You are currently viewing නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි..

නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි..

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය දිනා ගැනීමෙන් පසුව ඉදිරි වසරේ දී නැතිනම් ඉදිරි පස් වසර තුළ නිම කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන ජනාධිපති අනුර කුමාර දිසානායක සුපුරුදු වාග් චාතූර්ය විදහා දකවමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. ඔහු තමා කියන දේ මැනැවින් ග්‍රහණය කර ගෙන ඇති බව පෙනුනේ සටහන් කිසිවක ආධාරයක් නැතිව වෙන් කර තිබු ආකාරයට නියමිත කාල සීමාව තුළ කතාව අවසන් කිරීමෙනි. ආර්ථික අර්බූදය, දේශයේ සම්පත් කොල්ල කෑ පාලකයන්ට විරුද්ධව ගන්නා නිතිමය පියවර සහ ජනතාවට වගකියන පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමේ අධිෂ්ඨානය වැනි කරුණු වැදගත් ය. කාලෝචිතය.

රට මුහුණ දී ඇති ආර්ථික ගැටලුවලට කඩිනම් මෙන්ම තිරසාර විසඳුම් අවශ්‍ය බවට කිසිදු විවාදයක් නැත. ඊට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහාය ලබා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ජනාධිපති අනුර කුමාරට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. පසුගිය වසර කිපය පුරාම නෙයෙකුත් වේදිකාවල දී ඔහු ඒ ගැන කතා කෙළේය. ඔවුන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ද ඒ ගැන පැහැදිලි කර තිබිණ.

මේ සිද්ධීන් වර්ධනය වී පුපුරා ගිය ආකාරයත් ඒවායේ අවසාන ප්‍රතිඵලයත් විස්තර කිරීමට මෙය අවස්ථාව නොවේ. එහෙත් එක කරුණක් අවධාරණය කළ යුතුය. එ සියල්ලට මුල් වූයේ රටේ පාලකයන් හා ජනතාව අතර ඇති සම්බන්ධතාවය දුරස්වීමය. මෙම දුරස්තභාවයට විසඳුම් වශයෙන් සමහර දේශපාලකයන් ඉදිරිපත් කෙළේ ජාතිවාදයයි. එනම් මේ සියලු ප්‍රශ්නවලට හේතුව මහ ජාතියේ අයිතිවාසිකම් සුළු ජාතීන් විසින් අත්පත් කර ගැනීමය යන මතය සමාජ ගත කිරීම ය. ඊට යටත් විජිත පාලනය ද හේතු වු බව දැක්විණ. 1972 ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් ඊට විසඳුම් ලබා ගත හැකියැයි එවක සිටි පාලකයෝ විශ්වාස කළහ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කෙළේ ආණ්ඩුවේ සියලු පාලන බලතල විධායකයට එනම් ඊට ජනාධිපති යටතට පත් කිරීමය. ඉන් රටට අත් වූ ඉරණම තවමත් අපේ මතකයේ රැඳී පවතී. මෙම ක්‍රමය වෙනස් කළ යුතුයැයි 78න් පසුව පැවති සෑම මැතිවරණයක දීම ප්‍රමුඛ ඉල්ලීමක් විය. පසුගිය මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ගත්තේ ද එවැනිම ස්ථාවරයකි.

රට ආර්ථිකව බංකොළොත්වීමට හේතුව වූයේ ද වැරදි සහගත මංකොල්ලකාරි දේශපාලනය බව අධිකරණයෙන් පවා පිළිගත් කාරනයකි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති බව තිරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන් ඔවුන් සහ ඔවුන්ට උපදෙස් ලබා දුන් නිලධාරීන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව තීරණය කෙළේය. 

මෙහිදී අපට වැදගත් වන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට තුඩු දුන් පාලන ක්‍රමය වෙනස් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අයිතිවාසිකම් කඩ කිරීමට පදනම් වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයයි. එය හදිසි අවශ්‍යතාවයක් වන්නේ දේශපාලන පදනම වෙනස් කිරීමෙන් තොරව ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි නිසාය. පාලනය වෙනස්විමත් සමග පුද්ගලයන්ගේ මාරුවීමක් සිදු වුවද පැවති ක්‍රමය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම වෙනස් වන්නේ නැත. පගා ගත් ඇමතිවරුන් වෙනුවට පගා නොගන්නා ඇමතිවරුන් පත් කිරීමෙන් පගා ගැනීමට ඇති අවස්ථා ඉවත් වන්නේ නැත. සමහර විට එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාවය අනුව දූෂණ වංචා ඉවත් කිරීමට පියවර ගත හැකි වුවද ඉන් ක්‍රමය වෙනස් වන්නේ නැත. අලුත් වයින් පැරණි බෝතලයට දැමීමකි. ( මෙය නව පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ දීම ප්‍රදර්ශනය විය.)

