You are currently viewing ට්‍රම්ප්ගේ තීරු බද්දෙන්ලංකාව වැටෙයි ද ?

ට්‍රම්ප්ගේ තීරු බද්දෙන්ලංකාව වැටෙයි ද ?

බ්‍රිතාන්‍ය‍ය  කිරුළට එරෙහිව විමුක්තිය පතා දකුණේ තරුණයන් දියත් කළ   71 සන්නද්ධ කැරැල්ලට 54 වසක් සපිරෙන අප්‍රියෙල් 5 වැනිදා සිට මෙරටින් ඇමෙරිකාවට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක නව තීරු බද්දක් අය කිරීමට නියමිතය. යළිත් වරක් බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝ දිනෙක  පෙන්වා දුන්නේ  ලංකාවේ අපනයනය හා ආනයනය වෙළඳ පරතරය පියවා ගැනීමට මෙම තීරු බද්ද ක්‍රියාත්මක කරන බවය. GSP සහනය  යටතේ අපනයනය කෙරෙන භාණ්ඩ වර්ග 3000 කට වැඩි ප්‍රමාණයක් සඳහා ද  නව තීරු බද්ද අය කෙරේ.

ලංකාවෙන් වැඩි වශයෙන්ම ඇමෙරිකාවට අපනයනය කරනු ලබන්නේ ඇඟළුම් නිපැයුම්ය. නව තීරු බද්ද සියයට 44 හේතුවෙන්  එම ඇඟළුම් නිෂ්පාදනවල මිළ ඇමෙරිකානු වෙළඳ පොළේදී ඉහල යනු ලැබේ. ගැනුම්කරුවන් අඩු මිළක් ඇති ඇඟළුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මගින් ලංකාවේ ඇඟළුම්වලට පවතින ඉල්ලුම පහත වැටෙනු නිසැකය. එය මෙරට ඇඟළුම් කර්මාන්තයට මෙන්ම, එහි නියැලී සිටින කම්කරුවන්ගේ රැකියා සුරක්ෂිතතාව කෙරෙහි ප්‍රබල පහරක් එල්ල කරනු ඇත.

නිදහස් වෙළඳ කලාප හා පොදු කම්කරු සංගමයේ  සම ලේකම්, ඇන්ටන් මාකස්

 නිදහස් වෙළඳ කලාප ආශ්‍රිත ඇඟළුම් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින  ප්‍රමුඛ පෙලේ වෘත්තීය සමිතියක් වූ  නිදහස් වෙළඳ කලාප හා පොදු කම්කරු සංගමයේ  සම ලේකම්, ඇන්ටන් මාකස් පෙන්වා දෙන්නේ  මේ පිළිබඳව ආණ්ඩුව බරපතල මැදිහත්වීමක් කළ යුතු බවය. 

මහ පරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලාව දළ වශයෙන්  කම්කරුවෝ  25,000 කට වැඩි ප්‍රමාණයක් සේවය කරති. ඇමෙරිකානු නව බදූ ප්‍රතිපත්ති හරහා ලංකාව තුල රැකියා අර්බුදයක් නිර්මාණය විය හැක.

වෘත්තීය සමිති නායක ඇන්ටන් මාක්ස් අවධාරණය කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ලංකාව එළඹි ගිවිසුම අනුව  2027 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 16 ක අපනයන ආදායමක් සාක්ෂාත් කරගත යුතු බවට   ඉලක්කයක්  ලබා දී ඇත. ඒ පවතින ආර්ථික අර්බුදය සමනය කර ගැනීම වෙනුවෙනි. මේ වන විට ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 කි. ඉලක්කය සපුරා ගැනීමට තවත් ඩොලර් බිලියන 4 ක් වැඩි කරගත යුතුය. විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයක් වන ඇඟළුම් කර්මාන්තය, ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්ති හමුවේ බිඳ වැටුන හොත් රට තවත් අර්බුදයකට යනු ඇත.

ඇඟළුම් කර්මාන්තය රැක ගැනීමට නම් කම්කරුවන්ගේ ජිවන තත්වය යහපත් කලයුතුය. දැනට කර්මාන්තයේ නියැලී සිටින බොහෝ රටවල කම්කරුවන් සේවය කරන්නේ අවම අයිතීන් යටතේය.

ඇන්ටන් මාක්ස් ට අනුව කම්කරුවාට යහපත් වටපිටාවක් නිර්මාණය කිරීම තුලින් ඇඟළුම් ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට තරඟයක් දිය හැක.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද මෙම නව තීරු බදු නිසා පැන නැගිය හැකි ගැටලු ගැන  ගැඹුරින් අධ්‍යයනය කර ආණ්ඩුවට නිර්දේශ ඉදිරිපත් කරන්නට  කමිටුවක් පත් කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබූ මෙම කමිටුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන් ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී  වැනි ඇඟළුම් කම්හල් හිමිකරුවන් ද සමන්විතවේ.

ඇඟළුම් කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය නායක ඇන්ටන් මාකස් ට අනුව වෘත්තීය සමිති නියෝජනයක් මෙම කමිටුව තුල නොමැති වීම බලවත් අඩුවකි.

Leave a Reply