දැන් බොහෝ දෙනකු කතාබහ වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන ය. පසුගිය දා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ද හැඳින් වූයේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර කළ යුතු හදිසි වෙනස්කම් සඳහා ගත් පියවරක් සේය. කෙසේ වුවත් කෙටි කාලයක් ඇතුළත සංශෝධන කීපයක්ම එකතු කිරීමෙන් පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බරපතළ අඩුවක් තිබෙන බවට නිදසුන් ය. වඩාත් වැදගත් වන්නේ එක සංශෝධනයකින් ගෙන එන ලද සංශෝධන ඊළඟ සංශෝධනයෙන් අහෝසි කිරීමය. ජනාධිපතිට හිමි විධායක බලතල ඉවත් කරන්නේ ද නැත්ද යන්න වටා ගෙතී ඇති මෙම සංශෝධන සැබැවින්ම ජනතා අපේක්ෂා සපුරාලන්නේ ද යන්න ඉතා වැදගත් ය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්පූර්ණයෙන්ම දේශපාලකයන් සතු ඒකාධිකාරියක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත් කළ කොමිටියෙන් ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙනේ. ගෝඨාභය රාජපක්ෂට සිය තනතුර හැර දමා පලා යෑමට සිදු වූ නිසා මෙම කොමිටියේ කෙටුම්පත එළි දැක් වූයේ නැත. එහෙත් පසුගිය දා මැල්කම් රංජිත් කාඩිනල් තුමා එම කෙටුම්පතේ කොටස් කීපයක් ප‍්‍රසිද්ධ සභාවක දී කියවූයේය. උපුටා ගත් කොටස් කීපයක් එතුමා කිය වූයේ කෙටුම්පත් කළ ව්‍යවස්ථාවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් යටපත් කිරීමට උත්සාහ කර ඇති ආකාරය පැහැදිලි කිරීමට ය. ඉන් පැහැදිලි වන්නේ ජනතා අදහස් උදහස් ලබා නොගෙන නීතිඥයන් සහ දේශපාලකයන් කෙටුම්පත් කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මහජන මතය නොසලකා පාලකයන්ගේ අයිතිවාසිකම් සහ ඕනෑ එපාකම් පිළිබිඹු වන ආකාරයයි.
මෙම සංවාදයේ දී ප‍්‍රමාණවත්ව සාකච්ඡා නොවන හෝ නොසලකා හරින වැදගත්ම මාතෘකාවක් වන්නේ පරිපාලනයේ බිඳ වැටීමයි. කෙතරම් පරිපූර්ණ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබුවත් පරිපාලනය දුර්වලනම් හෝ ජරා ජීර්ණව ඇත්නම් ඉන් නිසි ඵලක් ලැබිය නොහැකිය. වඩාත් සරලව බෝතලේ අලූත් වූවාට වයින් අලූත් වන්නේ නැතිනම් ජනතාවට සෙතක් නැත. ව්‍යවස්ථාවෙන් දක්වා ඇති නීති රීති සහ ව්‍යවස්ථාදායකයෙන් පනවන නීතිවලින් ජනතාව පාලනය කරන්නේ පරිපාලන යාන්ත‍්‍රණයයි. එය නිසි අයුරු ක්‍රියාත්මක නොවන්නේ නම් හෝ එම කාර්ය කිරීමට එය අසමත් නම් නීති රීති කොපමණ තිබුණත් පලක් නැත. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබෙන විට දායාද කළ පරිපාලන යන්ත‍්‍රය සකසා තිබුණේ යටත් විජිත පාලනයට අවශ්‍ය ආකාරයට ය. එසේ වුවත් එහි පවත්වා ගත යුතු සමහර ලක්ෂණ තිබිණ. පැවරෙන වගකීම් පැහැර හැරීම බරපතළ වැරැද්දකි. පැහැර හැරීමට හෝ කඩ කිරීම්වලට සැම විටම නිසි දඬුවම් දෙන ලදී. හිතවත්කම් පක්ෂපාතකම් වැදගත් වූයේ නැත.
එහෙත් නිදහසින් පසු රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් හඳුන්වා දුන් ප‍්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය පරිපාලනය බලයේ සිටින පක්ෂයේ අතකොළුවක් විය. දේශපාලන බලපෑමක් නැතිව කිසි දෙයක් සිදු නොවන තත්වයට පත් විය. ජාතික වශයෙන් වැදගත් ප‍්‍රතිපත්ති තීරණය කිරීමේ සිට එදිනෙදා සිදුවන පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ රැස්වීමක දී ඉදිරිපත් විය.
