You are currently viewing දෙමාපියන් විසින් වනචාරි තත්වයට පත් කළ සමාජය..

දෙමාපියන් විසින් වනචාරි තත්වයට පත් කළ සමාජය..

දිනය: නිශ්චිතව ම සිහිපත් කළ නොහැකි වුවත් පසුගිය සතියේ දිනක ය.
ස්ථානය: මාර්ග අංක 176 දෙහිවල සිට හෙට්ටියවත්ත බලා යන පුද්ගලික බසයකි
සිද්ධිය වූයේ එම බසයේ ගමන් කළ මගියෙකු ඔහුගේ ගමනාන්තයට අය කරන ගාස්තුව විමසීම සම්බන්ධයෙනි.

සාමාන්‍ය මැද පන්තියේ යැයි කිව හැකි මනාව හැඳ පැළඳ සිටි එම පුද්ගලයා කීප විටක්ම ඔහුගේ ගමනාන්තය වූ මරදානට අය කරන බස් ගාස්තුව බස් රථයේ කොන්දොස්තරගෙන් විමසුවේය. සාමාන්‍යයෙන් පුද්ගලික බස්වල කොන්දොස්තරයින් හිතු මතේට මුදල් අය කිරීම පුරුද්දකි. මෙම පුද්ගලයාගෙන් වැඩි පුර මුදලක් ගත්තේය යන හැඟීම නිසා මෙම ප්‍රශ්න කිරීම සිදු වන්නට ඇති බවට සැකයක් නැත. සෙසු මගීන්ගෙන් ද බොහෝ විට බස් ගාස්තු රු. 38, රු. 48 වැනි ගණන් වන විට ඉතිරි මුදල නොදී ආසන්න වශයෙන් පූර්ණ ගණනක් වූ රු. 40 හෝ 50 ගැනීම සාමාන්‍ය පුරුද්දයි. මේ ගැන මගීන් විමසන්නේ නැති නිසා ඉතිරි මුදල බොහෝ විට ලැබෙන්නේ නැත. එහෙත් මෙම මගියා දිගින් දිගටම ගාස්තුව විමසීම නිසා උරණ වූ කොන්දොස්තර සමග වචන හරඹයක් ඇති විය. තත්වය මදක් උණුසුම් වන විට ඉදිරි අසුනේ සිටි තවත් මැදිවියේ තැන්පත් ගතියක් පෙන් වූ මගියෙකු මැදිහත්ව එය සන්සුන් කිරීමට උත්සාහ ගත්තේය. ඔහුගේ තර්කය වූයේ මෙවැනි දේ අද සමාජයේ හැම තැනම සිදුවන සාමාන්‍ය දේ නිසා ඒවා නො සලකා හැරිය යුතුය යනුවෙනි. මගියා එම කතාවෙන් පසුව සන්සුන් වු අතර කොන්දොස්තර ද පා පුවරුට බැස බුලත් විටක් හැපීමට ගත්තේය.

එහෙත් මැදිහත්කරු නිහඬ වූයේ නැත. තමා මේසන් බාස් කෙනෙකු සේ හඳුන්වා ගත් ඔහු දිගටම කතා කෙළේය. ඔහුගේ පෙනුම සහ කතා කළ ආකාරයත් යොදා ගත් වචන අනුවත් මේසන් බාස් කෙනෙකුට වඩා වෙනසක් පැහැදිලිව ම දක්නට ලැබිණ. මා තිගැස්මට ලක් වූ ඔහුගේ කියුමක් වූයේ තමා දෙමාපියන් නිසා වනචරයෙකු වූ බව පැවසීම යි. වැරදි ආදර්ශ, මග පෙන්වීම් හෝ දුප්පත්කම නිසා සමාජ විරෝධී වැඩ කටයුතුවලට ඇබ්බැහිවීම අප සමාජයේ සුලබව දක්නට ලැබෙන කරුණක් වුවද ඊට දෙමාපියන්ට මේ ආකාරයෙන් දොස් පැවරීම් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මහා දාමරිකයන්ගේ අත් පාවල අම්මා බුදුවේවා වැනි පච්ච කෙටීම් දක්නට ඇත. මේ නිසා මෙම අමුතු කතාව ගැන මම වඩාත් උනන්දු වූයෙමි.

