You are currently viewing ඡන්ද විමසීම පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට යන මාවතක් වීමට නම්..

ඡන්ද විමසීම පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට යන මාවතක් වීමට නම්..

දේශපාලන පක්ෂ තම ශක්තිය හා බලය පෙන්වීමට පාක්ෂිකයන් වීදි බැස්ස වූ මැයි දිනය ද අවසන් විය. එම මෙහෙයවීම සඳහා කොපමණ මුදලක් සහ කාලයක් වැය කිරීමට සිදු වූයේ ද යන්න හෙළි කිරීමට ඔවුන් බැඳී නැත. ඒ සියල්ල ස්වේච්ඡාවෙන් සිදු වූ බව පෙන්වීමට සියලු ම දේශපාලන පක්ෂ උත්සාහ ගන්නා බවට ද කිසිදු සැකයක් නැත. කොළඹ පැවති රැස්වීමකට සහභාගි කරවා ගැනීමට එක පුද්ගලයෙකු සඳහා රුපියල් පන්දහසක් ගෙවා බත් පාර්සලයක් ලබා දී ඇතැයි ප්‍රධාන දේශපාලන පක්ෂයක හිටපු මහ ලේකම්වරයෙකු රූපවාහිනි නාලිකාවකට පවසා තිබිණ. මෙම ප්‍රකාශවල සත්‍යාසත්‍ය භාවය කුමක් වුවද මෙවැනි සන්දර්ශන පවතින දේශපාලනයේ නෛසර්ගික ලක්ෂණයක් බව පැහැදිලි ය.

මෙම දේශපාලන පක්ෂ මහත් ධනයක් සහ කාලයක් වැය කොට මෙවැනි සන්දර්ශන පවත්වන්නේ ඉදිරියේ එළඹෙන ඡන්ද විමසීම්වලදී තම ජනප්‍රියතාවය උරගා බැලීම සඳහා ය. තමන්ට විශාල අනුගාමිකයන් පිරිසක් සිටින බව ප්‍රදර්ශනය කිරීම ඡන්දදායකයන් දිනා ගැනීමේ පහසු ක්‍රමයකි. ගම් දනවු පුරා වෛවර්ණ ඡායාරූප වලින් පිරි ප්‍රදර්ශන පුවරු ඉදි කොට තහවුරු කිරීමට අදහස් කරන්නේ ජනමතය තමන්ට ඇති නිසා ඡන්දය ලබා දිය යුත්තේ ද තමන්ටය යන්න තහවුරු කිරීමට ය. දක්ෂ අවංක” කැපවීමෙන් යුත් නායකත්වයක් තමන් සතු නිසා තේරීමේ අපහසුවක් නැත. නායකයාගේ රූප කාය මුද්‍රණය කළ ඇඳුම් අන්දවා තරුණ තරුණියන් ප්‍රදර්ශනය කිරීම ද මෙම ගේම් එකේම කොටසකි.

එහෙත් දේශපාලකයන් මෙන්ම රට ද බංකොලොත් වී ඇති සමයක මෙතෙක් ඡන්ද ලබා ගැනීමට පාවිච්චි කළ උපාය මාර්ග ප්‍රමාණවත් විය නොහැකිය. ආහාර පාන වැනි මූලික අවශ්‍යතා හෝ පිරිමසා ගැනිමට බැරිව ළතැවෙන ජනතාවට රටේත් දේශපාලකයන්ගේත් බංකොලොත් භාවය පැහැදිලි කිරීමට ප්‍රදර්ශන පුවරු අවශ්‍ය නැත. කුස්සියට යන සෑම මොහොතකම දරිද්‍රතාවය සහ අසරණකම් විලිස්සා බලා සිටින ආකාරය පැහැදිලි කිරීමට ජන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හෝ මහ බැංකුවේ වාර්තා අවශ්‍ය නැත. දූ දරුවන් පාසලට යැවීමට නොහැකිව ළතැවෙන ලෙඩට දුකට බෙහෙතක් ගත නොහැකිව දුක් සුසුම් හෙළන දෙමාපියන්ට අධ්‍යාපනයේ හෝ සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පරමාධිපති බලය හිමි ජනතාවට අවශ්‍ය වන්නේ රට සහ තම ජීවිතය අසරණ භාවයට පත් වූයේ කෙසේ ද සහ එය ගොඩ නැගීමට ගත යුතු පියවර මොනවා ද යන්න දැන ගැනීමට ය. නූතන ලෝකයේ රාජ්‍ය පාලනයේ සැබෑ ස්වරූපය ජනතාවගෙන් වසන් කිරීමට විවිධ කූටෝපායන් අපමණ යොදා ඇති නිසා යථාර්ථය පැහැදිලි කිරීම පහසු කාර්යක් නොවේ. එම බොරුව ජනගත කිරීමට සන්නිවේදනයේ අලුත් උපායන් සහ විලාසිතාවන් පහසුවෙන්ම යොදා ගත හැකිය. රජයත් එය කරවන දේශපාලකයන්ගේත් සියලු බර ජනතාව මත පටවා එය ‘සංවර්ධනය’ යනුවෙන් හැඳින්විය හැක්කේ සන්නිවේදනයේ ‘දියුණුව’ නිසාය. ආණ්ඩුවේ ණය බර ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් සේවක අර්ථ සාධක අරමුදලෙන් බදු අය කිරීම ණය ප්‍රශස්තකරණය වැනි නොතේරෙන වචනවලින් මුවා කළ හැකිය. සේවක අර්ථ සාධක අරමුදලෙන් පෙර කිසි දා නොවු ආකාරයට බදු අය කරමින් එහි සාමාජිකයන්ට ගෙවන පොලී අනුපාතය සියයට නමයේ සිට දහතුන දක්වා වැඩි කිරීම හාස්කමක් සේ දැක්විය හැකිය. 

