You are currently viewing චීනයේ කොවිඩ් ප්‍රතිපත්තියෙන් කොවිඩ් 19 සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බව ඔප්පු කරයි.

චීනයේ කොවිඩ් ප්‍රතිපත්තියෙන් කොවිඩ් 19 සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බව ඔප්පු කරයි.

පහත පළ වන්නෙන් නමක් සඳහන් නොකළ විද්‍යාඥයෙකු විසින් චීනයේ කොවිඞ් 19 තුරන් කිරීමේ ව්‍යාපාරය පිළිබඳව සකසන ලද ලිපියක් ඇසුරෙන් WSWS වෙබ් අඩවිය පළ කරන ලද ලිපියක සාරාංශයයි. කොවිඩ් වසංගත රෝගය ගැන විවිධ අවිද්‍යාත්මක මත පැතිර යන අවස්ථාවක එම රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සහ ජනතාව ඉන් මුදවා ගැනීමට චීනය අනුගමනය කළ ප්‍රතිපත්තිය කෙතරම් සාර්ථකත්වයක් අත් කර ගත්තේද යන්න ඉන් පැහැදිලි කරන නිසා විවරණ පාඨකයන්ටත් එය වැදගත් වනු ඇතැයි සිතුවෙමු.

බිලියන 1.4ක ජන සංඛ්‍යාවකින් යුත් චීනය අනුගමනය කළ කොවිඩ් වසංගතය පිටු දැකීමේ ව්‍යාපාරය නිසා රෝගීන් සංඛ්‍යාව 100,000කටත් මරණ සංඛ්‍යාව 5,000ක් වැනි අඩු මට්ටමක පවත්වා ගැනීමටත් සමත් විය. ( මීට 2020 අප්‍රේල් සිට වාර්තා වූ රෝගීන් 10,000 සහ මරණ 3ක්ද ඇතුළත් ය.) චීනයේ ජන සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ සිටින එක්සත් ජනපදය සමග සසඳන විට එක්සත් ජනපදයේ රෝගීන් සංඛ්‍යාව දශ ලක්ෂ 50ක් වන අතර මරණ සංඛ්‍යාව 800,000ක් වන බව ද සිහිපත් කළ යුතුය. වෙනත් ආකාරයට පවසන්නේ නම් එක්සත් ජනපදය මෙම වයිරසය පාලනය කිරීමේ දී චීනය අත්කර ගත් සාර්ථකත්වය ලබා ගත්තේ නම් මරණ සංඛ්‍යාව 1000කට වඩා අඩුවනු ඇත.

මෙම වයිරසය ලෝකය පුරාම වේගයෙන් පැතිර යෑම නිසා අන්තර්ජාතික සංචාර නතර කිරීම ඇතුළුව නිශ්චිත ප්‍රදේශ වසා තැබීම, රෝගය වැළඳුණ පුද්ගලයන් හුදකලා කිරීම, රට පුරාම පරික්ෂා කිරීම් සහ ආශ‍්‍රිතයන් සොයා යෑම වැනි දැඩි මහජන සෞඛ්‍ය පියවර ගැනීමට සිදු විය.

මෙම ප්‍රතිපත්තිය නිසා දශ ලක්ෂ ගණන් ජීවිත ගලවා ගැනීමටත් පසුගිය වසර දෙකක කාලය තුළ රටේ ජනතාවට නිදහසේ තම දෛනික කටයුතු පවත්වා ගැනීමටත් හැකි විය. එම විද්‍යාඥයා පැහැදිලි කරන ආකාරයට 2020 වසන්තයේ දී රෝගය පළමු වරට වාර්තාවීමෙන් පසුව චීනයේ ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන ඇතුළු රටේ සෑම තැනකම පාහේ ජන ජීවිතය ‘‘සාපේක්ෂ වශයෙන් බොහෝ දුරට සාමාන්‍ය තත්වයට පත් විය. ආපන ශාලා, සුරා සැල් සහ සිනමා ශාලා රට පුරාම විවෘතව තැබිණ. බොහෝ දුරට චිනයේ ජනතාව රෝගයට ලක්වනු ඇතැයි හෝ අන්‍යයන්ට බෝ කරනු ඇතැයි හෝ බියෙන් තොරව ජීවත් වූහ.’’

