දිනෙන් දිනම කිඳා බසිමින් පවතින ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීමට දැන් විවිධ ආකාරයේ විසඳුම් යෝජනා ඉදිරිපත් ව ඇත. ඉන් එකක් වන්නේ සියලුම දේශපාලන පක්ෂ එකතුව ජාතික රජයක් පිහිටුවීම ය. මෙවැනි යෝජනාවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එකඟවේදැයි සැකයකි. ඊට අමතරව සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතුය යන යෝජනාව ද ප‍්‍රායෝගිකවන්නේ ද යන්නත් ඉන් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද යන්නත් පැහැදිලි නැත. මෙවැනි යෝජනා ඉදිරිපත් ව පවතින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආර්ථික මණ්ඩලයක් පත් කර ඇත්තේ ඒ සියල්ලට ගැලපෙන පිළිතුරක් වශයෙන් විය හැකිය.
කැබිනට් ඇමතිවරුන් 14ක් ඇතුළත් වන එම ආර්ථික මණ්ඩලයේ වගකීම් මොනවාද යන්න ප්‍රකාශ කර නැතත් කිඳා බසින ආර්ථිකය ගොඩ නැගීමට යෝජනා සහ ක්‍රියා මාර්ග ඔවුන්ගෙන් ජනාධිපති අපේක්ෂා කරනු ඇත. ඒ බව පසුගිය බදාදා ජාතිය අමතා කළ කතාවේ දී ද ඔහු අවධාරණය කෙළේය.
අද ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය ඔහුගේ ම නිර්මාණයක් නොවන බව සැබවි. එහෙත් එය ඔහු ද ඇතුළත් වන වත්මන් දේශපාලකයන්ගේ අ¥රදර්ශී අමනෝඥ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගවල සාමූහික ප්‍රතිඵලයක් බව ඉතිහාසය දෙස උඩින් පල්ලෙන් බල විට ද පෙනෙන කාරණයකි. ඔහුගේ පාලන සමයේ ආරම්භයේ දීම ගත් අ¥රදර්ශී ක්‍රියා මාර්ගයක් වූයේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් හෝ නැතිව වැට් බද්ද සහ උපයනවිට ගෙවීමේ බද්ද කපා හැරීම ය. ආදායම් බදු අනුපාතය සියයට 24 සිට 18 දක්වා අඩු කෙළේය. වැට් බදු ගෙවීමේ සීමාව රුපියල් බිලියන 12 සිට 300 දක්වා ඉහළ දැමුවේය. වග විභාගයක් නැතිව ගත් මෙම තීරණය නිසා රජයට වහාම සිදු වූ පාඩුව රුපියල් බිලියන 650ත් 690ත් අතර ප්‍රමාණයක් බව ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස යි. තවත් ආකාරයකට ඉන් දළ ජාතික ආදායමට සියයට 4ක් අහිමි වූ අතර රජයේ ආදායමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් අහිමි වීමකි. මෙම අඩුව පිරිමසා ගැනීමට ඔහු ගත් අනෙක් අමනෝඥ තීරණය වූයේ මුදල් නෝට්ටු අච්චු ගැසීමය. එහි ප්‍රතිඵලය වූයේ මිල උද්ධමන යයි. ලංකාවේ ඉතිහාසයේ කිසි දිනක නොවු ආකාරයට මිල උද්ධමනය සියයට 25 දක්වා ඉහළ නැග ඇත්තේ ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගැසීමෙනි. ඒ සියල්ලේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ භාර ගත යුතුය. එය වෙනත් අයට පැවරිය නොහැකිය.
