තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් ඇරඹි 2022 ජන අරගලය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා උද්ඝෝෂණය නිසා ඔටුනු නොපළන් රජ කෙනෙකු මෙන් රට පාලනය කළ අයෙකු තනතුර අතහැර රාජ මන්දිරයේ පිටුපස දොරින් ජීවිත ආරක්ෂාව පතා පලා ගියේය. තමන්ට සුවිශේෂ ජනවරමක් ඇතැයි සිතා රිසි ආකාරයට රට පාලනය කළ පාලකයාට මහජන විරෝධය නිසාම තනතුර අතහැර යෑමට සිදු විය. එය සිදු වූයේ ජීවිත සහ දේපොළ මහා පරිමාණයේ විනාශයකින් තොරවය.
පාලකයා පලා යෑමෙන් පසුව හටගත් ප්රචණ්ඩ ක්‍රියා නිසා පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙකු ඇතුළත් කීප දෙනෙකු මරණයට පත් වීමත් දිවයිනේ ප්‍රදේශ කීපයක පාලක පක්ෂයේ මැති ඇමතින්ගේ නිවාස ගිනි දැමීම් කීපයක් වාර්තා වුවත් ඒවා 1977 පශ්චාත් මැතිවරණ සමයේ වාර්තා වු ප්රචණ්ඩ ක්‍රියා සමග සසඳන විට සිල්ලර සිද්ධීන් ය. කවර ආකාරයෙන් හෝ මිනිස් ජීවිත නැතිවීම කිසිසේත් අනුමත කළ නොහැකි වුවද සිදු වූ දැවැන්ත ජනතා නැගිටීම අනුව ජීවිත සහ දේපොළ විනාශය පැවතියේ අවම මට්ටමකය. ගාලු මුවදොර අරගලයෙන් පසුව බංග්ලාදේශය සහ නේපාලය වැනි රටවල තරුණ ජනතා නැගිටීමෙන් සිදු වූ දේපොළ හා ජීවිත හානිය ඉතා ඉහළ මට්ටමක පැවතිණ. සමස්තයක් වශයෙන් ගාලු මුවදොර ජන අරගලය සාමකාමී ය. ඒ අර්ථයෙන් ගාලු මුවදොර ජනතා අරගලය ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි.
මෙම අරගලය හැරවුම් ලක්ෂයක් වන්නේ පාලකයා පන්නා දැමීම නිසාම නොවේ. මෑත ඉතිහාසයේ දේශපාලකයන් සහ දේශපාලනය ගැඹුරු ලෙස ජන විඥානය තුළ ප්‍රශ්න කිරීමට භාජනය කිරීමෙනි. 2019 පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් ගෝඨාභය රාජපක්ෂ ගේ ජනවරම ඔහු බලයට පත් කළ ජනතාව විසින්ම නිර්දය ලෙස ප්‍රශ්න කිරීමට භාජනය කෙළේය. රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට සහ ව්‍යවස්ථාදායකයන්ට පැහැදිලිවම නීති පැනවීමට සහ ක්‍රියාත්මක කිරීමට බලතල ලබා දුන්නත් ඒ කොන්දේසි විරහිතව නොවන බව පෙන්නුම් කෙරිණ.
අරගලයේ ප්‍රධාන තේමා පාඨය වූ ගෝටා ගෝ හෝම් ජයගත් නමුත් ඉන් එහාට ගත යුතු ක්‍රියා මාර්ග ගැන සම්මුතියක් නොමැති වූ නිසාත් පිළිගත් දේශපාලන නායකත්වයක් නොමැති නිසාත් නැවතත් පැරණි ක්‍රමය ආදේශ වූ නමුත් ජනතා අභිලාෂය පහව ගියේ වූයේ නැත. 2024 පැවති ජනාධිපතිවරණයෙන් සහ ඉන් පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රදර්ශනය වූයේ ද එම අභිලාෂයයි. වඩාත් සරලව ක්රමයේ වෙනසක්, ‘සිස්ටම් චේන්ජ්“ සඳහා ඇති ජනතා ඉල්ලුමයි.