එම ලිපියේ ‘‘දින 15ක් ඇතුළත රෝගය පැතිර යෑම වැළැක්වීම’’ යන කොටස විශේෂ අවධානයට ලක් විය යුතුය. මහා නාගරික ප්‍රදේශයක් වූ ( දශ ලක්ෂ 20ක ජන සංඛ්‍යාවකින් යුත්) චොන්ග්කින්ග් හි රෝගය වාර්තාවීම සහ එය තුරන් කිරීමේ ප්‍රතිපත්තිය භාවිතයට යොදා ගත් ආකාරය පැහැදිලි කරයි.  2020 මුල් මාසවල රෝගය මුල් වරට වාර්තාවීමෙන් පසුව මෙම ප්‍රදේශයෙන් කිසිම රෝගියෙකු වාර්තා වූයේ නැත. එහෙත් 2021 නොවැම්බර් 01 වැනිදා තිස් දෙහැවිරිදි පුද්ගලයෙකුට රෝගය වැළඳී ඇති බව වාර්තාවීමත් සමග නැවතත් ක්ෂණික ප්‍රතිචාර ක්‍රියාත්මක විය.

ඔහු මෙසේ සඳහන් කරයි: ‘‘පළමු රෝගියා සොයා ගැනීමෙන් දිනක් ඇතුළත චොන්ග්කින්ග් නගරයේ බලශක්ති මූලස්ථානය සහ රෝගීන් ගැවසුණ ගොඩනැගිලි සියල්ල හුදකලා කෙරිණ. නගරයේ රෝගීන් ජීවත් වූ ප්‍රදේශවල මහා පරිමාණයේ පරීක්ෂණ පවත්වන බව ප්‍රකාශයට පත් කොට පැය 24ක් ඇතුළත පුද්ගලයන් 125,000ක නියැදි රැස් කර ගන්නා ලදී.

රෝගීන් ජීවත් වු නිවාස සංකීර්ණ සම්පූර්ණයෙන්ම වසා දමන ලද අතර නගරයේ සෞඛ්‍ය සේවකයෝ නිවැසියන්ට ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය දේ නිතිපතා සැපයුහ. නගරයේ නොයෙකුත් ප්‍රදේශ අවශ්‍යතාවය අනුව ‘දැඩි අවදානම් කලාප’ ලෙස නම් කොට ඒවායින් පිටවීම සහ එහි ඇතුළුවීම දැඩි සීමාවන්ට යටත් කරන ලදී. නගරය පුරාම සිනමා ශාලා, පුස්තකාල, කෞතුකාගාර සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සියලූ ස්ථාන තාවකාලිකව වසා දැමිණ.

බලධාරීහු රෝගී පුද්ගලයන් ඇසුරු කළ අය හඳුනා ගැනීමට ඔවුන්ගේ ජංගම දුරකතනවල ඇති ඇප්ස් භාවිතා කිරීම වැනි විවිධ ක්‍රමවලින් ආශ‍්‍රිතයන් සොයා ගැනීමේ ව්‍යාපාරයක් දියත් කළහ. රෝගයට ලක්වීමේ අවදානමක් ඇති පුද්ගලයන් රජයෙන් සපයන ලද ආරක්ෂිත නිවාසවලට පිටත් කොට හුදකලා කිරීමෙන් පසු ඔවුන්ට ආහාර පාන සපයන ලදී. මුල්ම රෝගීන් පොකුරු හඳුනා ගැනීමෙන් පසුව සතියක් ඇතුළත නිරෝධායනයට ලක් කළ මුළු සංඛ්‍යාව 1300කි.

ප්‍රතිචාර දැක්වීමේ පුළුල් භාවය නිසාම රෝගීන් බව වාර්තා වූයේ අතලොස්සක් පමණ වන අතර ඒ සියලු දෙනාම පළමු දිනයේ දීම නිරෝධානයට ලක් වුවන් ය. සති දෙකකට වැඩි කාලයක් නිරෝධානයෙන් පිටත කිසිම රෝගියෙකු වාර්තා නොවීම නිසා නොවැම්බර් 17 වැනි දින නගරයේ වසංගතය පාලනය කරන ලද බව නිවේදනය කෙරිණ. චොන්ග්කින්ග් නිල වශයෙන් ම ‘අඩු අවදානම් කලාපයක්’ සේ ප‍්‍රකාශ කෙරිණ. සීමා කිරීම් ලිහිල් කරන ලද අතර සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ විය.

පළමු රෝගියා සොයා ගැනීමේ සිට වසංගතය පාලනය කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ගත වූයේ දින 15කි. 

2020 මුල් කාලයේ දී වසංගතය පළමුවෙන්ම පැතිරීමෙන් පසුව දශ ලක්ෂ 20ක චොන්ග්කින්ග් ජනතාව සැලකිය යුතු මට්ටමක සීමා කිරීම්වලට ලක් වූයේ මෙම දින 15 තුළ පමණි.