රාජ්‍ය මුදල් කාරක සභාව සැලකිල්ලට ගත්තේ ආයෝජන මණ්ඩලයෙන් ඉදිරිපත් කර තිබු යෝජනාවකි. යෝජනාව වූයේ ආයෝජන මණ්ඩලයෙන් අනුමත කරන ලද ව්‍යාපෘතියකට ලබා දෙන බදු සහනයි. එම යෝජනාව අනුව අදාල සමාගමට මුල් වසර දොළහ තුළ දී සියයට සීයක බදු සහනයක් ලැබෙන අතර ඉන් පසුව තවත් වසර පහක් සඳහා අය කරනුයේ සියයට පනහක බද්දකි. ආයෝජන මණ්ඩලය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට එහි සභාපති ඇතුළත් ප‍්‍රධානීන් පැමිණ සිටිය හ.
කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා සියයට සියක් යනුවෙන් හඳුන්වා ඇති බදු ප‍්‍රමාණය කුමක්දැයි ඉතා සරල ප‍්‍රශ්නයක් ඇසුවේය. ඉදිරිපත් කර ඇති යෝජනාව කාරක සභාවෙන් සම්මත කිරීමට එය අවශ්‍ය බව හර්ෂ ද සිල්වාගේ අදහස විය. ඇත්තෙන්ම බදු සහනයක් ලබා දෙන විට එම ප‍්‍රමාණය කුමක් ද යන්න පාර්ලිමේන්තුවට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද වැදගත් ය. ආයෝජන මණ්ඩලයෙන් නිර්දේශ කරන බදු සහන ප‍්‍රමාණය නිසි සේ ගණනය කිරීම එම ආයෝජන ව්‍යාපෘතියේ ඵලදායකත්වය මැනීමට ද අවශ්‍ය සාධකයකි. එහෙත් පුදුමයට කරුණ වන්නේ ආයෝජන මණ්ඩලය සියයට සියයක සහ ඉන් පසුව සියයට පනහක බදු සහන ලබා දීමට යෝජනා කළත් ඇත්තෙන්ම සියය යන්න ප‍්‍රමාණාත්මකව නොදැන සිටීම ය. අඩුම වශයෙන් ඒ ගැන අවධානය යොමු කළ බවක් ද දක්නට තිබුණේ නැත.
වඩාත් හාස්‍යජනක තත්වය වූයේ රාජ්‍ය මුදල් කාරක සභාවේ ඉල්ලිම අනුව පැය භාගයක් ඇතුළත එම සංඛ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට ආයෝජන මණ්ඩලයේ පාලන අධිකාරිය එකඟවීමය. මෙහි දී කරුණු දෙකක් වැදගත් ය. පැය භාගයක දී එම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැකි වන්නේ ඒවා කලින් ගණන් බලා තිබුණානම් පමණි. ප‍්‍රශ්නය වන්නේ ගණන් බලා තිබු සංඛ්‍යා ලේඛන රාජ්‍ය මුදල් කාරක සභාවට ඉදිරිපත් නොකෙළේ ඇයිද යන්නයි. ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේ දී එවැනි ප‍්‍රමාණාත්මක දත්ත අනවශ්‍යයැයි පරිපාලනය සිතන්නට ද ඇත. දෙවැනිව පැය භාගයක් වැනි සුළු කාලයක් ඇතුළත කාරක සභාවට අවශ්‍ය සංඛ්‍යා ලේඛන ලබා දීමටනම් කඩිනම් ගණන් බැලීමක් කළ යුතුව ඇත. මෙවැනි විශාල ව්‍යාපෘතියක ආදායම් සහ ලාභ ප‍්‍රතිශතය කෙටි කාලක් ඇතුළත ගණනය කිරීමට හැකිනම් ආයෝජන ව්‍යාපෘති අනුමත කිරීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට මාස ගණන් ගත කිරීම අවශ්‍ය නැත.
මෙම උදාහරණයෙන් පැහැදිලි වන සත්‍යය නම් රාජය පරිපාලනයේ උසස්, පහත් සියලු නිලධාරීන් පැවරී ඇති කාර්ය කිරීමට කිසිසේත් සුදුස්සන් නොවන බවයි. එය ආයෝජන මණ්ඩලයට පමණක් සීමා නොවේ. වෙනත් බොහෝ ආයතන සහ දෙපාර්තමේන්තුවල පවතින්නේ මීට සමාන තත්වයකි. පැවරෙන කාර්ය නිසි ආකාරයට කල් නොයවා සිදුවන කාර්යාලයක් හෝ දෙපාර්තමේන්තුවක් ඇත්තේම නැති තරම්ය.
