You are currently viewing ප‍්‍රජාව නොසලකන තන්ත්‍රයක් රටට අවශ්‍ය නැත..

ප‍්‍රජාව නොසලකන තන්ත්‍රයක් රටට අවශ්‍ය නැත..

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල ඖෂධ ආහාර සහ ඉන්ධන හිඟයෙන් පෙළෙන ජනතාවට විශේෂයෙන්ම තරුණ ජනතාවට තවත් සහනයක් ලබා දීමට වෙහෙසේ. ඒ ඔහුගේ නියෝගයක් අනුව නිල ඇඳුම් ඇතිව සහ නැතිව පැමිණි පිරිස් පොලු මුගුරුවලින් පහර දී පන්නා දැමූ ගාලු මුවදොර අරගලකරුවන්ට වෙනත් අරගල භූමියක් සොයා දීමට ය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අසීමිත බලයක් ලබා ගත් විධායක ජනාධිපති තනතුරට පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තේරී පත් වූ ඔහුට එය කජ්ජක් නොවනු ඇත. විධායක ජනාධිපතිට කළ නොහැක්කේ ගැහැනියෙක් පිරිමියෙක් කිරීම පමණක් බව ඔහුගේ මාමා  ඔහුට උගන්වා ඇත.

අසාධාරණය, අසහනය සහ අයුක්තියට එරෙහිව නැගෙන ජනතා හඬ සමච්චලයටත් සැහැල්ලුවටත් ලක් කිරීමට ඔහුගේ පුරෝගාමියා වූ හැට නම ලක්ෂයක ජනවරමක් ලබා ජනාධිපති තනතුරට පත් ගෝඨාභය රාජපක්ෂ විරෝධතා දැක්වීමට ඔහුගේ කාර්යාලය ඉදිරිපිට චීනයේ මුදලෙන් ඉදි වෙන වරාය නගරය පෙනෙන තෙක් මානයේ ගාලු මුවදොර පිටියේ කොණක ඉඩම් කැබැල්ලක් වෙන් කර දුන්නේය. එම බිම් කොටස වෙන් කර දීමේ දී ගෝඨාභය රාජපක්ෂ විරෝධතා දක්වන අයට එහි රැස්ව රිසි සේ කෑ මොර ගැසිය හැකි යැයි කීවේය. එහෙත් විරෝධතා දක්වන ජනතාවගේ දුක් ගැනවිලිවලට සහ ඉල්ලීම්වලට සවන් දෙන බවක් කීවේ නැත. ඇත්තෙන්ම සවන් දුන්නේ ද නැත. ඉඩම් කොටස වෙන් කර දී වසර තුනක් ගතවීමටත් පෙර දෛවයේ සරදමට මෙන් ගෝඨාභය රාජපක්ෂට එහි රැස්ව සාමකාමී ව විරෝධතා දැක් වූ තරුණ තරුණියන්ගේ හඬට සවන් නොදීමෙන් නිසා ප‍්‍රකෝප වූ ජනතාවගේ අරගලය නිසා උන්හිටි තැන් දමා දේශපාලන රැකවරණයක් හෝ නැතිව රටින් ද පලා යෑමට සිදු විය.

එමනිසා විරෝධතාකරුවන් සමච්චලයට ලක් කිරීමට විරෝධතා දැක්වීම සඳහා බිම් කොටස් වෙන් කර දීමේ දී රනිල් වික‍්‍රමසිංහ තම පුරෝගාමියාගෙන් පාඩමක් ඉගෙන ගැනීම වැදගත් ය. කිසියම් මොහොතක විරෝධතාවය වෙන් කරන ලද භූමිය ඉක්මවා ගියහොත් සිදු විය හැකි අනතුර බලවත්ය. හදිසි නීතිය පනවා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවා ජනතාව මර්දනය කළ හැක්කේ කිසියම් කාලයකට පමණි. ජනතාවගේ විරෝධය රතු ඉර පැන ගියහොත් හදිසි නිතිය ඔහුට පිළිසරණක් වන්නේ නැත. හමුදාව ඇඟිල්ලේ නැටවීමට තරම් බලයක් තිබූ ගෝඨාභය රාජපක්ෂට සිදු වූ දේ ඔහුට අමතක කරන්නට තරම් කලක් ගත වූයේ නැත. ඔහුගේ නිවසේ තිබූ  පොත් පත් පිළිස්සී ගියත්, බුද්ධිය පිළිස්සී නොගිය නිසා අමතකවීමට හේතුවක් ද නැත.