දෙමාපියන් තමා වනචරයෙකු කළ ආකාරය ඊළඟට පැහැදිලි කෙළේය. “අපේ අම්මලා තාත්තලා මා කුඩා කාලයේම දහම් පාසල් යැව්වා. ඊට පස්සෙ දේශපාලන පක්ෂවලට ඡන්දය දෙන්න කියා දුන්නා.” ඉන් පසුව ආගම් මුවාවෙන් සිදුවෙන නොපනත්කම් සහ අකටයුතු ගණනාවක් කියා නිහඬ වූයේය. එහෙත් මගේ සිත සසල විය.

රැවුල වවා හිස කේ නොකපා සිටින විප්ලවවාදියෙකු මෙන්  නොවු ඔහු ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධයැයි සිතා ගැනීමට තුඩු දෙන කිසිවක් කීවේ නැත. ඒ ගැන ප්‍රශ්න කිරීමට මම පසුබෑවෙමි. කෙසේ වුවත් ඔහු කී දේ සමාජයේ බහුතරයකගේ අදහස නොවිය හැකි නමුත් එය සමාජය තුළ සිදුවෙමින් පවතින, මෙතෙක් නිසි පරිදි හඳුනා ගත නොමැති ක්‍රියාවලියකැයි මට සිතිණ. ඔහු තමා වනචරයෙකු කෙළේ දෙමාපියන්යැයි කිව ද බසයේ සිටි කිසිවෙක් ඊට අභියෝග කෙළේ නැත. මම ද නිහඬව සිටියෙමි. තිගැස්මට කරුණක් වුවත් ගැඹුරු සත්‍යයක් ඒ තුළ ඇතැයි මට සිතිණ.

සෑම දෙමාපියෙකුම තම දු දරුවන් දහම් පාසලට යවන්නේ ආගම වනපොත් කිරීමට පමණක් නොවේ. ඒ තුළින් අපේ අධ්‍යාපන ක්‍රමයෙන් බැහැර කර හෝ නොසලකා ඇති ආචාර ධර්ම, ගති පැවතුම්, සමාජ හර පද්ධතීන් පිලිබඳ අධ්‍යාපනයක් සහ හැඩ ගැස්මක් ලබා දිම සඳහා ය. දැන් සමහර ළමයින්  වැඩිහිටියන්ට හෝ තම ගුරුවරුන්ට මහ මග පවා දණ ගසා වඳිනු මම දැක ඇත්තෙමි. එහෙත් සමාජය ගුණ ගරුක, විනය ගරුක වී නැත. එමනිසා තම දරුවන් දහම් පාසල් යවන්නේ සමාජ ජීවිතයට අවශ්‍ය කරන ගුණාංග ඔවුන්ගේ ජීවිතයට ඇබ්බැහි කිරීමට වුවත් එය සිදුව නැති බව පෙනේ.

අවාසනාවකට මෙන් සිදුව ඇත්තේ කුමක් ද?

ඉහත කී මගියා දර දඬු ආකාරයෙන් පැවසූවේ ඉන් සිදුව ඇත්තේ එක්තරා ආකාරයකින් වනචරයින් බිහි කිරීම ය. සමහර විට මාකඳුරේ මධූෂ් වැනි අය ද ළමා කාලයේ ගමේ දහම් පාසලට යන්නට ඇත. ඔහු ගේ ප්‍රධාන ගෝලයෙකු තම ගමේ කන්දක් මුදුනේ බුදුරුවක් ඉදි කිරීමට මුදල් දුන් බව ගම් වැසියෝ පවසති. එහෙත් අද සමාජය කෙතරම් පිරිහී වනචාරි තත්වයකට පත්ව ඇත්ද යන්න විශේෂයෙන් පැහැදිලි කළ යුතු නැත. හැම තැනකම රජයන්නේ අයුක්තිය සහ අසාධාරණය යි. දහම් පාසල් අධ්‍යාපනය ලබා උසස්ම සහතික ලැබු අය පවා සමාජයේ වගකිව යුතු තැන්වලට පත් වූ විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇබ්බැහි වන්නේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයට ය. ඊට එරෙහිව යෑමට ඔවුන්ට ඕනෑකමක් හෝ කැපවීමක් නැත. බෞද්ධයින් ලෙස පන්සිල් පද පහ පවා රැකීමට ඔවුන්ට වුමනාවක් නැත. එම දැනුම වැදගත් වන්නේ පාලි පාඨ පුනරුච්චාරණය කිරීමට පමණි. දොහොත් මුදුණේ තබා ගෙන පන්සිල් පද පහ උස් හඬින් පැවසීම ආගම් භක්තියට ප්‍රමාණවත් ය.

