You are currently viewing මහජන කවුන්සිලවලට සමගාමීව ආණ්ඩුවෙන් ‘ජන සභා’ ක්‍රියාන්විතයක්..

මහජන කවුන්සිලවලට සමගාමීව ආණ්ඩුවෙන් ‘ජන සභා’ ක්‍රියාන්විතයක්..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට මහජන කවුන්සිල නිර්මාණය වෙමින් පවතී. ඊට අමතරව වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වෘත්තීය සභා ද ගොඩනැගී ඇත.’රත්මලාන වෘත්තීය සභාව’ එවැන්නකි. තවත් මහජන කවුන්සල හා මෙවැනි කම්කරු සභා ගොඩනැගීමේ මූලික සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් තිබේ.

මීට අමතරව නව ව්‍යවස්ථාවක්, යුක්ති ගරුක අර්ථ ක්‍රමයක් වෙනුවෙන් ‘ආර්ථික යුක්ති කවුන්සිල හා මහජන ව්‍යවස්ථා කවුන්සිල’ ගොඩනැගීමට අවශ්‍ය ජනතා අදහස් ලබාගැනීමේ වැඩ සටහන්ද ඇතැම් ප්‍රදේශවල දියත් වෙමින්  පවතී. පොදුජන අවශ්‍යතා සඳහාත් පීඩාකාරිත්වයට එරෙහි වූ සංවිධානාත්මක පැනනැගීම් හැටියටත් මෙම ව්‍යූහයන් හඳුනාගත හැක.

යම් මූලික මග පෙන්වීමක් නියාමනයක් තිබුණද, මහජන කවුන්සිල සහ ඒ හා සමාන සංවිධාන බිහිවීමට අවශ්‍ය තරම් කාරණා මෙරට සමාජ ආර්ථිකයේ විහිදී ඇති අන්දම පැහැදිලිය. මෙම මතුවීම් පොදුජන ක්ෂේත්‍රයේ ස්වභාවික ක්‍රියාකාරිත්වයන් හා අවශ්‍යතාවයන් සමග බද්ධ වී ඇත. මෙම ජනතා සංවිධාන යටපත් කිරීමේ බියගුළු ක්‍රියාන්විතයන් රජය විසින් දියත් කරනු ලැබුවද, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල්කර ගැනීමේ එකඟතාවක් මෙම සංවිධාන තුළ පවතින බව බැහැර කළ නොහැක.

මේ අතර සියළුම ග්‍රාම සේවක වසම් ආවරණය වන පරිදි ‘ජන සභා’ පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා තීරණය කර ඇත.මීට අදාල පනත් කෙටුම්පත දැනටමත් සකස්කර ඇති අතර මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ ජන සභා කාර්යාල ගම් මට්ටමින් පිහිටුවීමට සැලසුම් කර ඇත. ජන සභාවල අධීක්ෂණයට ‘ජන සභා කොමිසමක්‘ද සම්බන්ධීකරණ කටයුතු, පත්කරනු ලබන ලේකම්වර යෙකු විසින් ද සිදු කිරීමට නියමිතය. මෙම කාර්යය  සඳහා මූලික කටයුතු සිදුකරමින් පවතින අතර මෙහි වගකීම හිටපු කතානායක කරු ජයසූරිය වෙත පැවරී ඇති බවද මාධ්‍ය කියයි.

මෙම ක්‍රියාන්විත සඳහා කිසිදු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හෝ මැතිවරණ අපේක්ෂකයෙකු පත් නොකරන බව කියැවේ.එසේ වුවද මෙම සමස්ථයේ නිර්දේශපාලනීකරණයක් තිබේද යන්න කිව නොහැක. මෙවැනි ව්‍යාපෘති කඩිනමින් බලගැන්වීම තුල දැනට පවතින මහජන කවුන්සිල දියකරහැරීමේ යටි අදහසක් ඇතැයි යන්න සමාජයේ විමසිල්ලට ලක්වෙමින් තිබේ.

Leave a Reply