පළමුවෙන්ම රනිල් වික‍්‍රමසිංහ නොදන්නා හෝ නොදන්නා බවක් පෙන්වන කාරණය වන්නේ ජනතාව විරෝධතා දක්වන්නේ ඇයි ද යන්නයි. ඔහුට පෙර සිටි ගෝඨාභය රාජපක්ෂත් ඔහුත් සිතන්නේ ජනතාව වීදි බැස විරෝධය දක්වන්නේ නිවසේ වැඩ පොළේ ඇති පාළුව මකා ගැනීමට හෝ සටන් පාඨ කියා උගුරේ රැල් බුරුල් හැර ගැනීම සඳහා ය යනුවෙනි. ඒ අසනීපය සුව කර ගැනීමට තැනක් වෙන් කර දිම ප්‍රමාණවත් ය. වරාය නගරය පිස එන මුහුදු සුළං රැල්ලෙන් ඔවුන් සැනසුමක් ලබනු ඇත. වෙන් කරන ලද ඉඩමට කොටුව සිටින ඔවුන්ගෙන් රථ වාහන ගමනාගමනයට බාධාවක් නැත. පිරිස් හැසිරවීමට සහ අවශ්‍ය වුවහොත් බැටන් ප‍්‍රහාර එල්ල කිරීමේ හෝ කඳුළු ගෑස් ගැසීමේ අවශ්‍යතාවයක් ද නැත.

එහෙත් තරුණ තරුණියන් ? දහවල් නොබලා අවු වැසි නොතකා ගාලු මුවදොර මාස තුනකට වැඩි කාලයක් විරෝධතා දැක්වූයේ ඔවුන්ගේ අසනීපයකට නොවේ. වසර හැත්තෑ හතරක් තිස්සේ ජාතික දේහයේ පවතින දැනට ඔඩු දුවා ඇති තුවාලයක අසනීපය නිසා ය. එය තුවාලයකටත් වඩා පිළිකාවක තත්වයට පත්ව ඇති, එහෙත් නිසි ප්‍රතිකාර ලබා දුනහොත් සුවකළ හැකි ව්‍යාධියකි. ඔවුන් තුළ ඇති සාධාරණ බිය ශ්‍රී ලංකාව නම් මෙම අසාධ්‍ය තත්වයට පත් රෝගියා සුව කිරීමට හෝ නිසි ප්‍රතිකාර ලබා දීමට දැනට සිටින පාලකයන් ප්‍රදර්ශනය කරන නොහැකියාවයි. සෞභාග්‍යය උදා කිරීමේ පොරොන්දුව මත හැටනම ලක්ෂයක ජනවරමින් බලයට පැමිණි අඳ බාල පාලකයාගේ අමනෝඥ ක්‍රියා පටිපාටිය නිසා ඉන්දියාවෙන් සහ තවත් රටවලින් ලබා දෙන සේලයින් නොවන්නට රෝගියා දැනටමත් මිය ගොසිනි.

ගාලු මුවදොරත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් විරෝධතා දැක් වූ අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ සොරකම් කිරීම සහ වංචාව ආගම කර ගත් දුෂ්ට පාලකයන් ඉවත් විය යුතුය යන්නයි. හය වරක් අගමැති තනතුරට පත් දශක හතරකට අධික කාලයක් දේශපාලන වේදිකාවේ විවිධ චරිත රඟ පෑ රනිල්ට මෙය තේරුම් ගත නොහැකිනම් පෙන්වන්නේ කෙතරම් පොත් කියවුවත් ඔහුගේ බුද්ධියේ පවතින බරපතළ අඩුවයි.

