අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ විදේශ ඇමති අලි සබ්‍රි ගේ වාග් චාතුර්ය නොතකා ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ 51 වැනි සැසි වාරයේ දී ද ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව මහකොමසාරිස් මිචෙලෙ බැචෙලෙගේ යෝජනාව නැවත වරක් සම්මත විය. පසුගිය වසරේ යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය මෙවර දෙකකින් අඩු වුවද එය කිසිසේත් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට සැනසීමට කරුණක් නොවේ. රටේ ආර්ථික තත්වය මෙන්ම දේශපාලන ස්ථාවරත්වය පෙර වසරටත් වඩා කඩා වැටී ඇති හෙයින් ලංකාවේ අසරණකම වඩාත් දැඩිවී ඇත.
ජිනීවා මානව අයිතිවාසිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්මත වීමට වඩා වැදගත් වන්නේ අලි සබ්‍රි වැනි නීති විශාරදයින් එය දකින ආකාරයයි. අලි සබ්‍රි ඉදිරිපත් කළත් එය නිසැකයෙන්ම රජයේ මතයයි. ජිනීවා ඡන්ද විමසීමට දින කීපයකට පෙර රූපවාහිනි නාළිකා ඔස්සේ කරුණු පැහැදිලි කළ ඔහු යෝජනාව සම්මත වීම අනිවාර්යක් බව පිළිගත්තේය. එසේ වන්නේ ලොව බලවත් රාජ්‍යයන් මෙම යෝජනාවට පක්ෂව කුඩා දුර්වල රටවල සහාය ලබා ගැනීමට සමත් නිසාය. ඔහු තවදුරටත් පැහැදිලි කළ ආකාරයට ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය පමණක් නොව සදාකාලික මිතුරෙකු වශයෙන් හැඳින්වෙන ජපානය ද මෙම යෝජනාව සම්මත කර ගැනීමට වෙහෙස ගත්හ. ජිනීවා යෑමට පෙර ඔහු කළ ප්‍රකාශයක් අනුව මෙම රටවල් සැලකිය යුත්තේ සතුරු නැතිනම් ද්‍රෝහි රාජ්‍යයන් වශයෙනි.
විදේශ ඇමති අලි සබ්‍රි තර්ක කරන ආකාරයට මෙවර යෝජනාවට රටේ සිදුවන වංචා සහ දූෂණ ද විමර්ශනයට ලක්විය යුතුය යන්න ඇතුළත්වීම කොමිසමේ බල අධිකාරිය ඉක්මවා යන්නකි. සරලව වංචා සහ දූෂණ සෙවීම සම්පූර්ණයෙන්ම දේශීය කටයුත්තකි. ඊට විදෙස් රටවල් මැදිහත් විය යුතු නැත. වංචා සහ දූෂණ කටයුතු පිළිබඳව දේශීය උසාවියේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි අලි සබ්‍රි මෙවැනි තර්කයක් ඉදිරිපත් කිරීම තේරුම් ගත හැකිය. ජාතියම හිඟමනට පත් කළ වංචා සහ දූෂණ සිදු වුවත් ඒ කිසිවක් චෝදනා වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ පිළිගත් සම්ප්‍රදායක් නොපවතින බවද විදේශ ඇමති දන්නවා විය හැකිය. යම්හෙයකින් නඩුවක් ගොණු කළත් නොයෙතුත් අඩුපාඩු නිසා නඩු විභාගය ඉදිරියට යන්නේ ද නැත. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව ගොණු කළ චෝදනා දහස් ගණනක් අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වූ ආකාරය තවමත් අමතකව නැත.
අප පැහැදිලි කර ගත යුතු මූලික කරුණක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිවිල්, දේශපාලන සහ ආර්ථික අයිතීන් මූලික මිනිස් අයිතිවාසිකම් බවට පිළිගෙන ඇති නිසා ඒවා කිසිසේත් වෙන් කළ නොහැකිය යන්නයි. ඒ බව අලි සබ්‍රි නීති ශිෂ්‍යයෙකුව සිටිය දී දැනගන්නට ඇත. අයි සි සී පී ආර් යනුවෙන් හැඳින්වෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සන්ධානයට ලංකාව ද අත්සන් කර එය දේශීය නීතියට ඇතුළත් කර ඇති බවද ඔහු නොදන්නවා විය නොහැකිය. එම සන්ධානය අනුව පුද්ගලයෙකුට තම අයිතිවාසිකම් අඩුවක් නැතිව භුක්ති විඳීමටනම් පුද්ගල නිදහසට අමතරව ආර්ථික නිදහස, නොඑසේනම් යහපත් ජීවිතයක් පවත්වා ගැනීමේ හැකියාව ද තිබිය යුතුය. ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම රජයේ යුතු කමකි.