ඉහත කී මගියාගේ චෝදනාව වන්නේ මෙම පිරිහීමට ( ඔහු සඳහන් කළ ආකාරයට වනචර කිරීමට ) හේතු වන්නේ දහම් පාසලේ දී එම ගුණ ධර්ම නොඉගැන්වීම පමණක් නොවේ. ජාතිය භාෂාව වැනි දේ ද්වේෂය, වෛරය සහ ක්‍රෝධය පතුරුවන ඉගැන්වීමේ මාධ්‍යයක් බවට ආගම පත් කිරීම ය. අපේ ආගම අන් සියල්ලටම වඩා උසස්ය, අන් සියලු දේ මිත්‍යදෘෂ්ටීන්ය, වැනි ඉගැන්වීම් නිසාත් තර්කානුකූලව සිතිමට පුහුණු කිරීමට වඩා අන්ධ භක්තියෙන් ඇදහීම පුරුදු පුහුණු කරන නිසාත් බිහි වන්නේ බස් කොන්දොස්තර මෙන් වහා කෝපයට පත්ව ප්‍රචණ්ඩත්වයට පෙළඹෙන මිනිසුන් ය.

මිනිසා දේශපාලන සත්වයෙකි යන්න ප්‍රචලිත දැනුමකි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක විවිධ ජන කොටස්වල දේශපාලන වුවමනාවන් නියෝජනය වන්නේ දේශපාලන පක්ෂවලිනි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළත් ඒවා තම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් නොකරන ඕනෑම දේශපාලන පක්ෂයකට මැතිවරණ කොමිසමේ ලියා පදිංචි වීමටත් ඕනෑම ඡන්ද විමසීමකට ඉදිරිපත් වීමටත් හැකිය. ප්‍රතිපත්ති දේශපාලනයක් ගැන කතා කරන්නේනම් අනිවාර්යෙන්ම එය දේශපාලන පක්ෂයක ක්‍රියා මාර්ගයට ඇතුළත් මූලධර්මයක් විය යුතුය. එසේ නොමැතිව පුද්ගල අවශ්‍යතාවය මුල් කර ගෙන පාර්ලිමේන්තුවටත් වෙනත් මහජන නියෝජිත ආයතනවලටත් මහජන ඡන්දයෙන් තේරී පත්වන අවස්ථා ද ඇත. මෙවැනි අය කලකට පෙර හැඳින් වූයේ ඔළු තුනේ බූරුවන් සේය. තනි ඔළුවක් ඇති බූරුවන් පොල්වතුවල සිටින නමුත් ඔළු තුනක් ඇති බූරුවන් දැකිය හැක්කේ දේශපාලන වේදිකාවේ වීම විශේෂ ලක්ෂණයකි.

කෙසේ වුවත් ඉන් හාස්‍යයටත් ගැරහීමටත් ලක් කෙළේ ප්‍රතිපත්තියක් නැතිව වාසිය බලා තම ස්ථාවරය වෙනස් කරන දේශපාලකයන් ය. එවකට සමාජ සම්මතය වූයේ දේශපාලනය නිශ්චිත ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග අනුමත කරන ඒ වෙනුවෙන් පෙනි සිටින සටන් කරන දේශපාලන පක්ෂ රටේ බලය ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමේ වේදිකාවක් විය යුතුය යන්නයි. මේසන් බාස් කෙනෙකුයැයි තමා හඳුන්වා ගත් පුද්ගලයාට ඔහුගේ දෙමාපියන් (සහ බොහෝ විට සමාජයෙන්) උගන්වා ඇත්තේ එයයි. වඩාත් සරලව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් අනුගමනය කිරීමට පෙළඹවීමය. අද ඔහු එය දකින්නේ වනචාරි ක්‍රියාවකට පෙළඹවීමක් සේය.