රනිල් දේශනා කරන ආකාරයට නිශ්චිත භූමි භාගයක විරෝධතා දැක්වීමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදයයි. රැස්වීමේ නිදහස, සංගම් පැවැත්වීමේ නිදහස, ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නම් ලියවිල්ලක සඳහන්ව තිබීම ප්‍රජාතන්ත්‍රවාදයයි. ජනතාවට ඒ නිදහස් සියල්ල ඔවුන්ට කිසිම ආරක්ෂාවක් නැති, පාලකයන්ගේ ආරක්ෂාව සඳහා වූ මහජන ආරක්ෂක පනත යටතේ පනවන රෙගුලාසිවලට යටත්ව භුක්ති විඳිය හැකිය. අධ්‍යාපන ක්‍රමයෙන් සහ සමාජ භාවිතාවෙන් අපට ඉගැන් වූයේ එයයි. ඊට එරෙහිව යන අය ත‍්‍රස්තවාදින්යැයි ලේබල් ගසා අතුරුදහන් කිරීම ද නිත්‍යානුකූලයයි අරුත් දැක්වෙන නීති ද ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පනවා ඇත.

ග්‍රීසියෙන් ලෝකයට උරුම කළ ප්‍රජාතන්ත්‍රවාදය නම් දේශපාලන ක්‍රමයේ දෙවැනි මූලධර්මය වන්නේ පුරවැසියන් ගේ අදහස්වලට සවන් දීම හා ඒ අනුව කටයුතු කිරීමය. අපේ රටේ පාලකයන් ජනතාවගේ අදහස්වලට සවන් දෙන්නේ ද? හැත්තෑහතර වසරක් තුළ අප ඉගෙන ගත් පාඩම පාලකයන් අපේ අදහස්වලට සවන් දෙන්නේ නැත යන්නයි. යටත් විජිත පාලකයන්ගෙන් රට මුදා ගත යුතු යැයි ජනතාව විරෝධතා දැක් වූයේ රටේ සම්පත් සූරා කෑම නිසා ය. රටේ සම්පත් සූරා කෑම නිසා දිළින්දන් වූයේ යටත් විජිත පාලකයන් සමග අත්වැල් බැඳගත් පාලකයන් නොව සාමාන්‍ය ජනතාවයි. නිදහස ලබා ගත් පසුව ඒ තැනට පත් කළු සුද්දන් කෙළේ ද එයයි. සූරා කෑමට තරම් සම්පත් රටේ නැති විට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයට පත් පාලකයෝ රටේ ජනතාවගේ අනාගතය උගසට තබා විදෙස් රටවලින් ණය ගත්හ. ඒ ණය වාරික සහ පොලී ගෙවීමට යොදා ගත්තේ ඇඟලුම් කම්හල්වල දහඩිය කඳුළෙන් සහ මැද පෙරදිග වහල් මෙහෙයේ යෙදීමෙන් කාන්තාවන් උපයන ඩොලර් වලිනි.

රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ තරුණියන් අරගල කරන්නේ මෙම අශිෂ්ට, අශ්ලීල ක්‍රමය වෙනස් කිරීමට ය. ඒ සඳහා මෙතෙක් පැවති පාලන ක්‍රමයත් පාලකයනුත් වෙනස් කළ යුතුය. සිස්ටම් චේන්ජ් නැතිනම් ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු යැයි හඬ නගා කියන්නේත් පිට්ටනිවල තැවෙන්නේත් ඒ සඳහා ය. ජුලි නමවැනි දා අනේක දුෂ්කරතා මැද සුවහසක් ජනතාව කොළඹට ගලා ආවේ ඒ සඳහාය. හැටනම ලක්ෂයක ජනතාවගෙන් ලැබුණා යැයි කියන වරම අත හැර දමා ගෝඨාභය රාජපක්ෂට හොර රහසේ රටින් පැන යෑමට සිදු වූයේ ජනතා අදහස්වලට සවන් නොදීම නිසා ය. ජනතාවගේ අදහස්වලට සවන් නොදී විරෝධතා දැක්වීමට බිම් කඩක් වෙන් කර දීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන, තහවුරු කරන නාමික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ජනතාවට ආරක්ෂාවක් හෝ සෞභාග්‍යය උදා වන්නේ ද නැත.  

නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ මහජන ඡන්දයෙන් තේරී පත්වන ව්‍යවස්ථාදායකය සහ සෘජුවම ජනතාව තෝරා පත් කරන විධායක ජනාධිපති මහජනයාට සවන් නෙදෙන්නේනම් සහ ජනතාවගේ  ඕනෑඑපාකම් නොසලකා කටයුතු කරන්නේ නම් ජනතාවට ඇති විකල්පය කුමක් ද? ව්‍යවස්ථාව අනුව ඔවුන්ට පැවරී ඇති වසර පහක නිල කාලය අවසන් වන තෙක් හූල්ලමින් බලා සිටීම ද? රටේ ආර්ථිකයත් ජන ජීවිතයත් කඩා වැටී ජනතාව කුස ගින්නේ නිවෙස්වල සහ පෝලිම්වල මිය නොයන්නේ නම් සහ අවම මට්ටමකින් හෝ ජීවිතය ගැට ගසා ගැනීමට හැකිනම් එසේ බලා සිටිනු හැකි වනු ඇත. එහෙත් අද අපේ රටේ තත්වය හාත්පසින් ම වෙනස් ය. ආහාර මිල ගණන් පෙර කිසි දා නොවු ආකාරයට ඉහළ ගොස් ඇති නිසා කුසගින්න දරා ගත නොහැක. ප්‍රවාහනය කඩා වැටී ඇති නිසා ආර්ථික කටයුතු ඇණ හිටීමට අමතරව පාසල් අධ්‍යාපනය පවා නතර වී ඇත. පාලකයන්ගේ හිත සුව සුව පිණිස ලබා ගත් ණය ගෙවා ගත නොහැකිව රටම බංකොළොත්වී ඇත. මේවාට විසඳුම් ලබා ගැනීමට දුර්දාන්ත පාලකයන්ගේ නිල කාලය අවසන් වන තෙක් බලා සිටිය හැකි ද?

උත්තරීතර යැයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම ප‍්‍රශ්න කිසිවකට විසඳුම් නැත. පාර්ලිමේන්තුව සිය කැමැත්තෙන් විසුරුවා හැරීමට එකඟ නොවන තාක් ව්‍යවස්ථාදායක බලය හිමි වන්නේ ඔවුන්ට ය. විධායක ජනාධිපති අස් වුවහොත් ඒතැනට පත්වන්නේ මහජන කැමැත්ත නොව පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබන තැනැත්තා ය. ලෙඩා මැරුණත් බඩ ශුද්ධවෙලායැයි කියන්නාක් මෙන් ජනතාවට කුමක් වුවත් උත්තරීතර ව්‍යවස්ථාවක් ඇති නිසා සැනසිය හැකිද?

මෙම උභතෝකෝටිකයට විසඳුම් නැතිව අපට කිසිදු ගැලවීමක් නැත. සර්ව පාක්ෂික වුවත් තෙලේ බැදෙන්නේ එකම කුරුල්ලාය. එමනිසා දැනට රට මුහුණ දී ඇති ඛේදවාචකයට ඇති විසඳුම දේශපාලන මුල පිරුම ජනතාව අතට ලබා ගැනීම යි. එම යථාර්ථයට මුහුණ දීමට නොහැකිනම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය සාගරයේම ගිලී යනු ඇත. 

Leave a Reply