You are currently viewing ජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව ද?

ජාතික ආරක්ෂාව යනු පාලකයන්ගේ ආරක්ෂාව ද?

විශේෂ විනිශ්චයකරුවන් මණ්ඩලයක් ( Trial at Bar ) ඉදිරියේ විභාග වූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන්  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නගා තිබූ චෝදනා සියල්ලෙන් ම නිදොස් කොට නිදහස් කිරීම බොහෝ දෙනා කලකිරීමට මෙන් ම අපහසුවට ලක් කිරීමකි. කලකිරීම වන්නේ එම චූදිතයන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීම නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් ඡන්ද පොරොන්දුවක් දවල් හීනයක්වීම නිසා ය. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ආරක්ෂක අංශ දුර්වල කොට එහි නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කළ බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා තමා බලයට පත් වහාම එම තත්වය නිවැරදි කොට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අධිකරණය හමුවට පත් කරන බවට පොරොන්දු වූයේ ය. මෙම නඩු තීන්දුව එම පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් බවට නිදසුනකි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාව සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව, පසුගිය 18 දින නිදොස් කොට නිදහස් කළේය..

සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කරුණු දැක් වූ විනිශ්චය මණ්ඩලය දේශපාලන බලයට නතු වූ එම නිලධාරීන් අසරණ වූ බවත් සිද්ධිය ගැන දැන සිටි වගකිව යුතු දේශපාලකයන් සහ නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොණු කළ යුතුව තිබුණ බවත් සඳහන් කළහ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මෙම චූදිතයක් දෙදෙනාට එරෙහිව චෝදනා 855ක් ගොණු කර තිබුණ ද ඒ කිසිවක් සැකයෙන් තොරව සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සමත්ව නැත. ඇත්තෙන්ම මෙම චූදිතයන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන්ට ඇප ලබා දීම ගැන විරෝධය පෑ හිටපු නීතිපති, මොන්ටිසෝරි ගොස් නීතිය ඉගෙන ගත යුතු කාලයක් යැයි සරදම් කෙළේය. විනිශ්චය මණ්ඩලයේ තීන්දුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව මොන්ටිසෝරියට යැවිය යුතු දැයි ප්‍රශ්නයක් නැගිය හැකිය.

මෙම නඩු විභාගය හා සිදුවෙමින් පවතින අනෙකුත් පරීක්ෂණ ගැනත් යුක්තිය සහ සාධාරණය ගැනත් බොහෝ දෙනා, විශේෂයෙන්ම කාඩිනල් තුමා ඇතුළත් කතෝලික බැතිමතුන් සෑහීමට පත් වූයේ නැත. සිද්ධියට මුල් වු මහ මොළකරුවෙකු සිටින බවත් ඒ ගැන පරීක්ෂණ කිරීමට කිරීමට කිසිවෙකු උනන්දු නොවන බවත් පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡාවට ලක් විය. ඒ ගැන කතා කළ හරීන් ප‍්‍රනාන්දු මංත‍්‍රීවරයා මෙන්ම කතෝලික පියතුමන්ලා ද රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කරන ලදී. ඒ ප්‍රහාරය ගැන සම්පූර්ණ විස්තර ලබා ගැනීමේ අශ්‍යතාවයෙන් ගත් පියවරක් ද යන්න සැකයට කරුණකි. එවැනි සැකයක් ඇති වන්නේ මෙම නඩු තීන්දුවේ දී ප්‍රකාශයට පත් කරුණු අනුවය . 

මෙම නඩුව හිටපු නීතිපතිවරයා විසින් ගොණු කළ නිසා වර්තමාන නීතිපති ඊට වගකිව යුතු නැතැයි කිව නොහැකිය. අධිකරණ ඇමතිවරයාට ද වගකීමෙන් ගැලවිය නොහැකිය. මූලික වශයෙන් යුක්තිය ඉටු කිරීමේ කාර්ය නිලධාරීන් හෝ දේශපාලන නායකත්වය වෙනස් වීමත් සමග වෙනස් වන දෙයක් නොවේ. වැදගත් වන්නේ පුද්ගලයන් නොව නීති ක්‍රියාවලිය සහ සම්ප්‍රදාය යි. පසුගිය ආණ්ඩුවට එරෙහිව එවකට විපක්ෂයේ සිටි, අද බලයේ සිටින පාලකයන් ඉදිරිපත් කළ මූලික චෝදනාවක් වූයේ මුළු රටම නීතියක්  නැති තත්වයට පත්ව ඇත යන්නයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීමෙන් එම අංශ දුර්වල කිරීම නිසා ත්‍රස්තවාදය නැවත හිස ඔසවා ඇතැයි පැවසූ ඔවුහු පාස්කු ඉරිදා ප්‍රහාරය ඊට හොඳම නිදසුන බව පැවසූහ.