මෙම කරුණු නැවත නැවතත් සංවාදයට ගෙන ඒමට සිදු වන්නේ සම්ප්‍රදායික දේශපාලනය සහ එහි ක්‍රියාකාරීන් වන දේශපාලකයන් ජනතාව ඉල්ලා සිටින වෙනස ඕනෑ කමින්ම නොසලකා කටයුතු කිරීමට නැඹුරු වන නිසාය. දේශපාලකයන් යනු ජනතාව පාලනය කිරීමට සහ මෙහෙයවීමට ධන බලයෙන් හෝ වෙනත් හැකියාවකින් පත් වුවන් නොව ජනතා අභිලාෂය ඉටු කරන තාක් කල් එම බලය හිමි ජනතාවගේ නියෝජිතයන් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වන ආකාරයට පරමාධිපත්‍යය ජනතාව සතු වන අතර පැවරිය නොහැකිය. එමනිසා දේශපාලකයාට ජනතාව අභිබවා යා නොහැකිය.

එහෙත් අපේ දේශපාලකයන් සිතන්නේත් ක්‍රියා කරන්නේත් ජනතාවට ඉහළින් සිටින, ජනතාව පාලනය කිරීමට වරම් ලත් සුවිශේෂී ජන කොටසක් සේය. ජනතාවගේ නාමයෙන් පනවන නිතී නොසලකා සිටීමට ඔවුන්ට හැකිය. නීති කඩ කරන විට රජයේ ආරක්ෂාව ද ඔවුන්ට හිමිය. ඒ ඔවුන් ජනතා නියෝජිතයන් වීම නිසා ලබන වරප්රසාදයකි. මහජන මුදල්, ප්රශ්තුත කාරණයේ දී අගනා විදේශ විනිමය තම කැමැත්ත අනුව යොදා ගත හැකිය. එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ ට සිය බිරිඳගේ සම්මාන උපාධි ප්‍රධානොත්සවයට යෑමට ජනතාවගෙන් බදු වශයෙන් අය කර ගත් මුදල් හිතු මනාපෙට වැය කළ හැකිය.
එම වැරැද්දට අත් අඩංගුවට ගැනීමත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සාහසික ක්‍රියා ය. විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලකයෝ එය හෙළා දුටහ. ඔහුට කඩිනමින් රක්ෂිත බන්ධනාගරයෙන් පිටව ( සැබැවින්ම ඔහු රැඳී සිටියේ දැඩි සත්කාර ඒකක යේය) යෑමට ගැලපෙන වෛද්‍ය වාර්තා ද කඩිනමින්ම සැකසිණ.
මෙම සිද්ධියේ උණුසුම පහව යෑමටත් පෙර දේශපාලකයන්ගේ නිරුවත හෙළිකරන තවත් සිද්ධියක් කරලියට පැමිණියේය. ඒ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඔහුගේ නිල කාමරය තුළම වෙඩි තබා ඝාතනය කිරීමය. දේශපාලකයන් විශේෂයෙන්ම විපක්ෂයේ දේශපාලකයන් එය හැඳින් වූයේ මහජන නියෝජිතයන්ට ආරක්ෂාව ලබා දීම පවතින රජය සැලසුම් සහගතව පැහැර හැරීම නිසා ඇති වූ අපරාධයක් සේය. එමනිසා සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ ඝෝෂාකාරි ලෙස හැසිරීම සහ කළු පටි පැළඳීම වැනි සංකේතාත්මක දේ ද දක්නට ලැබිණ.
