You are currently viewing නොබෙල් සාම ත්‍යාගයට මනුෂ්‍යත්වය යටපත් කළ ට්‍රම්ප් ගේ සාම සැලැස්ම..

නොබෙල් සාම ත්‍යාගයට මනුෂ්‍යත්වය යටපත් කළ ට්‍රම්ප් ගේ සාම සැලැස්ම..

නොබෙල් සාම ත්‍යාගය බලාපොරොත්තුවෙන් සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැද පෙරදිග දැවෙන ප්‍රශ්නය වූ ඊශ්‍රායෙල් පලස්තින ගැටුම හෙවත් ගාසා ජනඝාතනයට ද විසඳුමක් පසුගිය දා ඉදිරිපත් කෙළේය. මෙම සාම සැලැස්ම වොෂින්ටන් නගරයේ දී ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග ප්‍රකාශයට පත් කිරීමට පෙර නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අරාබි සහ මුස්ලිම් රටවලට ඉදිරිපත් කළ බව ද වාර්තාවේ. එය කටාර්, තුර්කිය, ජොර්දානය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස්, ඉන්දුනිසියාව, පාකිස්ථානය සහ සෞදි අරාබිය යන රටවල නියෝජිතයන්ට ඉදිරිපත් කළ  අතර ඔවුන් ද ඊට අනුමැතිය දී ඇත. එහෙත් ජනාධිපති ට්‍රම්ප් වොෂින්ටනයේ දී නියොජිතයන් කීප දෙනකු හැර අන් සියලු දෙනාම පිටව ගිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා පැමිණි අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග ප්‍රකාශයට පත් කරන ලද්දේ අරාබි නියෝජිතයන්ට ඉදිරිපත් කළ කෙටුම් පත නොවේයැයි ප්‍රබල චෝදනාවක් නැගේ.

එය නොබෙල් සාම ත්‍යාගය සඳහා ඉල්ලුම් කිරීම මෙන් විහිළුවක් විය යුතු වුවද දැන් ගාසා තිරය රිවීරාවක් බවට පත් කිරීමට බෙහෙවින් ඉඩ ඇත.

කලින් සඳහන් කළ ආකාරයට ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ මූලික අරමුණ හමාස් සංවිධානය නිරායුධ කිරීම සහ ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම ය. ඇත්තෙන්ම අරාබි ලීගය ද මීට පෙර ජුලි මාසයේ දී හමාස් සංවිධානය අවි ආයුධ අතහැරිය යුතුයැයි ඉල්ලා සිටියේය. එමනිසා මෙම ට්‍රම්ප් සහ නෙතන්යාහු ඉල්ලීම ඊට සමපාත ය.

ට්‍රම්ප්ගේ සාම සැලැස්ම අනුව ඊශ්‍රායෙලයට වගකීම් පැවරෙන්නේ හමාස් සංවිධානය අවි බිම තබා ගාසා තීරයෙන් ඉවත් වු පසුය. එක්සත් ජාතින්ගේ සහන වැඩ සටහන් ක්‍රියාත්මක වීමට ඉඩ සැලසෙන්නේ ද ගාසා තිරයේ හමාස් සංවිධානයේ බලය සම්පූර්ණයෙන් ඉවත්ව ඇතැයි ඊශ්‍රායෙලය සෑහීමට පත්වීමෙන් පසුවය. සාම සැලැස්මේ සඳහන් වන ආකාරයට ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදා ගාසා තීරයේ සටන් පවතින ප්‍රදේශවලින් ඉවත් වන්නේ නැවත ප්‍රහාරයක් ඇති නොවන බවට එක්සත් ජනපදයෙන් සහතිකයක් ලැබුණ පසුය. එම සහතිකය ලැබීමට කොපමණ කලක් ගත වන්නේ ද යන්න තිරණය වන්නේ එක්සත් ජනපද බලධාරීන්ගේ අභිමතය අනුවය. ගාසා තිරයේ ජනඝාතනයක් සිදුවන බව පිළිනොගන්නා එක්සත් ජනපදය ගාසා තිරය ඊශ්‍රා යෙලයට ආරක්ෂිත තැනක් බවට සහතික කිරීමට එය පලස්තීනුවන්ගෙන් තොර ප්‍රදේශයක් වන තෙක් ප්‍රමාද වුවහොත් පුදුමයක් නොවේ.

