You are currently viewing ප්‍රජාවගෙන් වියෝ වු තන්ත්‍රයක් කුමට ද?

ප්‍රජාවගෙන් වියෝ වු තන්ත්‍රයක් කුමට ද?

දැන් මෝසම් වරුසාව නිසා වායුගෝලයේ උණුසුම මදක් පහව ගොස් ඇති නමුත් ඡන්ද උණුසුම පසුගිය මාසවල පැවති උණුසුමට වඩා වැඩි මට්ටමට ළඟා වෙමින් පවතී. පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් ද නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ද නොඒසේනම් ඒ දෙකම නොතකා ඡන්ද විමසීම කල් දමාවි ද යන්න ගැන පැහැදිලි අදහසක් කිසිවෙකුට නැත. එකම විශ්වාසය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවම වශයෙන් එළඹෙන ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණයක් පැවැත්වීම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍යතාවයක් වීම ය. එහෙත් දැන් කණින් කොණින් ඇසෙන ආකාරයට ජනාධිපතිවරණය පැවැත්වීම ද තවත් වසරකින් කල් දැමීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සිදුරක් පවතී. ජනතා පරමාධිපත්‍යය නොසලකා හැරීම ප්‍රශස්ත භාවිතාව වී ඇති තත්වය යටතේ එවැනි දෙයක් අරුමයක් නොවේ.

කලකට පෙර නීතිය කඩ කළ අයෙකුට රජයේ කුමන හෝ රැකියාවකට ඇතුළුවීමට ඉඩක් ලැබුණේ නැත. සමහර විට පවුලේ කෙනෙකු හෝ බරපතළ අපරාධයකට වැරදිකරු වූයේනම් රජයේ රැකියාවක් ලබා ගැනීමට කිසිම අවස්ථාවක් තිබුණේ නැත. වෙනත් පුද්ගලයෙකු කළ වරදට තවත් පුද්ගලයෙකුට දඬුවම් ලැබීම සාධාරණ දෙයක් නොවන නමුත් එවැනි භාවිතාවකින් අදහස් කරන්නට ඇත්තේ සියලු ආකාරයෙන් පිරිසිඳු පාලනයක් පවත්වා ගැනීම වන්නට ඇත.

එහෙත් අද තත්වය කුමක් ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට දිව්රුම් දී සිටින උසස්ම පුද්ගලයා වන ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරන්නේ නම් ඔහුට කිසිම සම්බාධකයක් පැවරෙන්නේ නැත. රටෙ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇතැයි තීරණය කළත් ඔහු/ඇය එම පදවියේ සිටියත් නොසිටියත් ඊට හිමි සියලු වරප්‍රසාද භුක්ති විඳීමට එය බාධාවක් නොවන්නේය. වඩාත්ම ඛේදජනක එමෙන්ම හාස්‍යජනක තත්වය වන්නේ එවැනි පුද්ගලයන් නැවතත් මහජන වරම් ලබා ගැනීමට ඉදිරිපත් විමයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවීමට නියමිත වූ රු. දශලක්ෂ සියය මෙතෙක් මෛත්‍රිපාල සිරිසේන ගෙවා අවසන් කර නැත. එහෙත් ඔහු නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට සූදානම් ය. ඔහු දිවුරුම කඩකළ පුද්ගලයෙකුවීම නැවත වරක් ජනවරමක් පතා ඉදිරිපත්වීමට කිසිසේත් බාධකයක් වන්නේ නැත. ඔහු මෑතක් වන තෙක්ම දේශපාලන පක්ෂයක ප්‍රධානියාව සිටියේය. පක්ෂයේ ප්‍රධාන නිලතලවලට පුද්ගලයන් පත් කිරීම අස් කිරීම ඔහු සතුව තිබු බලයකි. එම පක්ෂයේ හටගත් අභ්‍යන්තර අර්බූද නිසා ඔහු තවදුරටත් එම පක්ෂයේ නායකයා නොවන නමුත් දේශපාලන ප්‍රවාහයේ ප්‍රමුඛ චරිතයකි.

තවත් හිටපු ජනාධිපතියෙකු වන මහින්ද රාජපක්ෂ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇත්තේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය තරම් වූ තවත් අපරාධයකිනි. ඒ රටම හිඟමන් තත්වයට පත් කොට බංකොළොත් කළ ආර්ථික වැඩ පිළිවෙළක් අනුගමනය කිරීම ය. ඔහු සමග ඔහු ට උපදෙස් ලබා දුන් ඔහුගේ නියෝග ක්‍රියාත්මක කළ උසස් නිලධාරීන් ගණනාවක් ද වැරදිකරුවන් වූහ. ඔවුන්ට දඩ මුදලක් නියම නොවුයේ පෙත්සම්කරුවන් වන්දියක් ඉල්ලා නොසිටි නිසාය. වන්දියක් නැතිනම් දඩ මුදලක් නියම නොවීම නිසා අපරාධය ලුහු කොට නොසැලකිය යුතුය. ඔවුන්ගේ වැරදිවලට ජනතාවට පරම්පරා ගණනාවක් වන්දි ගෙවීමට සිදුව ඇත..