රටක පාලක පංතිය ජනතාව සතු සම්පත් වංචා කිරීමෙන් සහ නොයෙකුත් දූෂණ කටයුතුවලින් යටි මඩි ගසා ගන්නේනම් වැසියන්ට යහපත් ජීවන තත්වයක් පවත්වා ගත නොහැකිය. අධ්‍යාපනය සෞඛ්‍ය සහ නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරා ගත නොහැකිය. මේ ආකාරයෙන් සම්පත් මංකොල්ල කෑම නිසා රටේ අති මහත් බහුතරය දරිද්‍රතාවයට පත් වේ. අද ලංකාව මුහුණ දී ඇත්තේ එවැනි තත්වයකටය. කොවිඩ් 19 වැනි වසංගත තත්වයන් ජනතාවගේ ආර්ථිකය දුර්වල කිරීමට හේතු වුවද රටේත් ජනතාවගේත් ආර්ථිකය බිඳ වැටීමට එකම හේතුව එය නොවේ. එවැනි වසංගත තත්වයන් පවා පාලකයන් යොදා ගත්තේ වංචා සහගතව තම සොරා කෑම තවත් වර්ධනය කර ගැනීමට ය. නිදසුනක් වශයෙන් කොවිඩ් 19 රෝගය වැළැක්වීමට චීනයෙන් ගෙන්වක ලද සයිනොෆාම් එන්නත මිලදී ගැනීමේ දී ද බරපතළ වංචා සිදු වූ බවට චෝදනා මතු විය. පාකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවලට ඩොලර් 10ට අලෙවි කරන ලද එන්නත අප මිලදී ගෙන ඇත්තේ ඩොලර් 15ටය. මෙම චෝදනා ඉදිරිපත් වූ වහාම අදාල බලධාරීන් ඒවා තරයේ ප‍්‍රතික්ෂේප කළ ද ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර වාර්තා ඉදිරිපත් කර නැත. මේ එක් නිදසුනක් පමණි. පසුගිය දශක ගණනාව තුළම එවැනි සිද්ධීන් අපමණ සිදු වුවද ඒ ගැන පරික්ෂා කොට වැරදි කරුවන්ට දඬුවම් දීම හෝ එම වැරදි නැවත සිදුවීම වැළැක්වීමට පාලකයන් කිසිදු පියවරක් ගත්තේ නැත. ඉන් පැහැදිලි වන්නේ රටේ සම්පත් අවභාවිතා කිරීම පිළිබඳව පවතින දේශීය නීති පද්ධතිය සහ ක්‍රියාමාර්ග ප‍්‍රමාණවත් නොවන බව ය. විදෙස් මැදිහත්මක් අවශය වන්නේ එම නිසාය.
විදෙස් මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ රටක් බංකොළොත්වීම නිසා එක අතකින් ලබා ගත් ණය පොලියත් සමග ආපසු ලබා ගැනීමට එම රටවලට නොහැකි වීමෙනි. ලංකාවට ලබා දී ඇති ණයවලින් සියයට පනහකට වැඩි ප‍්‍රමාණයක් ලබා දී ඇත්තේ බටහිර රටවල මූල්‍ය ආයතන සහ සමාගම් ය. විශාලම ණය හිමියා වශයෙන් හැඳින්වෙන චීනය ලබා දී ඇති ණය ප‍්‍රමාණය සියයට දහයක් පමණි. එමනිසා බටහිර බලවත් රටවල න්‍යාය පත‍්‍රය අනුව වැඩ කරන මානව අයිතිවාසිකම් මණ්ඩලය අපේ රටේ වංචා සහ දූෂණ ගැන උනන්දුවීම පුදුමයට කරුණක් නොවේ.
අනිත් අතට වංචා සහ දූෂණ පරික්ෂා කිරීමට උනන්දුවීම ගැන උදහස්වන අලි සබ්‍රි සහ රනිල් ආණ්ඩුව දූෂිත ක‍්‍රමය පවත්වා ගැනීමට ආධාර උපදෙස් පතන්නේ ද බටහිර රටවලිනි. දැනට මහත් අපේක්ෂා තබා ඇති අන්තර්ජාතික මූල්‍ය අරමුදල සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලිනි. මූල්‍ය අරමුදලේ පාලනය යුරෝපීය රටකට පැවරෙන අතර ලෝක බැංකුව පාලනය වන්නේ එක්සත් ජනපදයෙකි. අලි සබ්‍රි පවසන ආකාරයට ජිනීවා යෝජනාව සම්මත කිරීමට වැර දරන්නේ ද මෙම රටවල් ය. එය මහත් උත්ප‍්‍රාසයකි. රනිල් ආණ්ඩුව මහත් අපහසුවකට පත් කරන යෝජනා සම්මත කර ගැනීමට ක්‍රියා කරන බටහිර රටවල් තවත් වරක ගැලවුම්කරුවා වශයෙන් පෙනී සිටී.
