You are currently viewing ප්‍රභූන්ට පිළිගන්වන ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ජනතාවට සෙතක් වේද?

ප්‍රභූන්ට පිළිගන්වන ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ජනතාවට සෙතක් වේද?

ජනාධිපතිවරණයට ඇත්තේ තවත් සති කීපයකි. දෙගොඩතලා යන ජන ගංගංවලින් පිරි ඉතිරී යන රැස්වීම් දිනපතාම රූපවාහිනි නාලිකාවලින් දර්ශනය වේ. මින් පෙර දක්නට නොලැබුණ ආකාරයේ විද්‍යුත් සැරසිලිවලින් ආලෝකමත් මන රංජන වේදිකාවලින් ඇසෙන්නේ පරණ පුරුදු තොරක් නැති පොරොන්දු ය. වෙනසක් ඇත්තේ දේශපාලන වේදිකාවේ පළපුරුදු නළුවන් ගොස නගා කියවන පිටපතේ පමණි. ඒ ඔවුන්ගේ වේදිකාව ද වෙනස්ව ඇති නිසාය. සමහර විට වෛර්ණ වේදිකාව ඉදිරිපස ප්ලාස්ටික් පුටුවල වාඩි වී සිටින්නේ ද ඔවුන් ගේ කතාවලට පෙරත් සාවධානව සවන් දෙන බවක් පෙන් වූ අයම විය හැකිය.

මෙවැනි වාතාවරණයක පවත්වන ඡන්ද විමසීමක දී ජනතාව බලාපොරොත්තු වන්නේ මහත් වැයක් දරා වර්ණවත් ආකාරයට මුද්‍රණය කර ඇති මැතිවරණ ප්‍රකාශන පමණක් නොවේ. මැතිවරණය පැවැත්වීමට අදි මදි කළ ආකාරයටම සුපුරුදු මැතිවරණ ප්‍රකාශන ද නිකුත් කර ඇත්තේ දශ ලක්ෂ 17ක් වන ඡන්ද දායකයන්ගේ දැනුම සඳහාම නොවේ. සමහර මැතිවරණ ප්‍රකාශන එළි දක්වා ඇත්තේ සුඛෝපභෝගී තරු හෝටල්වලය. තවත් අය ආගමික නායකයන්ට ඒවා පිළිගැන් වූහ. එක අතකින් එවැනි සුව පහසු ජීවිත ගත කරන අයට මෙම ප්‍රකාශන පිළිගැන්වීමේ අරුතක් පවතී. ඒ අන් කිසිවක් නොව කැමතිනම් ඒවා කියවීමට ඔවුන්ට කාලයක් සහ විවේකයක් පවතින නිසාය. එදා වේල හරි හම්බ කර ගැනීමට නිරන්තර අරගලයක යෙදි සිටින බොහෝ දෙනාට ප්‍රකාශන කියවීම තබා වර්ණවත් දේශපාලන වේදිකාව නැරඹීමට හෝ අවස්ථාවක් සහ විවේකයක් නැත. වඩාත් වැදගත්ව ඕනෑකමක් ද නැත. දේශපාලන වේදිකාවල කියන ගයන බොහෝ දේ අරුත් සුන් හිස් ප්‍රලාප බව ජනතාව හැත්තෑහය වසරක් තිස්සේ ලත් අත්දැකීම වන නිසාය.

එහෙත් මෙවර පැවැත්වෙන ඡන්ද විමසීමෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ඊට වඩා වෙනස් දෙයකි. එය පසුගිය සිය වසේ පනස් ගණන්වල ඉල්ලීම වූ හාල් සේරු දෙකට වඩා වෙනස් ය. දේශපාලකයින් හඳෙන් හෝ හාල් ගෙනැවිත් දීමට වූ පොරොන්දු වුවද ජනතාවගේ ජීවන සහ දේශපාලන අපේක්ෂා ඉටු කිරීමට සමත් වූයේ නැත. හාල් සේරු දෙක වෙනුවට ධාන්‍ය රාත්තල් අටක් දීමට වූ පොරොන්දුව අවසන් වූ ආකාරය තවමත් බොහෝ දෙනෙකුට අමතකව නැත. සමෘද්ධිමත් රටක් තැනීමට ගොස් කුඹුරු ගොවිතැනක් හෝ කළ නොහැකි තත්වයට පත් ආකාරය මෑත අත්දැකිමකි.

එහෙත් ඒ සියල්ල තුළින් ජනතාව ලත් සාමුහික අත්දැකිමක් ද පවතින බව දේශපාලකයන් තේරුම් ගත යුතුය. ජනතාව නවසිය පනස්තුනේ හර්තාලයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත. ජනතා කැමැත්තට හිස නොනමන පාලකයන් ඉවත් කිරීමට ප්‍රචණ්ඩ විප්ලව අවශ්‍ය නොවන බව ජනතාව ඉගෙන ගත්තේ ගාළු මුවදොර අරගලයෙනි. ගෝටා ඉවත් කිරීමෙන් ජනතා අපේක්ෂා ඉටු නොවු නමුත් දේශපාලන බලය තීරණය කරන පරමාධිපත්‍යය සැබැවින්ම පවතින්නේ සන්නද්ධ හමුදා වෙත හෝ පාලකයන්ගේම කැමැත්ත අනුව සම්මත කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොවන බව ජනතාව ඉගෙන ගත් වැදගත්ම පාඩමයි. වඩාත් සරලව ජනතාවගේ නියෝජිතයන් වන පාලකයන් සහ ජනතාව අතර ඇත්තේ සමාජ ගිවිසුමක් බව අවබෝධ කර ගැනීම ය. ගිවිසුම කඩ කරන විට ඊට ප්‍රතිකර්ම සොයා ජනතාව දසදහස් ගණනින් පාරට බැසීම හැර වෙනත් විකල්ප නැති බව පසක් කර ගැනීමකි.