ගාසා තිරයේ සිදුවන ජනඝාතනය ගැන සංවේදී නොවන බොහෝ රටවල් සහ පුද්ගලයන් ට්‍රම්ප් ගේ සාම සැලැස්ම පිළිගන්නා නමුත් එහිදි මෙතෙක් පලස්තීන අර්බුදය ගැන ජාත්‍යන්තර සංවිධාන සහ ජාතයන්තර නීතිය අනුව කර ඇති නිගමන සියල්ල අමතක කර දමා ඇති බව පැහැදිලිය. පළමුවෙන්ම එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් මහ කෙමසාරිස්වරිය පෙන්වා දී ඇති ආකාරයට මෙම සාම සැලැස්මෙන් පලස්තිනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් ගෙන ඇති සියලු නිගමන සහ තීරණ ඉවත දමයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ගාසා තීරයේ ජනඝාතනයක් සිදුවන බවට තීරණය කර ඇති නිසා එම තත්වය නිවැරදි කිරීමට එක්සත් ජාතින්ගේ සාමාජික රටවල් සියල්ල බැඳී සිටින බවද ඇය අවධාරණය කරන්නීය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ඊශ්‍රායෙලය 1948 ජිනීවා සම්මුතියෙන් තහනම් කර ඇති ක්‍රියාවන් පහකින් හතරක්ම කඩ කර ඇත.

ඊට අමතරව 2024 ජුලි 19 එක්සත් ජාතින් සහ අන්තර්ජාතික අපරාධ අධිකරණයත් අන්තර් ජාතික අධිකරණයත් නිකුත් කර ඇති උපදේශාත්මක මතයක් අනුව ඊශ්‍රායෙලය පලස්තීනය සහ ගාසා තීරය අත්පත් කර ගෙන සිටීම නීති විරෝධී ය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2024 සැප්තැම්බර් 18 දින පැවති මහා මණ්ඩල රැස්වීමේ දී ඊශ්‍රායෙලය වසරක් ඇතුළත පලස්තීන ප්‍ර දේශවලින් බවත් විය යුතුයැයි යෝජනාවක් සම්මත කර ඇත.

ට්‍රම්ප් ගේ සාම සැලැස්ම මේ කිසිත් සැලකිල්ලට ගෙන නැත.

පසුගිය මාසයේ අගභාගයේදී ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද සටන් විරාම සිතියම, ඉවත් වීමේ අදියර කිහිපයක් ගෙනහැර දක්වයි.

තවත් වැදගත් කාරණයක් වන්නේ ට්‍රම්ප් ගේ සාම සැලැස්මේ කුමක් සඳහන් වුවත් අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජනඝාතන අපරාධ සම්බන්ධයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට ඇති නියෝගය වෙනස් වන්නේ නැත.

අනෙක් අතට ට්‍රම්ප් ගේ සාම සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායෙලය පනවා ඇති තවත් කොන්දේසියක් වන්නේ පලස්තින අධිකාරිය අගමැති නෙතන්යාහුට සහ ඔහුගේ ආරක්ෂක ඇමතිට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගැනීම ය. එමනිසා ට්‍රම්ප් බලාපොරොත්තු වන ආකාරයට ගාසා තීරය සම්පූර්ණයෙන්ම සාම මණ්ඩලය යටතට පත් කිරීම ගැටලුවක් වනු ඇත. කුමන තත්වයක් යටතේ හෝ දකුණු අප්‍රිකාව නෙතන්යාහුට සහ ඔහුගේ ආරක්ෂක ඇමතිට එරෙවහිව ගොනු කර ඇති නඩුව ඉවත කර ගනු ඇතැයි සිතිය නොහැකිය.

ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට 2026 දී ජනාධිපති තනතුරට පත් වූ විට එක්සත් ජාතින්ගේ යෝජනාව අනුව පලස්තීනයේ අගනුවර විය යුතුයැයි පිළිගත් ජෙරුසලම සම්පුර්ණයෙන්ම ඊශ්‍රායෙලයේ පාලනයට යටත් කර ගැනිම අනුමත කෙළේය. ඉන් පසුව ජාත්‍යන්තර විරෝධය නොතකා එක්සත් ජනපද කාර්යාලය ජෙරුසලම ට ගෙන ගොස් ඊශ්‍රායෙල් පියවරට සුජාත භාවයක් ලබා දීමට උත්සාහ කෙළේය. එමෙන්ම බටහිර ඉවුරේ පලස්තීන අධිකාරියට අයත් ප්‍රදේශවල අනවසරයෙන් යුදෙව් ජනාවාස ඉදි කිරීම ද අනුමත කෙළේය.

2023 ඔක්තෝබර් 7 දිනෙන් ඇරඹුණ ජනඝාතන ප්‍රහාරයටද එක්සත් ජනපදයේ සහාය නොමදව ලැබිණ. වාර්තා වන ආකාරයට මෙම ප්‍රහාරය සඳහා අවි ආයුධ ලබා දීමට අමතරව ඩොලර් බිලියන 22.5 ක ආධාර මුදල් ද ඊශ්‍රායෙලයට ලබා දී ඇත.

2025 සැප්තැම්බර් 29 වන දින ඕවල් කාර්යාලයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, වමේ සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

සියලු කරුණුවලින් පැහැදිලි වන්නේ එක්සත් ජනපදය සහ බටහිර රටවල් ඊශ්‍රායෙලයේ යුද ප්‍රයත්නයට සම්පූර්ණ සහාය ලබා දී ඇත යන්නයි. ඊශ්‍රායෙලයට සහාය දීමේ දී ජාත්‍යන්තර නිති සහ සම්මත කඩා බිඳ දැමීම මෙම රටවල් සියල්ල නිහඩතාවයෙන් සහ අනුමැතියෙන් සහාය ලබා දී ඇත. ඒ සියල්ලෙන් කියවෙන්නේ ඔවුන් මෙම ගැටුමේ පාර්ශ්වයන්වීමය. එවිට සාමයක් උදා කර ගත හැකි වන්නේ අනෙක් පාර්ශ්වය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමෙනි. ඇත්තෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සාම සැලැස්මෙන් අදහස් වන්නේ එම යටපත් කිරීම ලේඛන ගත කිරීමකි.

දැන් ඉතා පැහැදිලිව දැක්වෙන ආකාරයට පලස්තීනයේ ගැටලුව භූමි ප්‍රදේශයක් සඳහා කෙරෙන අරගලයක් නොවේ. ජීවත්වීමේ අයිතිය පිළිබඳ වූ අරගලය අද මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක් බවට පත්ව ඇත. දිවි පැවැත්ම සඳහා අවශ්‍ය මූලික දේ, ආහාර, ජලය, නිවාස සහ සෞඛ්‍ය ආදී පහසුකම් සියල්ල ගුවන් ප්‍රහාරවලින් විනාශ කරන තත්වයක් යටතේ සහ එම සහනාධාර ස්වේච්ඡාවෙන් සැපයීමට ඉදිරිපත් වන අයට පවා නොයෙකුත් හිරිහැර තාඩන පීඩන කිරීමෙන් තහවුරු වන්නේ මනුෂ්‍යත්වයේ පිරිහීමකි. ඇත්තෙන්ම ගාසා තීරයේ එළිමහන් සිරකඳවුරක පවතින පහසුකම් හෝ නැත. එළිමහන් සිර කඳවුරක සිරකරුවන්ට ආහාර ජලය සහ රැකවරණය කිසියම් දුරකට හෝ සහතික වේ. ගාසා තීරයේ එවැනි තත්වයක් හෝ නැත.

මෙවැනි වාතාවරණයක් යටතේ ගාසා තීරයේ තවමත් නොමැරී ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා කිසිත් සැලකිල්ලට නොගෙන නව ඉදි කිරීම් ගැන අවධානය යොමු කර ඇති ට්‍රම්ප් ගේ සාම සැලැස්ම සැබැවින්ම මනුෂ්‍යත්වයට කරන නිගාවකි.   

Leave a Reply