අදාල ප්‍රාදේශීය සභාවේ සභාපති පාතාලයට සම්බන්ධ බවට ඇති චෝදනා, ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු හයක් විභාග වෙමින් පැවතීම සහ අත් හිටවූ සිර දඬුවමකට යටත්ව සිටීම වැනි කරුණු සාකච්ඡා වූයේ නැත. වැදගත් වූයේ ඔහු තරග කළ කොට්ඨාශයේ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 67ක් ලබා ගැනීම නිසා ලබා ඇතැයි කියන දේශපාලන සුජාත භාවයයි. ආරක්ෂාව ලබා නොදිමට හේතු වූයේ ඔහු අයිආර්සී කාරයෙකුවීම නිසායැයි පැවසීම දේශපාලන පලි ගැනීමකි.

මෙම සිද්ධීන් දෙකින්ම කියවෙන්නේ රාජ්‍ය පාලකයෙකු හෝ මහජන නියෝජිතයෙකුවීම නිසා ඔවුන්ට නීතියේ රැකවරණය හිමිවිය යුතුය යන්නයි. ජනාධිපතිවීම නිසා අනුමැතියකින් තොරව රජයේ සම්පත් වියදම් කිරීම වැරුද්දක් සේ සැලකීම වැරදිය. අයිආර්සී කාරකයෙකුට වුවත් ඡන්දයෙන් තේරී පත් වූයේනම් පොලිසියේ ආරක්ෂාව ලබා නොදීම ද වැරදිය. එහි සරල අදහස කෙසේ හෝ ජනවරමක් ලබා ගැනීම නීතියට ඉහළින් සිටීමට ලැබෙන වරප්රසාදයකි. නීතිය අදාල වන්නේ මහජන නියෝජිතයන් තෝරා පත් කළ ජනතාවටය. ජනතා ‘නියෝජිතයන්’ ගේ අමනෝඥ, අදූරදර්ශී වැඩ පිළිවෙළ නිසා රටම බංකොළොත් කිරීමේ වරද පැවරෙන්නේ ද ජනතාවයි. රටේ දරිද්‍රතාවය ඉහළ ගොස් දරු පරම්පරාවෙන් සියයට 25ක් මන්දපෝෂණයෙන් පෙළෙන විට දේශපාලකයන් කෝටි ප්රකෝටිපතීන් වීම ද නීතිය අනුව වැරැද්දක් නොවේ. ඒ සියල්ල මැද ඔවුන්ගේ ආරක්ෂා කිරීමේ වගකීම ද පැවරෙන්නේ ජනතාවටය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යෑමෙන් පසුව දේශපාලකයන්ට එරෙහිව රට පුරා හටගත් ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අපොහොසත් වීමේ වගකීම ද පැවරුණේ ආරක්ෂක අංශවලටය. එම චෝදනාවට එවකට සිටි පොලිස්පති ලබා දුන් පිළිතුර දේශපාලන යථාර්ථය හෙළි කරන්නකි. ඔහු පැවසු ආකාරයට දිවයිනේ ඇති පොලිස් ස්ථාන 184න් 182කම ස්ථානාධිපතින් පත් කර ඇත්තේ දේශපාලකයනගේ වුවමනාව අනුව නිසා වැරැද්දක් සිදුව ඇත්නම් එහි වගකීම ද දේශපාලකයන් භාර ගත යුතුය.