මෙම උපාය මාර්ගයේ සාර්ථකත්වයට පදනම් වූයේ ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ සමාජ යටිතල පහසුකම් සහ මහජන සෞඛ්‍ය පද්ධතිවල කරන ලද සැලකිය යුතු මට්ටමේ ආයෝජන සමග පුළුල් ජනතා සහයෝගය සහ සහභාගිත්වය යි. නිදසුනක් වශයෙන් දශ ලක්ෂ පහක ජනතාවක් වෙසෙන නගරවල දින දෙකක් ඇතුළත සමස්ත ජනතාවම පරික්ෂා කිරීමේ සහ දශ ලක්ෂ පහකට වැඩි ජන සංඛ්‍යාවක් වෙසෙන නගරවල දින පහක් ඇතුළත සෑම පුද්ගලයෙකු ම පරීක්ෂා කිරීමේ හැකියාව පවත්වා ගත යුතු යැයි එම වාර්තාව පෙන්වා දේ.

චීනයේ ‘ශූන්‍ය කොවිඩ්’ (Zero Covid) ප‍්‍රතිපත්තිය SARS-CoV-2. තුරන් කිරීම අරමුණු කර ගත් ප්‍රතිපත්තියක ශක්‍යතාවයි භාවිතයෙන් ම තහවුරු කිරීමකි. එම ලිපියෙන් පැහැදිලි කරන ආකාරයට 2020 ග්‍රීෂ්මයේ චීනයේ වසංගත රෝග වැළැක්වීමේ සහ පාලනය කිරීමේ කේන්ද්‍රය (CDC ) The Lancet නම් වෛද්‍ය සඟරාවේ ලිපියක් පළ කරමින් මූලික උපාය මාර්ග දෙකක් පෙන්වා දුන්නේ ය. එනම් සීමා කිරීමේ සහ යටපත් කිරීමේ (ගතිකත්ව ශූන්‍යතාවය හෝ තුරන් කිරීමේ ප්‍රතිපත්තිය) සහ සමනය කිරීම ය. බලවත් ධනවාදී රටවල ආණ්ඩු ද විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක කෙළේ ද එවැනි ප්‍රතිපත්තියකි.

”සමනය කිරීම, දීර්ඝ කාලීන වශයෙන් සමූහ ප‍්‍රතිශක්තිය වර්ධනය වීමට හේතු විය හැකි නමුත් ඒ සඳහා රෝගීන් සහ මරණ සංඛ්‍යාව අතින් විශාල කැප කිරීමක් සිදු කළ යුතුය” යි චීනයේ බෝවන රෝග පිළිබඳ කේන්ද්‍රය පවසයි. 

විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පසුගිය වසරේ පුළුල් ව වාර්තා කළ ආකාරයට එන්නත් කිරීමට අවධානය යොමු කළ උපාය මාර්ගයෙන් පමණක් වසංගතයේ පැතිරීම නතර කළ නොහැකිය. ඇත්තෙන්ම චීනය වසා දැමීම්, හුදකලා කිරීම්, ආශ‍්‍රිතයන් හඹා යෑම් සහ සමූහ වශයෙන් පරික්ෂා කිරීම් වැනි මහජන සෞඛ්‍ය පියවර එන්නත් කිරීමට වඩා අතිශයෙන් වැදගත් බව පෙන්වා ඇත. එම ප්‍රතිපත්තිය නිසා චීනයට එන්නතක් සොයා ගැනීමටත් පෙර තැනින් තැන ඇති වූ පොකුරුවලින් බැහැරට රෝගය පැතිර යෑම වැළැක්වීමට හැකි විය.

ධනවාදය ප්‍රතිස්ථාපනය කළ ද චීනයේ සාමූහික විප්ලවවාදී අරගලයේ සුවිශාල වූ සමාජ අත්දැකීම සමස්ත ජන විඥානය තුළ ගැඹුරින් ම සටහන් ව ඇති බවට සැකයක් නැත. එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මෙතෙක් දක්නට නොමැති ආකාරයේ සමාජ සහයෝගිතාවයක් සහ විඥානයක ඉහළ මට්ටමක් පවතින චීනයේ ‘ශූන්‍ය කොවිඩ්’ ප්‍රතිපත්තියට එහි ජනතාව තුළ ඉමහත් සහයෝගයක් පවතී.

බීජිනයේ පාලනයට, වසංගතය පාලනය කිරීමට සුදුසු පියවර ගනු ඇතැයි යන ජනතා අපේක්ෂාව පහසුවෙන් අමතක කළ නොහැකිය. මෙම පියවර ස්වභාවයෙන් බෙහෙවින්ම ප‍්‍රගතිශීලී වන නමුත් සුවිශේෂිතව සමාජවාදී නොවේ. චීනය ක්‍රියාත්මක කළ මෙම පියවර ඇත්තෙන්ම 19 ශතවර්ෂයේ අග සහ 20 වැනි ශතවර්ෂයේ සිට දිගු කලක් තිස්සේ ස්ථාපනය වූ සහ වර්ධනය වූ මහජන සෞඛ්‍ය ක්‍රියා පටිපාටි මත පදනම් ය.  ඊට සන්නිවේදන විප්ලවයෙන් වර්ධනය වූ තාක්ෂණය ද පිටිවහලක් විය.

