You are currently viewing බිලියන 11කින් පරණ වයින් අලුත් බෝතලයකට දැමීම..

බිලියන 11කින් පරණ වයින් අලුත් බෝතලයකට දැමීම..

ජනවරම අහිමි කර ගත් පාර්ලිමේන්තුවට අලුතින් නියෝජිතයන් තෝරා ගැනීමට මහා මැතිවරණයක් නොවැම්බර් 14 පැවැත්වීමට නියමිතය. නමවැනි විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම සාමකාමී ව අවසන් කිරීමට හැකිවීම ලාංකික පුරවැසියන්ගේම ජයග්‍රහණයකි. ඡන්ද විමසීමට ආසන්නව තිබිය දී රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගොවි ණය කපා හැරීම වැනි මැතිවරණ නීති රීතිවලට නොගැළපෙන ඡන්දදායකයන් දිනා ගැනීමේ උත්සාහයන් තිබුණ ද ඒවා අවසාන ප්‍රතිපලය කෙරේ දැඩි බලපෑමක් කළ බවක් නොපෙනේ. ඡන්ද විමසීම නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් පැමිණි නියෝජිතයන් ද සම්පූර්ණ ක්‍රියාදාමය නිදහස්ව සාධාරණව පැවැත් වූ බවටත් ජාත්‍යන්තර නීතිවලට අනුකූල බවටත් සහතිකයක් ද ලබා දුන්හ.

ඔවුන් ගේ නිරීක්ෂණය අගය කළ යුතු වුවත් මෙම නිරීක්ෂකයන් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් අගය කරන අය ද යන්නත් විමසිය යුතු වැදගත් කරුණකි. යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය අනෙකුත් බටහිර රටවල් මෙන් මානව අයිතිවාසිකම් සහ අන්තර්ජාතික නීතිය ගැන පළ කරන අදහස් ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලට පමණක් සීමා කරන උතුම් සංකල්පයන් ය. යුක්‍රේනයේ යුද්ධය ගැන දැඩි ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන මෙම රටවල් එම ප්‍රශ්නය අවි බලයෙන්ම විසඳා ගැනීම ට අවශ්‍ය පියවර සියල්ල ගැනීමට සූදානම් ය. ඒ වෙනුවෙන් සමස්ත ලෝකයම විනාශයට පත්කරවන න්‍යෂ්ටික යුද්ධයක් පවා සාධාරණය කරති.

ගාසා තීරයේ යුද්ධයට මැදිවී ලේ වලින් වන්දි ගෙවන දරුවන්..

එමෙන්ම ඊශ්‍රායෙලය පලස්තීනයේ කරන ජන ඝාතනය ද මෙම රටවල් නිහඬව අනුමත කරති. පලස්තීනයේ සිදු කරන මිලෙච්ඡ ප්‍රහාරවලට විරෝධය දක්වන එම රටවල වැසියන්ට එරෙහිය මර්ධය යොදවති. පලස්තීනයේ ජනතාවට සහාය දක්වන ආයතනවලට සම්බාධක පැනවීම ද තුන්වැනි ලෝකයේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන මෙම දේශපාලකයන්ට ලැජ්ජාවට කරුණක් නොවේ. ඒ වෙනුවට ජනඝාතකයන්ට අවශ්‍ය අවි ආයුධ සහ බෝම්බ පහසු මිලට ලබා දීම ද එම රටවල් “මානව අයිතිවාසිකම්” රැක ගැනීමට ගන්නා උත්සායකි.

මෙවැනි දේශපාලකයන් අපේ රටේ ඡන්ද විමසීම නිරීක්ෂණයට සුදුසුවන්නේ කුමන නිර්ණායකය අනුව ද යන්න මැතිවරණ කොමිසම ජනතාවට පැහැදිලි කළ යුතුය. මැතිවරණ ක්‍රියාවලිය නිරීක්ෂණය නොකළ යුතුයැයි මින් අදහස් වන්නේ නැත. කළ යුත්තේ ඇත්තෙන්ම ඒ සඳහා සුජාත භාවයක් අත්කර ගත් පුද්ගලයන් හා ආයතන යොදවා ගැනීමය. එවැනි අය සොයා ගැනීමට නොහැකිනම් මහජන මුදල් අපතේ යැවීම නතර කිරීම වඩාත් සුදුසුය. ඒ නිරීක්ෂණය සඳහා යොදවන මුදල් ද මැතිවරණ වියදමක් වන නිසාය.

කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම හැර වෙනත් විකල්පයක් නැති නිසා එහි ඇති අඩුපාඩු සහ දුර්වලකම් ගැන මහජන අවධානය යොමු කිරීම වැදගත්ය. එය දේශීය හෝ විදේශීය නිරීක්ෂකයන් යොදවා ගැනීමෙන් සම්පූර්ණ වන්නේ නැත. වඩාත් වැදගත් වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම රහසිගත වුවද මැතිවරණ ක්‍රියාවලිය විවෘත හා පාරදෘශ්‍ය වීමය.

මෙම වැය කරන මුදල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වා ගැනිම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදමක්යැයි තර්ක කළ හැකිය. එහෙත් එම වියදම් සාධාරණීය කළ හැකි වන්නේ මෙසේ තෝරා ගන්නා නියෝජිතයන් මහජන දේපොළ ආරක්ෂා කිරීමට සහ රටේ අභිවෘද්ධියට ඇප කැපවීමෙන් වැඩ කරන්නේනම් පමණි. නිදහසින් පසු ගත වූ වසර හැත්තෑහයක කාල සීමාව සැලකිල්ලට ගන්නේනම් මහජන නියෝජිතයන්ගේ සේවයේ ශුද්ධ ප්‍රතිපලය වන්නේ රට බංකොළොත් වීමය.