කිඳා බසින ආර්ථිකය ගොඩ නැගීමට යෝජනා සහ ක්‍රියා මාර්ග ඉදිරිපත් කිරීමට පත් කර ඇති ආර්ථික මණ්ඩලයේ සංයුතිය දෙස බලන විට එය මුදල් නෝට්ටු අච්චු ගැසීමට සමාන පියවරකි. එහි සිටින කැබිනට් සාමාජිකයන්ට මෙම ගැටලුව දෙස නිර්මාණශීලී ව බැලීමට හැකියාවක් ඇත්නම් කැබිනට් මණ්ඩලයට ඒවා ඉදිරිපත් කොට ගත හැකිය. ඇත්තෙන්ම ඒ ඒ ඇමතිවරයාගේ කාර්ය සාධනය දෙස බලන විට එවැනි නිර්මාණාත්මක භාවයක් පෙන්නුම් කර නැත. එය වැලිසර ගබඩාවෙන් සීනි විකිණීමේ සිට මහා මාර්ග ඉදිකිරීමට කොන්ත්‍රාත් ලබා දීම දක්වා ප්‍රදර්ශනය කර ඇති ‘‘හැකියාවකි’’ ඔවුන් දක්ෂ වන්නේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතත් ‘එක දෙක’ කොට බෙරිහන් දීමට පමණි. සත්‍යය ජනතාවගෙන් වසන් කිරීමට පමණි.
අද අවශ්‍ය වන්නේ පවතින ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයේ හේතු ගැඹුරින් හදාරා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට හැකි ආර්ථික මණ්ඩලයකි. ආර්ථික මණ්ඩලයට පිටතින් සිට උපදෙස් දීමට ව්‍යාපාරික ප්‍රජාවේ කප්පිත්තන් 11 ක් පත් කිරීමෙන් ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැත. මෙම උපදේශක මණ්ඩලයට අයත් ව්‍යාපාරික කප්පිත්තන් මුදල් ඉපැයීමේ හැකියාව පෙන්නුම් කර ඇති නමුත් ආර්ථිකයේ ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ හැකියාවක් මෙතෙක් දක්වා නැත. උදාහරණයක් වශයෙන් ලංකාවේ ව්‍යාපාරික ලෝකයේ බලවත්ම පුද්ගලයෙකු වන ධම්මික පෙරේරා ඔහුගේ ව්‍යාපාරික ඥානයෙන් ගොඩ නගා ගත් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් දක්නට නැත. ඔහු සාර්ථක හෝ ලාභ ලබන ව්‍යාපාර සහ කර්මාන්ත මිලදී ගෙන ඒවායේ සාරය උරා ගැනීමට සමත් පුද්ගලයෙකි. ඔහුගේ පාලනය යටතේ ඇති ව්‍යාපාර සියල්ල නොවේනම් බොහොමයක් කිසිවෙකු හෝ සමාගමක් විසින් ගොඩ නැගූ ආයතන යි. එම උපදේශකයන් අතර බොහෝ දෙනකු එවැනි අයයි.
මෙවැනි අයට ලබා දිය හැකි වන්නේ සූරාකෑම වඩාත් දැඩිව සිදු කරන උපදෙස් විනා ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍ය උපදෙස් නොවේ. මින් බොහෝ දෙනකු විවිධ අවස්ථාවල ප‍්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතනවල සභාපති වැනි ඉහළම තනතුරු දැරු අය වුවත් එම කාල සීමාවේ දී කළ විශේෂ දෙයක් දක්නට නැත.
ආර්ථිකයත්, රටත් ගොඩ නැගීමේ දී මූලික අවශ්‍යතාවය වන්නේ නිවැරදි දැක්මක් සහ කැපවීමකි. එය සෞභාග්‍යයේ දැක්ම වැනි හිස් වදන්වලට සීමා විය යුතු නැත. මුල්ම අවශ්‍යතාවය වන්නේ නීතිය පවත්වා ගැනීමය. වඩාත් ගම්භීර වචනයකින් පවසන්නේ නම් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කළ යුතුය. හොරකම සහ වංචාවලට නිසි දඬුවම් ලබා දිය යුතුය. එවැනි සිද්ධි ගැන අධිකරණයේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගැනීමේ ප්‍රතිපත්තිය ආයෝජකයන් දිරි ගැන්වීමක් නොවේ. නීතිය පවත්වා ගැනීමක් ද නොවේ. ආර්ථික මණ්ඩලයේ සිටින ඇමතිවරුන් ගණනාවකට එරෙහිව වංචා සහ ¥ෂණ ගැන චෝදනා ඉදිරිපත් ව ඇති නමුත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. සිරකරුවන්ගේ සුභ සිද්ධිය භාර රාජ්‍ය ඇමතිවරයා සිරකරුවන්ට මරණීය තර්ජන එල්ල කළ විට ඔහුට වෙනත් රාජ්‍ය ඇමති ධුරයක් ලබා දීමෙන් පෙන්නුම් කරන්නේ ප්‍රතිපත්තිවලට වඩා තමන්ගේ සහචරයන් ආරක්ෂා කර ගැනීමේ පටු ලාමක වුවමනාවයි.