වැඩි දුරටත් තුරන් කිරීමේ උපාය මාර්ගය නවසීලන්තය, තායිවානය, වියට්නාමය සහ සිංගප්පූරුව වැනි ආසියා පැසිෆික් කලාපයේ තවත් රටවල් අතලොස්සක වඩාත් කුඩා පරිමාණයෙන් ක්‍රියාත්මක කෙරිණ. අන් සියල්ලට වඩා වොෂින්ටනයෙන් එල්ල වූ තියුණු පීඩනය නිසා මෙම රටවලට එම ක්‍රියාමාර්ගය අතහැර දැමීමට සිදු විය. චීනය පමණක් තවම අවසාන ‘‘ශූන්‍ය කොවිඞ් බලකොටුව’’ වශයෙන් පවතී. පෙර කාල පරිච්ඡේදයක එක්සත් ජනපදයේ පවා, 1947 දී නිව්යෝර්ක් නගරයේ වසූරිය පැතිරී ගිය  අවස්ථාවේ බෝවන රෝග වැළැක්වීමේ මහජන සෞඛ්‍ය පියවර දැඩි වශයෙන් යොදා ගන්නා ලදී. එම වසංගතය පාලනය කරන ලද්දේ ආශ‍්‍රිතයන් හඹා යෑම සහ එන්නත් කරණය වැනි පියවර තුළිනි.

පිළිතුරු සොයා ගත යුතු ප්‍රශ්නය වන්නේ චීනයේ සාර්ථකව යොදා ගත් මෙම ප්‍රතිපත්ති ඉමහත් ජීවිත විනාශයක් සිදු වන නමුත් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ යොදා නොගන්නේ ඇයි ද යන්නයි.

මෙම පැහැදිලි කිරීම ලබා ගත යුත්තේ පංති වුවමනාවන් විශ්ලේෂණයෙනි. වසංගතය නතර කිරීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පියවර ප්‍රතික්ෂේප කරන ලද්දේ ඒවා අසාර්ථක වූ නිසා හෝ අසාර්ථක වන නිසා නොව පාලක පංතියේ වුවමනාවන්ට පටහැනි නිසාය. ආරම්භයේ සිටම ජීවිත ගලවා ගැනීමට වඩා මූල්‍ය වෙළඳ පොළ ක්‍රියාකාරිත්වය සහ සමාගම්වල ලාභය ප‍්‍රමුඛතාවය කර ගැනීමේ දැනුවත් තීරණය ගෙන තිබිණ.

2020 මාර්තු මාසයේ දී එක්සත් ජනපද කොංග්‍රසයේ ප‍්‍රධාන පක්ෂ දෙකේම සම්මුතියෙන් CARES පනත සම්මත කර ගැනිමත් සමග වෝල් ස්ට්‍රීට් මූල්‍ය සමාගම්වලට භාණ්ඩාගාරයෙන් ඩොලර් ට්‍රිලියන ගණන් සහනාධාර ලබා දීමට අවසර ලැබිණ. මෙම ප්‍රතිපත්තිය අනෙකුත් ධනවාදී රටවල් ද අනුගමනය කරන ලදී. ඉන් පසුව පාලක පංතිය වසංගතය පැතිර යෑමට ඉඩ හැර සියලු දේම විවෘත කෙළේය.   

කොවිඩ් 19 වසංගතයෙන් එක්සත් ජනපදයේ වයස 65ට වැඩි සෑම පුද්ගලයන් සියයකින් එක් අයෙකු මිය ගොස් ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් ඊයේ වාර්තා කෙළේය. සියයට එකක් යනු 65ට වැඩි ඇමරිකානුවන් 600,000කි. ඉන් අදහස් වන්නේ මිලියන ගණන් ජනතාවට තම දෙමාපියන්, වැඩිමහල්ලන්, සැමියා හෝ බිරිඳ අහිමි වීමකි.

නිල සංඛ්‍යා ලේඛන අනුව ලොව දශ ලක්ෂ 5.3කට වැඩි සංඛ්‍යාවක් වසංගතයෙන් මිය ගොසිනි. සැබෑ සංඛ්‍යාව දශ ලක්ෂ 15ක් පමණ වනු ඇතියි විද්වතුන් ගණන් බලා ඇත. එක්සත් ජනපදයේ පමණක් වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව දශ ලක්ෂයකට අධික ය. මෙම මරණ වැළැක්වීමට හැකි වූයේ නම්, (එය කළ හැකි බව චීනය පෙන්වා දී ඇත.) දැවැන්ත සමාජ අපරාධයක් නොවනු ඇත. ඇත්තෙන්ම එය නූතන ඉතිහාසයේ අති විශාල වූ සමාජ අපරාධයයි.

Leave a Reply