පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදි සිටි පිරිස්වලට අගමැති නිල නිවසෙන් මුදා හැරි මැර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් රටේ උද්ගත වූ තත්වය නිසා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඇතුළත් ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් වනු ඇතැයි බොහෝ දෙනකු තුළ බලාපොරොත්තුවක් ඇති කරවීය. නිදහසින් පසුව කිසි දා නොවූ ආකාරයට ආහාර, ඖෂධ මෙන්ම ඉන්ධන වැනි මූලික අවශ්‍යතා හෝ සැපයීමට නොහැකිව අරාජික තත්වයට පත්ව ඇති රට ගොඩ ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන බොහෝ දෙනා කතා කළහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එවැනි අදහසකට අනුමැතිය දක්වන ආකාරයෙන් විපක්ෂයේ පක්ෂවලින් සහ ආණ්ඩු පක්ෂයේ සිට ඉවත් වූ පක්ෂවලින් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව විමසා බලන බව ද වාර්තා විය. කෙසේ වුවත් එය නව ගමනක ආරම්භයක් විය හැකිව තිබිණ.
එහෙත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නම නැති වුවත් ඒ මගින් පාර්ලිමේන්තු මංත‍්‍රී තනතුරක් ලද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත් කිරීම බොහෝ දෙනාගේ විමතියට කරුණක් විය. ඒ සමගම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් පවතින බව නියෝජ්‍ය කතානායක තෝරා පත් කර ගැනීමේ දී හෙළි වීම බලය හැර යෑමට ඇති අවදානම පහව ගිය බවට සංඥාවක් සේ ඔහු තේරුම් ගෙන ඇති බවක් පෙනේ. එය හොඳින් ම දැක් වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දීය. රට පත්ව ඇති අති මහත් දුෂ්කර තත්වයෙන් ගොඩ ගැනීමට සැලසුම් සකස් කළ හැකි සහ ඒවා වංචා දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කළ හැකි විෂය දැනුම සහ කැපවීමක් ඇති පුද්ගලයන් වෙනුවට ගෝඨාභය රාජපක්ෂ තෝරා ගෙන ඇත්තේ තම පැරණි කැබිනට් සගයන්ගෙන් පිරිසකි. අසමත් බව මැනවින් ප්‍රදර්ශනය කළ අයට අලුත් තනතුරු ලබා දී ඇත. පැහැදිලිව ම ඉන් දැක්වෙන්නේ රනිල් අගමැති පුටුවේ හිඳුවා තමන්ට අවශ්‍ය ආකාරයට රාජ්‍ය යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ සූදානමයි.
හදිසි අවශ්‍යතාවය වන්නේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම වුවද ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම ය. කුඩා කැබිනට්ටුවක් වෙනුවට ඇමතිවරුන් දුසිම් ගණනාවක් පත් කෙළේ එම නිසා ය. මෙම පත් කිරීම්වලදී උග්‍ර වී ඇති ආර්ථික අර්බුදය ගැන අබමල් රේණුවක් තරම් හෝ සැලකිල්ලක් දක්වා නැත. ඊට හොඳම නිදර්ශනය වන්නේ මහත් ආන්දෝලනයට ලක් ව ඇති ඛනිජ තෙල් සැපයුම පිළිබඳ ඇමති තනතුර ලබා දී ඇති ආකාරයයි. පසුගිය දිනක රූපවාහිනි සාකච්ඡාවක දී හෙළි කළ ආකාරයට ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ව විශ්ව විද්‍යාල උපාධියක් ලබා ඇති, ක්ෂේත්‍රයේ දැනුමක් ඇති මංත‍්‍රීවරයෙකුට දී ඇත්තේ පරිසර කටයුතු පිළිබඳ ඇමතිකමකි. ඒ වෙනුවට ඉන්ධන පෝලිම් කිලෝමීටර් හතර පහ දක්වා දීර්ඝ වූ අවස්ථාවේ දී හෝ විසඳුමක් ඉදිරිපත් කිරීමට නොහැකිව මුළු මහත් ජනතාවගේ ම අප්‍රසාදයට පත් තරුණ මංත‍්‍රීවරයෙකුට නැවතත් එම තනතුර ලැබිණ. ඔහු නැවතත් සිය ට්විටර් ගිණුම හරහා පණිවුඩ නිකුත් කරමින් දිග් ගැසෙන ඉන්ධන පෝලිම් ප‍්‍රශ්නය විසඳීමට උත්සාහ කරයි. ජාතක කතාවක සඳහන් ලේනෙකු වලිගයෙන් මුහුද හිස් කිරීමට උත්සාහ කළ ආකාරයට පිරවුම්හලකට ඉඳ හිට තෙල් බවුසරයක් ලබා දීම ප්‍රශ්නයට ඇති ඔහුගේ විසඳුමයි. වරු ගණන් පෝලිම්වල සිට නොඉවසිලිමත් වූ ජනතාව කලබල කරන විට ඉන්ධන ලබා නොදෙන බවට තර්ජනය කිරීම තවත් විසඳුමකි.
