුත් ඔහුගේ ක්‍රියා කලාපය සහ විශේෂයෙන්ම ඔහුගේ නායකත්වයෙන් යුත් බොදු බල සේනා සංවිධානය එවැනි දේට ආධාර අනුබල දුන් බව ද නොරහසකි.
ගලබොඩ අත්තේ හිමි නායකත්වය දුන් එක සිද්ධියක් ගැන සඳහන් කිරීම ඔහු ජාතික ආරක්ෂාවට ලබා දුන් සහාය තේරුම් ගැනිමට ප්‍රමාණවත් ය. 2014 පොසොන් දිනය ආසන්න දිනයක ඔහු අලුත්ගම නගරයේ පැවති රැස්වීමක දී මුස්ලිම් ජනාවට පමණක් නොව ආරත්ෂක අංශවලට ද අනතුරු හඟවමින් ප්රකෝපකාරී දේශනයක් පැවැත් වූයේය. ඒ දිනවල පුවත්පත් වල පළ වූ ආකාරයට ඔහු දේශනා කෙළේ මෙසේය.
‘මේ රටේ තියෙන්නේ සිංහල පොලිසියක්. මේ රටේ තියෙන්නේ සිංහල හමුදාවක්. එක සිංහලයෙකුට විරුද්ධව ඇඟිල්ලක්වත් ඉස්සුවොත් ඒ එක්කොගේම අවසානය. මහින්ද මහත්තයා දැන ගන්න ඕන සුළු ජාතීන් (දෙමළ ජාතිය ද ඇතුළත්ව) සිංහලයින් යටකර ගෙන ඉන්න විත්තිය. ජාතිය වෙනුවෙන් කතා කරල මට ජාතිවාදියා කියාවි. ඒකට කමක් නැහැ.’
මෙම දේශනාවෙන් පසුව ඇති වූයේ ‘මාර’ යුද්ධයකි. අලුත්ගම, දර්ගා නගරය සහ අවට ගම්වල මුස්ලිම් ආගමිකයන් ගේ දේපොළ, කඩ සාප්පු මැර පිරිසකගේ ප්‍රහාරවලට ලක් විය. ඒ සිදුවීම් නිසා මරණ තුනක් සහ පුද්ගලයන් 88ක් තුවාල ලැබූහ. විනාශ කළ නිවාස සංඛ්‍යාව 800 කි. කඩ සාප්පු 41ක් ගිනිබත් විය. මෙම ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පුද්ගලයන් 13ක් පොලිසියෙන් අත් අඩංගුවට ගත් නමුත් ඔවුන් නිදහස් නොකරන්නේ නම් තමා ගිනි තබා ගන්නවායැයි ගලබොඩ අත්තේ හිමි කළ තර්ජනය නිසා ඔවුන් සියලු දෙනා නිදහස් කෙරිණ. වැදගත්ම කාරණය වන්නේ මෙම ප්රචණ්ඩ ක්‍රියා සහ මිනී මැරීම් වෙනුවෙන් කිසිවෙකුට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ග නොගැනීම ය. පොලීසිය බොහෝ විට කරන ආකාරයට ප්‍රකෝප කිරීම හා ආගම් අතර වෛරය ඇති කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අයිසීසීපීආර් පනත යටතේ හෝ නඩු පැවරීමක් සිදු වූයේ නැත. ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් යට ගොසිනි.
ගලබොඩ අත්තේ හිමි ආරක්ෂක අංශවල සහායට ප්‍රසිද්ධියේ ඉදිරිපත් වූ එක අවස්ථාවක් වන්නේ ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ අධිකරණයේ නඩුවක් ගොනු කළ විටය. මේ අවස්ථාවේ චූදිත ආරක්ෂක අංශවල සහාය දැක්වීමට උසාවියට පැමිණි ඔහු සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනයක් වන ආකාරයෙන් උසාවියේ දීම හැසිරුණේය. පසුව ඔහුට විරුද්ධව උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක් පැවරූ අතර ඉන් වැරදිකරු වී සිරගත වූ විට ද ජනාධිපති සමාවක් ලැබිණ. මෙවර ද මහ නාහිමිවරුන්ගේ සහ හින්දු සම්මේලනයේ ඉල්ලීම අනුව ඔහුට ජනාධිපති සමාව ලැබිය යුතු වුවද කිසියම් හේතුවක් නිසා එසේ වූයේ නැත.