දේශපාලන පක්ෂයකට ඡන්දය දීම වනචාරි ක්‍රියාවක් වන්නේ ආගම ඉගැන්වීමේ මුවාවෙන් වැරදි සමාජ ආදර්ශයක් ලබා දුන් ආකාරයටම ය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන මතය නියෝජනය වීමේ මූලික ශිෂ්ට ක්‍රමය වන්නේ දේශපාලන පක්ෂ ශක්තිමත් පදනමකින් ගොඩ නැගී ජනතා අපේක්ෂා සුරක්ෂිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඇප කැපවීමෙන් කටයුතු කිරීමෙනි. දේශපාලකයන් සුවිශේෂ ජන කොටසක් වන්නේ ඔවුන් සමාජ යථාර්ථය තේරුම් ගෙන ඒ වෙනුවෙන් කැප කිරීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන නිසාය. දේශපාලකයන්ට සමාජ ගරුත්වය සහ පිළිගැනීම ලැබෙන්නේ එම නිසාය.

එහෙත් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා වසර හැත්තෑ පහක් පසු කොට ඇති අපේ දේශපාලනය  සැබැවින්ම වනචාරි තත්වයකට පත්ව නැත්ද යන්න විමසා බැලිය යුතුය. අපේ මගියා මෙන් ගොරහැඩි ආකාරයෙන් නොවන නමුත් සමාජයේ පුළුල් ජන කොටසක් මෙම දේශපාලනයෙන් අපගේ ආර්ථිකය පමණක් නොව සමාජ ගුණ ධර්ම ද දරුණු පිරිහීමකට පත්කොට ඇතැයි විශ්වාස කරති. සර්ව ජන ඡන්ද අයිතිය අපට ලැබුනේ නිදහස ලැබීමටත් පෙරය. දැනට ශත වර්ෂයකට ආසන්න කාලයක් අප ජනතාව මෙම අයිතිය භාවිතා කර පත්කරගත් පාලකයන් ජනතා අපේක්ෂා ඉටු කිරීමට අසමත්ව ඇත. යාන්තමින් හෝ පණනළ රැකගත් ජීවන ක්‍රමය වඩාත් පරිහානියට පත් කොට රටම බංකොළොත් කර ඇත. බංකොළොත් භාවයෙන් මිදීමටයැයි පවසමින් තව තවත් ණය ගෙන ජනතාව දේශීය සහ විදේශීය වශයෙන් අසරණ තත්වයට පත් කරති.

මෙය වනචාරි ක්‍රියාවක් වන්නේ ජනතා නියෝජිතයන්යැයි හඳුන්වා ගන්නා මෙම පාලකයන් පවතින ක්‍රමයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගනිමින් සුර සැප විදීමෙනි. ආර්ථික අර්බූදයත් සමාජයේ පවතින දුශ්චරිතත් ඔවුන්ට බලපාන්නේ නැත. ඔවුන්ගේ මන්දිරවලට හොරු පනින්නේ නැත. කෑම බීම හිගයක් නැත. විදෙස් සංචාරවල අඩුවක් ද නැත. සුවහසක් දෙනා දුක් විඳිද්දී ජන වරමෙන් පාලන බලය ලබා ඇති අතලොස්සක් සැප සම්පත් නොඅඩුව භුක්ති විඳීම සැබැවින්ම අශික්ෂිත වනචර ක්‍රියාවකි. මෙම දුකින් මිදිමට වනචර දේශපාලනයෙන් මිදිය යුතුය. එය දේශපාලන පක්ෂ ඉවත් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි බව ද අවබෝධ කර ගත යුතුය. ජනතාවාදී දේශපාලන විඥානය ජන සිත් සතන් තුළට කිඳා බසින තෙක් අපට උරුම වන්නේ වනචාරි දේශපාලනයකි.           

Leave a Reply