ක්‍රමය වෙනස් කිරීමේ මූලික පියවර විය යුත්තේ හොර මැරකම්වලට ඉඩසැලසෙන පාලන ක්‍රමය, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ය. එහෙත් පුදුමයකට මෙන් ජනාධිපති අනුර කුමාර පාර්ලිමේන්තුව අමතා කළ කතාවේ ඒ ගැන කිසිත් සඳහන් වූයේ නැත. එය අමතකවීමක්යැයි කිසිසේත් කිව නොහැකිය. ආර්ථික අර්බූදයේ ස්වරූපයත් ඊට පදනම් වූ දේශපාලනයේ හැසිරීමත් මනාව දත් පුද්ගලයෙකුට එය අමතක විය නොහැකිය.

පසුගිය හැත්තෑහය වසරක නොමග ගිය දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට සපථ කළ පුද්ගලයෙකුට එය අමතක විය හැකිද? බොහෝ විට එය ප්‍රමුඛතාවයක් නොවන්නේයැයි ඔහු සිතන්නට ඇත. ඒ ඔහු අදහස් කරන ආකාරයට ජනතාව අපේක්ෂා කළ වෙනස ඇති කිරීම සඳහා විධායක බලය තනි පුද්ගලයෙකු අත ටික කලකට හෝ පවත්වා ගැනීමට අවශ්‍යයැයි සිතූ නිසා විය හැකිය. මෙය අනුර කුමාරත් වෙනසක් ඇති කිරීම සඳහා බලය හිමි කර ගත් වෙනත් රටවල පාලකයනුත් සිතන ආකාරයයි.

ජනාධිපති අරුණ කුමාර සිය කතාවේ දී අවධාරණය කළ ආකාරයට ජාතිවාදයත් ආර්ථිකයේ කඩා වැටීමත් සැබැවින්ම පරාජය කළ හැකි වන්නේ ජනතාවට වගකියන ජනතාවට සහභාගි විය හැකි පාලන ක්‍රමයක් තුළින් පමණි. ඔහු නිතර අවධාරණය කරන ආකාරයට කොපමණ හොඳ නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම් පාලන ක්‍රමය නිවැරදි වන්නේ නැත. පාලන ක්‍රමය නිවැරදි වීමට සහ නිවැරදි කිරීමට වැදගත් වන්නේ ජනතා සහභාගිත්වයයි. පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය ජනතා අයිතිය ප්‍රකාශ කිරීමක් වුවද එය ලොව පුරාම අසාර්ථක වී ඇති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ගාළු මුවදොර අරගල කළ ජනතාව දෙසිය විසිපහම එපා කීවේ පාර්ලිමේන්තු නියෝජන ක්‍රමයේ අසාර්ථක භාවය නිසාය. ඒ ගැන අටුවා ටීකා අනවශ්‍ය ය.

එමනිසා අලුත් ගමන් මග ඇරඹිය යුත්තේ එතැනින්ය. පාර්ලිමේන්තු නියෝජන ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනතා සහභාගිත්වය තහවුරු කරන පාලන ක්‍රමයක් තවම ව්‍යවහාරයට පැමිණ නැති බව සැබවි. ඒ නිසාම පැරණි ක්‍රමය හොඳයැයි නිගමනය කිරීම පැරණි ගමන් මාර්ගයම තෝරා ගැනීමකි.

තමන්ට අකමැති පාලකයන් ඉවත් කිරීමට වසර පහකින් පසුව මැතිවරණයක් එළඹෙන තෙක් බලාපොරොත්තු වීමට වඩා හොඳ ක්‍රමයක් වන්නේ ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමේ අයිතියයි. නිශ්චිත ඡන්දදායකයන් පිරිසක් ඉල්ලීමක් කළ විට ජනතා නියෝජිතයා ආපසු කැඳවා නැවත කෙනෙකු පත් කර ගැනීම සමහර රටවල දැනටත් භාවිතා කරන පිළිවෙතකි. එය එක්සත් ජනපදයේ පවා ප්‍රතිපාදනය කර ඇති අයිතියකි. එහෙත් එවැනි අයිතිවාසිකම් තිබෙන නිසා එක්සත් ජනපදයේ පාලනය ජනතාවාදී වී නැත.

එමනිසා වඩාත් වැදගත් වන්නේ ජනතාවට බලපෑම් කළ හැකි විවෘත පාලන ක්‍රමයකි. තීරණ ගැනීමේ පාරද්‍රශ්‍යභාවය තහවුරු කරන පාලන ක්‍රමයකි. දැනටත් රජයේ විගණකට ආණ්ඩුවේ සියලු ක්‍රියා පටිපාටි විමසීමේ සහ වාර්තා කිරීමේ අයිතියක් පවතී. ඔහු වාර්තා කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ දෙසිය විසිපහටමය. ඒ නිසා එම උත්සාහය ගඟට කැපූ ඉණිවලට වෙනස් වන්නේනැත. වෙනස් විය යුත්තේ මෙවැනි දේය. ආර්ථිකය ගොඩ නැගිය හැකි වන්නේ වගකීමට සහ වගවීමට බැඳී ඇති පාලන ක්‍රමයක් තුළින් පමණි. එවැනි ක්‍රමයක් බිහි කළ හැක්කේ සියලු ජනකොටස්වල සහභාගිත්වය ඇතිව සකස් කර ගන්නා සැබැවින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙනි.

එය අමතක කිරීම හෝ පසුපසට දැමීම ජනතා අපේක්ෂාවට පිටුපෑමකි.  

Leave a Reply