මහ නාහිමිවරුන් කුමක් පැවසුවත් ගලබොඩ අත්තේ හිමි ගේ ජාතික ආගමික මෙහෙවර ගැන මේ රටේ බෞද්ධයන් ඇතුළත් සියලු ජන කොටස් තුළ නිවැරදි අවබෝධයක් පවතින බවට සැකයක් නැත. පසුගිය මහා මැතිවරණයේ දී සිංහල බෞද්ධයන් ආරක්ෂා කිරීම සඳහා ජනවරමක් ඉල්ලා සිටි ඔහු ගේ පක්ෂයට පාර්ලිමේන්තු නියොජනයක් ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් යාන්තමිනි. සමහර ආගමික නායකයන් කුමක් පැවසුවත් මේ රටේ බහුතරය ආගමික හෝ වෙනත් දේශපාලනික අන්තවාදයට නැඹුරු වන්නේ නැති බව ද නොරහසකි. එවැනි ආගමික නායකයන්ට තේරුම් ගත නොහැකි වුවත් ගලබොඩ අත්තේ හිමි සහ එවැනි අනෙකුත් ආගමික නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් රටේ සාමය සහ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැති බව පැහැදිලි ය. කුමන ස්වරූපයෙන් මතු වුවත් අන්තවාදය රටටත් ජාතියටත් හානිකරය. එවැනි ප්රවනතාවලට විරුද්ධවීම සහ මතවාදී ස්ථාවරයක් ගැනීම සැබෑ ජාතිප්රේමයයි.
වැරදිකරුවන්ට සමාට ලබා දීම බුදුන් වහන්සේ ද ඉගැන්වූ ශ්‍රේෂඨ ගුණ ධර්මයකි. උන්වහන්සේ වෛරයෙන් වෛරය නොසංසිඳේ යනුවෙන් දේශනා කෙළේය. වැරැද්දක් නිවැරදි කිරීමේ එකම මාර්ගය කළ වැරැද්ද පිළිගැනීම සහ ඉන් හානියට පත් අයගෙන් සමාව යැදීමය. ගලබොඩ අත්තේ හිමි නැවත නැවතත් කළ වැරදි පිළිගත් බවක් හෝ ඒ ගැන සමාව යැදීමක් කළ බව නොපෙනේ. සමාව යැදීමට වඩා මහ නාහිමිවරුන්ගේ ආයාචනයෙන් පෙනෙන්නේ එම වැරදිවලට ජාතික ආරක්ෂාව නාමයෙන් සුදු හුණු ගෑම ය. එය භයානක ආදර්ශයකි.
අද බලයේ සිටින අය ජාතික ආරක්ෂාව තමන්ගේ දේශපාලන වුවමනාව අනුව අර්ථ ගැන්වීම නීතියේ ආධිපත්‍යයට මෙන්ම රටේ සාමයට සහ ස්ථාවරත්වයට බරපතළ හානියකි. බලයේ සිටින අයගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව සේ අර්ථ ගැන්වීම බෞද්ධයන් ඇතුළු කිසිම ආගමික කොටසක ගේ යහපතට හේතු නොවේ. එය පැසිස්ට්වාදයට මං පෙත් හෙළි කිරීමකි. එමනිසා තිරණාත්මක වන්නේ කිසියම් ආගමක් අදහන අයගේ ඕනෑ එපාකම්වලට වඩා රටේ පිළිගත් නීතිය සාධාරණව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක් වන්නේ ද යන්නයි.
ගලබොඩ අත්තේ හිමිට හෝ වෙනත් ඕනෑම කෙනෙකුට ජනාධිපති සමාව ලබා දීමේ දී පාලකයන් හා ආගමික නායකයන් මෙන්ම ජනතාව ද මෙම කරුණු සැලකිල්ලට ගැනීම වැදගත් ය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024