You are currently viewing බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

බටලන්දෙන් ඇවිළෙන ගිනිදැල් නිවෙන්නේ කෙසේද?

අනූවේ දශකයේ ආරම්භයේ ඇවිලී ගිය බටලන්ද වධකාගාරය පිළිබඳ උණුසුම් සංවාද විවාද බටලන්ද පිළිබඳ කොමිසම් සභාවක් පත් කිරීමෙන් බොහෝ දුරට සමහන් විය. කොමිසම ඉදිරියේ දුන් සාක්ෂිවලට මහත් ප්‍රසිද්ධියක් ලැබුණ ද එහි වාර්තාව ගැන ප්‍රමාණවත් උනන්දුවක් දැක් වූයේ නැත. අනූ හතරේ දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වශයෙන් තේරී පත් වීමෙන් හා අනතුරුව පැවති මහා මැතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසුව බටලන්ද වධකාගාරය මෙන්ම තවත් ආන්දෝලනාත්මක ඝාතන රැසක් ගැන විමර්ශන කොමිසම් සභා පත් කෙරිණ. එවැනි කොමිසම් සභාවලින් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සැමියා වූ විජය කුමාරතුංග ඝාතනය ගැන පත් කළ කොමිසම් සභාවයි. එහෙත් චන්ද්‍රිකා රජය යටතේ පත් කරන ලද අනෙක් කොමිසම් සභා වාර්තා මෙන් ඒ සියල්ල හමස් පෙට්ටියට වැටිණ. ඒ ගැන යාන්තමින් හෝ සඳහන් වූයේ මැතිවරණයක් ආසන්නයේ දී ප්‍රතිවාදීන්ට පහර ගැසීමට පමණි.

පුදුමයකට මෙන් නැවත වරක් බටලන්ද දේශපාලන කරලියේ උණුසුම් මාතෘකාවක් බවට පත්විය. ඒ අල් ජසීරා රූපවාහිනියෙන් ප්‍රචාරය වූ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් සමග ය. අල් ජසිරා විචාරකයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ බටලන්ද කොමිසමේ වාර්තාවක් නැතැයිද එමනිසා එවැනි වාර්තාවක් ගැන තමාගෙන් ප්‍රශ්න නොකළ යුතුයැයිද ඔහුටම සුපුරුදු උද්ධච්ඡ ලීලාවෙන් පිළිතුරු දුන්නේය. බටලන්ද ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව නැතැයි රනිල් වික්‍රමසිංහ සාක්ෂියක් වශයෙන් සහතික වූයේය.

දශක ගණනාවක් නිෂ්ක්‍රීයව තිබු සේවා නූලක් ගිනි ගත්තේ ඉන් පසුවය. පසුගිය කාලය පුරාම ජනතාවගෙන් වසං කර තිබු විවිධ අක්‍රමිකතා සහ දූෂණ හෙළි කිරීමේ නිමාවක් නැති කාර්යකට උර දි සිටින ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට මෙය මාහැඟි අවස්ථාවක් විය. බටලන්ද කොමිසමේ වාර්තාවක් තිබෙන බව පැවසු සභානායක බිමල් රත්නායක එය වහාම පාර්ලිමේන්තුවේ සභා ගත කරන බවට සහතික වූයේය. ඉන් නොනැවතී ඒ සඳහා දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තම ආණ්ඩුව සූදානම්යැයි කීවේය. පුවත් පත් වාර්තා අනුව සිංහල දෙමළ අවුරුද්දෙන් පසුව එම විවාදය පැවැත්වීමට දින වෙන් කර ඇත.

බටලන්ද වධකාගාරයේ විමර්ශන කොමිසමට අමතරව චන්ද්‍රිකා පාලනය යටතේ පත් කරන ලද වෙනත් කොමිසම් සභා වාර්තාවලින් වැරදිකරුවන්ට දඬුවම් දිමක් හෝ අපහරණය කළ රාජ්‍ය සම්පත් ලබා ගැනීමට සහ නැවත එවැනි දේ සිදු නොවීමට කිසිම පියවරක් ගත් බවක් දක්නට නැත. එම වාර්තාද බටලන්ද වාර්තාව මෙන් හමස් පෙට්ටියට වැටී ඇත.

මෙම වාර්තා සිහිපත් වන්නේ ජාතික ජන බලවේගයේ ඇමතිවරුන් දිනපතාම පාහේ පසුගිය පාලනය සමයේ සිදු කළ අකටයුතු අක්‍රමිකතා පාර්ලිමේන්තුවේ දී හෙළි කරන නිසාය. ඇත්තෙන්ම එම හෙළිදරවු කිරීම් බෙහෙවින් වැදගත් ය. ආණ්ඩුවේ සෑම මට්ටමකම වංචා දූෂණ සිදුවන බව සාමාන්‍ය දැනුම වුවත් ඒවායේ වපසරිය දැන ගැනීමට ලැබෙන්නේ මෙවැනි හෙළිදරවු කිරීම්වලිනි. එමනිසා ඒවා අගය කළ යුතුය. එහෙත් බොහෝ දෙනා නිරන්තරයෙන්ම නගන ප්‍රශ්නය මෙම හෙළිදරවු කිරීම්වලින් පසුව සිදු වන්නේ කුමක් ද යන්නයි. මෙම හෙළිදරවු කිරීම් සුපුරුදු පරිදි හමස් පෙට්ටියට නොවැටෙන බවට ඇති සහතිකය කුමක්ද? බටලන්ද කොමිසමේ ‘නිර්දේශ’ ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමක් නොව කමිටුවක් පත් කර ඇති බවද වාර්තා විය. කොමිසන් සභා ගැන විමර්ශනය කිරීමට ද කොමිසන් පත් කිරීමේ ඉතිහාසයක් අපට පවතින බව ද අමතක නොකළ යුතුය. එහෙත් එම වාර්තා ද වචනයට එහා යනු ඇත්දැයි ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