අනිත් කාරණය වන්නේ ප‍්‍රතිපත්ති ක්‍රියා මාර්ග ගැනීමේ දී විවෘත භාවයක් තිබීම ය. තීරණ ගත යුත්තේ තමන්ගේ පුද්ගලික වාසිය සහ පලප‍්‍රයෝජන සලකා නොව රටේ සුභ සිද්ධිය සහ අනාගත අභිවෘද්ධිය සඳහාය. යුගදනවි විදුලි බලාගාරයට ගෑස් සැපයීම සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹීමේ දී අඩුම වශයෙන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හෝ විමසා නැති බව හෙළි විය. ඉන් පෙනී යන්නේ රාජ්‍යයේ ඉහළම තැන්වල පවා අවංක භාවයක් සහ විනිවිධ භාවයක් නැතිවීම ය. එවැනි තත්වයක් පවතින විට කළ හැකි වන්නේ විනාශයට අධිවේගී මාර්ගයක් ඉදිකිරීම පමණි.
තුන්වැනි ලෝකයේ මාළු වාඩියක් ව තිබූ සිංගප්පූරුව ලොව පළමු පෙළේ පෞර රාජ්‍යයක් බවට දශක කීපයක් ඇතුළත සංවර්ධනය කළ ලී ක්වාන් යූ තීරණ ගත් ආකාරය පෙර නොවු විරු අර්බුදයකට මුහුණ දී සිටින අපට වැදගත් ය. ලි ක්වාන් යූ දක්ෂයන් හැඳින ගත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික හැකියාව මත නොවේ. කිසියම් පුද්ගලයෙකු සතු නායකත්ව ගුණය සහ මුලපිරීමේ හැකියාව වැදගත් ම සුදුසුකම විය. සිංගප්පූරුවේ ගුවන් සමාගමක් ආරම්භ කිරීමට පුද්ගලයෙකු නම් කිරීමේ දී ඔහු ව්‍යාපාරික දැනුම හෝ ක්ෂේත්‍රයේ නිපුණත්වය තීරණාත්මක කොට සැලකුවේ නැත. ඔහු සිංගප්පූරු ගුවන් සේවය නිර්මාණය කිරීමේ වගකීම පැවරුවේ ගුවන් සමාගමක් පිළිබඳ කිසිම දැනුමක් නැති එහෙත් තීක්ෂණ දැනුමක් හා කැපවීමෙන් වැඩ කළ හැකි ජෝන් පිල්ලේය. ඔහු ශ්‍රී ලංකාව් උපත ලත් අයෙකු බව ද මෙහිදී සඳහන් කළ යුතුය. එහි දී ඔහුගේ වාර්ගිකත්වය හෝ සම්භවය වැදගත් වූයේ නැත. පිල්ලේ වසර කීපයක් ඇතුළත එම ගුවන් සේවය ලෝකයේ අංක එකේ ගුවන් සමාගමක් බවට පත් කෙළේය. එහි සාර්ථකත්වය පිල්ලේගේ ව්‍යාපාරික කෘතහස්ත භාවය මෙන්ම ලි ක්වාන් යූ ගේ තියුණු බුද්ධියට නිදසුන් ය. කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කර ගැනීමේ දී අඩුම වශයෙන් කැපවීම සහ තීක්ෂණ දැනුම මිනුම් දණ්ඩක් කර ගත නොහැකි විට රටේ ආර්ථිකය ගැන කුමන කතා ද?