මේ ගැන ආවර්ජනය කිරීමේ දී වැඩ තහනමට ලක්ව දැනට ඇප පිට නිදහස්ව සිටින රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයෙකු වූ ශානි අබේසේකර මහතා නැවතත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති නිසා ඉන් වැළැක්වීමට උසාවියෙන් වාරණ නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ද ඉතා වැදගත් ය. දැනටමත් සමාජ මාධ්‍යයේ පළව ඇති එම පෙත්සමේ අඩංගු එක් එක් කරුණක් ගැන සඳහන් කිරීමට අවශ්‍ය නොවන නමුත් එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසුව සිදු වූ බරපතළ ම ත්‍රස්තවාදී ප්‍රහාරය වන පාස්කු ඉරිදා ඛේදවාචකය ගැන රහස් පොලිසියෙන් කරන ලද පරීක්ෂණ සහ විමර්ශන ගැන මනා චිත්‍රයක් ඉදිරිපත් කර ඇති බව පෙනේ. ඇත්තෙන්ම කරන ලද පරීක්ෂණවලට වඩා වැදගත් වන්නේ කිරීමට නොහැකි වූ හෝ වැළැක්වූ පරීක්ෂණ ය. මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව ඊට සම්බන්ධ පුද්ගලයන් හඹා යෑමේ දි වනාතවිල්ලූවේ පොල් වත්තක පුහුණු කඳවුරක් සහ අවි තොගයක් සොයා ගැනීමේ සිද්ධියත් ඒ ගැන පොලිසියේ සහ හමුදාවේ බුද්ධි අංශ දැක් වූ උදාසීන භාවයත් කැපී පෙනෙන කරුණු ය.

එම චිත‍්‍රය දෙස බැලීමේ දී කැපී පෙනෙන කරුණ වන්නේ බරපතළ අපරාධයක් නැතිනම් ත්‍රස්තවාදි ක්‍රියාවක් සිදුවීමේ පැහැදිලි අනතුරක් තිබුණ නමුත් ආරක්ෂක අංශ ඒ ගැන නිසි අවධානයෙන් නොසිටීම සහ දේශපාලන බලපෑම් නිසා ඒ ගැන නොසලකා සිටීම ය. ශානි අබේසේකර ඔහුගේ පෙත්සමේ සඳහන් කරන ආකාරයට අවි සහ පුහුණු කඳවුර සොයා ගැනීම බරපතළ කරුණක් නිසා එය එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැන් වුවත් ඔහු ඒ ගැන නිසි ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ සියලු දෙනාගේ නොසැලකිල්ල හා වගකීම පැහැර හැරීමේ ප්‍රතිඵලය වූයේ ජීවිත 275කට ආසන්න සංඛ්‍යාවක් අහිමිවීම සහ 500කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබීම ය. සමහරු ජීවිත කාලය පුරාම අබ්බගාතයන් බවට පත් වූහ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා

පාස්කු ප‍්‍රහාරයෙන් කුළුගැන් වූ ඛේදවාචකයේ ඉතිහාසය විමසා බැලීමේ දී නො සැලකිල්ල සහ සිතා මතාම වගකීම් පැහැර හැරීමේ අවස්ථා රාශියක් දැකිය හැකිය. නිදසුනක් වශයෙන් සහ්රාන්ගේ නායකත්වයෙන් යුත් කල්ලියක් කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සුෆි ප‍්‍රජාවට එල්ල කරන ප්‍රහාර ගැන එම ප්‍රදේශයේ නියෝජිත කණ්ඩායමක් 2017 මාර්තු මස කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානි නාලක ද සිල්වා හමුවී කළ පැමිණිල්ල දැක්විය හැකිය. එම කණ්ඩායම ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන් පිටු හයක ලිපිය අනුව සහ්රාන්ගේ කල්ලිය ලංකාව තුළ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණෙන් කටයුතු කරන බව පෙන්වා දී ඇත. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ පිළිතුර වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ්රාන් ඇතුළු කණ්ඩායම ගැන පියවර ගත නොහැකිය යන්නයි. ඊට හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එල්ටීටීඊ ත්‍රස්තවාදයට පමණක් සීමා වන නිසාය. එමනිසා සහ්රාන්ට එරෙහිව පියවර ගැනීම ප්‍රමාද විය. 