පාර්ලිමේන්තුවේ හෙළිකරන ලද අපහරණ ක්‍රියාත් කොමිසන් සභාවලින් සොයාගත් තෙරතුරුත් මහජන දේපොළ අවභාවිතය සහ දඬුවම් ලැබිය හැකි වරදක් වුවත් ඒවාට දඬුවම් ලබා දිය යුත්තේ අධිකරණයෙනි. ඒ සඳහා චෝදනා ගොනු කළ යුත්තේ නීතිපති විසිනි. එය කඩිනමින් සිදු වන්නක් නොවේ. ජනාධිපති අනුර කුමාර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කල් නොයවාම නීති පියවර ගැනීමට අගරදගුරුතුමාට පොරොන්දු වුවද එය තවම සිදුව නැත. එමනිසා කාදිනල්තුමා අනතුරු හැඟවීමේ නිවේදනයක් ද නිකුත් කෙළේය. වත්මන් ජනාධිපතිට ඒ ගැන කඩිනමින් පියවර ගැනීමට අවශ්‍යතාවයක් තිබුණ ද පවතින ක්‍රියා පටිපාටිය අනුව එසේ වන්නේ නැත. ඊට සාධාරණ හේතු ද තිබිය හැකිය. ප්‍රමාද වී ඉටුවන යුක්තිය සමහර විට අයුක්තියක් විය හැකිය.

මින් පැහැදිලි වන සත්‍යය නම් අපේක්ෂාව කෙතරම් හොඳ වුවද පවතින ක්‍රමය යටතේ එය අවශ්‍ය වේලාවට අවශ්‍ය ආකාරයට සිදු වන්නේ නැත යන්නයි. එය ක්‍රමයේ වැරැද්දකි. සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා සිටින්නේ එම නිසාය. ක්‍රමයේ නැතිනම් සිස්ටම් එකේ වෙනසක් සිදුවිය යුතු බවට තවත් නිදර්ශනයක් දැක්විය හැකිය. ඉන් එකක් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ කතා වස්තුවයි. ඔහු මාතර උසාවියේ නියෝගය නොතකා සති තුනකට ආසන්න කාලයක් සැඟවී සිටියේය. නීතිය සහ විධානය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ඒ වෙනුවෙන් වැටුපක් ලබන පොලිස්පති වැනි කෙනෙකු පොලීසියෙන් සැඟව සිටීම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලයේ හෝ ඇසිමට නොලැබුණ කතාවකි. 

සේවය අත්හිටුවන ලද නමුත් ඔහු තවමත් පොලිස්පති ය. ඔහුගේ රාජකාරි ආවරණය කරන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙකි. උසාවියට භාර වූ සේවය අත්හිටුවන ලද පොලිස්පති අද සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. පොලිස්පති වශයෙන් ඔහුගේ මාසික වැටුප සහ අනෙකුග් දිමනා ද බන්ධනාගාරයට යවනු ඇත.

මෙය හාස්‍යජනක සිද්ධියක්ද නැතිනම් අප මුහුණ දී සිටින ඛේදවාචකයක්ද යන්න සොයා ගැනීමට කොමිසමක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් විමට ද ඉඩ ඇත. උසාවියෙන් කට්ටි පැන සිටි පොලිස්පති සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට වෙනත් සුදුස්සෙකු පත් කිරීමට අපේ සිස්ටම් එකෙන් ඉඩක් නැත. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පති පත් කරන්නේ ව්‍යවස්ථා සභාවෙන් නිසා ඔහු ඉවත් කිරීමේ බලය ද ඇත්තේ එම සභාවටමය. එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන ආ යුතුය.

එමනිසා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අමතරව යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමටත් නීතිය සහ විධානය නිසි පරිදි ක්‍රියාත්මක වීමටත් පවතින බල ව්‍යුහයේ වෙනසක් සිදු කළ යුතුය. ජනතාව වෙනුවෙන් පවතින ආයතන සහ ජනතා නියෝජිතයන් ජනතාවට වගවෙන ව්‍යුහාත්මක වෙනස්කම් කළ යුතුය. විධානය සහ බලය පුද්ගලයාගේ පරමාධිකාරයක් නොව ජනතාවගේ උරුමය බවට පත් කළ යුතුය. එය කල් දැමීම හෝ නොසලකා සිටීම තවත් බටලන්ද වැනි වධකාගාරත් දේශබන්ධු වැනි පොලිස්පතිලාත් පෝෂණය කරන උපක්‍රමයකි. 

Leave a Reply