මෙවැනි පසුබිමක් තුළ විධායක ජනාධිපති තෝරා ගැනිමට පැවැත්වෙන ඡන්ද විමසීම ජනතාව සමග ඇති කර ගන්නා සාමුහික ගිවිසුමකි. එය වසර පහක් බල පැවැත්වෙන නමුත් පාලක පාර්ශ්වය ගිවිසුම අනුව කටයුතු නොකරන්නේ නම් ජනතාවට ගත හැකි පියවර පවතින බවද ඔවුන් අවබෝධ කර ගත් යුතුය. වැල් පාලමේ නාට්‍යානුසාරයෙන් දැක්වෙන රඟපෑම්වලින් ජනතා ප්‍රශ්න අමතක කළ  නොහැකිය. ඒ සඳහා ජනතාව සමග ශක්තිමත් ප්‍රායෝගික ගිවිසුමක් සාකච්ඡා සම්මන්ත්‍රණ තුළින් ඇති කර ගන්නා එකඟතාවයක් විය යුතුය.

මෙවැනි වැඩ පිළිවෙළ යථාර්ථයට නොගැලපෙන බවට එක නිදර්ශනයක් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්යැයි සිතේ. ජනතාව විසින් පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රසායනික පොහොර යෙදීම සම්පූර්ණයෙන්ම නතර කොට කාබනික ගොවිතැනට මුල පිරීමට ගත් නිරර්ථක උත්සාහය එවැන්නකි. රසායනික පොහොර ඉවක් බවක් නැතිව යෙදීම නිසා සිදුවන පාරිසරික විනාශය සහ සෞඛ්‍ය ගැටලු අමතක කළ නොහැකි සාධක වුවත් විකල්ප පිළිතුරු සෙවීමේ දී ගොවි ජනතාවගේ අදහස් විධිමත් ආකාරයෙන් ලබා ගැනීමක් සිදු වූයේ නැත. එම තීරණයේ ආර්ථික සහ දේශපාලන ඵලවිපාක අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

විද්වත් උපදෙස් මත ආදායම් බදු කපා හැරීමේ සිට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම දක්වා ඔහු ගත්  තීරණ ද එවැනිය.

රාත්‍රියේ වැටුණු වළේ මහ දහවල් වැටීමෙන් වැළකී සිටීමට ගත හැකි එකම මග වන්නේ විවෘත භාවය පවත්වාගෙන ජනතාව සමග විශ්වාසයෙන් විධිමත් ආකාරයට අදහස් හුවමාරු කර ගැනීම පමණි. අවාසනාවකට මෙන් අපේ දේශපාලකයන් එවැනි දේකට තවමත් සූදානම් නැති බව ජනාධිපතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ ආකාරයෙන්ම පැහැදිලි ය. පාසල් පොතක් හෝ මුද්‍රණයට කිරීමට අසීමිත වියදමක් දැරීමට සිදුව ඇති මෙම යුගයේ කළ යුතුව තිබුණ ප්‍රථම වැදගත් කාර්ය තම ප්‍රතිපත්ති ගැන මහජන සංවාදයක් පැවැත්වීම ය. එය රහසිගතව හෝ සුඛෝපභොගි හෝටලයක පැවැත්වෙන සම්මන්ත්‍රණයක් නොව වැඩ පොළේ හෝ ගොවිපොළේ කෙරෙන සංවාදයක් විය යුතුය. එවැනි සංවාදයක් තුළ තම ප්‍රතිපත්ති කොපි කිරීමක් සිදු වන්නේ ද යන්න වැදගත් නැත. සිදු විය යුත්තේ අදහස් දීමක් සහ ලබා ගැනීමේ ගනුදෙනුවකි. 

පුදුමයට මෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ කිසිවක් එවැන්නකට සූදානම් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ තම මතයට ජනතාව දිනා ගැනීම හෝ නම්මවා ගැනීම පමණි. අරමුණ වන්නේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමය. ඊට ඔබ්බෙන් ජනතාව පාලනයේ කොටස්කරුවන් කර ගැනීමට සූදානම් නැත. කොටස්කරුවන් කර ගැනීමට අදහස් කරන්නේ කවුරුන්ද යන්න ප්‍රමාද වී හෝ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන් වූ අයගෙන් සිතා ගත හැකිය.  

ජනතාව තුළ දේශපාලන පක්ෂ කෙරේ විශ්වාසයක් නැත්තේ එම නිසාය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් විශ්වාසය තහවුරු වන්නේ නැත. ඒ සඳහා ක්‍රියා මාර්ගයක් තිබිය යුතුය. එය නිසැකයෙන්ම පාලකයාගේ බලය සීමා කිරීමක් ද වන නිසා පාලකයා එවැන්නකට කැමැති නැත. එහෙත් අද අප මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන ගැටලුවලට කල්පවත්නා විසඳුම් සෙවීමේ මුල් ගල ජනතා විශ්වාසය දිනා ගැනීමය. එවැන්නක් නැතිව සෞභාග්‍යය සොයා යෑම දියවන්නා ඔයේ අඳින රේඛාවකට සීමා වනු ඇත. 

Leave a Reply