රනිල් ආණ්ඩුව ද අනුගමනය කරන්නේ එවැනි දෙබිඩි පිළිවෙතකි. යුද සමයේ සිදු කරන ලදැයි කියන බරපතළ මානව අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව විදෙස් රටවල විනිසුරුවන් සහ නීති උපදේශකයන් ප‍්‍රතික්ෂේප කරන අතර රට ණය අවුලෙන් ගලවා ගැනීමට නීති උපදෙස් ලබා ගත්තේ ද බටහිර රටවල මූල්‍ය ආයතන සහ නීති සමාගම්වලිනි. මානව අයිතිවාසිකම් පිළිබඳ නඩුවලට විදෙස් රටවල නෛතික වශයෙන් කරන බලපෑම රටේ ස්වෛරීත්වයට හානියක්යැයි ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයිද පවසන අතර ආර්ථිකය සම්බන්ධයෙන් එවැනි මැදිහත්වීම් යටපහත්ව අපේක්ෂා කරති. මානව අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රතික්ෂේප කරන විදෙස් මැදිහත්වීම් ආර්ථිකයට සාදරයෙන් පිළිගන්නේ ඇයි?
මානව අයිතිවාසිකම් පිළිබඳ වගකීම සහ වගවීම පාලකයන්ට පැවරෙණ නමුත් ආර්ථිකය පිළිබඳව වගකීමක් නැති බව පෙන්වීමට ඔවුහු උත්සාහ කරති. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් පනවන නීති සහ කොන්දේසි බලපවත්වන්නේ රටේ වැසියන්ට ය. රටේ වැසියන් වශයෙන් පාලකයන්ට ද ඒවා අදාල වුවද ඉන් මිදීමට ක‍්‍රම සහ විධි ද මෙම ක‍්‍රමයෙන්ම සැලසේ. රජයේ ආදායම් වැඩි කිරීමට බදු පැනවීමේ දී මෙම ප‍්‍රතිපත්තිය පැහැදිලි ය. මෑතකදී පැන වූ සමාජ ආරක්ෂන බද්ද සමාජයේ ආරක්ෂාව සඳහා නොව පාලකයන්ගේ ආරක්ෂාව සඳහා බව පෙනී යන්නේ එය අවසානයේ දී සාමාන්‍ය මිනිසා මතම පැවරෙන නිසාය. මෙම බදු ක‍්‍රමය පාරිභෝගිකයා අතට කිසියම් භාණ්ඩයන් හෝ සේවාවක් පත්වීමේ දී අඩුම වශයෙන් තුන් ගුණයක බද්දක් ගෙවීමට සිදු වේ. වක‍්‍ර බදුවල ස්වභාවය එයයි. රාජ්‍ය ආදායම් වැඩි කිරීමට මූල්‍ය සංවිධාන පනවන කොන්දේසි ජනතාව මත පැටවෙන්නේ ඒ ආකාරයෙනි. මෙම බදු පැනවීමට ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන මැදිහත්වීම අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන්නේ නැත. ව්‍යවස්ථාවට පටහැනි වන්නේ ¥ෂණ සහ වංචා සෙවීමට කරන බලපෑම යි.
ජිනීවා හි මානව අයිතිවාසිකම් මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාව නැවත වරක් සම්මතවීම මේ රටේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හෝ තහවුරු කිරීමට ඉවහල් වන්නේ අල්ප වශයෙනි. ඒ වංචා දූෂණ මෙන්ම මානව අයිතිවාසිකම් ද ලොව දේශපාලන බලවතුන් බල අරගලයේ දී යොදා ගන්නා මෙවලමක් නිසාය. බලවත් රාජ්‍යයන්ට පක්ෂපාතනම් අයිතිවාසිකම් වැදගත් වන්නේ නැත. බල කඳවුරු පිහිටුවීමටත් රටේ සම්පත් සූරා කෑමටත් අවශ්‍ය පරිසරය නිර්මාණය වන්නේ නම් ප‍්‍රමාණවත් ය.
මානව අයිතිවාසිකම් රැක ගැනීම සහ තහවුරු කිරීම අවශ්‍යයෙන්ම දේශීය ව්‍යාපාරයක් විය යුතුය. විවිධ ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව නොමැතිවිට ආර්ථික සංවර්ධනයට අවකාශයක් නැත. වෙනස් කොට සැලකීම පදනම් කර ගත් පාලනයකින් සිදු වන්නේ වංචා සහ දූෂණ යි. නිදහසින් පසු අපේ ඉතිහාසයෙන් කියවෙන්නේ එයයි. සියලූ ජන කොටස්වල අනාගතය සුරක්ෂිත වන්නේත් ජාතික ව්‍යාපාරයක් බවට පත්ව ඇති වංචාව සහ දූෂණ පිටු දැකිය හැකි වන්නේත් යුක්තිය සාධාරණත්වය සහ සමානාත්මතාවය පදනම් නව දේශපාලන ක‍්‍රමයක් තුළින් පමණි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024