මෙම පිළිතුරෙන් පැහැදිලි වන්නේ මහජන නියෝජිතයක් වශයෙන් තේරි පත් වන අපරාධකරුවෙකුට හෝ නීතිය අභිබවා සිටිමට පවතින දේශපාලන සංස්කෘතිය තුළ හැකියාවක් පැවතිමය. එමනිසා සමාජ විරෝධී කටයුතු කරන අපරාධකරුවෙකුට වුවද මහජන නියෝජිතයෙකුවීම නිසා රැකවරණය ලබා දීම රජයේ වගකීමකි. එසේ වන්නේ මහජන නියෝජිතත්වය අපේක්ෂාවෙන් ඉදිරිපත්වන පුද්ගලයෙකුගේ සුදුසුකම් ගැන අදාල නීතිවල කිසිත් සඳහන් නොවීමෙනි. මිනි මැරීම් හෝ වෙනත් අපරාධ, මත්ද්‍රව්‍ය වෙළඳාම වැනි සමාජ විරෝධී කටයුතුවල යෙදෙන අයෙකුට වුවද නාම යෝජනා ලබා දිය හැකිය. රට හැදීමට ජනවරම ඉල්ලා සිටින දේශපාලකයන්ට වැදගත් වන්නේ ඡන්ද වැඩියෙන් ලබා ගත හැකි කාටද යන්න පමණි. එමනිසා කුඩු ජාවරම්කරුවන්ට වුවද නම යෝජනා ලබා ගැනීමටත් ජයග්‍රහණය කළ හොත් තනතුරු ලබා ගැනිමටත් බාධාවක් නැත.
වසර හැත්තෑ හයකට අධික කාලයක් සිදු වූයේ එයයි. එහි ප්‍රතිඵලය රට ආර්ථික වශයෙන් බංකොළොත්විම පමණක් නොවේ. දේශපාලන සහ සදාචාරමය වශයෙන් වූ පරිහානිය ආර්ථික පරිහානිය මෙන් ගණන් බැලිය නොහැකිය. එය ජනහද පතුළටම කිඳා බැස ඇත. එම පරිහානිය පවතින දේශපාලන පද්ධතිය තුළින් නිවැරදි කල නොහැකි බව තරුණ තරුණියන් පෙන්නුම් කෙළේ අරගලය තුළිනි. ඒ සඳහා ක්රමයේ වෙනසක් ඇති කළ යුතුය. ගෝටා ගෝ හෝම් යන්නෙන් අදහස් වන්නේ ජනාධිපති ඉවත් කිරිම පමණක් නොවේ. සමස්ත දේශපාලන සංස්කෘතියේ වෙනසකි.

එහෙත් අපගේ මහජන නියෝජිතයන් එය වටහා ගෙන නැත. ඔවුන් සිතන්නේත් ක්‍රියා කරන්නේත් දේශපාලන අධිකාරිය සතු තැනැත්තාට හෝ කණ්ඩායමට තමන් කැමති ආකාරයකට රට මෙහෙයවිය හැකිය යන හිතුවක්කාර පදනම යටතේය. ඔවුන්ගේ සමාජ විරෝධී, ආත්මලාභී වැඩ සඳහා රටේ බලපවත්වන නීතිය අදාල වන්නේ නැත.
නීති ගරුක දේශපාලනයක් තිබේ නම් නීතිය කඩ කළ බවට අධිකරණයෙන් පවා ඔප්පු වී ඇති පුද්ගලයෙකුට නාම යෝජනා ලැබෙන්නේ නැත. අඩුම වශයෙන් සිදු වූ වැරැද්ද ගැන ජනතාවගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී භාවයක් ඔවුන්ට නැත. එවැනි නිහතමානි භාවයක් ඇත්නම් කළ යුතු වන්නේ ඝාතනය හෙළා දකින අතරම තමන් ද වැරැද්දක් කර ඇති බව පිළිගැනීම ය. ඇත්තෙන්ම වැරැද්ද ඇත්තේ මෙම දේශපාලකයන් තුළ නොව ඔවුන්ම නිර්මාණය කර ගෙන ඇති දේශපාලන සංස්කෘතිය තුළය. වෙනස් විය යුත්තේත් වෙනස් කළ යුත්තේත් එම සංස්කෘතියයි. ඔවුන් ඊට සූදානම් නැත්නම් ඔවුන් ඉතිහාසයේ කුණු කූඩයට ඇද දැමීමට ජනතාව සූදානම් බව අරගලයෙන් පෙන්නුම් කළ පාඩමයි.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026