බලශක්ති ඇමති පමණක් නොව අනෙකුත් ඇමතිවරුන් ද දක්වන්නේ එවැනිම ‘‘දක්ෂතාවයකි.’’ ජනාධිපතිට ඇත්තේ ද එවැනිම හුරුවකි. පසුගිය දිනවල සමාජ මාධ්‍යයෙන් දක්වන තෙක් අර්බූදයට විසඳුම් සෙවීමේ දී මුදල් ඇමතිවරයෙකුගේ අවශ්‍යතාවය ඔහු දුටුවේ නැත. ඔහුට වැදගත් වූයේ බුද්ධ සාසනය රැක ගැනීම සඳහා ඇමතිවරයෙකු සොයා ගැනීම ය.
ඒ සියල්ල සිදු කෙළේ අර්බුදයෙන් ගොඩ ඒමට වඩා ‘ගෝඨා ගෝ හෝම්’ ඉල්ලීම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් ව්‍යවස්ථා ගතවීම වැළැක්වීම ය. මැයි 9 වැනිදා ගාලුු මුවදොර ප්‍රහාරයෙන් පසුව රට පුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා දඩමීමා කර ගෙන අරගලකරුවන් මර්දනය කළ හැකියැයි ඔහු සිතනු ඇත. ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව රට පුරා ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළ කොටස් අත් අඩංගුවට ගැනීමෙන් අරගලය යටපත් කළ හැකියැයි සිතනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවතත් ඇස් බැන්දුම් තුළින් තම පාලනය ස්ථාවර කර ගැනීමට සූදානම් වන බව ‘ගෝඨා ගෝ හෝම්’ ගමට එල්ල කළ ප්‍රහාරය ගැන විමර්ශන කටයුතු සිදු කරන ආකාරයෙන් පැහැදිලි ය. රට පුරාම නැගුණු උද්ඝෝෂණය නිසා ගාලු මුවදොර ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පියවර ගත් නමුත් ඒ ප‍්‍රහාරකයන් සහ ඔවුන් ට උඩ ගෙඩි දුන් අය හඳුනා ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා නොවේ. නිසැකවම කල් මැරීම සඳහා ය.
පරීක්ෂණ කටයුතු මෙහෙයවන සීඅයිඩිය බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගෙන් පමණක් නොව සීඅයිඩිය ඇතුළත් සමස්ත පොලිසිය භාර පොලිස්පතිගෙන් ද ප‍්‍රශ්න කර ඇත. සීඅයිඩියේ අධ්‍යක්ෂක ඇතුළත් නිලධාරීන් පත් කරන්නේ පොලිස්පති ය. ඔහු ඒ සියල්ලන්ගේ ම ප්‍රධානියා ය. එවැනි තත්වයක් යටතේ කණිෂ්ඨ නිලධාරියෙකුට ජ්‍යේෂ්ඨත්වය මෙන්ම තරාතිරම අතින් ද උසස් නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමේ දී අපක්ෂපාතිව සහ අධිකාරි බලයක් ඇතිව කටයුතු කළ හැකි ද? තම ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් පැය ගණනක් ප්‍රශ්න කළ හැකි ද? පොලිස්පතිට එම සියලු නිලධාරීන් පිළිබඳ ව ඇති විධාන බලය පෙන් වූයේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සීඅයිඩියේ අධ්‍යක්ෂක එම තනතුරෙන් නිදහස් කොට වෙනත් තැනකට මාරු කිරීමෙනි. මෙය සැබෑ කරුණු අනාවරණය කර ගැනීමට කරන විමර්ශනයක් නොව ඇස් බැන්දුමක් බව තහවුරු වන්නේ මෙවැනි තත්වයක් යටතේය.
ගාලු මුවදොර ප්‍රහාරයට පොලිස්පතිගේ පමණක් නොව ආරක්ෂක ලේකම් ගේ පවා සම්බන්ධයක් ඇති බවට තොරතුරු ප්‍රසිද්ධියට පත්ව ඇති අවස්ථාවක විමර්ශන කටයුතු අපක්ෂපාතීව සහ සාධාරණව කිරීමට නම් පොලිස්පතිගේ පමණක් නොව ආරක්ෂක ලේකම් ගේ විධානයට යටත් නොවන පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට එය භාර දිය යුතුය. ඔවුන්ට තම කාර්ය නිසි පරිදි කිරීමට අවශ්‍ය සියලු විධි විධාන සැලසිය යුතුය. එසේ නැතිව දැනට සීඅයිඩියෙන් කෙරෙන විමර්ශනවලින් කිසිදු පලක් වන්නේ නැති බව පැහැදිලි ය. ජනාධිපති ගෝඨාභයට අවශ්‍ය වන්නේ විමර්ශන කටයුතු සිදු වන බව ජනතාවට සහ ජාත්‍යන්තරයට පෙන්වීම පමණ ය.