එසේ වූයේ මහජන නියෝජිතයන්ගේ අකාර්යක්ෂමතාවට අමතරව දිනෙන් දින වර්ධනය වු වංචාව, හොරකම සහ දූෂණයයි. රජයේ ආදායම විවිධ උපායමාර්ගවලින් සොරාකෑම නිසා රජය පවත්වා ගැනීම ට දේශීය හා විදේශීය වශයෙන් ණය ගන්නා ලදී. 2021 වසර වන විට ණය පොලි ගෙවීමට පමණක් රජයේ ආදායමෙන් සියයට 77ක් වෙන් කිරීමට සිදු විය. 2024 වසරේ අයවැය ප්‍රතිපාදනවලින් සියයට 37.7ක්ම වෙන් කෙළේ පොලී ගෙවීම සඳහාය. මෙම ව්‍යසනයට වගකිව යුත්තේ කවුද? ගාලු මුවදොර අරගලකරුවන් 225ම එපා කීවේ මෙය දේශපාලකයන්ගේ වැරැද්දක් නිසා ය.

රටේ පුරවැසියන් ඇසිය යුතු මූලික ප්‍රශ්නය අලුතින් 225ක් තෝරා පත් කර ගැනීමෙන් මෙම ව්‍යසනයෙන් ගොඩ ඒමට හැකි වන්නේ ද යන්නයි. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉදිරියේ පැවැත්වෙන ඡන්ද විමසීමට ඉදිරිපත් විය හැකි නිසා නව පාර්ලිමේන්තුව ද පරණ වයින් දමන අලුත් බෝතලයක් වනු වැළැක්විය නොහැකි ය.

නව පාලන ක්‍රමයක් ගැන ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දී තබා ගත් විශ්වාසය සහ බලාපොරොත්තුව සාක්ෂාත් කර ගැනිමට නම් නව පාර්ලිමේන්තුවට තේරී පත් වන නියොජිතයන් ද පැරණි අයගෙන් සහ එම ක්‍රමයෙන් සම්පුර්ණයෙන්ම වෙනස් විය යුතුය. එවැනි වෙනස්වීමක් ඡන්දදායකයන්ගේ හිසේ අත ගසා කරන දිව්රුමකින් සම්පූර්ණ වන්නේ නැත. කවර ආකාරයෙන් හෝ පාර්ලිමේන්තුවට රිංගා ගන්නා “මහජන නියෝජිතයන්ගේ” ඒකායන බලාපොරොත්තුව මැතිවරණයට වියදම් කළ මුදල සහ අනාගත ඡන්ද වැඩවලට මෙන්ම තමන්ගේත් තම සහචරයන්ගේත් නඩත්තුවට සරිලන මුදලක් හැකි ඉක්මණින් සොයා ගැනීම ය. මෙතෙක් පැවති පාලනයන් ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට අවස්ථා සලසා තිබිණ. මෙය පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට පමණක් නොව පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වූ ‘වැඩ පිළිවෙළකි’

නව පාලන ක්‍රමයකට මුල පිරීමට නම් මෙම ක්‍රමය වෙනස් විය යුතුය. ඒ සඳහා ගත යුතු එකම පියවර විය යුත්තේ මහජන නියෝජිතයෙකු වීම නිසා දැනට ලබන වරප්‍රසාද සියල්ල ඉවත් කිරීම ය. මහජන නියෝජිතයන්ට හිමි විය යුත්තේ ඔවුන්ගෙන් වන සේවයට සරිලන අවම දීමනාවකි. විශ්‍රාම වැටුප් ගෙවීමේ අවශ්‍යතාවයක් නැත. එවැනි තත්වයක් යටතේ මහජන නියෝජිතත්වය ධන උල්පතක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් දේශපාලන පොරපිටියට පිවිසීම නතර වනු ඇත. එම පියවර ඉදිරි මැතිවරණයට නාම යෝජනා භාර දෙන සියලුම දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ගන්නේ නම් එය ජනතාවට ලබා දෙන සහතිකයකි.

මෙවැනි තත්වයක් වැළැක්විය හැකි වන්නේ ජනතාවට සෘජුවම වගකියන පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමෙන් පමණි. එවැනි පාලන ක්‍රමයක ජනතා පරමාධිපත්‍යය වසර පහකට වරක් සිදු කරන කතිරය ගැසීමට සීමා විය යුතු නොවේ. පාලකයන් ජනතා කැමැත්තට පිටු පා යන විට ජනතාවට එය නිවැරදි කිරීමට මැදිහත් විය හැකි ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබිය යුතුය.

තොරතුරු තාක්ෂණය පිමි ගණනින් වර්ධනය වී ඇති විසි එක්වැනි සියවසේ ජනතාව පාලනයෙන් දුරස්ථ කිරීම පහසු නොවේ. ජනතා කැමැත්තට පිටු පා මර්දනය තුළින් සිය පාලනය පවත්වා ගැනීමට ගත් උත්සාහයන් ඛේදජනක ලෙස අවසන් වූ ආකාරය අප අත්දැක ඇත්තෙමු.

ජනතාවාදී පාලනයක් ඇති කිරීමට ගන්නා පියවර මහා මැතිවරණයට පෙර ජනතාව අතට පත් කිරීම වෙනසක් කිරීමට දේශපාලකයන් කෙතරම් සූදානම් ද යන්න පැහැදිලි කිරීමකි.    

Leave a Reply