රට කරවන අයත් පාලිතයන් වන ජනතාවත් අතර ඇති සම්බන්ධතාවය තේරුම් ගැනීමට හැකි වන්නේ නූතන රාජ්‍ය බලයේ සැබෑ අයිතිකරුවන් කවුද යන්න පැහැසිලි කිරීමෙනි. විධායකයටත් ව්‍යවස්ථාදායකයටත් අධිකරණයටත් එම බලය ලැබෙන්නේ ජනතාවගෙනි. එම බලතල සහ විධි විධාන ඇතුළත් ලියවිල්ල වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ මෙවැනි සඳහනක් ඇත.

නීති රීති සහ ප්‍රතිපත්ති සම්පාදනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා බව සඳහන් කෙරේ.

එසේ සම්මත කර ගත් ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවේ තවදුරටත් මෙසේ සඳහන් වේ.

පාලකයා පලවා හැරීමෙන් පසුව හැබැවින්ම කළ යුතුව තිබුනේ ‘පුද්ගල අභිමානය සහ නිදහස සහතික’   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාලකයෙකු පත් කර ගැනීමට පරමාධිපත්‍යය හිමි ජනතාවට අවස්ථාව ලබා දීම ය. එහෙත් එවැන්නක් සිදු වූයේ නැත. ඒ වෙනුවට පලවා හරින ලද පුද්ගලයා අනුගමනය කළ ජනතාව ප්‍රතික්ෂේප කළ ප්‍රතිපත්ති අනුප්‍රාප්තික පුද්ගලයෙතු විසින් වඩාත් හානිකර ලෙස ක්‍රියාත්මක කරයි.

එමනිසා ඉදිරියේ එළඹෙන කුමන හෝ මැතිවරණයක දී පරමාධිපත්‍ය බලය හිමි ජනතාව ගත යුතු පියවර දෙකක් දැක්විය හැකිය. ඉන් පළමු වැන්න වන්නේ ඡන්ද විමසීමකින් සිදු වන්නේ කැමැත්ත ප්‍රකාශ කිරීමක් විනා බලය පැවරීමක් නොවන බව බලය අපේක්ෂා කරන අයට පිළිගැන්වීම ය. කැමැත්ත ලබා දෙන්නේ කිසියම් කොන්දේසිවලට යටත්ව ය. එම කොන්දේසි මොනවාද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ සඳහන්ව ඇත.

පුද්ගල අභිමානය සහ නිදහස සහතික’ කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට ජනතාව වෙනුවෙන් විධායක” ව්‍යවස්ථාදායක හෝ අධිකරණ බලතල පාවිච්චි කළ නොහැකිය. කැමැත්ත ප්‍රකාශ කිරීම සමාජ ගිවිසුමක් වන්නේ එවිට ය.

දෙවැනිව කැමැත්ත ලබා දෙන්නේ කුමන කාරණයක් සඳහා ද යන්න ජනතාව බලය අපේක්ෂා කරන සියලු දෙනාටම පැහැදිලිවම දැක්විය යුතුය. එය බලය අපේක්ෂා කරන අයගේ මැතිවරණ ප්‍රකාශනවලට වෙනස් ජනතා ඉල්ලීම් විය යුතුය. බහුතර ජනතාව දේශපාලන බලය අපේක්ෂා කරන පක්ෂ මෙන් සංවිධිතව නැති නිසා ජනතා ඉල්ලීම්වලට විවිධ අර්ථ ගැනීමට දේශපාලන පක්ෂවලට වැඩි හැකියාවක් ඇත. නැතිනම් මැයි දින පෙළපාලියට ජනතාව දක්කා ගෙන ආ ආකාරයටම ජනතාවගෙන්ම සමහර අය දේශපාලකයන් ගේ අවශ්‍යතාවය අනුව කටයුතු කිරීම සඳහා යොදා ගැනීමට ඇති අවස්ථාව වඩාත් ප්‍රබල ය.

එය ජය ගැනීමට ඇති එකම මාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ සඳහන් වන ආකාරයට සාධාරණ” ආර්ථික සහ සංස්කෘතික පදනමක් සැකසිය යුත්තේ කෙසේද යන්න ගැන ජනතාව අතර විවෘත” සංවාදශීලී” දැනුවත් සාකච්ඡාවක් ඇරඹීමෙනි. එවැනි සාකච්ඡාවකට රටේ බුද්ධිමත්” විචක්ෂණශීලි ප්‍රබුද්ධ ජන කොටස් නායකත්වයත් මගපෙන්වීමත් ලබා දිය යුතුය. එම සාකච්ඡාව ජනතාව මුහුණ දී ඇති සමාජ ආර්ථික ගැටලු නිවැරදිව අවබෝධ කර ගැනීමට පදනමක් විය යුතුය. පවතින ක්‍රමය ගැන බිඳ වැටී ඇති විශ්වාසය හා බැඳීම නැවත ගොඩ නැගීමටත් වඩාත් යහපත් සමාජයක් බිහි කිරීමට මුලපිරුමක් ඇති කළ හැකි වන්නේත් ඒ ආකාරයට ය.  

Leave a Reply