අනෙක් කාරණය උපදෙස් සහ නිර්දේශ කිරා මැන බැලීමේ හැකියාවක් නායකයා සතු විය යුතු ය. දියෙන් කිරි වෙන් කර ගැනීමේ හැකියාව තිබිය යුතු ය. සිංගප්පූරුව නිදහස් රාජ්‍යයක් බවට පත්ව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගත් මුල් දිනවල, 1962 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මගින් නව රජයට උපදෙස් දීමට ආර්ථික විශේෂඥයෙකු වන ඇල්බර්ට් වින්සෙමියස් එව්වේය. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ එවැනි විශේෂඥයන් ශ්‍රී ලංකාව වැනි වෙනත් සංවර්ධනය වෙමින් පැවති රටවලට ද එවන ලදී. එහෙත් ශ‍්‍රී ලංකාව වෙනත් කටයුතුවල දී මෙන් එහි දී ද ප්‍රයෝජනයක් ගැනීමට උනන්දු වූයේ නැත.
වින්සෙමියස්ගේ වාර්තාව හොඳින් අධ්‍යයනය කළ ලී ක්වාන් යූ එය සිංගප්පූරුවේ සංවර්ධන උපාය මාර්ගයේ පදනම් රේඛාව බවට පත් කර ගත්තා පමණක් නොව වින්සෙමියස් තම ආර්ථික උපදේශක වශයෙන් ද පත් කර ගත්තේය. ඒ සඳහා වැය වූයේ ඔහුගේ ගුවන් ගමන් ගාස්තු සහ හෝටල් ගාස්තු පමණි. සිංගප්පූරුවේ ශීඝ්‍ර සංවර්ධනයට පදනම සකස් වූයේ ඒ ආකාරයෙනි.
ලංකාවට වර්තමාන ආර්ථික අර්බුදය ජය ගෙන අනාගත සංවර්ධන වැඩ පිළිවෙළකට අවතීර්ණ විය හැක්කේ, හොරකම දූෂණය බැහැර කොට නිවැරදි තීරණ ගැනීමට හැකි, ජාතික සමගිය ගොඩ නැගීම අරමුණු කර ගත් නීතියේ ආධිපත්‍යය ගරු කරන ජනතාවට අවංකව ම වගකියන නායකයෙකු හෝ නායකත්ව මණ්ඩලයකට වගකීම් භාර දීමෙන් පමණි. තමාගේ ම ඇමති මණ්ඩලය තුළ සිටින දූෂිත පුද්ගලයන්ට දඬුවම් කිරීම පසෙක තබා ඇමති ධුරයෙන් ඉවත් කිරීමට පසුබාන නායකත්වයක් යටතේ ජාතික හෝ වෙනත් ආකාරයේ රජයක් පිහිටු වුවද අර්බුදයට විසඳුම් සොයා ගත නොහැකිය. ජනතාවට දරා ගත නොහැකි තරම් වූ ඇමති මණ්ඩලයක් ප්‍රමුඛ රාජ්‍ය යන්ත්‍රණයක් සමග යා හැකි වන්නේ විනාශයට පමණි. දශක හතකට අධික පාර්ලිමේන්තු ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ එයයි.
අවසාන වශනේ නිදහස් ආර්ථිකයේ පුරෝගාමියෙකු වූ ඇඩම් ස්මිත් ගේ කියමනක් සිහි කරනු වටී. ඔහු පැවසූ ආකාරයට ”ලොව මුල්ම ධනය මිලදී ගත්තේ රන් හෝ රිදිවලින් නොව ශ‍්‍රමයෙනි.” අපටත් දරිද්‍රතාවයෙන් මීදී ධනය නිර්මාණය කිරීමට නම් ශ්‍රමයට නිසි වටිනාකමක් සහ ගරුත්වයක් ලබා දිය යුතුය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024