මෙම තත්වයට දේශපාලන බලපෑම් හේතු වන නමුත් එය එකම හේතුව නොවේ. දේශපාලකයන්ගේ අවශ්‍යතාවයට සියලූ කාර්ය පටිපාටි හැඩ ගසා ගෙන ඇති අතර ඊට නිලධාරි තන්ත‍්‍රයෙන් ද බොහෝවිට ආධාර අනුබල ලැබෙන බව පැහැදිලි ය. දේශපාලකයන් සැනසීම පාලන තන්ත‍්‍රයේ වගකීමක් බවට පත්ව ඇත්තේ එම නිසා ය. දේශපාලකයන්ගේ හොර මැරකම්වලට නිලධාරීන්ගේ සහාය ලැබෙන අතර නිලධාරීන්ගේ ආරක්ෂාවට දේශපාලකයෝ ඉදිරිපත් වෙති. ඒ සඳහා ඇතැම් විට අධිකරණයේ නියෝග පවා නොසලකා හරින අවස්ථා දැකිය හැකිය. ගාලූ මුවදොර පිටියේ සාමකාමී අරගලකරුවන්ට පහර දීමට පැමිණි ආණ්ඩුවේ සහාය ලත් මැර පිරිස්වලට පොලීසියේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිලධාරියෙකු සම්බන්ධයෙන් පියවර ගැනීමට අධිකරණයෙන් නියෝග කළ ද එවැන්නක් සිදු වූයේ නැත. අඩුම වශයෙන් අදාල නිලධාරියාට ස්ථාන මාරුවක් හෝ ලබා දීමට පොලිස්පති හෝ පොලිස් කොමිසම උනන්දු වූයේ නැත.
මෙම කණගාටුදායක තත්වය වෙනස් කිරීම ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම තරම් වැදගත් කරුණකි. ව්‍යවස්ථා සංශෝධනයක දී ව්‍යවස්ථාදායකය ජනතාවට වගකියන තත්වයකට පත් කිරීමේ යෝජනාව අත්‍යවශ්‍යය. මහජන නියෝජිතයන් ආපසු කැඳවීමේ බලය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම ඒ සඳහා සුදුසු පියවරකි. එහෙත් මහජන මුදලින් නඩත්තු වන පරිපාලනයේ පවතින වැරදි ගැන ජනතාවට කළ හැකි කිසි දෙයක් නැත. දේශපාලකයන් අඩුම වශයෙන් ඊළඟ මැතිවරණයක දී පරාජය කිරීමෙන් ජනතාවට කිසියම් දඬුවමක් දිය හැකි නමුත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාවට බලපෑමක් කළ නොහැකිය. පවතින තත්වය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක‍්‍රියා කළ හැකි වන්නේ දේශපාලන නායකත්වයට පමණි. පසුගිය වසර හැත්තෑ හතරක අත්දැකීම දේශපාලකයන් ක‍්‍රියාකර ඇත්තේ තමන්ගේ පලප‍්‍රයෝජනයට විනා ජනතාව වෙනුවෙන් නොවන්නේය යන්නයි. ඇත්තෙන්ම වර්තමානයේ රට පත්ව ඇති තත්වයට දේශපාලකයන් මෙන්ම පරිපාලනය ද වගකිව යුතුය.
එහෙත් පරිපාලනයේ පවතින අඩුපාඩු සහ වැරදි සියල්ල දේශපාලකයන් මත පැවරීමත් දේශපාලනයේ වෙනසකින් ඒවා නිවැරදි කිරීමට හැකියැයි විශ්වාස කිරීමත් වැල්ලේ හිස ඔබා ගැනීමට නොවෙනස් ය. රාජ්‍ය පරිපාලනයේ පවතින දූෂිත තත්වය වෙනස් කිරීමට සහ එය ජනතාවට වගවෙන තත්වයට පත් කිරීමට දැනුවත් උත්සාහයක් නැතිව උග‍්‍ර වී ඇති ආර්ථික සහ දේශපාලන අර්බූදයට විසඳුම් සෙවිය නොහැකිය. දේශපාලනය මෙන්ම පරිපාලනය ද එකසේ අසමත්ව ඇති නිසා අනාගතය ගොඩ නැගිමට ඒ දෙකේම ගැඔුරු වෙනස්කම් සිදු කළ යුතුය. ආණ්ඩු වෙනස් කිරීම හිසරදයට කොට්ට මාරු කිරීමක් වන්නේ එවැන් වෙනස්වීම් නැති නිසාය. එමනිසා රාජ්‍ය පරිපාලනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ජන හඬ නැගීම යුගයේ අවශ්‍යතාවය යි.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024