You are currently viewing පුරවැසි පරමාධිපති බලය හීන කරවන තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්..?

පුරවැසි පරමාධිපති බලය හීන කරවන තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්..?

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ තවත් පොරොන්දුවක් ඉටු කිරීමට සූදානම් බවට තොරතුරු පළවී ඇත. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලබන වසරේ ජනවාරි මාසයේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පුවත් සාකච්ඡාවක දී පැවසුවේය. ඊට දින කීපයකට පසු නැවතත් විදේශ ඇමති මහාචාර්ය ජී ඇල් පීරිස් මහතා ද ලබන වසරේ අයවැය සම්මත කර ගැනීමෙන් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තහවුරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නිතිය වුව ද එය ගලේ කෙටු අකුරු මෙන් නොවෙනස්වන දෙයක් නොව සමාජයේ අවශ්‍යතාවය අනුව වෙනස් විය යුතු බව’ පෙන්වා දුන්නේ ය.  

මේ අතර පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කළ දැනට රාජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මංත‍්‍රීවරයෙකු වන සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මංත‍්‍රීවරුන් කවුරුන් හෝ කෙටුම්පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත ඔසවා සම්මත කරන පඹයන් තත්වයට පත් කිරීමට තම දැඩි විරෝධය පළ කෙළේය. පසුගිය යහපාලන ආණ්ඩුව කළ ආකාරයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට අනුකාරක සභා තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම වඩාත් උචිත යැයි ඔහු කීවේ ය.

මැතිවරණ ප්‍රකාශනයේ සඳහන්ව ඇති නිසා රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොර භාවිතය තහවුරු කිරීමට පියවර ගත් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දී ඇති පොරොන්දුව ඉටු කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ දැඩි අවශ්‍යතාවයක් බව පැහැදිලිය. දුන් පොරොන්දු ඉටු කිරීම මහත්මා ගතියක් වුවත් හදිසියේ තීරණය කිරීම වෙනුවට පුළුල් සාකච්ඡා සම්මන්ත්‍රණ තුළින් සුදුසු පියවර ගැනීම වඩාත් උචිත, බුද්ධිමත් කි‍්‍රයා මාර්ගය බව කාබනික අත්දැකීමෙන් පැහැදිලි ය. මැතිවරණයක දී ජනතාව ඡන්දය ප්‍රකාශ කරන්නේ හුදෙක් මැතිවරණ ප්‍රකාශනය මත පදනම් ව නොවේ. පසුගිය මැතිවරණ ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී ජනතාව සිය ඡන්දය පාවිච්චි කිරීමේ දී විවිධ කරුණු ගණනාවක් සැලකිල්ලට ගෙන ඇති බව පෙනේ. සමහර විට ඔවුන් තම ඡන්දය ලබා දෙන අපේක්ෂකයා තෝරා ගැනීමේ දී මැතිවරණ ප්‍රකාශනය සහ අතීත කි‍්‍රයා මාර්ග අමතක කිරීමට අමතරව මැතිවරණ වේදිකාවේ කතා බහට ලක් නොවු කරුණු ද බලපා ඇති බව දැකිය හැකිය. ඒ බව සමහර ජනමත විමසුම්වල දී ද තහවුරු වී ඇත.

කෙසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ මෙන් ම අලුතින් ම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ ඉතිහාසය දෙස බලන විට අපේ ගමන් මාර්ගය ගැන කිසිසේත් සතුටු විය නොහැකිය. ලංකාවට නිදහස ලබා දුන් පළමු ව්‍යවස්ථාව වන සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සසඳා බලන විට අප ගොස් ඇත්තේ වඩාත් පසුගාමි තත්වයකට ය. 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණ වැදගත් ප්‍රතිපාදන බොහොමයක් දේශපාලන අධිකාරියේ කැමැත්තට යටපත් කිරීමෙන් ජනතාවගේ පරමාධිපති බලය මෙන්ම සෑම පුරවැසියෙකුට ම සමානව සැලකීමේ මූලධර්ම ඉවත් කර ඇත. ශිෂ්ට රටවල පිළිගත් සම්ප්‍රදායක් වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනුවෙන් වූ බලතල වෙන් කිරීම දුර්වල කොට ඒ සියලු ආයතන දේශපාලන විධායකයට යටතට පත් කෙරිණ. අධිකරණයේ ස්වාධීනත්වය පවා කෙළෙසිණ. මෙම පිරිහීම අධිකරණයේ දිවුරුම් දීම වෙනස් කළ ආකාරයෙන් ම පැහැදිලි ය.

සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ අධිකරණයේ දිවුරුම මෙසේය:

මම නීතියේ සහ මෙම ක්ෂේත්‍රයේ භාවිතයේ පිහිට පතා එන සියලූ දෙනාට බියෙන් හෝ පක්ෂපාතිත්වයෙන් තොරව, ආදරයෙන් හෝ අනාදරයෙන් තොරව යුක්තිය ඉටු කරමි.

1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් එය මෙසේ වෙනස් කර ඇත:

මම ශ්‍රී ලංකා ජනරජයට නියමානුකූල ව සහ සත්‍යවාදී ව සේවය කරමි. මගේ නිලයේ කාර්යන් විධිමත් ව සහ අවංකව ඉටු කරමි.

වෙනත් වචනයකින් පවසන්නේ නම් අධිකරණයේ කාර්ය වන්නේ ජනරජයට පක්ෂපාති වීමය. ජනරජය මෙහෙයවන්නේ දේශපාලන විධායකය යටතේ නිසා අධිකරණයත් රජයේ වෙනත් දෙපාර්තමේන්තුවකින් වෙනස් වන්නේ නැත. එහි ප්‍රතිඵලය පසුගිය අතීතය නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කර ගත හැකිය.

මීට වෙනස්ව එක්සත් ජනපදය වැනි රටවල අධිකරණ දිවුරුම් දීමේ දී දුප්පත් පොහොසත් සියලු දෙනාට සමානව යුක්තිය ඉටු කරමි යන කොටසක් ද ඇතුළත් ය.  

පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී දෙමළ පාර්ලිමේන්තු මංත‍්‍රීවරුන්ගේ සහභාගිත්වයක් නො ලැබුණ නිසා සිංහල ජන කොටසේ ව්‍යවස්ථාවක් විය. එය බෙදුම්වාදී ව්‍යාපාරයක බීජයක් විය.

ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන

ඉන් පසු 1978 දී ජේ ආර් ජයවර්ධන මහතා ගේ අවශ්‍යතාව අනුව සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා අයිතිය හෑල්ලුවට ලක් කරන ප්‍රතිපාදන වඩාත් දැඩි කොට පාර්ලිමේන්තුව නියම ආකාරයෙන් ම රබර් මුද්‍රාවක් බවට පත් කෙරිණ. අලුතින් හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය සියලු බලතල කැටි කර ගත් ආයතනයක් විය. එම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිට කළ නොහැකි වන්නේ ගැහැනියකු පිරිමියෙකු කිරීම පමණක් බවට ජේ ආර් පාරම් බෑවේ ය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ රට තිස් අවුරුදු යුද්ධයකට තල්ල වීම සහ දකුණු ආසියාවේ දුප්පත් ම රටවලින් එකක් බවට අභිෂේක ලැබීම ය. ඒවා තවමත් අපේ සිත් තුළ ගලේ කෙටූ අකුරු මෙන් නො මැකී පවතී.