එමෙන්ම 2018 නොවැම්බර් මස 30 වැනි දින මඩකලපුවේ වවුනතිවු හි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ ආකාරයෙන් සත්‍ය සිද්ධිය හෙළි කර ගැනීමේ අවශ්‍යතාවය දේශපාලන වුවමනාව වෙනුවෙන් යටපත් කර ඇති බව පෙනේ. එහිදී මිය ගිය නිලධාරීන් වෙනුවෙන් යුක්තිය ඉටු වී නැත.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගේ පැහැදිලි කිරීම අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත හැකි වන්නේ එල්ටීටීඊයට අදාලව පමණි. ඇත්තෙන්ම ජේ ආර් ගේ ආණ්ඩුව තාවකාලික විධි විධානයක් සේ මෙම පනත එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පමණක් යොදා ගන්නා බවට පොරොන්දුවක් දී තිබුණ ද සමහර විට එල්ටීටීඊයට හෝ ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැති අය පවා එම පනත යටතේ අවුරුදු ගණන් රඳවා ගෙන සිටිති. පැහැදිලිව ම බලයේ සිටින දේශපාලන පක්ෂයේ වුවමනාව මත මෙම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත් රඳවා ගැනීමත් සුපුරුදු දෙයකි. ආරක්ෂාව යනුවෙන් අදහස් වන්නේ බලයේ සිටින දේශපාලකයන්ගේ වුවමනාව බව ඉන් පැහැදිලි ය. බලයේ සිටින දේශපාලකයන්ගේ වුවමනාවට ගැලපෙන්නේ නම් ත්‍රස්තවාදී ක්‍රියා වුවත් නොසලකා සිටීම ආරක්ෂාව තහවුරු කිරීමකි. පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් දැක්වෙන්නේ එයයි.

රාජන් හූල් විසින් රචිත පාස්කු ඛේදවාචකය නම් කෘතියේ පෙන්වා දෙන ආකාරයට,

‘..නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූටෝපායක් නොවුයේ නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළ කාරයා වශයෙන් සැලකෙන සහ්රාන් ප‍්‍රාදේශිය සුෆි භක්තිකයන්ට පහර දෙන ගණන්කාරයෙකුට වඩා වැඩි කෙනෙකු නොවනු ඇත..’

එම පියවර ගැනීමෙන් ආරක්ෂක අංශ වැළැක්වූයේ කාගේ වුවමනාවටද යන්න තවම පැහැදිලි කර නැත.

රජයේ අයවැයෙන් විශාලම මුදලක් වෙන්වන, එක්සත් රාජධානිය, ප්‍රංශය වැනි රටවලටත් වඩා විශාල හමුදා භට සංඛ්‍යාවක් නඩත්තු කරන අපේ රටේ ආරක්ෂාව මීට වඩා හොඳින් තහවුරු විය යුතු වුවද එසේ නොවන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය. අන් සියලු කරුණුවලට වඩා මහත් ව්‍යසනයක් වූ පාස්කු ඉරිදා ඛේදවාචකය ගැන දැනට මහජන සංවාදයට එක්ව ඇති තොරතුරු අනුව ආණ්ඩුවත් ආරක්ෂක අංශත් රටේ ආරක්ෂාව යනුවෙන් අදහස් කරන්නේ ජනතාවගේ ආරක්ෂාව නොවන බව පැහැදිලිය. සියලු ආකාරයේ භීෂණ ක්‍රියා පිළිබඳ ව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසෙකට දමා රටේ සාමාන්‍ය නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කෙළේ නම් එම ව්‍යසනය වැළැක්විය හැකිව තිබිණ. ඒ ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා සහ ජනාධිපති කොමිසන් සභාවලින් කරුණු ඉදිරිපත් වුවද නිසි පියවර නොගැනීමෙන් පෙනී යන්නේ රටේත් ජනතාවගේත් ආරක්ෂාව යනුවෙන් පාලකයන් අදහස් කරන්නේ ඔවුන්ගේ දේශපාලන බලයේ ආරක්ෂාව යන්නයි. ආරක්ෂාව බිඳ වැටී ඇත යනුවෙන් මොර දෙන්නේ ඔවුන්ගේ පුද්ගලික ආරක්ෂාවට තර්ජනයක් ඇති විටය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි වී ඇති කරුණුවලින් තහවුරු වන්නේ එයයි.

එක්සත් රටක් වශයෙන් දැනට උද්ගත ව ඇති දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් මිදී පෙරට යෑමට නම් මෙම මුළාවෙන් මිදී යථාර්ථය දැකීමට හැකි විය යුතුය. ආරක්ෂාව මෙන් ම දේශපාලනයත් තහවුරු කිරීම සඳහා වර්ගය ආගම හෝ භාෂාව අනුව වෙනස් නොකොට සියලු ජනතාවගේ යහපත සඳහා කැප කෙරෙන යන්ත්‍රණයක් සැකසිය යුතුය. එසේ නොවන්නේ නම් අපට නැවතත් විවිධ බල කඳවුරුවල අන්තේවාසිකයන් වීමට සිදු වනු ඇත.

Leave a Reply