මේ සියල්ලෙන් නැවත නැවතත් තහවුරු වන්නේ ගෝඨාභය රාජපක්ෂ බලය හැර දා යෑමට කිසිදු සූදානමක් නැති බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම අවශ්‍යතාවය අනුව සංශෝධනය කිරීමෙන් ලබා ගත් බලතල සිය ධුර කාලය අවසන් වන තෙක්ම ඒ ආකාරයෙන් ම පවත්වා ගැනීම ය. තවමත් ජනතාව අතට පත් කර නැති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද කැබිනට්ටුව පත් කළ ආකාරයටම තම බලය සුරක්ෂිත කර ගැනීමට යොදා ගන්නා උප්පරවැට්ටියක් වන බවට සැකයක් නැත. තම අවශ්‍යතාවයට නොගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුනෙන් දෙකේ බහුතරයකින් සම්මතවීම වැළැක්වීමට දේශපාලනමය සහ මුදල්මය හැකියාව තවම ඔහුට පවතී. හරීන් ප‍්‍රනාන්දු ට හෝ අලුතින් ඇමති තනතුරු භාර ගත් වෙනත් අයෙකුට ඊට හරස්වීමට හැකියාවක් නැත. නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිහිපත් කර ගැනීම වැදගත් ය.
වැදගත් ම ප්‍රශ්නය වන්නේ මෙම නූල් සූත්‍රවලින් පාලන බලයේ රැඳී සිටීම හැකි වුවත් කබලෙන් ලිපට වැටී ඇති ජනතාවට ඉන් සහනයක් ලබා දිය හැකි ද යන්නයි. ජනාධිපති ගෝඨාභයට හෝ ඔහු අලුතින් පත් කර ගත් ඇමතියන්ට හොරකම සහ කල්මැරීම හැර වෙනත් විසඳුම් නැති බව කිව යුතු නොවේ. රජයේ ආදායම් බින්දුවට බැස්ස වූ බදු කපා හැරීමේ සිට සීනි තීරු බදු මංකොල්ලය දක්වා ඉතිහාසයෙන් පෙන්නුම් කරන ආකාරයෙන් සහ නැගී ආ මහජන විරෝධය මැඩලීමට මැර ප‍්‍රහාර එල්ල කිරීම ප්‍රමාණවත් නොවන බව මැයි 9 වැනිදා රට පුරා හට ගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පෙනේ. මූලික වශයෙන් ම දේශපාලන ගැටලුවක් වන වත්මන් අර්බුදය විසඳා ගැනීමට ප්‍රචණ්ඩ ක්‍රියා යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකිය. ප්‍රචණ්ඩත්වයෙන් ජය ගන්නේ තවත් ප්‍රචණ්ඩත්වයකි. එය සමාජ ප්‍රගමනයට හේතු වන්නේ නැත.
කුස ගින්නෙන් පෙළෙන්නාට අහරක් ලබා දෙන්නේ නැතිව බණ කීමේ වැඩක් නැති සේම ජීවිතය ගැට ගසා ගැනීමට ළතැවෙන ජනතාවට සාමකාමී ව ප‍්‍රශ්න විසඳා ගැනීමට ඉදිරිපත් වන්නැයි කීමේ තේරුමක් නැත. ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු වන්නේ ඔවුන් තුළ කැකෑරෙමින් පවතින කෝපය පිට කිරීමට සාමකාමී පියවර නැති විට සහ පාලකයන් ඔවුන්ට සවන් දෙන්නේ නැති බව පෙනෙන විට ය. පාලනයේ දී සහ සැලසුම් කිරීමේ දී අපොහොසත් වූ වත්මන් පාලකයන් ගැන බිඳී ඇති විශ්වාසය නැවත ගොඩ නගා ගැනීමට නම් ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය වෙනස් කර ගත යුතුය. එය ඇස් බැන්දුමක් නොව සැබෑ ප්‍රායෝගික පියවර විය යුතු ය. මතුව ඇති ප්‍රශ්නවලට වහා විසඳුම් ලබා දිය නොහැකි වුවද මෙතෙක් ගත් ක්‍රියාමාර්ගය වෙනස් කොට ජනතාවාදී මගක යෑමට හැකි බව පෙන්විය යුතුය. එසේ නොවන්නේ නම් ජනතා සිත් සතන් තුළ කෑකැරෙමින් පවතින කෝපය සුනාමියක් වනු ඇත.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024