මෙවන් පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ කැමැත්ත අනුව සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවතින ව්‍යවස්ථාවට වඩා ජනතා පරමාධිපති බලය තහවුරු කරනු ඇතැයි සිතිය නොහැකිය. ඔහු බලයට පත් විගස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සීමා කර තිබු ජනාධිපති විධායක බලතල තම පොරොන්දු ඉටු කිරීමට බාධකයක් බව නිතර පැවසුවේය. ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔහු නියෝජනය කළ පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කිරීමත් සමග අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පසුවට කල් දමා නැවතත් 78 ව්‍යවස්ථාව යටතේ ස්ථාපනය කර තිබු ජනාධිපති තනතුරට ඊටත් වඩා වැඩි බලතල ලැබෙන ආකාරයට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තේ ය. 19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුවේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීමේ දී ජනාධිපතිගේ අභිමතයට සීමා පැනවෙන ආකාරයට ව්‍යුහයක් සකස් කර තිබුණ ද ඒ සියල්ල ඔහුගේ අණසක යටතට පවරා ගත්තේ ය. ඉන් පැහැදිලි වන්නේ විධායක ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කෙරෙන, වඩාත් සංවරණ සහ තුලන ක්‍රමයකට ඇති අකමැත්තය.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව පවත්වන ලද සෑම (පසුගිය ජනාධිපතිවරණය හැරුණ විට) ජනාධිපතිවරණයක දීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුවක් ඇතුළත් වුවද බලය දිනා ගත් කිසිවෙකු එය ඉටු කළේ නැත. චන්දි‍්‍රකා බණ්ඩාරනායක පාලන සමයේත් ඉන් පසුව පසුගිය යහපාලන සමයේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට විධායකය ව්‍යවස්ථාදායකයට වගකිව යුතු තත්වයට පත් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක විය. යහපාලන සමයේ වඩාත් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ උත්සාහයක් තිබුණ ද එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ඊට හරස් වූයේ රට බෙදීමේ උත්සාහයක් ලෙස ලේබල් කිරීමෙනි. මෙවැනි තත්වයක් යටතේ බලයට පැමිණි ඔවුන් වඩාත් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු ඇතැයි සිතිය නොහැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ සියලු පුරවැසියන් සඳහා වන හෙයින් එය රටේ පුරවැසියන්ගේ පොදු වුවමනාවන් නියෝජනය විය යුතුය. විවිධ වාර්ගික, ආගමික සහ භාෂාමය කොටස්වල  ඕනෑ එපාකම් එහි ගැබ්විය යුතුය. කෙටියෙන් සාකච්ඡා සංවාද සම්මුති ක්‍රියා මාර්ගයක් තුළින් බිහි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. ඒ සඳහා අවම වශයෙන් හෝ පැවතිය යුතු මූලික ගුණාංගයක් වන්නේ විරුද්ධ මතයට සවන් දීමට තරම් සංවරයක් සහ විනීත භාවයයි. තමන් එකඟ නොවුවත් විරුද්ධ මතයට සවන් දීමට පුරුද්දක් සහ ඉවසීමක් තිබිය යුතුය. උත්තරීතර පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙස බලන විට රටේ සියලූ පුරවැසියන්ගේ පොදු වුවමනාවන් නියෝජනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදන කිරීමට ඔවුන්ට පරිචයක් තිබේද යන්න සැක සහිතය.

දැනට බලයේ සිටින සහ බලයේ සිටි දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ සහචරයන්ගේ කි‍්‍රයා කලාපය සහ චින්තනය දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ පොදු යහපතට වඩා තමන්ගේත් තම පවුලේත් වුවමනාවන් ඉටු කර ගැනීමට රාජ්‍ය තන්ත්‍රය සකස් කර ගැනීමේ අවශ්‍යතාවයයි. වර්ග භේදවාදයට එරෙහිව අති දුෂ්කර සටනක් කිරීමෙන් බලය දිනා ගත් පසුව සාමය සංහිඳියාව තහවුරු කිරීමට ප‍්‍රගාමී ආදර්ශමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදන කිරීමෙන් ජනතා අපේක්ෂා ඉටු කිරීමට නව දකුණු අපි‍්‍රකානු රජයට හැකි වූයේ නැත. බලයට පත් අයගේ අරමුණ වූයේ රජයේ, වඩාත් පුළුල් අර්ථයකින් රටේ ජනතාවගේ සම්පත් කොල්ල කෑම ය. අපත් අසමත් රාජ්‍යයක් බවට පත්ව ඇත්තේ එවැනි නායකයන් නිසාය. එවැනි හුරුවක් ඇති අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කරන්නේ තමන්ගේ වුවමනාවට විනා ජනතාව සඳහා නොවේ. අඩුම වශයෙන් ඔවුන් විසින් ම සම්මත කරන නීතියට ගරු කිරීමට හෝ අවංක නැත.

එම නිසා මහාචාර්ය පිරිස් පවසන ආකාරයට රටේ උත්තරීතර නීතිය සම්පාදනය කළ යුත්තේ ජනතාවගේ සම්පත් ආරක්ෂා කරන ජනතාවගේ අභිවෘද්ධිය අරමුණු කර ගත් කි‍්‍රයා මාර්ගයක් තුළිනි. එහිදි වැදගත් වන්නේ ජනතාවගේ නියෝජිතයන්යැයි හැඳින්වෙන පාර්ලිමේන්තු මංත‍්‍රීවරුන් පමණක් නොවේ. පරමාධිපති බලය ඇති ජනතාව එහි මුල් තැන ගත යුතුය.

Leave a Reply