මහින්ද රාජපක්ෂ ද කිසිවක් නොවු සේ නැවත වරක් ජන වරම් ලබා ගැනිමට සූදානම් ය. ඔහු නියෝජනය කරන පොහොට්ටු දේශපාලන පක්ෂයේ නායකයා නොවන නමුත් සියල්ල සිදු වන්නේ ඔහුගේ කැමැත්ත අනුවය. ජනාධිපති අපේක්ෂකයා ඔහු නොවුවත් පොහොට්ටුවෙන් වරම් ලබන්නේ ඔහුගේ අනුමැතිය අනුග්‍රහය ලබන පුද්ගලයා බවට කිසිදු සැකයක් නැත. එම තේරීමේ සම්පූර්ණ බලය පවරා ඇත්තේ ඔහුට ය.

අපට වැදගත් වන්නේ ඉදිරියේ කුමන ඡන්ද විමසීමක් පැවැත් වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කළ බවට අධිකරණයෙන් තිරණය කළ පුද්ගලයන් නැවතත් ජන වරම ලබා ගැනිමට ඉදිරිපත් වන්නේ කුමන පදනමක් යටතේ ද යන්නය. ඔවුන් ජන වරමක් ලැබ විධායක ජනාධිපති තනතුරට හෝ මංත්‍රි පදවියකට තේරී පත් වුවහොත් නැවත වරක් විලි ලැජ්ජාවක් නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට ප්‍රසිද්ධියේම දිව්රුම් දෙනු ඇත. නැවතත් පළමුවෙන් කළ වැරැද්ද නොකරන බවට ජනතාවට සහතිකයක් නැත. වැරදි කළත් ඉවත් කිරීමට පවතින ක්‍රමය යටතේ කළ හැකි දෙයක් ද නැත.

මෙවැනි පුද්ගලයන්ට නැවත නැවතත් ජනතා වරම් ලබා ගැනීමට ඉදිරිපත්වීමට හැකි වන්නේ අපේ සමාජයේ වැරදිකරුවන්ට දඬුවම් දීම උසාවියේ වගකීමක් බවට සීමා කිරීමේ භාවිතයක් පැවතීම නිසා ය. මෛත්‍රිපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් අධිකරණයෙන් වැරදිකරුවන්වීම ප්‍රජාතන්ත්‍රවාදය රැකිමට දිවිහිමියෙන් කැප වි සිටින ඔවුන්ගේ දේශපාලන පක්ෂ තුළ බලයේ සිටීමට කිසිම බාධාවක් නොවේ. දැනට භේද භින්න වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට මෛත්‍රිිපාල නුසුදුසුවීමට ඔහුගේ විරුද්ධවාදීන් විවිධ හේතු දැක් වුවත් රටේ උතුම් නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම හේතුවක් සේ දකින්නේ නැත. පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු කල් තියාම ලැබී තිබුණත් ඒ ගැන ක්‍රියා නොකිරීම ගැන ඔහුගෙන් පක්ෂයේ කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත.

අනිත් වැරදිකරුවා වන මහින්ද රාජපක්ෂගේ තත්වය ද එසේමය. එම පක්ෂය තුළද ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් අනෙකුත් බොහෝ පක්ෂ තුළත් ක්‍රියාත්මක වන ගතිකයන් ය. ඔවුන් භාවිතාවෙන් පෙන්වන්නේ රජතුමා වැරදි නොකරන්නේය යන බ්‍රිතාන්‍ය කිරීටයේ ආදර්ශයයි. නායකතුමා වැරදි කරන්නේ නැත. පක්ෂයේ සෙසු අයගේ වගකිම සහ යුතුකම වන්නේ නායකයා නියම කරන ආකාරයට කටයුතු කිරීමය. ඊට එකඟ නොවන්නේනම් දඬුවම විරුද්ධ වන අය පක්ෂයේ නිලතලවලින් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ය.

මේ තත්වය වෙනස් විය යුතුය. වෙනස් කළ යුතුය. සිස්ටම් චේන්ජ් වන්නේ එවිටය.

දැනට රටේ ඇති බොහෝ දේශපාලන පක්ෂ තුළ ඔවුන් රැකිමට කැපවී සිටින ප්‍රජාතන්ත්‍රවාදය බෙහෙතකටවත් සොයා ගැනිමට නැත. පක්ෂ සැබැවින්ම ක්‍රියාත්මක වන්නේ නායකතුමාගේ කැමැත්ත අනුවය. පක්ෂ සම්මේලන, විධායක සභා, කෘත්‍යාධිකාර මණ්ඩල දේශපාලන මණ්ඩල පැවතුනත් ඒ තීරණ ගැනීමට නොව නායකයාගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ය. සාකච්ඡාව සම්මන්ත්‍රණය සම්මුතිය තුළින් තීරණ ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් ඇත්තේම නැත. කෙටියෙන් පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේම නැත. සැබැවින්ම ක්‍රියාත්මක වන්නේ අධිපතිවාදයයි.

මේ තත්වය වෙනස් කළ හැකි වන්නේත් වෙනස් කළ යුතු වන්නේත් ජනතාවට පමණි. ඒ ජනතාවට සෘජවම වගකියන පාලන ක්‍රමයක් ඉල්ලා සිටීමෙන් සහ ඒ වෙනුවෙන් පෙනි සිටීමෙනි. දේශපාලන මුලපිරුම නැවත වරක් ජනතාව අතට ගත යුතුය. එය දුෂ්කර වුවත් අසීරු කටයුත්තක් නොවේ. ජනතාව පෙළ ගැසෙන විට පාලකයන් ඊට හිස නැමූ අවස්ථා අපේම ඉතිහාසයේ ඇත. ඒවා නැවත හැදෑරිය යුතුය.    

Leave a Reply